You are currently viewing ක්‍රියාමාර්ග ගැනීම ද කූඹීන් විසින් කා දමා ඇත…!

ක්‍රියාමාර්ග ගැනීම ද කූඹීන් විසින් කා දමා ඇත…!

-කේ. සංජීව-

සීනි බදු වංචාවෙන් සිදු වූ පාඩුව අයකර ගැනීමට මුදල් අමාත්‍යාංශය මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් එම කාරකසභාව පසුගිය දා මුදල් අමාත්‍යාංශයේ නිළධාරීන් ප්‍රශ්න කළ අතර එහිදී ඔවුන් පිළිතුරු ලෙස ප්‍රකාශ කර ඇත්තේ තම අමාත්‍යාංශය ඒ පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දැනුවත් කරමින් සිටින බවය.

කෙසේ වුවත් මෙහිදී එම කාරක සභාවේ දැඩි අප්‍රසාදය මුදල් අමාත්‍යාංශ ඉහළ නිළධාරීන්ට දන්වා ඇත. එහිදී එයට ප්‍රතිචාර ලෙස එම නිළධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් තිබෙන නිසා, එම තීරණයෙන් පසුව ඉදිරි කටයුතු සිදු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව තමන්ට උපදෙස් දී ඇති බවයි.

මේ පිළිතුරට සිනහා වෙනවා හැරෙන්නට කරන්නට දෙයක් නැත. පසුගිය දා අයිඑම්එෆ් යෝජනා ගැන කතානායකවරයා පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු තීන්දු තීරණ අධිකරණයේ අභියෝගයට ලක්කරන්නට නොහැකි බවය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ප්‍රකාශ කළේ තමන්ට අදාළ වන්නේ පාර්ලිමේන්තුව කියන දේ පමණක් බවය. ආණ්ඩුවේ තීරණය හරි හෝ වැරදි මෙයනම් තීරණය; සීනි බදු වංචාවට ආදාළව ක්‍රියාමාර්ග තේරීමේදී එම තීරණය අදාළ නොවන්නේ ඇයි?
2022 දෙසැම්බර් 05 දා එවක රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති කබීර් හෂීම් මහතා, මෙම සීනි බදු වංචාව පිළිබඳව තම කාරක සභාවේ මතය වාර්තාවක් ලෙස ඉදිරිපත් කර ඇත. එම වාර්තාවේ තිබෙන විදිහට රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව නියෝග 07ක් මේ සම්බන්ධව මුදල් අමාත්‍යාංශය වෙත යොමුකර ඇත. ඒවාද පාර්ලිමේන්තුවේ තීන්දු තීරණ බව ප්‍රකාශ කළ යුතුය. එහෙත් ක්‍රියාමාර්ග තවමත් නැත. ක්‍රියාමාර්ග කූඹි කා ඇත..!

මොකද්ද මේ බදු වංචාව

පසුගිය කාලයක් පුරා අපි බැඳුම්කර නම් වංචාවක් අල්ලාගෙන දෙස් දෙවොල් තැබුවෙමු. එහෙත් කිවයුතු වැදගත් කාරණාව නම් සීනි බදු වංචාවේ පරිමාව ඊටවඩා විශාල බවය. එහෙත් ඒ පිළිබඳව අර තරමට ඝෝෂාවක් හෝ හා හූවක් නැත. ඒ ඇයි? එයට හේතුව මෙයට සම්බන්ධ පාර්ශවයන් පොදුජන පෙරමුණ තුරුලේ නැළවෙන උදවිය නිසා වන්නට බැරි නැත.

ඇත්තටම කුමක්ද මේ වංචාව, මේ පිළිබඳව ගැඹුරු කරුණු අධ්‍යයනයක් විගණකාධිපති දෙපර්තමේන්තුව විසින් සිදුකර ඇත. ඒ එවක රාජ්‍ය මුදල් කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කළ ඉල්ලීමකට අනුවය.

එහිදී මන්ත්‍රීවරයා ඉල්ලා ඇත්තේ මෙම බදු සංශෝධනය නිසා රජයට සිද්ධවුණ පාඩුව සොයාබැලීම සඳහා වෝහාරික විගණනයක් සිදුකරන ලෙසය. ඒ අනුව 2022 අප්‍රේල් 07 දා මෙම ඉල්ලීමට අදාළව සිදුකළ වෝහාරික විගණනයේ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන්නට විගණකාධිපතිවරයා කටයුතු කර ඇත.

එම විගණන වර්තාවේ කරුණු මොනවාද?

1. විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25ක් දක්වා අඩු කළ 2020 වසරේ ඔක්තොබර් 14 වැනිදා සිට, සීනි සඳහා පැවැති පාලන මිල ඉවත් කළ 2021 වසරේ පෙබරවාරි 08 වැනිදා දක්වා වූ මාස හතරක කාලය තුළ පමණක් රජයට රුපියල් මිලියන 16,763ක බදු ආදායමක් අහිමි වී ඇත.

2. සීනි කිලෝග්‍රෑම් 1ක බද්ද රුපියල් 49.75කින් අඩු වුවද, බදු අඩු කළ මාසයෙන් පසු මාස තුනක වෙළඳපොළ තුළ පැවති සාමාන්‍ය මිල සලකා බැලීමේදී සීනි කිලෝග්‍රෑම් එකක මිල අඩුවීම රුපියල් 18/- පමණක් විය.

3. බදු අඩු කිරීමෙන් පසු සාමාන්‍ය මාසික සුදු සීනී ආනයනය 73%කින් ද දුඹුරු සීනී ආනයනය 235%කින් ද වැඩි වී ඇත.

4. විගණනයට බදුන් කළ කාල සීමාව තුළ සමස්ත සුදු සීනි ආනයනයෙන් 45%ක් ‘පිරමීඩ් විල්මාර් සමාගම’ විසින් ආනයනය කර ඇති අතර එම සමාගමේ ආනයනික ප්‍රමානය 1222%කින් වර්ධනය වී ඇත.

5. බදු අඩු කිරීමට ප්‍රථම ‘පිරමීඩ් විල්මා‍ර් සමාගම’ විසින් ආනයනය කර බන්ධිත ගුදම්වල රඳවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 7468ක් බදු අඩු කළ දිනයේදීම කිලෝවකට සත 25 බැගින් බදු ගෙවා නිදහස් කරගෙන ඇත. එමගින් එක දිනක් තුළ එම සමාගමට රුපියල් මිලියන 378ක බදු වාසියක් හිමිවී ඇත.

6. බදු අඩු කිරීමෙන් පසුව සීනි සඳහා රුපියල් 80/- පාලන මිලක් නියම කළ ද 2020 ඔක්තෝම්බර් මාසයේ සිට 2021 පෙබරවාරි දක්වා සීනි මිල රුපියල් 90/- සිට රුපියල් 101/- දක්වා වැඩිවී ඇත.

7. තොග වෙළඳුන් හා ආනයනකරුවන් පාලන මිල ඉක්මවා සීනි අලෙවි කරන්නේද යන්න පිළිබඳව සොයාබැලීම් සඳහා වටලීම් සිදුකර නැත.

8. සීනී ආනයනය සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දුන්නද එය ක්‍රියාත්මක කිරීම දින 18ක් ප්‍රමාද කිරීම නිසා එම කාල සීමාව තුළ සීනි මෙට්‍රික් ටොන් 101,527ක් බලපත්‍ර නොමැතිව ආනයනය කර ඇත.

9. මෙලෙස බලපත්‍ර නොගෙන ආනයනයන් සිදුකිරීමේදී එම භාණ්ඩ වෙනුවෙන් අයකළ යුතු 5%ක අතිරේක ගාස්තුව ආනයන සහ අපනයන පාලක ජනරාල් විසින් සිය අභිමතය පරිදි 2% දක්වා අඩුකර අයකිරීම නිසා රජයට රුපියල් මිලියන 433ක මුදලක් අහිමිවී ඇත.

10. සිනී ආනයනය සීමා කිරීම සඳහා ආනයන බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දුන්නද ඉන්පසුව සීනි ආනයනය 47%කින් වැඩිවී ඇත.

11. මෙම බදු සංශෝධනය නිසා සතොසට සිදුවූ අලාභය රුපියල් මිලියන 102ක් පමණ බව.

මෙවැනි වැදගත් නිරීක්ෂණ රැසක් මෙම වෝහාරික විගණනය හරහා අනාවරණය වී ඇත. අපි දැන් මෙම කරුණු හරහා තවදුරටත් මෙම බදු වංචාවේ ඇතුලාන්තයට යමු. ඇත්තටම මෙය බදු වංචාවක් වන්නේ කෙසේද?

වංචාවක් කියන්නේ ඇයි?

