You are currently viewing අවුරුදු 200ක්, කොටුවක සිරවුණ ජීවිතයක්..!

අවුරුදු 200ක්, කොටුවක සිරවුණ ජීවිතයක්..!

-කේ. සංජීව-

මේ ලිපිය ලියන අද දිනය 2023 අගෝස්තු මාසේ 08 වෙනිදා. ‘අභිමානවත් ම⁣ලෛයහ ජනතාව⁣ගේ’ පාගමන අද තිරප්පනේ ඉඳලා කැකිරාව දක්වා කිලෝමීටර් 22ක දුරක් ගෙවාදමන්න නියමිතයි. ජූලි 28 තලෛමන්නාරමෙන් පටන්ගත්ත මේ පාගමන පේසාලෙයි, මන්නාරම, මුරුන්කන්, මඩු, වෙඩ්ඩිකුලම්, මැදවච්චිය, මිහින්තලේ, තිරප්පනේ, කැකිරාව, දඹුල්ල, නාලන්ද නගර පසුකරමින් ඇවිත්, එලබෙන අගෝස්තු 12 මාතලෙන් අවසන් වෙන්නට නියමිතයි.  

මේ මාර්ගයේ තමයි මේ ජනතාවගේ අතීත මුතුන්මිත්තන් රෝගවලට ගොඳුරු වෙමින් මරු හා සටන් කරමින් මාතලේට, නුවරට, නුවරඑළියට ආවේ. ත්‍රාසය භීතිය වේදනාව දුක පිරුණු මේ වීර චාරිකාව අස්සේ බොහෝ දෙනෙක් මියගියා, ඒ රෝගාතුර වීමෙන්. වර්තමාන මිහින්තලය පොලීසිය පරීශ්‍රය එහෙම මියගිය දෙමළ ජනතාව වළදැමූ ස්ථානයක් බව කියවෙනවා.

මාතලේ නගරය මේ පාගමනත් සමග විශාල ලෙස සම්බන්ධයි. අතීත දෙමළ ශ්‍රමිකයෝ ඉන්දියාවෙන් ලංකාවට අරගෙන ආවට පස්සේ, මාතලේ නගරයේ තිබුණ රැඳවුම් මධ්‍යස්ථානවලදී තමයි ඔවුන් නිරෝධායනය කරලා තිබෙන්නේ. මාතලේ නගරයේ තිබෙන සුවිශාලම දෙමළ කෝවිලේ අතීතය මේ කතාව අපිට කියනවා.

ලංකාවේ වතුවල රැකියාවට ඉන්දියාවෙන් ශ්‍රමිකයෝ 1000ක් නැව් නැඟ්ඟා නම් මාතලේ කඳවුරු ගතවීමෙන් පස්සේ කඳුකරයට වාර්තා කරන්න පුලුවන් වුණේ එම පිරිසෙන් 500කට විතර සංඛ්‍යාවකට විතරයි. ඉතුරු සියළු දෙනා, වසූරිය, කොලරාව, උණ සන්නිපාතය, මැලේරියාව වගේ රෝගවලින් හෙම්බත්ව මිය ගියා. මෙහෙම නිරුපද්‍රතිව තේවතු හෝ කෝපී වතු වෙත ගිය කම්කරුවන්ටද එතරම් සුබ කාලයක් උදාවුණේ නෑ කියන එක තමයි සංඛ්‍යා දත්ත පිරික්සනකොට පේන්නේ. 1840 වෙනකොට උඩරට දෙමළ කම්කරුවන්ගේ මරණ සංඛ්‍යාව 1000: 250ක අනුපාතයක් ගත්ත බව තමයි මහාචාර්ය ඊ.එෆ්.සී ලුඩ්වයික් කියන්නේ. ජන සංගනනයන්ට අනුව 1891 වෙනකොට ඉන්දියානු දෙමළ ප්‍රජාව 235,000ක් විතර මේ රටට ඇවිත් ඉදලා තිබෙනවා. 1911 වෙනකොට මේ ගාන 530,983ක්. 1931ක වෙනකොට මේ ප්‍රජාව ලක්ෂ 7ක් ඉක්මවලා තිබෙනවා. දැන් ඔබට සම්පූර්ණ චිත්‍රය පෙනෙන්න ඕනෑ..!

