You are currently viewing කෙහෙළිය ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් ලෙස..!

කෙහෙළිය ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් ලෙස..!

-කේ. සංජීව-

රජයේ රෝහල් සඳහා මෙරට නිශ්පාදකයෙක් වෙතින් ලබාගත් ඇස්ප්‍රීන් පෙති තොගයක එහි ප්‍රධාන සංඝටකය වන salicylate නැති බව පර්‍යේෂණ වලින් තහවුරු වූ නිසා එම ඖෂධ කාණ්ඩයේ ඖෂධ තොගය රෝහල්වලින් ඉවත් කිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කළ බව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා ඊයේ (23) ප්‍රකාශ කළේය.

මෙම ප්‍රකාශයෙන් පසුව අපට ඔහුගෙන් අසන්නට ප්‍රශ්න කිහිපයක් තිබෙයි. පළමු ප්‍රශ්නය මෙම බෙහෙත් තොගය රජයේ රෝහල්වලට නිකුත් කරන්නට ප්‍රථම රසායනාගාර තත්ත්ව පරීක්ෂාවක් කළේ නැද්ද? ඇස්පීන් නැති ඇස්පීන් ගන්න ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය දුන්නාද? ඇස්පීන් නැති ඇස්පීන් හෘද රෝගීන්ට ලබාදුන් පසුව ඔවුන්ට හෘද්‍යාබාධ සෑදුනානම් එහි වගකීම වෛද්‍ය සැපයුම් අංශය ගන්නවාද? දැන් මෙම බෙහෙත් ඉවත් කිරීම හරහා රජයට අහිමිව යන මුදල් කන්ද එම ඖෂධ සමාගමෙන් අයකර ගන්නට කටයුතු කරනවාද?

මෙලෙස පිළිකාකරණය වෙමින් තිබෙන වර්තමාන ඖෂධ ප්‍රශ්නය ‘ජාතික ප්‍රශ්නයක්’ බව මාගේ විශ්වාසය යි. 

මෙම ඖෂධ ප්‍රශ්නයට ප්‍රධාන හේතුව කාලයක් තිස්සේ ලංකාව තුළ ක්‍රියාත්මක ඖෂධ මාෆියාවයි. ඖෂධ මාෆියාවට හේතුව සෞඛ්‍ය පිළිබඳව මෙන්ම බෙහෙත් පිළිබඳවද ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීමයි. නීතියක් නියාමනයක් ක්‍රමයක් නොමැති තැන, මාෆියාවක් බිහිවීමේ අරුමයක් නැත.!.

සමහර අමාත්‍යවරුන්ගේ කාලවලදී මම මාෆියාව මතුපිටට පැමිණෙයි. සමහර කාලවලදී සිසිර නින්දක පසුවෙයි. දැන් මේ රෝහල් මරණ අඳෝනාවන් අපිට කියන්නේ වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා වන කෙහෙළිය රඹුක්වැල්ල මහතා යටතේ ඖෂධ මාෆියාව හුස්මගෙන නැඟිට ජයකෙහෙළි නන්වන බවය. 

ගසාකෑම රාජ්‍ය ප්‍රතිපත්තිය වුණ රාජ්‍යයක්, මෙවැනි ප්‍රශ්නයකින් ගොඩ එන්නේ කෙසේද? එය දේශපාලනික ප්‍රශ්නයක් ය. අප එම දේශපාලනික ප්‍රශ්නය නිතර නිතර ඇසිය යුතුවෙමු.

ඇත්ත තත්ත්වය කුමක්ද?

බාල ඖෂධ නිසා මිනිස්සු මැරෙනවා, මිනිස්සුන්ගේ ඇස් අන්ධවෙනවා යන කතාව රැල්ලක් සේ පැතිරෙන්නට වුණේ ‘prednisolone’ නම් ඇස් ඖෂධය භාවිතයෙන් පසු ජාතික රෝහලේ සහ නුවරඑළිය රෝහලේ රෝගීන් 10කට ආසන්න පිරිසකගෙ ඇස් අන්ධ වූ බවට පැතිර ගිය මාධ්‍ය වාර්තාවන් සමගමය. 