මෙම විගණනයෙන් වැදගත් කරුණක් අනාවරණය වෙයි. එය කුමක්ද? – “බදු අඩු කිරීමට ප්‍රථම ‘පිරමීඩ් විල්මා සමාගම විසින් ආනයනය කර බන්ධිත ගුදම්වල රඳවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 7468ක් බදු අඩු කළ දිනයේදීම කිලෝවකට සත 25 බැගින් බදු ගෙවා ඉවත්කරගෙන ඇත. එමගින් එක දිනක් තුළ එම සමාගමට රුපියල් මිලියන 378ක බදු වාසියක් හිමිවී ඇත”

මෙම කරුණ ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? ‘බන්දිත ගුදමක්’ යනු රේගු බදු නොගෙවා ගුදමක භාණ්ඩ තැන්පත් කර තබන ගබඩාවයි. ඒ සඳහා අවසර හිමි වන්නේ රජයෙන් ලබා දෙන භාණ්ඩ ප්‍රමාණයක් අනිවාර්යෙන්ම එහි තැන්පත් කර තිබීම හරහාය.

ඒ භාණ්ඩ සඳහා බදු අය කරන්නේ භාණ්ඩ නිදහස් කර ගන්නා අවස්ථාවේ තිබෙන බදු ප්‍රතිශතය හෝ බද්ද අනුවය. මෙරට ‘බන්දිත ගුදමක්‘ ඇති එකම සීනි ආනයන සමාගම ‘පිරමිඩ්  විල්මාර්’ සමාගම ය. සමාගමේ හිමිකරු සජාත් මව්සුන් ය. මේ නම මතකයේ තබාගන්න..!

දැන් තිබෙන ප්‍රශ්නය බදු අඩුකර ගැසට් ගැසූ එවක මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා හෝ එවක ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා හෝ එවක මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා හෝ සජාත් මවුසුන්ට අයත් ‘පිරමීඩ් විල්මා’ සමාගම සතුව බන්දිත ගුදමක් ඇති බව සහ එහි සීනි ගබඩා කර ඇති බව නොදැන සිටියාද යන්න යි. එය එසේ විය හැකිද? සිතා බලන්න..!

“විගණනයට බදුන් කළ කාලසීමාව තුළ සමස්ත සුදු සීනි ආනයනයෙන් 45%ක් ‘පිරමීඩ් විල්මා‍ර් සමාගම’ විසින් ආනයනය කර ඇති අතර එම සමාගමේ ආනයනික ප්‍රමානය 1222%කින් වර්ධනය වී ඇත” – විගණන වාර්තාවේ තිබෙන මේ කරුණද ඉතාමත් වැදගත් ය.

මෙම සීනි බදු වංචාව ගැන කියවෙන විට එහි වැඩිපුරම කියවෙන නම ‘පිරමීඩ් විල්මාර්’ යන්න යි.
සීනි සහ පිරමීඩ්

2020 නොවැම්බර් 2 සහ 25 පිළිවෙලින් මෙට්‍රික් ටොන් 26,000ක් සහ මෙට්‍රික් ටොන් 37,000ක් ඇතුලත්ව 2020 ඔක්තෝබර් 14 සිට 2021 පෙබරවාරි 21 දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද මුලු සීනි ප්‍රමාණයෙන් 39.2%ක් ම ආනයනය කර තිබෙන්නේ ‘පිරමීඩ් විල්මාර්’ සමාගමය.

මෙලෙස සීනි බදු අඩුකර තිබූ මාස 4ක කාලය තුළ ‘පිරිමිඩ් විල්මාර්’ සමාගම විසින් සීනි කිලෝග්‍රෑම් 125,727,950ක් ආනයනය කර ඇතිබව වාර්තා වෙන අතර මෙම සමාගමට දෙවෙනි වන්නේ ‘අම්රෝ සුගර්’ සමාගම යි.  ඔවුන් එම කාලය තුළ ආනයනය කරඇති සීනි ප්‍රමණය කිලෝ 36,592,700කි.

තුන්වැනි තැනට පත් ‘පල්ලිගොඩ ට්‍රෙඩින් කොම්පැණි’ කිලෝ 27,479,500ක් ආනයනය කර ඇත. ‘ග්ලෝබල් ට්‍රේඩින් කොම්පැණි’ ආයතනය මෙම කාලය තුළ කිලෝග්‍රෑම් 27,199,000ක් ආනයනය කරමින් හතරවෙනි තැනට පත්වී ඇත.

මේ ආකාරයට සොයා බැලීමේදී අපට දැනගන්නට ලැබෙන්නේ  සීනි ආනයනය කරන ප්‍රමුඛ සමාගම් 7ක් ඇති බවයි. එම සමාගම් හත මෙම කාලයේ ලංකාවට ගෙන්වනු ලැබූ සමස්ථ සීනි ප්‍රමානය සැලකුවොත් එයින් 39.2%ක් ගෙන්වා ඇත්තේ පිරමීඩ් විල්මාර් සමාගමය. ඉතිරි සමාගම් හයම ආනයනය කර ඇත්තේ එයින් 40%ක ප්‍රමානයක් ය.  