මලයාග තමිලාර්

මලෛයහ ජනතාව නැතිනම් ‘මලයාග තමිලාර්’ (Malayaga Tamil) කියන්නේ කාටද? අපි ‘වතු දෙමළ’ නැත්තං ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාව කියලා හඳුනා ගන්නේ මේ මිනිස් ප්‍රජාව.

මේ මිනිස් ප්‍රජාව නියෝජනය කරන ජනතා කණ්ඩායමක් මේ විදිහට පාගමනකින් පැමිණෙමින් ඉන්නේ ඇයි?. ඒ ඔවුන්ගේ අතීත මුතුන්මිත්තන් ලංකාවට පැමිණීම සංඛේතවත් කිරීම සඳහා. ඇයි ඇත්තටම මේ පැමිණීම සංඛේතවත් කරන්න, ඔවුන්ට හදිස්සියේ මේ ආපු අවශ්‍යතාවය, ඒකට හේතුව තමයි වතුකරයේ දෙමළ ජනතාව රැකියාව සඳහා ලංකාවට ඇවිත් අවුරුදු 200ක් සම්පූර්ණ වීම.

මේ ගණන් හැදීමට අනුව මුල්ම පැමිණීම 1823 අවුරුද්දේ වෙන්න ඕනෑ. ඒත් බොහෝ මූලාශ්‍රගත තොරතුරුවලට අනුව මේ පැමිණීම සිදුවෙලා තිබෙන්නේ 1827 අවුරුද්දේ. ඒ කෝපි වගාව සඳහා. ඒත් සමහර මූලාශ්‍ර ප්‍රකාශ කරන විදිහට 1923 අවුරුද්දේ කෝපි වගාව වෙනුවෙන් දකුණු ඉන්දියාවෙන් හොර රහසේම 150 දෙනෙක්ගෙන් යුතු කණ්ඩායමක් ගෙනවිත් තිබෙනවා. ඔවුන් ආපසු ඉන්දියාවට ගියා කියලත් කියනවා. කොහොම වුණත් මොනම අර්ථයෙන් වුණත් මේ පාගමන ඉතාමත් වැදගත්.

අවුරුදු 200ක් කියන්නේ කොතරම් කාලයක්ද? මේ කාලය මුලුල්ලේ වතුකරයේ ජනතාවට සිද්ධවුණේ කුමක්ද? ‘වතු දෙමළා’ගේ අතීතය යනු කුමක්ද? වර්තමානය කුමක්ද? අනාගතය කෙබඳු වෙයිද? මේ සාකච්ඡාව සමාජය මතුපිටට ගෙන ඒම සඳහා තමයි මේ ජනතා නියෝජිතයන් තලෛයිමන්නාරමේ ඉඳලා මේ පාගමන ආරම්භ කරලා තිබෙන්නේ.

ඒ අර්ථයෙන් මේක ඉතාමත් වැදගත් පා ගමනක් බව කියන්න අවශ්‍යයි.

කෝපී අතීතය

සුදු ජාතික හමුදා නිළධාරියෙක් වුණ ජෝර්ජ් සැමුවෙල් බර්ඩ් 1823 – 24 වගේ වෙනකොට මාතලේ සහ ගම්පොළ කියන ප්‍රදේශ කෝපි වගාව සඳහා ඉතාම සුදුසුයි කියලා සොයාගන්නවා. ඒ අනුව තමයි ඔහු ගම්පොළ පළවෙනි කෝපි වත්ත පටන් ගන්නේ. එහෙම කෝපි වවන්න පටන්ගත්ත ජෝර්ජ් සැමුවෙල්ට ආපු ප්‍රධාන ප්‍රශ්නය තමයි වතු රාජකාරිය සඳහා ශ්‍රමිකයෝ සොයාගැනීම.

මොකද සිංහලයන් සුද්දන්ගේ වැඩ කරන්න එච්චර කැමැත්තක් දැක්වූවේ නෑ. එතකොට ආණ්ඩුකාරයා වුණ ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස්ට, සැමුවෙල් මේ ශ්‍රමිකයෝ සොයාගැනීමේ ගැටලුව ගැන කියලා දකුණු ඉන්දියාවෙන් වැඩට ශ්‍රමිකයෝ ගෙනත් දුන්නොත් කෝපි වලින් විශාල ආදායමක් සොයන්න පුලුවන් කියලා කියනවා. ඒ අදහසේ ප්‍රතිපලය තමයි 1827 දී මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ.