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්ත නිෂ්පාදකයකුගෙන් ලබාගෙන තිබූ මෙම අක්ෂි ඖෂධ තොගය තුළ බැක්ටීරියා කාණ්ඩයක් ඇති බව සොයාගත් බව අතිරේක සෞඛ්‍ය ලේකම්වරයා මාධ්‍යයට කීවේය. ඒ ගින්න පටන් ගත් පසුවය. ඒ කතාවත් අප මුලින් සඳහන් කළ ඇස්පීන් කතාවත් එක වාගේමය. ලංකාවේ රෝගීන් යනු රසායනාගාර මීයන් සමූහයක් ද? එම ප්‍රශ්නය සෞඛ්‍ය බළධාරීන්ට ය.

මෙම සිදුවීමට පසුව පේරාදෙණිය රෝහලේදී ගර්භණී මාතාවක් සහ විදුහල්පතිනියක් මිය ගියා ය. හේතුව ලෙස කියවුනේ නිර්වින්දක ඖෂධ නිසා මෙම මරණ සිදුවන්නට ඇති බවය. ඉන්පසුව ඇසේ යොදා තිබූ කාචය මාරුකර ගන්නට රෝහල්ගත වූ 35 හැවිරිදි කාන්තාවක් ද ජාතික අක්ෂි රෝහලේ දී මිය ගියා ය. ඉන්පසුව පානදුර රෝහලේ දී තවත් පුද්ගලයෙක් මරණයට පත් වන්නේ කැන්‍යුලාවක් යෙදීමෙන් අනතුරුව ය.

බඩේ අමාරුවකට පේරාදෙණිය රෝහලට යන 21 වයස තරුණියක් මිය යන්නේ ඇයට ශරීරගත කළ ප්‍රතිජීවක ඖෂධයේ ප්‍රශ්නයක් නිසා ය. පසුව තවත් බොහෝ දෙනෙක් මේ ප්‍රතිජීවකය නිසා අසනීප තත්ත්වයට පත්වී ඇති බව වාර්තා විය. 

එම වාර්තාවන්ගෙන් පසුව මේ කියන ප්‍රතිජීවක කාණ්ඩයේ ඖෂධ රෝහල්වලින් ඉවත් කර ඇත. අහෝ අපේ සෞඛ්‍ය සේවය..! මෙලෙස අර්බුදයට තුඩු දුන් සියළු බෙහෙත් ගෙන්වා තිබෙන්නේ ඉන්දියාවෙන් ය. ඒ ඉන්දියානු ආධාර යටතේ ය.

දැන් අපිට තිබෙන ප්‍රශ්නය මෙම මරණ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියට හෝ වෛද්‍ය සැපයුම් අංශයට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට හෝ වගකීමක් නැද්ද යන්න යි. ඔවුන් කරනු ලබන ප්‍රකාශ තුළින් ගම්‍යවන්නේ ඔවුන්ට මේ සම්බන්ධයෙන් වගකීමක් නැති බවයි. ඔවුන් තමන් සුදනෝ බව පෙන්වීමට ක්‍රියාකරමින් සිටීම පිළිකුල් සහගතය.

ගැටලුව කොතනද?

‘ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකේ කොන්දේසිය තමයි, ණය දෙන්නේ ඉන්දියාව නිසා මේ සල්ලිවලින් ගන්න බෙහෙත් ඉන්දියාවෙන් ගන්න ඕනී කියන දේ. ඒක තමයි එකම කොන්දේසිය. එහෙම නැතිව ඔවුන් කවුද සැපයුම්කරුවන් කියලා කියන්නේ නෑ. ඔවුන් එහෙම හඳුනගෙනත් නෑ. ඉන්දියානු මහ කොමසාරිස් කාර්‍යාලය කවදාවත් කියලා නෑ, මේ අයගෙන් ගන්න කියලා. තෝරාගැනීම කරන්නේ අපි. ඒ අය නෙවෙයි.

