-කේ. සංජීව-
එල් – නිනෝ කාලගුණ තත්ත්වය එක්ක අද ලංකාවේ හැමතැනකින්ම අහන්න දකින්න ලැබෙන්නේ වතුර නෑ කියන කතාව. පොළොන්නරුව මනම්පිටියේ පාලම යටින් ත්‍රිකුණාමලය දිහාට ගලන, ලංකාවේ දිගම ගඟ අද කුඩා දිය කඳුරක් වගේ වෙලා. නියඟයේ තත්ත්වය විස්තර කරන්න තවත් කතා අවශ්‍යයිද? ලංකාවේ ජල ගෝලය කැරකෙන්නේ ප්‍රධාන වශයෙන් නිරිත දිග සහ ඊසාන දිගින් රට අස්සට එන මෝසම් වැහි කෝඩ සුළං ප්‍රවාහ උඩ.
ලංකාවට වැඩිම වර්ෂාපතනය ලබාදෙන්නේ නිරිතදිග මෝසම කිව්වොත් ඒක තමයි ඇත්ත. බක් මහා අකුණු තමයි මේ මෝසම එනවා කියන්න තියෙන සළකුණ. මේ මෝසම හරියට ආවොත් මැයි මාසේ ඉදලා සැප්තැම්බර් වෙනකම් මාස 5ක් වහිනවා අනෝරා වැහි. මේ කාලගුණ තත්ත්වය හරියටම සක්‍රීය වුණොත්, මේ කාලෙදි තමයි සබරගමුව සහ දකුණු පළාතේ ගාල්ල මාතර කියන දිස්ත්‍රික්ක දෙක වගේම, කළුතර දිස්ත්‍රික්කයට ගංවතුර එන්නේ.
අපි තවමත් නිරිතදිග මෝසමෙන් රට අස්සට අරගෙන එන වතුර කන්දෙන් නිසි ප්‍රයෝජනයක් ගන්නේ නෑ. බොහෝ වෙලාවට වෙන්නේ කළුගඟ, ගිංගඟ සහ නිල්වලා ගඟ හරහා මේ ජලය මුහුදට ගලාගෙන යන එක. මේ නිරිතදිග මෝසම් කාලයත් එක්ක තමයි ‘යල’ කියන කන්නය ගොඩනැඟිලා තිබෙන්නේ.
මේ ගමන එල් නිනෝ තත්ත්වයක් හදිස්සියේ උදාවෙලා නිසා නිරිත දිග මෝසම හරියට සක්‍රීය වුණේ නෑ. නිරිත දිගින් සුළං ප්‍රවාහ වෙනදට වඩා අඩුවෙන් ආවත්, ඒවායෙන් මධ්‍යම කඳුකරයට වර්ෂාව ලැබුණේ නෑ. කොළඹ, ගාල්ල, මාතර, රත්නපුරේ වගේ පැතිවලට යාන්තම් වැස්ස වැටුණා විතරයි. මේ තත්ත්වය නිසා අද වෙනකොට ලංකාවම වියලී යන තත්ත්වයක් තමයි උදාවෙලා තිබෙන්නේ.
විශේෂයෙන් අධික තෙතමනයක් සහිත දුම්බර, නකල්ස් පවා අද වෙනකොට වියලිලා. බොහෝ දිය ඇලි දිය කෙඳි බවට පත් වෙලා. මේ තත්ත්වය පාලකයෝ හරියට අඳුරගත්තා නම් ජලාශවල ජලය ආරක්ෂා කරගෙන පරීස්සමට ඒක කළමනාකරණය කරගන්න ඉඩකඩ තිබුණා, ඒත් ඒක එහෙම වුණාද කියන එක තමයි ප්‍රශ්නය.
