You are currently viewing ජාතික ප්‍රශ්නය, 13 සහ මාව විශ්වාස කරන්න..!

ජාතික ප්‍රශ්නය, 13 සහ මාව විශ්වාස කරන්න..!

-කේ. සංජීව-

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් ය. ඔහු ජනාධිපති ධුරයට පත්වෙන්නේ ධුරයෙන් අස්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලයේ ඉතිරිය වෙනුවෙන් ය. ඔහු ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපතිවරණය නියමිත දිනට කළින් කැඳවුවහොත් ඇරෙන්නට ඔහුට ධුරයේ රැඳී සිටින්නට හැක්කේ තවත් අවුරුද්දකට මදක් වැඩි කාලයක් ය. මේ කාලය දෙස බලනවිට සහ ඔහු කරන්නට යනවා සේ පෙන්වන වැඩ දෙස බලනවිට සිතෙන්නේ මේ වැඩ මල්ල අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්ට තරම් ද යන්න යි. වැඩ මල්ලෙන් වැඩ එකින් එක උඩට අඳිමින් ඔහු අපිට කියන්නේ ‘මාව විශ්වාස කරන්න’ කියා ය.

ජනතාව ඔහු විශ්වාස කරන්න සූදානම් ද? අඩුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය ඔහු විශ්වාස කරන්න සූදානම් ද? එය ප්‍රශ්නාර්ථයක් ය.

26 සමුළුව
පසුගිය ජූලි 26 දා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නට ජනාධිපති වික්‍රමසිංහ මහතා කටයුතු කළේ, සංහිඳියාව ඇති කිරීම සඳහා වූ ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳවත්, උතුරු නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳවත් පක්ෂ නායකයන් දැනුවත් කිරීම, අරමුණ බව ප්‍රකාශ කරමින් ය.

මම අරමුණු ජයගැනීම සඳහා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මුලින්ම සාකච්ඡා කිරීම සමුළුවේ අරමුණ බව ඔහු ප්‍රකාශ කළ අතර සමුළුව උණුසුම්ව ඉදිරියට ගියේ ය. එයට සහභාගීවූ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ බහුතරයකගේ මතය වූවේ මුලින්ම පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බවය.

පළාත් සභා ඡන්දය සහ පළාත් පාලන ඡන්දය දින නියමයක් නොමැතිව කල්තබා තිබෙන පසුබිමක 13 ගැන කතා කිරීම පළඳායක නැති බව එම්. ඒ. සුමන්තිරන් මහතා වැනි මන්ත්‍රීවරුන්ගේ මතය විය. මෙම සාකච්ඡාව සමග සමුළුව කඩිමුඩියේ අවසන් කළ වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැඟිට එම ස්ථානයෙන් පිටව ගියේ ය.

මෙම පිටව යෑම බොහෝ දෙනෙක් ගේ විවේචනයට හේතු වුණ අතර එම සමුළුවෙන් එළියට පැමිණ මාධ්‍ය ඇමතු එම්. ඒ. සුමන්තිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ, මැතිවරණය පවත්වන්නේ කවදාද යන ප්‍රශ්නය සමග ජනාධිපතිවරයා හොඳටම කලබල වී නැඟිට ගිය බව ය. එයින් එම සමුළුව අවසන් විය. බොහෝ දෙනෙක් කීවෝ ජනාධිපතිවරයා මේ සූදානම් වෙන්නේ එළඹෙන ජනාධිපතිවරණය ජයගැනීම සඳහා උතුරේ ඡන්ද එකතු කිරීම බව ය.

මෙම සමුළුව පැවැත්වීම පිටුපස වෙන දා සේම ඉන්දියානු බලපෑම තිබුණ අතර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තුළ තිබෙන වර්තමාන උත්තේජනය නවදිල්ලියේ බලපෑම නිසා බවද දැනගන්නට ඇත. උතුරු පළාත් හිටපු මහඇමති විග්නේෂ්වරම් මහතා වැනි පුද්ගලයෙක් ආණ්ඩුකාර ධුරයට පත්කර තාවකාලික පැලැස්තර විසඳුමක් මාර්ගයෙන් ජනාධිපතිවරණ දිනුම් කණුව පසු කිරීම ජනාධිපතිවරයාගේ උපාය බවට පත්වී ඇත යන්න දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි. ජනාධිපතිවරයා මේ කරමින් ඉන්නේ එම කරුණ සාධනය කිරීමද?

13 ගැන විශේෂ ප්‍රකාශය
ඉන්පසුව පසුගිය අගෝස්තු මස 09 වැනිදා පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් නැවතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 13 පිළිබඳව වූ තමන්ගේ ස්ථාවරය පැහැදිලි කළ අතර එහිදී විපක්ෂය යෝජනා කළේ මුලින් පොහොට්ටුව සමග එම යෝජනා පිළිබඳව සංවාද කර ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන්න කියා ය.

