-කේ. සංජීව-
සැප්තැම්බර් 14 අයිඑම්එෆ් නියෝජිත පිරිස තමන්ගේ පළමු සමාලෝචනය වෙනුවෙන් ලංකාවට එනවා. මේ එනවා කියන කතාව එක්ක ගොඩක් දෙනෙක් අහන කතාවක් තමයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න දෙන විස්තීර්ණ ණය පහසුකමේ දෙවෙනි වාරිකය ගන්න බැරිවෙයිද? කියන දේ. එහෙම දෙගිඩියාවක් එන්න හේතුව මොකද්ද?
ලංකාවේ මුදල් පාලනයේ වඟකීම තියෙන්නේ පාර්ලිමේන්තුවට කියලා තමයි අපි කියන්නේ. රාජ්‍ය මුදල් පිළිබඳ කාරකසභාව තමයි ඇත්තටම එහෙම කියනකොට ඒ වඟකීම දරන්නේ. රාජ්‍ය මුදල් කාරකසභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පසුගිය දවසක සිරස ‘පැතිකඩ’ වැඩසටහනට එනවා අයිඑම්එෆ් වැඩසටහනේ ප්‍රගතිය ගැන කතා කරන්න. ඒ ආවාම ඔහුගෙන් මේ ඊළඟ වාරිකය ලැබෙයිද මෙතනින් එහාට කුමක් වෙයිද කියලා ඇහුවාම දෙන උත්තරය තමයි ‘අපි තවමත් අඳුරේ ඉන්නේ’ කියන එක.
මේකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද? පැහැදිලි වෙන දේ තමයි රාජ්‍යයේ මුදල් පාලනය පාර්ලිමේන්තුව සතුයි කියලා පම්පෝරි ගැහුවත් අයිඑම්එෆ් වැඩසටහනට මොකද වෙන්නේ කියන දේ හරියට කියන්න, පාර්ලිමේන්තුව ඒක දන්නේ නෑ කියන දේ.
මෙහෙම තත්ත්වයක් තියෙනකොට අවුරුදු දෙකක් අස්සේ ක්‍රියාත්මක වෙන්න යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලංකාව පිළිබඳ වැඩසටහනට මොකද්ද වෙන්න යන්නේ කියන එක වගේම සැප්තැම්බර් 14 පළවෙනි සමාලෝචනයට ලංකාවට එන අයිඑම්එෆ් කණ්ඩායමට අපි කියන්නේ, පෙන්වන්නේ කුමක්ද කියන දේ හොයලා බලන එකත් දුෂ්කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව ලංකාවට විස්තීර්ණ ණය පහසුකම අනුමත කළා කියලා විශේෂ ප්‍රකාශයක් කරමින් 2023.03.22 දා ජනාධිපති වික්‍රමසිංහ මහතා කියන්නේ රටක් විදිහට අපි අයිඑම්එෆ් වැඩසටහනට නිළ වශයෙන් ඇතුල් වුණා කියන දේ ප්‍රකාශ කරන ගමන්.
මේ විස්තීර්ණ ණය පහසුකම යටතේ අපිට ඇමරිකානු ඩොලර් බිලියන 3ක් වාරික වශයෙන් ලැබෙන්න නියමිතයි. එයින් මුල් වාරිකය විදිහට ඇමරිකානු ඩොලර් මිලියන 333ක් මේ වෙනකොට අපිට ලැබිලා තියෙනවා.
මෙම විස්තීර්ණ ණය පහසුකම අනුමත කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා කිව්වේ ශ්‍රී ලංකාව මතබේදයට තුඩු දීලා තියෙන බදු ප්‍රථිපත්ති වහාම ප්‍රතිසංස්කරණවලට ලක්කරන්න ඕනෑ කියලා. ඇය රාජ්‍යයේ වියදම් කළමනාකරණය කළ යුතුයි කියලා කියන ගමන් බලශක්ති සහනාධාර වගේ දේවල් ඉවත් කළ යුතු බවත් කිව්වා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ විස්තීර්ණ ණය පහසුකම ප්‍රධානය කරන ගමන් අපි මෙන්න මේවා කරන්න ඕනෑ කියලා කොන්දේසි විශාල ප්‍රමානයක් දැම්මා. අරමුදල පැත්තෙන් සාර්ව ආර්ථික ස්ථායිතාවය ඇති කරගැනීම, ණය තිසරභාවය, සමාජ ආරක්ෂණ දැලක් නිර්මානය කිරීම, මූල්‍ය ස්ථායිතාවය පවත්වාගෙන යෑම, රාජ්‍ය යාන්ත්‍රනය ප්‍රතිසංස්කරණය කළ යුතු බව, ආර්ථික ප්‍රතිසංස්කරණ කළ යුතු බව, වංචාව සහ දූෂණය අඩු කිරීම සඳහා දූෂණ මර්ධන නීති හඳුන්වා දීම වගේ ගොඩක් දේවල් ඒ අතර කියවුණා.
