-කේ. සංජීව-
උතුරු නැගෙනහිර යුද්ධය අවසන් වී දැන් දශකයකට වැඩිය. එහෙත් තවමත් නොවිසිඳුන ප්‍රශ්න බොහෝ ය. තවමත් ‘උතුරේ අම්මලා’ ලංකාවේ දීර්ඝතම අරගලය කරමින් සිටින්නේ අතුරුදන් කළ තම දරුවන්ට සිදුවුණේ කුමක්ද යන්න දැනගැනීමට ය.
සත්‍ය සහ යුක්තිය
සත්‍ය සහ යුක්තිය ඔවුන්ට අවශ්‍ය බව ඔවුන් අවුරුදු 10කට වඩා කියමින් සිටියි. ඒ ඉල්ලීමට ශ්‍රී ලංකා රාජ්‍ය දක්වන ප්‍රතිචාරය කුමක්ද ? යහපාලන කාලය තුළ සත්‍ය සංක්‍රාන්තික යුක්තිය සහ වගවීම වෙනුවෙන් යම් වැඩකොටසක් සිදුවෙන බව පෙනෙන්නට තිබුණත්, දැන් ඒ දෙස බලන අපිට පෙනෙන්නේ, ඒ වැඩ කොටසත් හුදෙක් බෝලය දිය යට ඔබාගෙන සිටිනවා හැර, වෙන දෙයක් නොවෙන බවය.
2015 යහපාලනයක් සහ මෛත්‍රී යුගයක් වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ රජය බලයට එනවිට ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, වසීම් තාජුඩීන් ඝාතනය, සිවරාම් ඝාතනය වැනි ඝාතන සහ අතුරුදන් කිරීම්වලට ද වධහිංසාවන් පැමිණවීමට ද එරෙහිව, පැවති රාජපක්ෂ රෙජීමයට විශාල චෝදනාවන් එල්ලවූ අතර යහපාලනය බලයට පැමිණෙන විට ජනතාව මෙම සිදුවීම් අරඹයා යුක්තිය බලාපොරොත්තු විය.
එහෙත් සිදුවුණේ කුමක්ද? බොහෝ පරීක්ෂණ රාජ්‍යයේ ඉහළ බලධාරීන් ගේ ක්‍රියාකලාපයන් නිසා අයාලේ ගිය අතර යුක්තිය සඳහා ක්‍රියාවලිය නැවත වතාවක් රබර් බෝලයක් මෙන් දිය යට සැඟවිනි. දැන් නැවතත් ඒ රබර් බෝලය දිය මතුපිටට පැමිණ ඇත..!
අපි අසමත්
මෙන්න මේ පසුබිම මත තබා අප පාස්කු ප්‍රහාරයේ වින්දියන්ට යුක්තිය ඉටුවීමේ ක්‍රියාවලිය සහ පාස්කු ප්‍රහාරය මෙහෙයවූ පුද්ගලයන්ට දඬුවම් දීමේ ක්‍රියාවලිය දෙස බැලුව හොත් පෙනෙන්නේ කුමක්ද?
නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යෑම යුක්තිය සහ වගවීම යන අංශ තුළ ලංකා රාජ්‍යය අසමත්වී ඇති බව මේ කතා දෙස බලන විට අපට පෙනෙයි.
රට තුළ නීතියේ ආධිපත්‍යය නිවැරදිව ක්‍රියාත්මක වන්නේ නම් අපරාධයක් වූ පසුව එයට යුක්තිය ඉල්ලා මිනිසුන්ට හඬ නඟන්නට අවශ්‍ය වන්නේ නැත. එහෙත් අද යම් සිදුවීමක් සිදුවුණු පසුව ඊට අදාළ පොලිස් ක්‍රියාවලිය සක්‍රීය කරගන්නට උද්ඝෝෂණය කරන්නට බලපෑම් කරන්නට සිදුවී ඇත.
අනෙක් පැත්තෙන් රාජ්‍යයේ අවයවන් හරහා මෙම අපරාධ වසා දමන්නට යුක්තිය අවහිර කරන්නට කැසකවන පුද්ගලයන්ට විරුද්ධවත් යුක්තිය අවැසි මිනිසුන්ට සටන් කරන්නට සිදුව ඇත. එයින් කියන්නේත් සිස්ටම් එක වැඩකරන්නේ නැති බවය. දැති රෝද නිසි පරිදි කැරකෙන්නේ නැති බවය.
පාස්කු ප්‍රහාරය
2019 අප්‍රේල් 21 පාස්කු දිනයේ දී ස්ථාන අටකදී සිදු වූ බෝම්බ ප්‍රහාර වලින් මරාගෙන මැරුණ බෝම්බකරුවන් ද ඇතුළුව පුද්ගලයන් 277 ජීවිතක්ෂයට පත්විය. තුවාල ලැබූ සංඛ්‍යාව 407කි. මේ අතර ළමුන් සහ කාන්තාවන් බහුලය.
