You are currently viewing තිලීපන් සමරු පෙරහැර සහ පොලීසියේ ඔහේ බලාසිටීම..!

තිලීපන් සමරු පෙරහැර සහ පොලීසියේ ඔහේ බලාසිටීම..!

කේ. සංජීව

උතුරු නැගෙනහිර දමිළ ජනතාව අතර ගෞරවයට පාත්‍රවී සිටින, උපවාසයක් අතරතුර මියගිය තිලීපන් හෙවත් රාසයියා පාර්තිපනන් සිහිකරනු වස් පොතුවිල් සිට යාපනය දක්වා ගමන් කරමින් තිබුණ රථ පෙළපාලියකට පසුගිය සැප්තැම්බර් 17 දා ත්‍රිකුණාමලය උප්පුවේලි පොලිස් බල ප්‍රදේශයේ දී සිංහල පුද්ගලයන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයට ලක්වූ පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් ද විය.

පොලීසිය ප්‍රකාශ කරන ආකාරයට මෙම රථ පෙරහැර ප්‍රහාරයකට ලක්වී ඇත්තේ සර්ධාපුර නම් ප්‍රදේශයේදී ය. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ පටිගත කරනු ලැබූ වීඩියෝ දර්ශනයන් මේවනවිට සමාජ මාධ්‍යයේ වැඩි වේගයකින් සංසරණය වෙමින් පවතින අතර එම වීඩියෝවන් දකින විට මෙවැනි ප්‍රශ්න මාලාවක් ඇතිවීම ස්භාවිකය.

1. තිලීපන් සමරු රථ පෙළපාලියට මිනිසුන් පහර දෙනවිට එම ප්‍රහාරයන් මැඬලීම සඳහා පොලීසිය කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත්තේ ඇයි?
2. තිලීපන් සමරන්නට උතුරු නැගෙනහිර දෙමළ ජනයාට අයිතියක් නැද්ද?
3. අයිතියක් නැතිනම් එය ප්‍රකාශයට පත් කළේ කවුද? එහි නීතිමය තත්ත්වය කුමක්ද?
4. පොලීසියට ඔහේ බලාසිටින්නට නියෝග දුන්නේ කවුද?
5. පොතුවිල් ප්‍රදේශයේ සිට පැමිණි මෙම රථ පෙරහැර අනීතික නම්, එය පොතුවිල් ප්‍රදේශයේදීම නතර කරන්නට පොලීසිය කටයුතු නොකළේ ඇයි?
6. උතුරු නැගෙනහිර සිංහල දෙමළ වාර්ගික ආතතිය උත්සන්න කිරීම සඳහා වර්තමානයේ කුමන හෝ පාර්ශවයක් ක්‍රියාත්මක වෙමින් සිටිත්ද?

මෙම ප්‍රශ්න සාකච්ඡාව සඳහා විවර කරමින් අපි තිලීපන් ගැන මෙන්ම මෙම සැමරුම ගැනද එයට එල්ලවූ ප්‍රහාරය ගැනද කතා කළ යුතුය.

“සිංහල රජයේ හමුදා දෙමළ ජනයා ජීවත්වන ප්‍රදේශවලින් ඉවත් කරගත යුතු ය, දෙමළ ජනයා වෙසෙන පළාත්වල දෙමළ ජනයාගේ අතුරු ආණ්ඩුවක් පිහිටුවන තෙක් පුනරුත්ථාපනය මුවාවෙන් සිදුකෙරෙන සිංහල ජනපදකරණය නවතාලිය යුතු ය, දෙමළ ජනයා වෙසෙන උතුරු-නැගෙනහිර සිංහල පොලිස් ස්ථාන හා කඳවුරු අලුතින් පිහිටුවීම රජය විසින් නැවැත්විය යුතු ය, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු ය, දෙමළ ප්‍රදේශවල පාසැල් තුළ වාඩිලා සිටින ශ්‍රී ලංකා හමුදා හා පොලිස් බල ඇණි ඒවායින් ඉවත්විය යුතු අතර රජය විසින් ග්‍රාමාරක්ෂකයන්ට ලබා දී ඇති ආයුධ ඉන්දීය හමුදා අධීක්ෂණය යටතේ නැවත ලබාගත යුතු ය.”

යන ඉල්ලීම් පහ මූලික කරගනිමින් රාසයියා පාර්තීපන් නොහොත් තිලීපන් 1987 සැප්තැම්බර් 15 දා යාපනය නල්ලූර් කන්දස්වාමි කෝවිල ඉදිරිපිට දී මාරාන්තික උපවාසයක් ආරම්භ කරන අතර එයට ඉන්දීය රජයේ හෝ ශ්‍රී ලංකා රජයේ හෝ කිසිඳු සාධනීය ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැත.
එහි ප්‍රතිපලයක් ලෙස 1987 සැප්තැම්බර් 26 දා තිලීපන් සිය ජීවිතයට සමුදෙන්නේ ය. මෙම මරණය උතුරු-නැගෙනහිර බහුතර දෙමළ ජනතාවට වීරත්වය පිළිබඳ කතාවක් ය. හසලක ගාමිණී දකුණට වීරයෙක් වන්නේ කෙසේද තිලීපන් උතුරට වීරයෙක් වන්නේ ය. එය අප තේරුන් ගත යුතුය.