රටේ ආර්ථිකය ගොඩදමා ගන්න ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉස්සරහට 16 වතාවක් ගිහිං තිබෙනවා කියන දේ අමතක කරන්න හොඳ නෑ. මෙවර අපි එහි යන්නේ 17 වෙනි වතාවට. රට ආර්ථික වශයෙන් හොඳටම බංකොළොත් වුණාට පස්සේ. මේ තත්ත්වය අස්සේ අයිඑම්එෆ් එක දාන මේ කොන්දේසි ඉතාමත් වැදගත්.
ඉතිං මෙහෙම ඉතිහාසයක් තිබෙනකොට, අපි ගැන මෙවර හොඳටම බලනවා ඇති කියලා ඕනෑම කෙනෙක්ට හිතෙන්න පුලුවන්. එහෙම බැලුවාම මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පහුගිය කාලේ අපි මොනවද කළේ කියලා කල්පනා කරන්න වෙනවා. එහෙම කල්පනා කළාම ඊළඟ වාරිකය ලැබෙන එකක් නෑ කියලා ඔබට හිතෙනවා නම් ඒකත් සාධාරණයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරන්න කියපු වැඩ වලින් අපි ඇත්තටම මේ වෙනකොට කොච්චර කරලා ඉවරයිද? තව කොපමණ කරන්න තියෙනවාද? මේ සමාලෝචනයේදී ඔවුන් බලනවා ඇත්තේ ඒකයි.
PublicFinance.lk* ෆේස්බුක් පිටුවට ගියාම ඔවුන් IMF මීටරේ ජූනි මාසේ වෙනකම් අප්ඩේට් කරලා තිබෙනවා, බලන්න පුලුවන්.
ඔවුන් කියන විදිහට සැප්තැම්බර් මාසයේ අපේ පළවෙනි විවරණය නැතිනම් සමාලෝචනය කරනකොට, අපි කැපවීම් 71ක් සම්පුර්ණ කරන්න ඕනෑ. හැබැයි ජුනි මාසේ වෙනකොට ඉවර කරලා තිබෙන්නේ කැපවීම් 33යි.
දැන් කාටහරි හිතෙන්න පුලුවන් මේ කතාකරන්නේ ජුනි මාසෙනේ දැන් සැප්තැම්බර් මාසෙත් පටන් අරගෙන සමාලෝචනය සිද්ධවෙන දවසත් ළඟයි ඒනිසා දැන් වෙනකොට සියල්ල අහවර කරලා හොඳ ළමයි වගේ ඇති කියලා. ඇත්තටම ඒක එහෙම නෑ.
පසුගිය 28 වෙනිදට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න දින දාගෙන හිටියත් ඒක සැප්තැම්බර් 11 වෙනකම් කල් ගියා කියලා අපි හැවෝම මේ වෙනකොට දන්නවා. දැන් බදු සංශෝධනය පිළිබඳ පනතත් කල් යාවි කියලා කියනවා. එහෙම තත්ත්වයක් අස්සේ සැප්තැම්බර් මාසේ මැද වෙනකොට මේ ඉතුරු ටික කරගන්න ලැබෙන එකක් නෑ කියලා තමයි පේන්න තියෙන්නේ.
අනෙක් පැත්තෙන් සේවකයන්ගේ විශ්‍රාමික අරමුදල් වලට මොනවද වෙන්න යන්නේ කියන දේ එක්ක වෘත්තිකයෝ පාරට ඇවිත්. මේ තත්ත්වය එක්ක ආණ්ඩුවට ලේසි වෙන පාටක් නෑ.
ජූනි මාසේ වෙනකොට අයිඑම්එෆ් එක කියපු වැඩ වලින් අපි 33ක් ඉවර කළා කියලා තමයි කියන්නේ. 8ක් කරල නැහැ.14ක් දන්නෙ නැහැ කියලා තමයි ඉහත නම සඳහන් කරපු ෆේස්බුක් පිටුව වාර්තා කරන්නේ.
ඔවුන් කියන විදිහට නොකරපු වැඩ මීටරේ ජුනි මාසෙ වෙනකොට වැඩ හතරේ ඉදලා අටවෙලා. ඒ කියන්නේ ඉටුනොකරපු කැපකිරීම් ගණන වැඩි වෙලා.