එහිදී වික්‍රමසිංහ මහතා සරදම් ස්වරයෙන් ප්‍රකාශ කළේ තමන් රාජපක්ෂවරු අතහැර තනිවම තීරණගෙන කටයුතු කරනවිට විපක්ෂය රාජපක්ෂලාගෙන් අහලා කරන්න යැයි ප්‍රකාශ කරන බවය. ඇත්තම රාජපක්ෂවාදීන් කවුරුන්ද යැ‍යි ඔහු එහිදී ප්‍රශ්න කළේය.

මෙහිදීද විශාල සංවාදයක් ඇතිවූ අතර විපක්ෂය මෙහිදී ද පළාත් සභා ඡන්දය වහාම පැරණි ක්‍රමයට හෝ පැවැත්විය යුතු බවත් ඊට පසුව 13ට මොකද කරන්න ඕනෑ යන්න සංවාද කළ හැකි බවත් ප්‍රකාශ කළේය.

පළාත් සභා සම්බන්ධ නීති සංශෝධනය කර නව නීති සම්මත කර ගැනීම, පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනය, දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා සඳහා තරග කිරීමේ අයිතිය ලබාදීම, කාන්තා නියෝජනය 25%ක් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මධ්‍යම ආණ්ඩුවේ බලතල ලැයිස්තුව, පළාත් සභා බලතල ලැයිස්තුව සහ සමගාමී ලැයිස්තුව යළි අධ්‍යයනය කොට සංශෝධන කිරීම, වැනි වැදගත් යෝජනා රැසක් මෙහිදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර මෙම වෙනස් කම් සිදුකර පළාත් සභා ඡන්දය පවත්වන තුරු පළාත් සභා පවත්වාගෙන යාම සඳහා පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදීමට උපදෙස් කමිටුවක් පත්කිරීමට නීති සම්පාදනය සඳහා යෝජනා කරන බවද ප්‍රකාශ කළේය.

ජාතික ඉඩම් කොමිසම සහ ජාතික ඉඩම් ප්‍රතිපත්තිය කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඉඩම් කොමිෂන් සභා නීති කෙටුම්පත දැනටමත් සකස් කර ඇති බව ප්‍රකාශ කළේය. මීට ප්‍රථම හමුවේදී ඔහු ප්‍රකාශ කළේ පොලිස් ආඥා පනත සංශෝධනය කිරීම සඳහා ද අවශ්‍ය දේවල් මේවනවිට සිදුවෙන බවය.

මේ සියලු දේවල් එක පෙළට ගෙන බලනවිට මේවා ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් අතිශ්‍ය වැදගත් ඉදිරි පියවරයන් බව කිව හැකිය. එහෙත් මෙම යෝජනා මෙසේ මේසය උඩට ගෙනත් දමන්නේ අවංක චේතනාවකින්ද? සිංහල දෙමළ මුස්ලිම් අප සැමට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය එයයි.

ජනාධිපතිවරයාගේ මෙම යෝජනා අර්ථකථනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් ‘සිරස පැතිකඩ’ වෙත පැමිණ ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා ’13 පිළිබඳව’ රට කුලප්පු කිරීමෙන් එක ගලෙන් කුරුල්ලන් දෙන්නාම බිම දමාගෙන එළබෙන ජනාධිපතිවරණය ජයග්‍රහනය කිරීම සඳහා උපාය තෝරමින් සිටින බවය.

ඡන්දය මුලින් තියන්න යැයි කීවාම ගැරඬියාට භූමිතෙක් ගැසුවා මෙන් පැන දුවන ගමන්, 13 ගැන මාව විශ්වාස කරන්න යැයි ජනපති ප්‍රකාශ කිරීම එක්තරා විදිහක විහිළුවක් ය. අනෙක් පැත්තෙන් ඉතිහාසය කියන්නේ කුමක්ද? ඉතිහාසය මත තබා ජනාධිපතිවරයා දෙස බැලීමේදී පෙනෙන්නේ කුමක්ද?

සංහිඳියා යාන්ත්‍රන ඉතිහාසය
බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම 1957 ජූලි 29 වෙනිදා අත්සන් කළ අතර ඊට පසුව 1966 දී ඩඩ්ලි – චෙල්වනායගම් ගිවිසුම ඇති කරගත්තේය. එම ගිවිසුම 1968දී අහෝසි කළේය.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති ධුරය දරණ සමයෙහි පිළිවෙළින් 1984 දී වට මේස සාකච්ඡාවක් ද 1986 දී සර්ව පක්ෂ සමුළුවක් කැඳෙවූ අතර යළිත් 1985 දී ඉන්දියාවේ මැදිහත්වීම මත භූතානයේ ‘තිම්පු’ අගනුවර දී සාකච්ඡා වට දෙකක් පවත්වනු ලැබිණි. ජනාධිපති ජයවර්ධන වගේම ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාත්  1989 දී සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නට කටයුතු කළේය.

