You are currently viewing බලය රැකගනු වස් මූලික නීතිය නැමිය හැකිද?

බලය රැකගනු වස් මූලික නීතිය නැමිය හැකිද?

කේ සංජිව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දිහා ලෝකයේ බොහෝමයක් රටවල් බලන්නේ ඒ රටේ උත්තරීතරම ලියවිල්ල විදිහට. ලංකාවෙ නම් ඒ තත්ත්වය එහෙම නෑ කියලා ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන එකක් නෑ. ඉන්දියාව ගත්තොත් ආචාර්‍ය අම්බෙක්කාර් තමයි ඉන්දියානු ව්‍යවස්ථාවේ නිර්මානකරුවා විදිහට සලකන්නේ. ඒකට හේතුව ඔහු තමයි 1949 නොවැම්බර් 29 සම්මත කරගත්ත ඉන්දියානු ව්‍යවස්ථාව සම්පාදනය කරපු ඒ සම්පාදක මණ්ඩලයේ සභාපතිවරයා. එහෙම සම්මත කරගත්ත ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වාර 105කදී සංශෝධනයට ලක්වෙලා තිබෙනවා. හැබැයි ඒ සංශෝධන සැලකෙන්නේ ඉන්දියානු ව්‍යවස්ථාවේ මූලික හරයට හානියක් නොවෙන විදිහට ඉන්දියාවේ ප්‍රගමනය වෙනුවෙන්ම සම්මත කරගත්ත ව්‍යවස්ථා සංශෝධන විදිහට. ඒකයි වැදගත්ම කාරණය.

ඇමරිකානු ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ ජෙම්ස් මැඩිසන්, ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් සහ ජෝන් ජේ ගේ මැදිහත් වීමෙන්. 1887 සැප්තැම්බර් 17 සම්මත කරගත්ත මේ ව්‍යවස්ථාව මේ වෙනකොට සංශෝධනයට ලක්වෙලා තිබෙන්නේ 27 වතාවකදී විතරයි. ඇමරිකානු ව්‍යවස්ථාව හිතුමනාපයට වෙනස් කිරීම වැළැක්වීමට විශේෂ දෘඩ නීති හඳුන්වා දීලා තිබෙනවා.

බ්‍රිතාන්‍ය ගත්තොත් බ්‍රිතාන්‍යට ලිඛිත ව්‍යවස්ථාවක් ඇත්තේම නෑ. එහෙනම් රාජ්‍යය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? කෙනෙක්ට හිතෙන්න පුලුවන්. රාජ්‍යයේ අවයව වල ක්‍රියාකාරීත්වය සඳහා බ්‍රිතාන්‍ය අස්සේ නොයෙක් අණපනත් සම්මත කරගෙන තිබෙනවා. ඒවාට අනුව තම‍යි රාජ්‍යය හුස්ම ගන්නේ. රාජ්‍යයේ අවයවන්ට සහ ඒවායේ ක්‍රියාකාරීත්වයට අදාළ වෙන්නේ 1911 සහ 1949 බලපැවැත්වෙන පාර්ලිමේන්තු පනත. මේ පනත සංශෝධනයට ලක්වෙලා නැහැ.

දැන් අපි ලංකාව පැත්තට හැරෙමු. ලංකාවට ව්‍යවස්ථාවක් ලැබෙන ක්‍රියාවලිය කුමක්ද? 1948 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපිට ලියලා දෙන්නේ සෝල්බරි සාමිවරයා. මේ ව්‍යවස්ථාව දශක දෙකක් විතර ලංකාව අස්සේ ක්‍රියාත්මක වෙනවා.

ඊටපස්සේ 1970 සමගි පෙරමුණ බලයට ආවට පස්සේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් නව රඟහලට රැස්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය, ඒ ස්ථානයේදී සාකච්ඡා කරලා අලුත් ව්‍යවස්ථාවක් හදනවා. ආණ්ඩුක්‍රමයක් පැනනැඟිය යුත්තේ ස්වදේශීක ජනතාවගේ අධිකාරිය තුළින් කියන සිද්ධාන්තය උඩ ඉදගෙන තමයි මේ ව්‍යවස්ථාව නිර්මානය වෙන්නේ. මේ ව්‍යවස්ථාවේ නිර්මාතෘ විදිහට සැලකුම් ලබන්නේ ආචාර්‍ය කොල්වින් ආර් ද සිල්වා. 1972 මැයි 22 ක මේ ව්‍යවස්ථාව, පළමු ජනරජ ව්‍යවස්ථාව විදිහට සම්මත කරගත්තත් ව්‍යවස්ථාවේ ආයු කාලය වෙන්නේ අවුරුදු පහයි.