උදාහරණයකට ඉන්සියුලීන් ගේන්න ටෙන්ඩර් එකක් ඉන්දියන් සමාගමකට දීලා තිබෙනවා, ඒක ලංකාවේ ලියාපදිංචි සමාගමක්. සාමාන්‍ය තත්ත්වයකදී වුණත් ලංකාවට අවශ්‍ය බෙහෙත්වලින් වැඩිම ප්‍රමානයක් ආනයනය කරන්නේ ඉන්දියාවෙන්. එතකොට අපි හැමවේලාවෙම උත්සාහ කරන්නේ ලංකාවේ ලියාපදිංචි කළ ඖෂධ ගේන්න. ලියාපදිංචි සමාගම්වලින් ඖෂධ ගෙන්වීමේ කිසිඳු ගැටලුවක් නැහැ. මෙතන ගැටලුව වුණේ මේ අවස්ථාවේ එහෙම ලියාපදිංචි නැති සමාගම්වලින් ඖෂධ ගෙන්වීම. මේ සම්බන්ධයෙන් උසාවියේ නඩු දෙකක් තිබෙනවා. එක සමාගමක් සම්බන්ධයෙන් තහනම් නියෝගයක් පවා දීලා තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා ඖෂධ මිලදී ගැනීම කරන්නේ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් (SPC). සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයෙන් අපිට මෙන්න මේ බෙහෙත් වර්ග අවශ්‍යයි කියලා එස්පීසී එක දැනුවත් කරනවා, එතකොට එස්පීසී එකෙන් මේ සඳහා ටෙන්ඩර් කෝල් කරලා, ඊට අදාළ සැපයුම්කරුවන් තෝරාගන්නවා. මෙහිදී තෝරාගැනීමේ ප්‍රමුඛතාවය ලැබෙන්නේ ලියාපදිංචි ඖෂධවලට සහ ලියාපදිංචි සමාගම්වලට. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. ඒත් මෙතන ප්‍රශ්නය වෙලා තියෙන්නේ ලියාපදිංචි සමාගම් සහ ඖෂධ තෝරානොගැනීම’

කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා දෙරණ BIG FOCUS වැඩසටහනට එකතුවෙමින් මෙම අදහස් පළකළ අතර ඔහු එහිදී තවත් වටිනා අදහස් ගොන්නක් මෙම ඖෂධ ප්‍රශ්නය පිළිබඳව පළ කළේය.  

‘ලියාපදිංචි කිරීම වැදගත් වෙන්නේ ජාතික ඖෂධ නියාමනය අධිකාරිය මගින් මේ ආයතන සහ ඖෂධ, නිශ්පාදනායතන වගේම ගෙන්වන ආයතන සහ ඖෂධ ගැන ඇගයීමක් කරලා තමයි මේ ලියාපදිංචිය දෙන්නේ. එතනින් මෙම ඖෂධවල සුරක්ෂිතතාවය ගුණාත්මක තත්ත්වය පිළිබඳව අපිට සහතිකයක් ලැබෙනවා.

එතකොට වෛද්‍යවරුන්ට ඒ ඖෂධ බය නැතුව පාවිච්චියට ගන්න පුලුවන් වගේම රෝගීන්ටත් ඒ ඖෂධ බය නැතුව ගන්න පුලුවන්. පොදුවේ වෙනත් රටවල් වුණත් ඖෂධ ගැන අනුගමනය කරන ක්‍රමවේදය තමයි මේක.

කලාතුරකින් මේවගේ ලියාපදිංචි නොකළ ආයතනවලින් ලියාපදිංචි නොකළ ඖෂධ ගන්න වෙන වෙලාවෙල් තිබෙනවා. ඒ සඳහාත් ඖෂධ නියාමන අධිකාරී පනතේ යම් යම් ප්‍රතිපාදන තිබෙනවා. හදිස්සි අවස්ථාවකදී ජීවිතයක් බේරාගන්න ඕනෑ උනාම, නැත්තං වසංගත අවස්ථාවකදී අපිට මෙහෙම ගෙන්වන්න වෙනවා. කෝවිඩ් කාලේ අපි එහෙම ගෙන්නුවා. ඒ අවස්ථාවේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය යම් ක්‍රමවේදයක් හදලා තිබුණා. ඒ ක්‍රමවේදය හදන්න පනතේ ප්‍රතිපාදන තිබෙනවා. මෙතනදී ඉක්මන් ඇගයීමක් කරනවා, කරලා සුදුසුයි කියලා විශේෂඥ වෛද්‍යවරුන්ගේ මණ්ඩලයක් සහ ඖෂධවේදීන් තීරණය කරපු ඖෂධ තමයි අපි ඒ අවස්ථාවේ ගෙන්නුවේ. එහෙම නැතුව එක්කෙනෙක් දෙන්නෙක් තීරණය කරලා නෙවෙයි ඖෂධ ගෙන්නුවේ. දැන් මේ අවස්ථාවේ මේක නෙවෙයි වෙන්නේ. එතනයි ප්‍රශ්නය තිබෙන්නේ.