මැයි මාසය වෙනකොට ඉටුනොකරපු කැපවීම් මොනවාද?
1. බදු ආදායම රුපියල් බිලියන 650ක් වෙනකන් ඉහළ දමා ගැනීම
2. ඔට්ටු සහ සුරා බදු පනත සංශෝධනය කිරීම
3. මහබැංකු පනතට අනුමැතිය ලබාගැනීම
4. ප්‍රසම්පාදන සහ බදු සහන ලබාදීම්වලට අදාළ තොරතුරු ඔක්කොටම බලාගන්න පුළුවන් වෙබ් අඩවියක් ස්ථාපනය කිරීම.
මෙන්න මේ දේවල් තමයි ජූනි මාසය වෙනකොටත් ඉටුවෙලා නැති දේවල්. ඊටපස්සේ ජූනි මාසේ මේ ගොඩට අලුතින් එකතුවුණ දේවල් තමයි මේ.
1. රජයට අයිති සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීමේ සැළැස්මට කැබිනට් අනුමැතිය ලබාගැනීම
2. දූෂණ විරෝධී නීති අලුත් කිරීම, අලුතින් පැනවීම
3. රජයට අයිති සමාගම් 52ක වාර්ෂික වාර්තා (Balance sheet) ප්‍රසිද්ධ කිරීම
4. ආනයන සීමා ක්‍රමයෙන් ඉවත් කරන සැළැස්ම ප්‍රසිද්ධ කිරීම
මැයි සහ ජූනි මාස වල මේ කතාව දිහා බැලුවාම ඔබට පේන්නේ මොකද්ද? මේක හොඳට නිරීක්ෂණය කළොත් ඔබට පේන්න ඕනෑ ආණ්ඩුව පස්ස ගහන්නේ මොනවා කරන්නද කියලා.
පැහැදිලිව පේන දේ තමයි වික්‍රමසිංහ ආණ්ඩුව නීති බලාත්මක කරන්න දක්වන උදාසීන ස්වභාවය. ඉබිගමනින් තමයි දූෂණයට විරුද්ධව කරන්න අවශ්‍ය වැඩ කරන්නේ. මහ බැංකු පනත, ඔට්ටු බදු සංශෝධනය වගේ පනත් කෙටුම්පත් දැනටම ප්‍රසිද්ධ කරලත් ඉවරයි. හැබැයි ඒවා පාර්ලිමේන්තුවේ විවාදයට ලක්වෙලා සම්මත වීම තවමත් ප්‍රමාදයි.
දූෂණ විරෝධී පනත නම් මේ වෙනකොට හොඳ තැනක තිබෙන්නේ. පසුගිය කාලය පුරාම කැසිනෝවලට බදු ගැහුවා කිව්වට රජය සතපහක බද්දක් අය කරගෙන නෑ. මෙන්න මේ තත්ත්වය අස්සේ ඔට්ටු බදු සංශෝධනය වගේ දේවල් වැදගත්. සුරාබදු වුණත් ලොකු ලොකු කොම්පැනිවලින් එකතුකරගෙන නෑ.
ලොක්කන්ට බදු සහන දෙනකොට සොක්කන්ට සාක්කුව හිස් වෙන්නම බදු ගහන රටේ බදු ප්‍රතිපත්තිය වෙනස් වෙන්න ඕනී කියලා අයිඑම්එෆ් එක කියනකොට ජනතාවගෙ පැත්තෙන් එන හඬ තමයි බදු ප්‍රතිපත්ති සැමට සාධාරණ වෙන්න ඕනෑ කියන දේ.
ණය ප්‍රතිව්‍යුහගතකරණය වුණත් සැමට සාධාරණ වියයුතුයි කියලයි ජනතාව කියන්නේ. EPF/ETF ප්‍රශ්නය වුණත් පිළිකාරණය වෙන්නේ එතනින්. අනෙක් හැවෝම බේරලා විශ්‍රාමික අරමුදල්වලට විතරක් ණය ප්‍රතිව්‍යුහගතකරණය අදාළ වීම විශාල ප්‍රශ්නයක්.
අනෙක් ප්‍රධාන ප්‍රශ්නයක් තමයි බදු සහන ලබාදීම. ආයෝජ විශාල ප්‍රමානයකට අසීමිත බදු සහන දුන්නත් ඒ බදු සහන නිසා රටට අත්වෙන ලාභය මොකද්ද කියන්න මහබැංකුව හෝ කිසි කෙනෙක් කිසි ආයතනයක් දන්නේ නෑ. කවුරුත් ඒ ගැන සොයා බලලා ඇගයීමක් කරලා නෑ. දේශපාලන සහචරවාදයේ ප්‍රථිපලයක් විදිහට නිරන්තරව බදු සහන ලබාදෙමින් ඉන්නවා.