මධ්‍යම කඳුකරය ආශ්‍රතව මෝසම් වැහි බලපෑම් කලාපය තුළ ගොඩනඟලා තිබෙන මහවැලි ජලාශවල ජල මට්ටම විශාල වශයෙන් දැන් පහළ ගිහිං. ඇත්තටම මේ තත්ත්වයට හේතුව හිටිගමන් සක්‍රීය වුණ එල් – නිනෝ තත්ත්වයද? නැත්තන් කළමානාකරණයක් නැතිකමද? කොටින්ම මේ අර්බුදයට හේතුව රාජ්‍යයේ පවතින බිඳවැටුණ ස්වරූපයද?
ජල අර්බුදයට හේතුව කුමක්ද?
පසුගිය අගෝස්තු 21 වෙනිදා වෙනකොට කොත්මලේ සක්‍රීය ජල ධාරිතාවය 51.1%කට අඩුවෙලා. මහවැලි ජලාශ සිතියම බැලුවොත් මේක තමයි ඉහළින්ම තිබෙන ජලාශය. මහවැලියේ සිරස තමයි කොත්මලේ ජලාශය. කොත්මලේ ජලාශයේ ජලය අඩුවීම මහවැලි ‘එච්’ කලාපයේ වී ගොවිතැනට කෙලින්ම බලපානවා. ඒකට හේතුව තමයි කොත්මලේ ජලය පොල්ගොල්ලෙන් බෝවතැන්න පැත්තට හැරෙව්වාම තමයි, ඒ ජලය අවසානයේ කලා වැවට යන්නේ.
බෝවතැන්න ජලය තවමත් යම් සැලකිය යුතු මට්ටමක තිබෙන නිසා මහවැලි ‘එච්’ කලාපයට වතුර මුර තුන දෙන්න පුලුවන් වෙයි කියලා හිතුවත් අද වෙනකොට ඒකත් වෙනස් වෙලා. ඒක ගැන පස්සේ කියන්නම්. නැවත ජලාශ ධාරිතාවය දිහාට යමු. පිළිවෙලට අනෙක් ජලාශවල පසුගිය අගෝස්තු 21 වෙනිදා වෙනකොට ප්‍රයෝජනයට ගන්න පුලුවන් ජල මට්ටම් විස්තරය මෙහෙම ලියාගෙන යන්නම්.
වික්ටෝරියා ජලාශය – 27.6%, රන්දෙණිගල ජලාශය – 4.5%, රණ්ටැඹේ ජලාශය – 20.6%, බෝවතැන්න ජලාශය – 40.4%, කාසල් රී ජලාශය – 32.4%, මාවුස්සාකැලේ ජලාශය – 35.5%, සමනැළවැව – 1.5%, උඩවළව – 0.6% ජලාශවල ජල මට්ටම මෙහෙම පහළ යන්න හේතුව මොකද්ද? වැස්ස නැතිකමද? එහෙම නැත්තං නිසි කළමනාකරණයක් නැතිකමද?
කොත්මලෙන් එන වතුර ටික පොල්ගොල්ලෙන් වික්ටෝරියා පැත්තට හැරෙව්වොත් තමයි අපිට ජල විදුලි බලාගාර ටික ක්‍රියාත්මක කරගන්න ලැබෙන්නේ. වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ මේ ජලාශ සේරගෙම ජනන හැකියාව බැලුවාම පොල්ගොල්ලෙන් වතුර ටික වික්ටෝරියා පැත්තට හැරෙව්වාම මෙගාවොට් 380ක් විතර උපද්දවන්න පුලුවන්. බෝවතැන්න පැත්තට හැරෙව්වොත් අපිට උපද්දවන්න පුලුවන් විදුලි බල පරිමාව තමයි මෙගාවොට් 88ක් විතර. දැන් මොකද්ද වෙලා තිබෙන්නේ කියලා ඔබට යම් තාක් දුරකට වැටහෙන්න ඕනී.