මේ අවස්ථාවෙ සමහර වෙලාවට විශේෂඥ වෛද්‍ය මණ්ඩල කියනවා අපි මේ ඖෂධය ගෙන්වීම අනුමත කරන්නේ නෑ කියලා. නමුත් ඖෂධ නියාමන අධිකාරියෙන් ගෙන්වන්න අවසර ලබාදෙනවා. ලියාපදිංචියක් නැති ආයතනවලට. ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය තමයි ඒ තීරණය ගන්නේ. ඇයි මෙහෙම කරන්නේ කියලා ඇහුවාම සභාපති මහාචාර්‍ය එස් ඩී ජයරත්න මහත්තයා කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒවා ගෙන්වන්න තීරණය කරලා තිබෙනවා නම් අපි අනුමැතිය දෙන්න ඕනෑ කියලා. ඖෂධ නියාමන අධිකාරිය කියන්නේ තැපැල් කන්තෝරුවක් නෙවෙයි. මේවා ඇගයීම් කරලා දිය යුතු දේවල් මෙහෙම දෙන්න බෑ. දැන් නියාමනය සිදුවෙන්නේ නෑ ඒක තමයි මූලිකම හේතුව. මේකට පනත් වෙනස් කරන්න අවශ්‍ය නෑ. මේක යම් පිළිවෙලකට ක්‍රමයකට සිදුවුණ ක්‍රියාවලියක්. දැන් ඒක සිදුවෙන්නේ නෑ. ඒකයි අවුල. කෝවිඩ් කාලෙවත් මෙහෙම වුණේ නෑ.’

විශේෂඥ වෛද්‍යවරයාගේ මතය අනුව දැන් සිදුවන්නේ නියාමනයක් නැතිව අමාත්‍යාංශයේ උවමනාවට ඖෂධ ගෙන්වීමය. ජාතික ඖෂධ නියාමන අධිකාරිය තමන්ගේ රාජකාරිය සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා, රබර් සීල් එකක් පමණක් බවට පරිවර්තනය වී ඇත. එහි ප්‍රථිපලය රෝගීන්ට මරණයයි. රාජ්‍යයකට මෙසේ විය හැකිද? ප්‍රශ්නය එයයි.

109 වගන්තිය

සිදුවන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ 109 වැනි වගන්තිය අවභාවිතා කරමින් ඖෂධ හිතුමතේ ගෙන්වීම බව සෞඛ්‍ය විද්වතුන්ගේ ප්‍රධාන මතයක් ය. ජාතික ඖෂධ නියාමන අධිකාරිය තමන්ගේ වර්තමාන හැසිරීම සාධාරණීකරණය කරන්නේ ද මෙම 109 වැනි වගන්තියට මුවාවීගෙන ය. 

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මෙම ප්‍රශ්නය පිළිබඳව සිය අදහස් පළකරමින් ප්‍රකාශ කරන්නේද 109 වැනි වගන්තිය අවභාවිතා කරමින් ඖෂධ ගෙන්වන බවය. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ අදහසට අනුව පසුගිය 2022 අවුරුද්ද තුළ WOR හෙවත් ලියාපදිංචිය අත්හැරීමේ ක්‍රමවේදය යටතේ ඖෂධ 700ට වැඩි ප්‍රමානයක් රට අස්සට පැමිණ ඇත. 2023 වර්ෂයේ මෙම ලිපිය ලියන අද (24) වනවිට එම සංඛ්‍යාව 500කට වඩා වැඩිය.