ලංකාවේ සාමාන්‍ය මාසික සීනි අවශ්‍යතාව ටොන් 46.000ක් පමණ වන පසුබිමක මෙම බදු අඩු කිරීමත් සමග මෙරටට සීනි ආනයනය කළ ප්‍රමානය අවශ්‍යතාවය මෙන් දෙගුණයක් පමණය. මේ අනුව බද්ද යළි රුපියල් 40 දක්වා ඉහළ දැමූ විට සිදුවූ දේද ඔබට සිතාගැනීමට අමාරු නැත. බදු අඩු කරපුගමන් ගුදමේ තිබුණ සීනි නිදහස් කර අසීමිත ලාභයක් උපයාගත්තා සේම මෙහිදී ද ‘පිරමීඩ් විල්මාර්’ සමාගම අසීමිත ලාභයක් ලබාගෙන ඇත.

සතොස ගන්නෙත් විල්මාර් ගෙන්

මේ සීනි බදු වංචාව පිළිබඳව කතාව මෙසේ ගොඩනැගෙන විට තවත් අරුම පුදුම රසවත් දෙයක් සිදුවෙයි. ඒ මේ කාලයේ සතොස ආයතනය සීනි මිලදී ගන්නේත් ‘පිරමීඩ් විල්මාර්’ සමාගමන් ය. 

ඒ මිල දී ගැනීමත් සීනි තරම් රසවත් වෙන්නේ, වැඩි මිලට සීනි අරගෙන අඩු මිලට සතොස එම සීනි තොග අලවි කිරීම නිසා ය. මෙහෙම අරුම පුදුම ව්‍යාපාරික ආයතන, සමාගම් තිබිය හැක්කේ ලංකාවේ පමණද?
සීනි කිලෝ එකක් රුපියල් 85ක සහන මිලකට ජනතාව වෙත ලබා දීම සඳහා සතොස සභාපති නුෂාඩ් පෙරේරා සීනි ලබා ගන්නේ ද පිරමිඩ් විල්මාර් සමාගමෙනි. මේ අනුව පිරමීඩ් විල්මාර් සමාගම සත 25ක ආනයන බද්දට ගෙන් වූ සීනි මෙට්‍රික් ටොන් 2000කට වැඩි ප්‍රමාණයක් සතොසට දෙන්නේ කිලෝග්‍රෑම් එකකට රුපියල් 125 – 127 ත් අතර මිලක් අය කරමින් ය. මෙම ගනුදෙනුව හරහා ලංකා සතොස ආයතනයට රුපියල් 102,113,974ක පාඩුවක් සිදුවී ඇති බැව ඉහත විගණන වාර්තාව කියයි.

බදු අඩුකරන අවස්ථාව වනවිට සතොස සතුව සිනි මෙට්‍රික්ටොන් 919.4ක තොගයක් තිබි ඇති අතර එම සිනි තොගය කිලෝග්‍රැම් 01ක් සඳහා රුපියල් 125.41 මිලක් ගෙවා මිලදී ගෙන තිබුණි. අහෝ! එම සිනි තොගය සතොසට අලවි කරන්නට සිදුවන්නේ කිලෝවක් රුපියල් 85ක මිලකටය.මෙයින් රුපියල් 37,159,974ක අලාභයක් සිදුවී ඇත.

බදු සංශෝධනය හරහා බද්ද ශත 25 දක්වා අඩුකිරිමෙන් පසුවද ලංකා සතොස ආයතනය සීනි මිලදී ගෙන ඇත්තේ වැඩි මිලකටය. ඒ පිරමීඩ් විල්මාර් හරහා ය. ඒ අනුව සතොස සීනි මොට්‍රික්ටොන් 2050ක ප්‍රමානයක් රුපියල් 121.50 යන මිල ගණන් යටතේ මිලදී ගෙන රුපියල් 85 ක මිලකට විකුණා ඇත.

දැන් නුෂාඩ් පෙරේරා මහතාගේ ව්‍යාපාරික ඥාණය ගැන ඔබට සිතාගන්නට බැරිවෙන්නට විදිහක් නැත. මෙම ගනුදෙනුව හරහා සතොස ආයතනයට රුපියල් 47,000,000ක අලාභයක් සිදුවී ඇති බව ගණනය කර ඇත.
සතොස සභාපතිවරයා සහ ‘පිරමීඩ් විල්මාර්’ අතර සිදුවූ සීනි ගණුදෙණුව මෙයින්ද නිමාවට පත් වන්නේ නැත. සිනි කිලෝග්‍රැම් 01ක් සඳහා රුපියල් 80ක උපරිම තොගමිල නියම කිරීමෙන් පසුවද සීනි කිලෝ ග්‍රෑම් 2,378,000ක් එම මිලට වඩා වැඩි මිලට මිලදී ගැනීම හේතුවෙන් තවත් රුපියල් 17,594,000 ක පාඩුවක් සතොස ආයතනයට සිදුවී ඇත.