මෙම ප්‍රහාරයට පසුව ඝාතකයන්ට දඬුවන් දෙන්නේ යැයි සඵත කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බලයට පත්විය.
මිනිසුන්ට අවශ්‍ය වුණේ සත්‍ය සොයා ගැනීමට ය. යුක්තිය දිනා ගැනීමට ය. වැරදිකරුවන්ට දඬුවම් පමුණවා නැවත මෙවැනි ආකාරයේ විපතක් නොවෙන්නට මඟ හරිගස්සන්නට ය.
එහෙත් සත්‍ය සහ යුක්තිය වෙනුවෙන් බලයට පැමිණි රජය හෝ පාස්කු ප්‍රහාරය සිදුවන විට බලයේ සිටි යහපාලන රජය හෝ කළ දෙයක් නැත. දෙපාර්ශවයම කළෝ රබර් බෝලය දියයට සැඟවීමය. ඒ සඳහා තේරීම් කාරක සභා ජනාධිපති කොමිසම් ආදිය භාවිතාවට ගැනුනි.
මේ අතර සීඅයිඩීය මෙහෙයවන ලද පරීක්ෂණ නිවැරදි ඉලක්කය වෙත ගමන් කරමින් තිබුණ අතර ගෝඨාභය රාජපක්ෂ රජය පැමිණි විට එම පරීක්ෂණ ක්‍රියාවලියටත් කනකොකා හඬලන්න විය. පරීක්ෂණ මෙහෙයවූ නිළධාරීන්ට මාරුවීම් හිමිවිය..!
දැන් නැවතත් සත්‍ය සහ යුක්තිය නැමති රබර් බෝලය දිය මතුපිටට පැමිණ ඇත. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳව බ්‍රිතාන්‍යයේ චැනල් හතර නාළිකාව විකාශය කළ වාර්තා චිත්‍රපටියක් අරඹයා ය.
මෙම වාර්තා චිත්‍රපටිය සමාජය තුළ විටින් විට සාකච්ඡා වුණ ‘අබුහින්ද්’ , ‘සොනික් සොනික්’ යන කරුණු නැවත වටයකින් උස් හඬින් ප්‍රකාශ කර ඇත.
චැනල් හතර
“Sri Lanka bombings:were 269 people killed for political power? Dispatches exclusive” යනුවෙන් නාමකරණය කළ මෙම වීඩියෝවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස යොදා ගෙන ඇත්තේ සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ හිටපු මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ හන්සීර් අසාද් මවුලානාය. ඔහු දැන් පිටුවහල් ජීවිතයක් ගතකරමින් සිටින්නේ ජීවිත තර්ජන නිසා ය.
මේ කියන අසාද් මවුලානා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත දිවුරුම් ප්‍රකාශයක් සමගින් සාක්ෂියක් ඉදිරිපත් කර ඇති බව ප්‍රකාශ වෙන අතර ඊට අමතරව ඔහු යුරෝපයේ අපරාධ විමර්ශන රාජ්‍ය ආයතන කිහිපයක් වෙතද තම සාක්ෂිය ලබාදී ඇත.
‘මේක හිතේ තියාගෙන විඳෙව්වා ඇති’ ලෙස ප්‍රකාශ කරන අසාද් මවුලාන, මේ නිසා පාස්කු ප්‍රහාරය සහ රාජපක්ෂ පාලන කාලයේ සිදුවූ තමන් දන්නා සියල්ල ප්‍රකාශ කරන්නට තමන් තීරණය කළ බව කියා සිටී.
අසාද් මවුලානාට අමතරව නිර්නාමිකව ලංකාවේ ආරක්ෂක අංශ නිළධාරියෙක්ද අදහස් දක්වන අතර ඊට අමතරව ආරක්ෂාව පතා රටින් පිටවී සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා, සන්ඩේ ලීඩර් හිටපු සංස්කාරක ෆෙඩ්රිකා ජැන්ස්, ලසන්ත වික්‍රමතුංගගේ සොයුරු ලාල් වික්‍රමතුංග, මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් අම්බිකා සත්කුනනාදන්, හිටපු රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන සරත් කොංගහගේ, කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මෙම වීඩියෝ සඳහා සිය ප්‍රකාශ ලබාදී ඇත.
මොකද වුණේ?