මෙසේ හිතුමතේ බෙහෙත් ගෙන්විය හැකිද? ඖෂධ ආධාර ලැබුණ පමණින් හෝ නිකං ලැබුණා කියා හෝ ඖෂධ පරීක්ෂාවකින් තොරව සොයාබැලීමකින් තොරව රටට ගැනීමේ ක්‍රමයක් හෝ සාම්ප්‍රධායක් නැත. එහෙම ඖෂධ රෝහල් තුළට නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හෝ නැත. කෝවිඩ් සමයේ පවා හදිස්සි ඖෂධ මිලදී ගැනීම් සිදුකළේ එම අවස්ථාවට සරිලන සේ සාදාගත් නිසි ක්‍රමවේදයකට අනුවය. එහෙත් වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යටතේ ඒ සියළු ක්‍රමවේදයන් සාම්ප්‍රදායන් කුණුකූඩයට වීසිකර ඇත.

එම විසිකිරීමට හේතුව කුමක්ද? එයට හේතුව ඖෂධ මාෆියාව වියහැකිය. ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය තුළ එහෙට මෙහෙට සංසරණය වෙන විශාල  අතයට මුදල් කන්ද මෙම නොතකාහැරීම් පිටුපස පවතින හේතුව විය හැකිය.

අනුමැතියට යන කාලය

මෙම අවස්ථාවේ රජය සහ අමාත්‍යවරයා ආරක්ෂා කරන්නට පෙරට එන ඝෝෂාකරුවන් ප්‍රකාශ කරන්නේ මේවා හදිස්සි මිලදී ගැනීම් බවය. එම හදිස්සි මිලදී ගැනීම් ප්‍රශ්නය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයා ඉතාමත් හොඳ පිළිතුරක් ලබාදෙයි. එම ප්‍රකාශය උපුටාදක්වමින් මෙම ලිපිය අවසන් කරන්නේ, ඖෂධ මාෆියාවට තිත තබා රෝගීන්ගේ ජීවිත සුරක්ෂිත කරගන්නට නම් වහාම සෞඛ්‍ය පිළිබඳ අපගේ ජාතික ප්‍රතිපත්තිය වෙනස් විය යුතු බව සඳහන් කරමින් ය. 

ඖෂධ නියාමන නීතීන් තව තවත් සංවර්ධනය විය යුතු අතර එම නීතීන් දැඩිව අභ්‍යාස කළ යුතුය. එය එසේ නැතුව මෙම තත්ත්වයෙන් සෞඛ්‍ය පද්ධතිය ගොඩගන්නට බැරිය.

‘කෝවිඩ් කාලයේදී පැය 48කට වඩා අඩු කාලයකින් යම් යම් බෙහෙත් ගේන්න අවශ්‍ය අනුමැතිය ලබාදුන්නා. ඒකට අවශ්‍ය ක්‍රමවේදයන් සකස්කරලා තිබුණා. අනික තමයි මේ ඖෂධ හිඟය තිබෙන්නේ දැනට අවුරුදු 1 1/2කට වැඩි කාලයක ඉදලා. ඇයි අපි මේ අවුරුදු එකහමාරක් ගිහිල්ලත් හදිස්සි මිලදී ගැනීම් කරන්නේ.

බොහෝවිට වෙන දේ තමයි වෛද්‍ය සැපයුම් අංශයෙන් ඖෂධයක් අවශ්‍යයි කියලා ඖෂධ නියාමන අධිකාරියට දැනුන් දීමේ සිට එය ලැබීම සඳහා සාමාන්‍යයෙන් මාස 10ක් 12ක් අතර කාලයක් ගතවීම. ටෙන්ඩර් කෝල් කරලා සමාගම් තෝරාගෙන කරන්න කාලයක් යනවා. සමහර ඖෂධ දැනුන් දුන්නට පස්සේ තමයි නිශ්පාදනය කරන්නේ. නමුත් හදිස්සි අවශ්‍යතාවයන් සඳහා ඊට ගොඩක් අඩු කාලෙකින් මේවා ගන්න පුලුවන්. දැන් ගතවෙන කාලය අවුරුද්දයි කියමු, ඒත් දැන් අවුරුදු 1 1/2ක් ගිහිල්ලානේ. එතනයි මෙතන ප්‍රශ්නය තියෙන්නේ’