තිරුනල්වේලි, තිරුචි, මදුරෙයි, කන්ජෝර් වගේ දකුණු ඉන්දියානු ප්‍රදේශවලින් තමයි මුල්ම කණ්ඩායම ලංකාවට එන්නේ. එන්නේ කීවට වහල්ලු වගේ ගෙනාවා කීවත් වැරදි නෑ. ඒ කාලේ තලෛමන්නාරමේ පියරයෙන් ගොඩබැහැලා මේ මාර්ගයේ මාතලේ නිරෝධායන කඳවුරට එන්න මාසයක් විතර කාලයක් ගියා කියලා තමයි කියන්නේ. මේ දුෂ්කර ගමනේදී ලෙඩ රෝග වලින් මෙන්ම සර්ප දෂ්ඨනයෙන් බොහෝදෙනෙක් මියගියා කියලා වාර්තා වෙනවා. කැලේ කපාගෙන පාරවල් එළිපෙහෙළි කරගෙන එන්න ගියාම එහෙම තමයි. මේ දෙමළ ප්‍රජාව ලංකාවට එන්න මුලින්ම ඔවුන් ‘තිරුච්චි’ වෙනකම් පයින් එන්න ඕනෑ. ඊට පස්සේ රාමේශ්වරම් හරහා ධනුෂ්කොඩි වෙත එන්න ඕනෑ. මෙහෙම බැලුවාම මේක දුක සහ කඳුල මිශ්‍රවුණ ඉරණම් ගමනක්..!

මෙලෙස පැමිණි ජනතාව මුලින්ම කෝපි වගාව සමග ද පසුව තේ සහ රබර් වගාවන් සමගද වැඩ කළා. අද වනවිට ඔවුන්ගෙන් පැතගෙන එන්නන් මධ්‍යම කඳුකරය සහ ඊට පරිවාරයේ පිහිටි රත්නපුර, ගාල්ල වැනි දිස්ත්‍රික්ක තුළ ජීවත් වෙනවා. එම ජනග්‍රහනය 2012 ජන සංගනන වාර්තාවට අනුව ලංකාවේ සමස්ථ ජනග්‍රහනයෙන් 4.1%ක්. අද වනවිට මෙම තත්ත්වය තවත් වැඩිවී ඇතුවාට සැක නැහැ.

යටත්විජිත කාලයේ ‘සිලෝනය’ කෝපී නිශ්පාදනයෙන් සහ තේ නිශ්පාදනයෙන් ජයකෙහෙළි නැන්වූවා, ඒ ජයග්‍රහන වෙනුවෙන් විශාලම දායකත්වය සපයනු ලැබුවේ මේ ජනතාව. නිදහසින් පස්සේ 1980 දශකය විතර වෙනකම් ලංකාවේ අපනයන ආර්ථිකය සම්පූර්ණයෙන්ම හිටගෙන හිටියේ මේ වතුප්‍රජාවගේ ශ්‍රමය මත. කෝපී වගාව නැති වුණත් තේ සහ රබර් තමයි 1980 දශකයේ අවසානය වෙනකම් ලංකාවට විදේශ විනිමය අරගෙන ආව ප්‍රධාන මාර්ග.

මෙහෙම බැලුවාම සිංහල මිනිස්සුන්ට, මුස්ලිම් මිනිස්සුන්ට, යාපනයේ සහ නැගෙනහිර දෙමළ මිනිසුන්ට වඩා ආර්ථික අතින් ඉහළින් ඉන්න ඕනෑ මේ මිනිස්සු නේද? ඇත්තටම මේ අවුරුදු 200ය අස්සේ මේ මිනිස්සුන්ට මොකද වුණේ? මොනාද ඔවුන්ට ලැබුණේ?

අඩි දහයේ දහය කොටුව

සුද්දා මේ මිනිස්සු කඳුකරයට දක්කාගෙන ආවට පස්සේ ලයින් කාමර කියලා අඩි දහයේ දහයේ කාමරයක් හදලා දුන්නා. එදා මුල් පවුලට හදලා දුන්න මේ ලයින් කාමර අස්සේ කාලය එක්ක විශාල වුණ පවුල් තවමත් ජීවත් වෙනවා. මේ ලියුම්කරු වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය ගැන වාර්තා චිත්‍රපටයක් කරන්න නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු නිවාස බොහෝමයකට 2022ක අවුරුද්දේ ගියා.