1977දි ජේ. ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් බලයට එන එක්සත් ජාතික පක්ෂය 1978 නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා. ඒක තමයි වර්තමානයෙත් පවතින්නේ. අපි මේ ව්‍යවස්ථාව හඳුන්වන්නේ දෙවෙනි ජනරජ ව්‍යවස්ථාව කියලා. විධායක ජනාධිපති ධුරයක් සහිත දෙවෙනි ජනරජ ව්‍යවස්ථාව මේ වෙනකොට 21 වතාවක් සංශෝධනය වෙලා තිබෙනවා. ඇයි ඇත්තටම එහෙම සංශෝධනය කරලා තිබෙන්නේ? ජාතියේ අවශ්‍යතාවයක් වෙනුවෙන්ද? ලංකා රාජ්‍යයේ ප්‍රගමනය වෙනුවෙන්ද? අනාගතවාදීව බලලාද මේ සංශෝධන සිද්ධ කළේ? සොයාබැලීම වටිනවා.

ජේ ආර් ජයවර්ධන මහතා ගෙනාපු දෙවන ජනරජ ව්‍යවස්ථාව මුලින්ම සංශෝධනය කරන්නේ, ඡන්ද පෙත්සමක් නිසා පරාජයට පත්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ, ඒ හරහා මන්ත්‍රී ආසනය අහිමිවෙන්න යනකොට, ඒ මන්ත්‍රී ධුරය රැකලා දෙන්න. මේ විදිහට ගිහිං තුන්වෙනි සංශෝධනය ගේන්නේ බලයේ සිටින ජනාධිපතිවරයාට දෙවෙනි ධුර කාලය සඳහා, ඔහුට වාසි සහගත කාලයක ජනාධිපතිවරණය කැඳවීම සඳහා යි, ඒ හරහා නියමිත කාලයට පෙර ජනාධිපතිවරණය කැඳවීම සඳහා අවස්ථාව ලබාගන්න.

මෙහෙම ගිහිං හතවෙනි සංශෝධනය ගේන්නේ ජනමත විචාරණයක් හරහා පාර්ලිමේන්තුවේ ආයු කාලය දීර්ඝ කරගැනීම නීතිගත කිරීමට. පස්වෙනි සංශෝධනය ගේන්නේ මේ විදිහට ආයු කාලය දීර්ඝ කරගත්ත පාර්ලිමේන්තුවේ තෝරාගත්ත ආසන කිහිපයක් වෙනුවෙන් අතුරු මැතිවරණ පැවැත්වීම සඳහා අවසර ලබාගැනීමට.

මේ විදිහට ගිහිං හයවෙනි සංශෝධනය එන්නේ උතුරෙන් පාර්ලිමේන්තුවට පැමිණි ජනතා නියෝජිතයන් ඒකීය රටක් වෙනුවෙන් දිවුරුම් ලබා නොදීම හේතුවක් කොට දක්වමින් පාර්ලිමේන්තුවෙන් පන්නා දැමීම සඳහා. මේ විදිහට තනි පක්ෂයක බල දේශපාලනය වෙනුවෙන් දිගින් දිගටම ව්‍යවස්ථාව සංශෝධනය කළා. මේ සංශෝධනය කිරිල්ලේ ඉහළම අවස්ථාව තමයි, පුද්ගලයෙක්ට ජනාධිපති ධුරයෙහි කටයුතු කරන්න පුලුවන් වාර ගාන දෙකට සීමාකර තිබීම තුනක් බවට සංශෝධනය කිරීම. අපි ඒ සංශෝධනයට කිව්වේ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියලා.

මෙහෙම 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනකම් ආපු ගමනේ 17වෙනි ව්‍යවස්ථා සංශෝධනය සහ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය විතරයි රට ගැන, ජනතාව ගැන, හිතලා කරපු ව්‍යවස්ථා සංශෝධන විදිහට ගන්න පුලුවන්. මෙම සංශෝධන දෙකේ අරමුණ වුණේ රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුලුල් කිරීම. මේ පුලුල් චිත්‍රයේ තියලා බැලුවාම 20 වෙනි සහ 21 වෙනි ව්‍යවස්ථා සංශෝධන අවස්ථා වුණත් ගන්න වෙන්නේ බල දේශපාලනික උවමනාවන් වෙනුවෙන් කරපු සංශෝධන විදිහට.

මෙහෙම ගිහිං, අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ දැන් නැවතත් ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතාකරන්න පටන් අරගෙන තියෙනවා. මේ ගමන සංශෝධනය කරනවා කියලා කියන්නේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා තමන්ගේ බල දේශපාලනික අවශ්‍යතාවයන් සඳහා සංශෝධනයට ලක්කළ 3වෙනි ව්‍යවස්ථා සංශෝධනය. ඒ අනුව තුන්වෙනි සංශෝධනය යටතේ 40 වෙනි ව්‍යවස්‍ථාවට සිදුකරණු ලැබූ සංශෝධනය නැවත සංශෝධනය කරන්නට තමයි මේ සූදානම් වෙන්නේ.

මොකද්ද මේ තුන්වෙනි ව්‍යවස්‍ථා සංශෝධනයේදී 40 වෙනි ව්‍යවස්ථාවට එකතුකළ සංශෝධනය?