දැන් ප්‍රශ්නය වන්නේ මෙවැනි විශාල මුදලක් රටට අහිමි කිරීම සඳහා දායකවූ පිරිස්වලට රාජ්‍යය කරන්නේ කුමක්ද යන්නයි. බදු සංශෝධන ගැසට්ටුවේ සිට පිරමීඩ් විල්මා ගුදම් නිදහස් කිරීමේ සිට සතොස වැඩි මිලට සීනි මිලදී ගෙන අඩු මිලට විකිණීම දක්වා, මෙම ජාලයට සිදුවන්නේ කුමක්ද?

මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන් බව  කෝපා කමිටුව ප්‍රකාශ කරන්නේ එහි සභාපති ලෙස කබීර් හෂීම් මන්ත්‍රීවරයා වැඩකරන සමයේ ය. මුදල් අමාත්‍යාංශයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න යැ‍යි උපදෙස් ලබාදෙන්නේ ද එම කාලයේදීමය. දැන් සෑහෙන්න කාලයක් ගතවී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ සිය ධුරවලින් ඉවත්වී ඇත. ඒ අතර තුර බොහෝ දේවල් සිදුවී ඇත. රට බංකොළොත්භාවයට පත්වී අවසන් ය.

එවැනි තත්ත්වයක් තුළ මෙවැනි වංචාවන් සඳහා නීතිය ක්‍රියාත්මක කරන්නට රාජ්‍යය තවමත් අසමත් බව කියයි නම් මේ රට තවදුරටත් ගමන් කරන්නේ පරණ පාරේම නේද? මෙසේ වෙන්නේ ඇයි? එයට හේතුව ‘පිරමීඩ් විල්මාර්’ සමාගම සතු අසීමිත දේශපාලන සහ මූල්‍ය බලයද?

කවුද සජාත් ?

සජාත් මව්සුන් යනු පිරිමිඩ් විල්මාර් සමාගමේ අයිතිකරුය. මෙම සමාගමේ මව් සමාගම ඇත්තේ සිංගප්පූරුවේය. මේ වනවිට ලංකාව තුළ ක්‍රියාත්මක ප්‍රකට සමාගම් 9ක ජාලයක හිමිකරුවා හෝ ප්‍රධාන පරිපාලකයා ඔහුය. සජාත් මව්සුන් තම ‘පිරමීඩ් විල්මාර්’ සමාගම හරහා සීනි ආනයන ව්‍යාපාරයට අත තබන්නේ 2012 වර්ෂයේදී පමණ බව කියවෙයි.

මෙම ව්‍යාපාරිකයා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සමග පවා, ඇය ජනාධිපති ධුරය දරණ කාලයේ  සම්බන්ධතා පවත්වා ඇත. ඉන්පසුව පත්වූ සෑම ජනාධිපතිවරයෙක් සමගමට ඔහුට සමීප සම්බන්ධතා පැවතුන බව දේශපාලන ක්ෂ්‍රේත්‍රයේ ප්‍රකටය.

සජාත් මව්සුන් පොල් තෙල් ව්‍යාපාරය සඳහා ද නමක් දිනාගෙන සිටින ව්‍යාපාරිකයෙක් ය. පසුගිය කාලයේ දැඩි කතාබහට ලක්වූ ‘ඇෆලටොක්සීන්’ නම් පිළිකාකාරක අඩංගු පොල්තෙල් ආනයනය සම්බන්දයෙන්ද චෝදනා ලැබුවේ, මෙම ව්‍යාපාරිකයාට අයත් පොල්තෙල් ආනයන ව්‍යාපාරයයි.

කොහොම නමුත් දැන් දේශපාලන කලාපයේ ගොඩක් අය මෙම ව්‍යාපාරිකයා හඳුනාගන්නේ, කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රධාන පරිපාලකයා විදිහට ය. මෙම කොළඹ ෂැංග්‍රීලා කතාව, මව්සුන් සහ ලංකාවේ ප්‍රකට දේශපාලන චරිත, පක්ෂ විපක්ෂ බේදයකින් තොරව එක පොකුරට සම්බන්ධවී ඇත. එම සම්බන්ධතා ජාලය මෙම ‘කිසිවක් නොවීමට’ හේතුවද?