අපි දන්නවා පහුගිය කාලේ මාඳුරුඔය ජලාශය, උල්හිටිය ජලාශය වාන් දාලා වතුර අපතේ ගියා කියලා. මෙන්න මේක තමයි කතාව. උපරිම කාර්‍යෂමතාවයකින් ටර්බයින් ටික කරකවන්න වතුර වික්ටෝරියා පැත්තට හැරෙව්වාම අපිට ප්‍රශ්නයක් නැතුව ජල විදුලිය ලැබෙනවා. තාප විදුලි බලාගාර වලින් නිපදවන්න අවශ්‍ය කරන විදුලි ඒකක ගාන අඩුවෙනවා.
එතකොට විදුලි බල මණ්ඩලයට තවත් ලාභයි. මොකද ජලයෙන් විදුලිය නිපදවන්න ගියාම ඒකකයට වැය වෙන්නේ රුපියල් 3.50ක් වගේ සොච්චම් මුදලක්. හැබැයි ඩීසල් බලාගාර වලින් විදුලිය ගන්න ගියොත් ඒකකයට රුපියල් 85 ත් 90ත් අතර මුදලක් වැය කරන්න වෙනවා. එතකොට ටර්බයින් ටික වැඩිපුර ගොවිතැන ගැන නොහිතා හරි කරකෝ ගත්තොත් විදුලිබල මණ්ඩලයට අමතර ලාභයක් ලැබිය හැකියි.
මේ වෙනකොට වාර දෙකකට විදුලි බිල අසීමිතව වැඩි කරලා ලාභයක් ලබමින් ඉන්න විදුලියට, මේ හරහාත් විශාල මුදලක් ලාභය විදිහට ලැබෙනවා. එහෙම වුණාම එක පැත්තකින් විදුලි බල හා බල ශක්ති ඇමතිවරයාගේ දිස්නය වැඩිවෙනවා. ඔහු ගැන ජනප්‍රියතාවය වැඩිවෙනවා. ‘බලන්නකෝ මේ තරුණ ඇමතිතුමාගේ දක්ෂතාවය, රටටම කපන්නේ නැතිව විදුලියත් දෙනවා, මණ්ඩලයත් ලාභ පිට තමයි දුවන්නේ’ මිනිස්සු එහෙම කියන්න පටන් ගන්නවා. ඒත් මේක නිවැරදි ක්‍රමයද? අන්න ඒකයි ප්‍රශ්නය..!
මේ කෙරුවාව නිසා මාඳුරුඔය සහ උල්හිටිය පිටාර ගලලා අපතේ ගිය ජල පරිමාව කියුබික් මීටර් මිලියන 57ක් කියලා තමයි වාර්තා වෙන්නේ. මේ අවුරුද්ද පටන් ගන්නකොට ජනවාරි මාසේ ගිගාවොට් පැය 900ක් හදන්න ජලය තිබුණා මේ ජලාශවල. අද වෙනකොට ඒ ධාරිතාවය ගිගාවොට් පැය 300කට අඩුවෙලා. මේකෙන් පේනවා අපි මේ කියන කතාවේ සත්‍යාසත්‍යතාවය.
මේ කාලය අස්සේ සමස්ථ විදුලි බල නිශ්පාදනයෙන් 36.1%ක් නිශ්පාදනය කරලා තියෙන්නේ ප්‍රධාන ජල විදුලි බලාගාර පද්ධති තුන හරහා කියන දත්තයෙන් මේ අප කතාකරණ කරුණ තවදුරටත් සනාථ වෙනවා. කොහොම වුණත් මේ විදිහට අපතේ ගිය ජල පරිමාව කාසල්රී ජලාශයේ සමස්ථ ජල පරිමාවට සමානයි. දැන් ඔබට තේරුන් ගන්න පුලුවන් වෙන්න ඕනී මේ ජලය අනුරාධපුරය පැත්තට නිසි කළමනාකරණයක් යටතේ මුදාහැරියා නම් මේ ගොවිබිම් වියලී යාමේ අර්බුදය එන්නේ නෑ කියන එක.