සුද්දා හදලා දීපු අවුරුදු 100කට වඩා පැරණි ලයින් කාමර සහිත විශාල හෝල් වගේ ගෙවල් තවමත් තිබෙනවා. එහෙම නැත්තන් පසු කාලේ ඒ සැළසුම් හරහාම ගිහිං අලුතින් හදපු ලයින් නිවාස තිබෙනවා. කොහොම හැදුවත් ඒ එක නිවසක ප්‍රමානය අඩි දහය වැඩි කිරීම දහය. මේ නිවාස කොටුවක් අස්සේ ගොඩක් වෙලාවට පවුල් තුනක් ජීවත් වෙනවා. ඒක තමයි අවමය. පවුල් හතරක් පහක් ජීවත් වෙන තැනුත් ඕසෙට තිබෙනවා.

මීට අවුරුදු 200කට කළින් සුද්දා මේ මිනිස්සු කඳුකරයට ගෙනල්ලා කන්න දුන්නේ තිරිඟු පිටි. ඒ පිටි අනලා රොටී හදලා රෝටී කාලා තමයි මේ මිනිස්සු කෝපී වත්තේ නැත්තං පස්සේ කාලෙක තේ වත්තේ ජීවිතේ දිය කළේ. දුන්නේ සොච්චම් වැටුපක්. ඒ වැටුපෙනුත් විශාල ප්‍රමානයක් සුද්දා ආයෙත් තමන්ගේ මඩියට දාගත්තා, ඒ අරක්කු හරහා. ඒ සංස්කතියේ වෙනසක් අද වෙනකොට තිබෙනවාද? මටනම් හිතෙන්නේ කිසිඳු වෙනසක් නෑ කියලා. ඒ සංස්කතියම දිගුවෙලා. ප්‍රශ්න වැඩිවෙලා. මිනිස්සුන්ගේ ජීවිත තව තවත් ඛේදවාචකයක් වෙලා.

වතු දෙමළ ප්‍රජාවගේ ජීවිතය කාටහරි වෙනස් කරන්න අවශ්‍ය නම් කරන්න ඕනෑ කුමක්ද? මුලින්ම මේ ලයින් නිවාස සංස්කතිය වෙනස් කරන්න ඕනෑ. මේ නිවාස සංස්කතියත් එක්ක ඔවුන්ගේ සෞඛ්‍ය, ලිංගික, ජීවිතය විතරක් නෙවෙයි ආහාර රටාව, සිතන පතන විදිහ පවා බැඳිලා තිබෙනවා.

වතු ජනතාවට තිබෙන්නේ රටේ අනෙකුත් ජනතාවට තිබෙන දියුණු සෞඛ්‍ය තත්ත්වය නෙවෙයි. කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් බොහෝ පහළින් තිබෙන්නේ, රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට සාපේක්ෂව. සෞඛ්‍ය ප්‍රශ්න නිසා මිය යන මිනිසුන් ප්‍රමානය අනෙකුත් ප්‍රජාවන්ට සාපේක්ෂව වතුකරයේ ඉහළයි. ඇත්තටම අවුරුදු 200ක් ගිහිල්ලත් මේ මිනිස්සුන්ට තියෙන්නේ කළු ගැහුණ කහට ජීවිතයක්.

මේ මිනිසුන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් කරන්න කියලා රටපුරාම පහුගිය කාලේ විශාල උද්ඝෝෂණයක් තිබුණා. ඒත් වතු හාම්පුතුන් ඒකට තවමත් එකඟ නෑ. තේ අපනයන ආදායම සුවිශාල එකක්. ඒත් ඒ ප්‍රතිලාභය මේ ජනතාවට තවමත් යන්නේ නෑ. බොහෝවිට සිද්ධවෙන්නේ මේ තේ ආදායමේ වැඩි ප්‍රතිශතයක් විදෙස් රටවල්වල සැඟව යෑම. කූඨ ව්‍යාපාරික මාෆියාව එහෙම වැඩකරනකොට, රාජ්‍යයත් ඔහේ බලාගෙන සිටීමක් තමයි පහුගිය ඉතිහාසය අස්සේ හැමදාම සිද්ධවුණේ.