‘අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්ට, මහජන ඡන්දයෙන් පත්වෙන ජනාධිපතිවරයෙක්ට සේ තම ධුර කාලය අවසන් වන්නට කලින් ජනාධිපතිවරණයක් කැඳවිය නොහැකියි’ යන වගන්තිය මෙම නව යෝජිත සංශෝධනයේදී ඉවත් කරන්නට සූදානම් බව දැනගන්නට ලැබෙනවා. කෙසේ හෝ ඡන්දය කළින් පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදීයි නේද කියලා කාටහරි අහන්න හිතෙන්න පුලුවන්. එතකොට අපි හිතන්න ඕනෑ අනුප්‍රාප්තික ජනාධිපති කෙනෙක්ට ඇයි එහෙම ඡන්දයකට යන්න බැරි කරලා තිබෙන්නේ කියන දේයි.

ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා 3වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ අපිට ආදරේට නෙවෙයි. තමන්ට වාසි වෙලාවට ජනාධිපතිවරණය පවත්වා එයින් ජයගැනීම සඳහා. ඒ අරමුණෙන් කරපු මේ සංශෝධනයේදී පවා ඔහු අනුප්‍රාප්තික ජනාධිපති කෙනෙක්ට ඒ බලය නොදී ඉන්න සැලකිලිමත් වෙනවා. ඒ ඇයි? ඒකයි මෙතන තියෙන වැදගත් කතාව.

අනුප්‍රාප්තික ජනාධිපති කෙනෙක් පත්වෙන්නේ ව්‍යවස්ථාමය හිස් තැනක් පුරවන්න මිසක් පරමාධිපත්‍යධාරී ජනාධිපති කෙනෙක් විදිහට වැඩ කරන්න නෙවෙයි. ඔහුට ඒ සඳහා ජනවරමක් ඇත්තෙත් නෑ. එවැනි ජනාධිපතිවරයෙක් නීතිය ඉදිරියේ සැලකෙන්නේ තත්වාකාර ජනාධිපතිවරයෙක් ( de facto president ) විදිහට. මෙතන තියෙන වැදගත්ම දේ තමයි අනුප්‍රාප්තික ජනාධිපති කෙනෙක් සහ පුරවැසියන් අතර සම්මුතියක් නැතිවීම. ඔහු පාර්ලිමේන්තුව හරහා තෝරාගන්නේ ඉතුරු කාල සීමාව සඳහා ව්‍යවස්ථාමය හිඩස පුරවන්න.

මේක ව්‍යවස්ථාපිත සංකල්පයක් උඩ ගොනැගුණ සීමාවක්. අනෙක මේක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තුළ තවදුරටත් පවත්වාගෙන යා යුතු සීමාවක්. ඒ නිසාම මේක සදාචාරාත්මක සීමාවක් ද වෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දෘඩ සහ අනම්‍ය විය යුතුයි කියලා කල්පිතයක් තිබෙනවා. අනම්‍ය වෙන්නේ රටේ වෙනත් නීති වගේ මූලික නීතිය වෙනස් කිරීමට ඉඩ අවකාශ නොතැබීමෙන්. එහෙනම් දෘඩ වෙන්නේ කොහොමද? එය දෘඩ වෙන්නේ වෙනස් කිරීම සඳහා තිබෙන කාර්‍යය පටිපාටිය අසීරු එකක් කිරීමෙන්. ඇමරිකාවේ ව්‍යවස්ථාව ගත්තොත් ඒක සංශෝධනය කිරීම ලේසි නෑ. ඒක දුෂ්කර මාර්ගයක්.

ඇත්තටම මේක කරන්නේ රටේ ජනතාව තුළ තිබෙන මූලික නීතියට ඇති පිළිගැනීම සුජාතකරණය කරන්න. ඒක අත්‍යාවශ්‍යයි. සුජාතකරණය කරන්න නම් රටේ මූලික නීතිය සහ ඒ නීතියට පදනම සපයන සිද්ධාන්ත ස්ථාවරව (consistent) පවත්වාගෙන යන්න අපි ඉඩ දෙන්න ඕනෑ.

මෙහෙම නොවුණාම මොනාද වෙන්න පුලුවන්? රට අරාජික වෙනවා. අස්ථාවර රාජ්‍යයක් බවට පත් වෙනවා. මේ හරහා රට විනාශයට ගමන් කරනවා.

ඒ නිසා දේශපාලන නායකයන් තමන්ගේ දේශපාලන බල අවශ්‍යතා වෙනුවෙන් ඉතිහාසයෙන් පාඩම් ඉගනගන්නේ නැතුව රටේ මූලික නීතිය වෙනස් කරන්න යන්න හොඳ නෑ. ඒ නිසා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක්ක තවදුරටත් සෙල්ලම් කිරීම වහාම නතර කරන්න අවශ්‍යයි. ඒ මොකද එහෙම නොකළොත් දැනට පවතින ආර්ථික සහ දේශපාලනික අර්බුදය තවත් තීව්‍ර වෙලා මේ රට විනාශ වෙලාම යන්නට පුලුවන්.

Leave a Reply