ජල කළමනාකරණ කමිටුව
යල කන්නයට අදාළ ජල කළමනාකරණ කමිටුව පසුගිය මාර්තු 23 වෙනිදා පෙරාදෙණිය ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු සහ සන්නිවේදන මධ්‍යස්ථානයේදී රැස්වෙලා තිබෙනවා. මේ කන්න රැස්වීම කියන්නේ වාරිමාර්ග, මහවැලි, කෘෂිකර්ම, විදුලිබල, කාලගුණ වගේ අදාළ සියලු ආයතන ප්‍රධානීන් එකතැනකට එකතුවෙලා දත්ත සමාලෝචනය කරමින් ඉදිරි කන්නයේ ජල කළමනාකරණය සහ කෘෂි කළමනාකරණය පිළිබඳව තීන්දු තීරණ ගන්න තැන.
මේ රැස්වීමට සහභාගී වුණ කෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්භාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඒ ඩී අබේසේකර මහත්මිය අපේක්ෂිත කාලගුණ තත්ත්වය ගැන වාර්තාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කරනවා අන්තර් මෝසම් තත්ත්වය සක්‍රීය වුණත්, මධ්‍ය කඳුකරයට වර්ෂාව අඩුවෙන්න පුලුවන් කියලා. මේ කතාව එදා අනෙකුත් අංශයන් බරපතළව ගත්තාද?
ඊට පස්සේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පැවති මෝසම් කතිකාවතේදීත් (මෙයට ජලය හා සම්බන්ධ සියලු ආයතන ප්‍රධානීන් සහභාගී වෙනවා) එල් නීනෝ තත්ත්වය නිසා ඔක්තෝම්බර් මාසය වෙනකම් මධ්‍යම කඳුකරයට වැසි ප්‍රමානවත්ව ලැබෙන්නේ නෑ කියලා පුරෝකථනයක් කළා කියලා කියනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය මාධ්‍යට කතාකරමින් තම ආයතනය මෙහෙම තත්ත්වයක් පෙර දැනුන් දුන්නා කියලා තහවුරු කරනවා. ඇයි එහෙනම් මෙහෙම උනේ? දැන් තිබෙන ප්‍රශ්නය ඒකයි..!
ඒත් මේ කිසි දෙයක් සලකන්නේ නැතිව තමයි කන්නයේ වගා සැළසුම නිර්මානය කරලා තිබෙන්නේ සහ ගොවියන්ට වගාව සඳහා උපදෙස් ලබාදීලා තිබෙන්නේ. මේකට හොඳම නිදසුන තමයි මහවැලි ‘එච්’ කලාපයේ වගා සැලසුම සහ වතුර බෙදාදීමේ සැළසුම.
2023/07/10 වෙනිදා ජල කළමනාකරණ මහලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂ නිලන්ත ධනපාල මහතා කොත්මලේ ජලාශයේ ඒ වෙලාවේ තියෙන ජල ධාරිතාවය ගැන මහා උජාරුවෙන් කියන්නේ මහවැලි ‘එච්’ කලාපයට අවශ්‍ය ජල මුර තුන කිසිඳු අඩු කිරීමක් නැතුව දෙන්න හැකියාව තිබෙනවා කියලා. අද වෙනකොට කොත්මලේ ජලාශයේ ජල ධාරිතාවය 51%කට අඩුවෙලා. කොත්මලෙන් වතුර දෙනවා තියා මේ ජල ධාරිතාවය 40%කට වඩා අඩු වුණොත් ඒක සමස්ථ විදුලි බල පද්ධතියටම බලපානවා කියන එක තමයි ඇත්ත..!