1994 දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති බවට පත්වූ පසු මෙම ජාතික ප්‍රශ්නය අරඹයා සාකච්ඡාවන්ට නව පනක් ආ අතර එල්ටීටීඊ සංවිධානය සහ රජය අතර සාකච්ඡාද පැවැත්විණි. එහි උච්චම අවස්ථාව 2002 දී අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ සටන් විරාම ගිවිසුමක් ඇති කරගැනීම සහ අන්තර්වාර පාලනයක් පිළිබඳව සාකච්ඡාවන් පැවැත්වීමය.

ඉන්පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ධුරය දරන සමයේදී ද ජාතික ප්‍රශ්නය විසඳා සංහිඳියාව ඇති කරගැනීම සඳහා නොයේක් සාකච්ඡා, සම්මන්ත්‍රන, තේරීම් කාරක සභා, පැවති අතර 2015 යහපාලනය පැමිණි විට නැවතත් සාමය සහ සංහිඳියාව සඳහා වූ ක්‍රියාවලියට විශේෂ තැනක් ලැබිණි. විශේෂ වැඩ කොටසක් ද එහිදී සිදුවුණ අතර ඒ සියල්ල අතරමඟ නතරවිය.

මෙම ඉතිහාසය මත තබා රනිල් වික්‍රමසිංහ මහතාගේ වර්තමාන උනන්දුව දෙස බලන්නෙකුට කෙසේ සිතෙනු ඇතිද? ඔහුට හෝ ඇයට රනිල් වික්‍රම්සිංහ මහතා හෝ ඔහුගේ වර්තමාන වැඩපිළිවෙල පිළිබඳව විශ්වාසයක් ඇතිවෙනු ඇතිද? කෙසේත් නැත.

විශ්වාසය යනු කුමක්ද?
එනිසා මට නම් හිතෙන්නේ විශ්වාසය ඉතාමත් වැදගත් බවය. දෙයක් කරන්නට උත්සාහ කිරීමේදී එය කරනවා යැයි ප්‍රකාශ කළ පමණින් ජනතාව එය විශ්වාස කරන්නේ නැත. ජනතාවට දේවල් වෙන බව ප්‍රායෝගිකව පෙන්විය යුතුය. දූෂණය අවසන් කරනවා කියමින් දූෂිතයන්ට තනතුරු වරප්‍රසාද ලබාදෙන්නේ නම් ජනතාව එම ප්‍රකාශය පිළිබඳව කුමක් සිතනු ඇතිද? ජනතාව එම කතා තවදුරටත් විශ්වාස කරනු ඇත්ද? පැවති සහ පවත්නා ආර්ථික ගැටලුව යම් තාක් දුරකට සමනය කර මිනිසුන්ට යාන්තම් හුස්ම ගන්නට ඉඩකඩ විවර කළ පමණින් ජනතාව ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම විශ්වාස කරන බව සිතිය හැකිද? නැත එහිදී ඉතිහාසය ඉතාමත් වැදගත් ය. මිනිසුන් මෑත ඉතිහාසය දෙස මෙන්ම ඈත ඉතිහාසය දෙසත් බලනු ඇත.

දැන් පවතින තත්ත්වය තුළ වහාම පළාත් සභා ඡන්දය හෝ පළාත් පාලන ඡන්දය පවත්වා ජනතා කැමැත්ත උරගා බැලිය යුතුය. එය එසේ නොකට කරන කිසි දෙයක් සුජාතකරණය වන්නේ නැත. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්ට ජනතාව සමග බැඳීමක් නැත. වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අවශ්‍ය නම් කුමන හෝ ඡන්දයක් කැඳවා ‘ජනතා කැමැත්ත’ විමසා බැලිය හැකිය.

ජනතාව සහ තමන් අතර වර්තමාන බැඳීම කෙබඳු එකක් දැයි සොයා ගත හැකිය. එහෙත් ජනාධිපතිවරයා එයට සූදානම් නැති බව පෙනෙයි. ඡන්දය වෙනුවට ඔහු ප්‍රකාශ කරන්නේ ‘කෙහෙළියට විරුද්ධ විශ්වාසභංගය වහාම ගේන්න, අපි බලමු කාටද විශ්වාසය තියෙන්නේ’ වැනි ප්‍රකාශ ය. වර්තමාන පාර්ලිමේන්තුවේ විශ්වාසය සහ ජනතා කැමැත්ත ජනතා මතය අතර කිසිඳු පැහැදිලි බඳීමක් නැත..! එහි ආගාධ වෙනසක් පවතී..!

Leave a Reply