තිලීපන් ත්‍රස්තවාදියෙක්, තිලීපන් නිසා ත්‍රස්තවාදය ඇතිවුණා වැනි මතුපිටින් ප්‍රශ්නය අත ගා කරන ප්‍රකාශ බැහැර කරමින් මේ පිළිබඳව වඩා සාධාරණ සාකච්ඡාවක් දකුණේ ඇතිවිය යුතුය. තිලීපන් නල්ලූර් කෝවිල ඉදිරිපිට උපවාසයක් සඳහා හිඳ ගැනීම එම කාල අවකාශ උතුරේ සන්දර්භයෙන් ගලවාගෙන ගුරුත්වයෙන් තොර පරිසරයක පා කරහරිමින් කතා කිරීමේ තේරුමක් නැත. දකුණේ 1971 සහ 1988-89 කැරලි ගැන කතාව උනත් එසේය. ඒවා එම ඉතිහාසය තුළින් ගලවාගෙන පරීක්ෂා කළ නොහැකිය.

මෙම තත්ත්වය තුළ මගේ තර්කය වන්නේ 1971 කැරැල්ලේ විරුවන් සහ 1988-89 දෙවෙනි කැරැල්ලේ විරුවන් සමරන්නට දකුණේ සිංහල ප්‍රජාවට තිබෙන අයිතිය උතුරටත් තිබෙන බව අප අමතක නොකළ යුතු බවය. උතුරේ කොටි සංවිධානය හෝ එහි සාමාජිකයන් ත්‍රස්තයන් වන්නේ අපි ඒ දෙස බලන ආකාරය අනුවය. දකුණේ අපිට ඔවුන් ත්‍රස්තයන් වුණත් උතුරේ බහුතරයකට (එල්ටීටීඊ විරෝධී සුළුතර දෙමළ ප්‍රජාව හැරුණාම) ඔවුන් විමුක්තිකාමීන් ය.

උතුරේ බහුතරයට ඔවුන් පෙනෙන්නේ දෙමළ ජනතාවට රටක් නිර්මානය කර දෙන්නට ජීවිත පරිත්‍යාගයෙන් සටන්වැදි රණවිරුවන් කොටසක් ලෙස ය. ශ්‍රී ලංකාව දෙකඩ කරන්නට යුධ වැදුන ත්‍රස්තයන්ට විරුද්ධව සටන් කළ හමුදා සාමාජිකයන් දකුණට විරුවන් වන්නේ කෙසේද, එසේම උතුරට එල්ටීටීඊ සාමාජිකයා රණවිරුවෙක් ය. මෙය මේ ආකාරයෙන් අපට තේරුන් ගැනීමට පුලුවන් නම් ලංකාව පැටලී සිටින නූල් බෝලයෙන් නිදහස් වන්නට හැකිය.

උතුරේ දෙමළ අනන්‍යතාවය අමතක කර අපිට උතුර දිනාගත නොහැකිය. එමෙන්ම දකුණේ සිංහල අනන්‍යතාවය අමතක කර උතුරත් සමග සාකච්ඡා සංවාද තුළින්ද මෙම ප්‍රශ්නයට විසඳුමක් සොයාගන්නට ලැබෙන්නේ නැත. එනිසා මෙවැනි සැමරුන් අවස්ථාවන් වලට ප්‍රහාර එල්ලකිරීමෙන් හෝ සිංහල ජනතාව එම සැමරුන් උත්සව වලට විරුද්ධව උසිගැන්වීමෙන් හෝ මේ ප්‍රශ්නය අපට සාධාරණ සහ යුක්තිගරුක ආකාරයට විසඳා ගන්නට ලැබෙන්නේ නැත. උතුරේ සහ දකුණේ ආඛ්‍යානයන් වෙනස්ව තේරුන් ගනිමින් එම ආඛ්‍යාන සඳහා ඉඩ සාදා දෙමින් මෙම ඇත්ත ප්‍රශ්නය සමග අප ගණුදෙණු කළ යුතුය.

සැමරුම් සඳහා නිදහස ලබාදිය යුතුය. ඒ සඳහා රාජ්‍ය මැදහත්ව කටයුතු කළ යුතුය. සැමරුම් වලට ප්‍රකෝපකාරී ප්‍රතිචාර දක්වන්නන්ට විරුද්ධව රාජ්‍ය නීතිය ක්‍රියාත්මක කළ යුතුය. එහිදී පොලීසියේ හැසිරීම ඉතාමත් වැදගත් බව ප්‍රකාශ කළ යුතුය. සැමරුම් වෙනුවෙන් ඉඩකඩ හදන ගමන් තවතවත් විරුවන් හදන වැඩේ සහ ඊට උඩගෙඩි දෙන වැඩෙන් රාජ්‍යය ඉවත්විය යුතුය. ඒ වෙනුවට දීර්ඝකාලීන සාමයක් සහ එකමුතු බවක් වෙනුවෙන් බලය බෙදාහදා ගත යුතු බව රාජ්‍ය අවධාරණය කළ යුතුය. ඒ වෙනුවෙන් ජනතාව අතර පාලම් සාදන වැඩේ රාජ්‍යය අතටගත යුතුය.

නිදහස් ජීවිතයකට ඉඩදෙමින් ඒ හරහා රට එකතුකළ යුතුය. තම තමන්ගේ අනන්‍යතා සුරැකෙන බව පුරවැසියාට තේරුන් යන සමාජ පරිසරයක් වෙනුවෙන් වැඩකළ යුතුය. ඒ සඳහා මෙවැනි සැමරුම් උත්සව කඩාකප්පල් කර හරියන්නේ නැත. වාර්ගික අසහනය වැඩිවෙන හැසිරීම් අවම කරන්නට රාජ්‍යය මැදිහත්විය යුතුය. පොලීසිය ජනතාවට නීතිය අතට ගන්නට ඉඩදී බලා සිටිය යුතු නැත.