මේ පසුබිමේ කොත්මලෙන් කලා වැවට දෛනිකව නිදහස් කරනවා කියපු ජලය අක්කර අඩි 2000 දැන් අක්කර අඩි 600ට බැහැලා. කලා වැවේ දකුණු ඇලෙන් එළියට අක්කර අඩි 934ක් දාන වෙලාවේ කලා වැවට දෙන්නේ අක්කර අඩි 600යි, ගොවියෝ අහන්නේ මොකද්ද මේ ගණිතය කියලා. මහවැලි එච් කලාපය තමයි මහවැලි කලාප අතරින් වැඩිම අස්වැන්නක් දෙන කලාපය. මේ තත්ත්වය අස්සේ වළව කලාපයේ ගොවීන්ට සිද්ධවුණ දේම දැන් මහවැලි ‘එච්’ කලාපයට සිදුවෙමින් තිබෙනවා.
සමනැල වැව කතාවමේ චිත්‍රයේම කුඩා කෑල්ලක් විතරයි පහුගිය දවසේ සමනැල වැව මුල් කරගෙන ඇතිවුණ තත්ත්වය. මේකෙදී විදුලි බල ඇමතිවරයා කෂිකර්ම ඇමතිවරයා සහ වාරි මාර්ග ඇමතිවරයා හරි සම්බන්ධීකරණයකින් සහ විද්‍යාත්මකව හිතලා තීන්දු තීරණ නිසි කලට ගත්තනම්, තම තමන්ගේ ඊගෝවන් පසෙක තියලා, පිදුරු ආරක්ෂා කරගන්න වතුර නොදී, පූදීන ගොයමට වතුර ටික දෙන්න තිබුණා.
සමනැල වැව ජල ධාරිතාවය ගැන හරියට හිතුවා නම් ඕනෑම කෙනෙක්ට තේරෙන්න ඕනී ඔය ජලයෙන් දකුණට දිගටම විදුලිය දෙන්න බෑ කියන දේ. ඒ නිසා මේ කරන දේ නිසා අන්තිමට විදුලියත් නෑ ගොයමත් නෑ කියලා තේරෙන්න ඕනෑ. ඇත්තටම අන්තිමට උනේ ඒක. ඒ වෙලාවේ විදුලි බල ඇමතිවරයාට මොළයක් තිබුණා නම් ඔහුට කරන්න තිබුණේ වහාම ක්‍රියාත්මක වෙලා සිරිපාගම ඉඩම් ගැටලුව නිරාකරණය කරලා දකුණේ විදුලිය ජාතික පද්ධතියට එකතු කරන එක.
ඒ මීටර් 600යේ වයර් එක අදින එකට ප්‍රමුඛතාවය නොදී දිගටම සමනැල වැවේ ටර්බයින් එක කරකවන්න කල්පනා කරපු නිසා අද වළව කලාපයේ හම්බන්තොටට යනකම් කුඹුරු හෙක්ටයාර් 7000ක් විතර වගාවන් විනාශ වෙලා. දැන් තියෙන්නේ වන්දි ලබාදෙන්න. ඊට අමතරව දකුණට විදුලිය දෙන්න පුද්ගලික අංශයෙන් හදිස්සි මිලදී ගැනීම් කරන්නත් සිද්ධ වෙලා තියෙනවා. ඇමතිතුමා හරියට බුද්ධිමත්ව තීන්දුව ගත්තනම් අද වන්දියක් දෙන්න වෙන්නේ නෑ විදුලිය මිලදී ගන්න විතරයි වෙන්නේ.
රජය කියන්නේ හෙක්ටයාර් එකකට රුපියල් 40000ක උපරීමයකට යටත්ව වන්දි දෙනවා කියලා. ඒත් ගොවියෝ කියන්නේ දැන් පවතින මිල ගණන් එක්ක ඒ මුදල ප්‍රමානවත් නෑ කියලා. දැන් රුපියල් හතලිස් දාහ හෝ විදුලි බල අමාත්‍යවරයාගේ සාක්කුවෙන් දෙන මුදල් නෙවෙයි. මහා භාණ්ඩාගාරයෙන් දෙන්න වෙන මුදල්.
මේ වෙනකොට දිස්ත්‍රික්ක 17 ක ජනතාවට මේ වියලි කාලගුණය දැඩිව බලපාල තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තාවලට අනුව පවුල් 72100ක පුද්ගලයින් 248501 දෙනෙක් මේ නිසා දැඩි පීඩාවකට පත්වෙලා තිබෙනවා.