වතු දේශපාලනය

අපි කතා කරන මේ අවුරුදු 200ක ඉතිහාසය තරම්ම දිඟු ඉතිහාසයක් වතු දේශපාලනයටත් තිබෙනවා. 1928 වෙනකොට ඉන්දීය වතු කම්කරුවන්ගෙන් 50%ක් විතරවත් ස්ථිරවම ලංකාවේ පදිංචි වෙලා අවසන්. 1939 වෙනකොට මේ ප්‍රතිශතය 60%ක් විතර වුණා කියලා තමයි ජැක්සන් වාර්තාව කියන්නේ. සොල්බරි වාර්තාවට අනුව ඒ ප්‍රතිශතය 80%ක්. යටත්විජිත කාලේ නිසා මේක විශාල අවුලක් වුණේ නෑ. මොකද ඉන්දියාව සහ ලංකාව කියන රටවල් දෙකම බ්‍රිතාන්‍යයේ කිරීටයට යටත් රටවල් දෙකක්. හැබැයි නිදහසත් එක්ක මේ තත්ත්වය වෙනස් වෙනවා. නිදහස ලබාගැනීමත් සමග පුරවැසිභාවය කාටද දෙන්නේ කියන ප්‍රශ්නයේදී බොහෝ සිංහල නායකයෝ හිටියේ වතු ප්‍රජාවට ලංකාවේ පුරවැසිභාවය නොදිය යුතුයි කියන ස්ථාවරයේ.

මේ ප්‍රශ්නය ඇත්තටම 1940 දශකය වෙනකොට විශාල ප්‍රශ්නයක් වුණා විතරක් නෙවෙයි, ශ්‍රී නේරු වගේ ඉන්දියානු දේශපාලන නායකයන් පවා වතුකරයේ දෙමළ ප්‍රජාවගේ පුරවැසි ප්‍රශ්නයට මැදහත් වුණා. ඒකේ ප්‍රතිපලයක් විදිහට තමයි 1939 අවුරුද්දේ ශ්‍රී නේරු ලංකාවට එන්නේ. ඒ ගමනේ ප්‍රතිපලයක් විදිහට තමයි 1939 අවුරුද්දේ ‘ලංකා ඉන්දියානු කොංග්‍රසය’ නිර්මානය වෙන්නේ. මේ නව පක්ෂයේ වෘත්තීය සමිතිය බවට පත්වුණේ ‘ලංකා කම්කරු කොංග්‍රසය’ කියන දේත් අපි මතක තබාගත යුතුයි.

මෙහෙම සක්‍රීය වෙන වතු දෙමළ ප්‍රජාවගේ දේශපාලනය, සක්‍රීය සටන්කාරී දේශපාලනයක් වෙනවා. 1947 අවුරුද්දේ තිබ්බ ලංකාවේ පළවෙනි මහා මැතිවරණයේ දී ලංකා ඉන්දියානු කොංග්‍රසය ආසන 7ක් වෙනුවෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කළා කියලා ඉතිහාසය කියනවා. මෙයින් ආසන හයක් ජයගන්නට ඉන්දියානු කොංග්‍රසයට පුලුවන් වීම පෙන්වන්නේ කුමක්ද? එයින් ඔවුන් නිරතවුණ සක්‍රීය දේශපාලනයේ තරම වගේම ඒ වෙනකොට නුවරඑළිය වගේ කඳුකර කලාපයේ දෙමළ ජන ව්‍යාප්තිය ගැනත් අපිට හොඳ අදහසක් ගන්න පුලුවන්.  

සෞම්‍යමූර්ති තොණ්ඩමාන් (නුවරඑළිය), ජෝර්ජ් මෝතා (මස්කෙලිය), කාලිමුතු රාජලිංගම් (නාවලපිටිය), කරුපයියා කුමාරවේලු (කොටගල), වේලුසිංහම් වේලුපිල්ලෙයි (තලවාකැලේ), සංගරලිංගම් සුබ්බයියා (බදුල්ල) මේ අපේක්ෂකයෝ තමයි මුල්ම මහා මැතිවරණයෙන් ජයග්‍රහනය කරන්නේ. මේ කාලය වෙනකොට ලංකා ඉන්දියානු කොංග්‍රසය වගේම ලංකා සමසමාජ පක්ෂයත් වතු කම්කරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය දේශපාලන ව්‍යාපාරයන් වුණා. 1948 ලංකා පුරවැසි පනතත්, 1949 පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනතත් මෙහි ප්‍රතිපලය වෙන්න පුලුවන්. මේ පනත් දෙක හරහා බහුතරයක් ‘ම⁣ලෛයහ ජනතාව⁣’ගේ පුරවැසි අයිතිය 1988 අවුරුද්ද වෙනකම් අහෝසි වෙනවා.