මෙම වීඩියෝව පිළිබඳව අදහස් දක්වන ආචාර්ය දයාන් ජයතිලක මෙවැනි ප්‍රශ්නයක් නඟයි. ‘ ඉන්දියාව මේ ප්‍රහාරය ගැන කලින් අපේ ආරක්ෂක අංශවලට කියලා තියෙනවා. ඒ වෙලාවේ මේක ඉහළම නිළධාරීන් පස් දෙනෙක් දැනගත්තා. ඒත් ඔවුන් කිසිඳු ක්‍රියාමාර්ගයක් මේ වෙනුවෙන් ගත්තේ නෑ. දැන් මම අහන්නේ මේ නිළධාරීන් පස් දෙනාට විරුද්ධව ලංකා රාජ්‍යය ගත්ත පියවර මොනවාද? ඔවුන්ට දඬුවම් දුන්නද?’ ආචාර්ය දයාන් ජයතිලක මතුකරන මෙම ප්‍රශ්නය ඉතාමත්ම වැදගත් ය.
මේක තමයි ලංකාවේ තිබෙන ප්‍රධාන ගැටලුව. සත්‍ය, යුක්තිය සහ වගවීම වෙනුවෙන් ලංකා රාජ්‍යය කළ දෙයක් නැත. රබර් බෝලය දිය යට සැඟවීමේ ක්‍රීඩාවේ පමණක් හැමදාම යෙදී සිට ඇත.
මෙම වීඩියෝ වෙන් හෙළිකරන ප්‍රධාන තොරතුර වන්නේ රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි ප්‍රමුඛ බුද්ධි අංශය මෙම ප්‍රහාරය පිළිබඳව කරුණු දැනසිටි බවය. ඔවුන් මෙම ප්‍රහාරය පිටුපස සිට ඇති බවය. මේ හරහා අසාද් මවුලානා හෙළිකරණ තොරතුරු අප සසල කරන බව කිවයුතුය. දැන් ප්‍රශ්නය මෙම තොරතුරු නිසා අප සසල වන ආකාරයට රාජ්‍ය සසල වන්නේ නැතිද යන්නයි.
ලෝකයේ වෙනත් රටක බුද්ධි ප්‍රධානියෙක්ට මෙවැනි බරපතළ චෝදනාවක් එල්ල වුණානම් ඒ රජය වහාම කරන්නෙ ඔහු නිමාඩු ගන්වා, ඔහුගේ සේවය අත්හිටුවා, වහාම ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් එම නිළධාරියාට එරෙහිව කරන එකය.
එහෙත් අපේ ආරක්ෂක අමාත්‍යාංශය කළේ කුමක්ද? අපේ ආරක්ෂක අංශය කළේ චැනල් හතර නාළිකාවට දොස් පවරමින් තම නිළධාරියා ආරක්ෂා කරමින් ප්‍රකාශයක් නිකුත් කිරීමය. පාර්ලිමේන්තු තේරීම් කාරකසභා පත් කරන්නට කතා කිරීම ය.
මෙයින් පෙනෙන්නේ රාජ්‍යයක් ලෙස අප තවමත් සිටින්නේ පරණ තැනම බවය. අප වෙනස් වී නැත. වෙනස් වෙන්නට සූදානමක් ද නැත. ප්‍රශ්නය තිබෙන්නේ මෙතනය.
මෙම ප්‍රහාරය පිළිබඳව කලින් දැනුවත්ව සිටි පොලිසියේ උසස් නිළධාරීන් අද දක්වා කොතෙක් යෙහෙන් සුවෙන් සිටිනවාද කීවොත් ඔවුන් දෙදෙනෙක් ඊළඟ පොලිස්පති වීම සඳහා තියුණු තරඟයක නිරතව සිටී. මෙයින් පෙනෙන්නේ ලංකා රාජ්‍යය කුණුවී ඇති තරම හැර වෙන කුමක්ද?
මෙම ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය දඩ මුදල් පැනවූ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන දැන් සිටින්නේ පොලීසියේ දෙවැන්නා ලෙස ය. හෙට ඔහු පොලිස්පති බවට පත් කළත් අප නම් පුදුම වන්නේ නැත. එයට හේතුව ලංකා රාජ්‍යය කටයුතු කරන සාමාන්‍ය ආකාරය එය නිසා ය.
එනිසා අප ලංකා රාජ්‍යයට ප්‍රකාශ කරන්නේ චෝදනාලාභීන් වහාම සේවයෙන් නිමාඩු ගන්වා සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසය. උතුරේ අතුරුදන් ප්‍රශ්නය, දකුණේ ඝාතන සහ පැහැරගෙන යාම් සම්බන්ධයෙන් රාජ්‍ය ක්‍රියාත්මක වුණ රබර් බෝල න්‍යායෙන් බැහැරවී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍යය වහාම මැදිහත් විය යුතුය. ලංකාව තවදුරටත් අසමත් රාජ්‍යයක් ලෙස ලෝකය හමුවේ පෙනී නොසිට වහාම මේ සඳහා ක්‍රියාමාර්ග තේරිය යුතුය.