එල් නීනෝ වගේ කාලගුණ තත්ත්වයක් වෙනස් කරන්නට බැරිවුණත් කාලගුණ දෙපාර්තමේන්තුව වගේ ආයතනයන් හදලා තියෙන්නේ මේවගේ තත්ත්වයන් කල්තියා හඳුනගෙන ඒවට ලෑස්තිවෙන්න අවශ්‍ය මූලික මඟපෙන්වීම අනෙකුත් රාජ්‍ය ආයතනවලට කරන්න. කන්න රැස්වීම්, මෝසම් කතිකාව, වගේ දේවල් ගොඩනඟලා තිබෙන්නේ එන්න නියමිත ඕනෑම තත්ත්වයකට පූර්වයෙන් සූදානම් වෙන්න.
මෙවර කන්න රැස්වීම් ජලකළමනාකරණ රැස්වීම් පවා නියමිත අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වුණේ නෑ කියලා තමයි දැනගන්න තිබෙන්නේ. ඒවා අද කතා සාප්පු විතරක් වෙලා. මේ නිසා සැළසුම් සහගත ගොවිතැන සිද්ධ වෙන්නේ නෑ. කෘෂිකර්ම අමාත්‍යාංශයක් තිබුණට රට හැමතැනම වගා නිළධාරීන්, ගොවි නිළධාරීන් හිටියට, අපේක්ෂිත අරමුණු කිසිවක් ඉටුවෙන්නේ නෑ කියලා තමයි මේ සිද්ධවෙන දේවල් වලින් පේන්නේ.
හම්බන්තොට විශාල වශයෙන් ගොඩ ගොවිතැන කරපු ගොවීනුත් අද අමාරුවේ වැටිලා. මඩ ගොවිතැන කරපු අයත් අමාරුවේ වැටිලා. නිසි කළමනාකරණයක් තිබුණා නම් මේ දෙකම විනාශ වෙන්න විදිහක් නෑ. වළව කලාපයේ විතරක් නෙවෙයි මහවැලි ‘එච්’ කලාපයෙත් තත්ත්වයත් මේක. ගොවීන්ට වතුර මුර තුනම දෙන්නම් කියනකොට කාලගුණේ කියන දේ ඇහුනේ නැද්ද? එහෙම නැත්තං මෝසම් කතිකාවතේදී කාලගුණ දෙපාර්තමේන්තුව කියපු දේ අමතක කරලද මහවැලි ‘එච්’ ගොවියන්ට මෙහෙම පොරොන්දුවක් දුන්නේ?
අවසානයේ කියන්න තියෙන්නේ, රාජ්‍යයේ බිඳ වැටීමේ ප්‍රමානය තමයි මේ පේන්නේ කියන එක. අමාත්‍යාංශ තිබුණට, කාර්‍යභාර නිළධාරීන් හිටියට, තීන්දු තීරණ ගන්න ඇමතිවරුන් ලේකම්වරුන් හිටියට, අවශ්‍ය දේ සිද්ධ වෙන්නේ නෑ, කියන දේ තමයි මේ පේන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් රටකට අවශ්‍ය වෙන්නේ මේවගේ තත්ත්වයන් උදාවෙන්න කළින් ඒ අවශ්‍ය දැනුම අවශ්‍ය අංශ වෙත ලබාදෙන්න, දුන්නත් ඒ ඒ අංශ ඒක භාරගන්න, ඒ අනුව වැඩ සැළසුම් කරන්න සූදානම් නැත්තං, ඒකෙන් කියන්නේ සිස්ටම් එක නියමිත විදිහට දුවන්නේ නෑ කියන දේ. ඒනිසා මේ බොහෝ ප්‍රශ්නවල අභ්‍යන්තරයේ තියෙන්නේ ගැඹුරු දේශපාලන ප්‍රශ්නයක්..!