1990 දශකයෙන් පස්සේ නැවතත් කඳුරට ඡන්ද දේශපාලනය සක්‍රීය වෙනවා. මේ වනවිට එහි තිබුණ තොන්ඩමන් පරම්පරා ආධිපත්‍ය බිඳවැටී නව නායකයන් බිහිවී තිබෙනවා. දකුණු ඉන්දියානු චිත්‍රපටයක ස්වරූපයෙන් ඡන්ද සටන් දැල්විලා නිවිලා ගිහිං ‘ම⁣ලෛයහ ජනතාව⁣’ගේ ප්‍රශ්න විතරක් සදාකාලික වෙලා තිබෙනවා.

මේ හේතුව නිසාම මේ ජනතාවගේ නිවාස ප්‍රශ්නය, ඉඩම් ප්‍රශ්නය, හැම මැතිවරණයකම ප්‍රධාන තේමාව බවට පත්වෙනවා. ඉන්දියානු ආධාර යටතේ තනි නිවාස ඒකක විශාල සංඛ්‍යාවක් පහුගිය කාලේ නිර්මානය වුණත්, ඒවායේ වාස්තු විද්‍යාව වතුකරයේ මෙම ජනතාවගේ ජීවිතය වෙනස් කරන්නට බලපාන එකක් නෙවෙයි. ඒ කොහොම වුණත් වතුකරයට උරුම නිවාස ප්‍රශ්නයට ඉන්දියානු නිවාස කියන්නේ තිතක් තරම් දෙයක් පමණයි.

සියවස් දෙකක කාලය ගත වෙලා, ලංකාව විතරක් නෙවෙයි ඉන්දියාවත් සෑහෙන්න වෙනස් වෙලා. භූමි දර්ශනය පවා ඒ වෙනසට අදාළයි, එහෙත් තවමත් කඳුකරය වෙනස් වෙලාද? තේ කහට අත් එක්ක විට කහට බැඳුන දත්, සිනාසෙන ලෙච්චමීලා ගේ කතාව තවමත් අවුරුදු 200කට එහා පටන්ගත්ත තැනමයි.

මේ ගෙවෙන්නේ 2000හෙන් පසු දෙවෙනි දශකය වුණත් වතුකරේ සාතිශ්‍ය බහුතරයක් කාන්තාවන් තවමත් සමීපාරක්ෂක තුවා විදිහට භාවිතා කරන්නේ රෙදි කෑලී. අද මේ ඉන්ටර්නේට් යුගයේ නිතරම කියවෙන privacy යන දේ මේ මිනිසුන්ට ඇත්තෙම නෑ. දුව පුතා තාත්තා අම්මා එකට යාව තමයි නිදාගන්න වෙලා තිබෙන්නේ. තරුණ ගැහැණු දරුවෙක්ට නාලා ඇඳුම් මාරු කරගන්න ස්ථානයක් මේ පුංචි කොටු ගෙවල් අස්සේ නෑ. මේ කොටු ජීවිත අවකාශය නිසා බාල වයස් විවාහ වැඩිවෙලා. ගැහැණු පිරිමි බේදයක් නැතුවම ළමයි ලිංගික අපයෝජනයන් වලට ලක්වෙලා.

මේවගේ තිත්ත කහට ජීවිතයක් අවුරුදු 200ක් අස්සේ මිනිස් ප්‍රජාවකට උරුම කරනවා කියන්නේ, ඒක ඒ රාජ්‍යයයේ බරපතළ ප්‍රශ්නයක්. රටකට විදෙස් විනිමය නොකඩවා සම්පාදනය කරපු ප්‍රජාවකට එහෙම වීම ඊටත් වඩා ඛේදවාචකයක්.

එනිසා මේ පාගමන කියන කතාව අපි තේරුන් ගත යුතුයි. ඔවුන් හඬ ගා කියන්නේ ‘ම⁣ලෛයහ ජනතාව’ට රටේ අනෙකුත් ජන වර්ගවලට වගේම ජීවිතයක් ඕනෑ කියලා. සම ආර්ථික අවස්ථා, සම ජීවන අවස්ථා ඕනෑ කියලා. අවුරුදු 200ක් තේරුන් නොගත් දෙය දැන්වත් තේරුන් ගනිමුද?

ReplyReply allForward