මෙන්න මේ තත්ත්වය උඩ බදු සහන හිමිවෙලා තියෙන අය ගැන තොරතුරු ප්‍රසිද්ධ කරන ඔන්ලයින් වේදිකාවක් හදන්න කියලා අයිඑම්එෆ් එක කිව්වත් ඒක කෙරෙන පාටක් නෑ. මොකද කාටද බදු සහන දුන්නේ කියලා ප්‍රකාශ කළොත් ඒකෙන් ආණ්ඩුව සහ ඉහළ දේශපාලන පැළැන්තියට ඒක විශාල ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.
ධනකුවේරයන්ට බදු සහන දෙන ගමන් පොදු ජනතාවට බදු ගහන සංස්කෘතියේ අඳුරු චිත්‍රය ඒ හරහා නිරාවරණය වෙන්න පුලුවන්. ඒනිසා ආණ්ඩුව දිගින් දිගටම ඒ වැඩේනම් අතපසු කරලා පස්සට පස්සට දාන බව තමයි පේන්න තියෙන්නේ.
රජය සතු කර්මාන්ත 52ක වාර්ෂික වාර්තා ප්‍රසිද්ධ කරන බවට අපි කැපවීමක් දීලා තිබුණත්, 2022 අවුරුද්ද වෙනකන් එහෙම වාර්තා ප්‍රසිද්ධ කරලා තියෙන්නේ කර්මාන්ත 11ක් විතරයි කියලා තමයි ඉහත ෆේස්බුක් පිටුව වාර්තා කරන්නේ.
ජනතා මුදලින් නඩත්තු වෙන දුවන ආයතනවලට තමන් ගැන තොරතුරු දෙන්න කවුරුවත් කියනකම් ඉන්න ඕනෑද? නෑ. ඒත් ඇයි මේ තොරතුරු නොදෙන්නේ? නොදෙන්නේ මේ තොරතුරු හරහා විශාල වශයෙන් වංචා දූෂණ හෙළිදරව් වෙන්න පුලුවන් කියන බිය.
ඒ හරහා සහචරවාදය නඩත්තු කරමින් විශාල සල්ලියක් හම්බකරන්න යොමුවෙලා ඉන්න දූෂිත දේශපාලන සහ රාජ්‍ය නිළධාරී වළල්ල රටට හෙළිවෙයි කියන බය නිසා තමයි මේ තොරතුරු ප්‍රසිද්ධ නොකරන්නේ.
දැන් බලන්න තොරතුරු නැති කම නිසා ‘නොදනී’ කියලා වර්ග කරන්න වෙච්ච කැපවීම් ගණන ජූනි මාසය වෙනකොට 14ක් වෙනකන් ඉහළ ගිහිල්ලා. ඇත්තටම මේක අස්සේ තියෙන ඇත්තම ඇත්ත නොදනී කියන එකද? නැත්තං දෙන්න බෑ කියන එකද? කරන්න බෑ කියන එකද?
මෙයින් පේන පොදු සත්‍ය තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 2048 ගැන කතාකළත් මේ අර්බුදයෙන් රට ගොඩගන්නවා කිව්වත් වංචාව සහ දූෂණය තුරන් කරන්න ඔහු අනුගමනය කරන ඉබිගමන් ප්‍රතිපත්තිය. ඇත්තටම ඔහුගේ මේ චර්‍යාවෙන් පෙන්වන්නේ ඔහු වංචාව සහ දූෂණ පිළිගන්නවා කියන දේ. සහචරවාදය කියන එක තවදුරටත් පැවතිය යුතුයි කියලා ඔහු විශ්වාස කරන බව තමයි අපිට පෙන්නේ.
මේ තත්ත්වය අස්සේ මේ මාසේ අයිඑම්එෆ් පළමු සමාලෝචනය එනකොට අපිට ඉතුරු කරන්න ඕනී වැඩ එහෙමත් නැත්තං සඵල කරගන්න ඕනී කැපවීම් 38 කරගන්න පුලුවන්ද? එයට ලැබෙන උත්තරය උඩ අයිඑම්එෆ් වැඩසටහනේ අනාගතය තීරණය වෙනු ඇත…!
*Link – 🔴 IMF මීටරේ ජූලි අප්ඩේට් එකත් ආවා ඔන්න… – PublicFinance.LK | Facebook