-කේ. සංජීව-
යුක්තිය ඉටුවීමේ ප්‍රමාදය, යුක්තිය වැළකීමක් බව නීති විද්‍යාවේ පිළිගත් මූලික සංකල්පයකි. ලංකාවේ අධිකරණ පද්ධතියෙහි සිදුවෙන නඩු කටයුතු ප්‍රමාදය නීතියේ මෙම සංකල්පය අමුඅමුවේ උල්ලංඝනය කිරීමක් බව කිවයුතුය. ඉඩම් නඩුවක් පටන්ගත්තොත් පරම්පරා දෙක තුනක් යනකම් නඩු කියන්න වෙනවා බව කීම ලංකාවේ මිනිසුන් සාමාන්‍යයෙන් කියන දෙයක් ය. එසේ ප්‍රකාශ කරන ගැමියන් සිය ජීවිත කාලයක් උසාවි තුළ රස්තියාදු වෙයි. සමහරුන් ඒ අතරතුර මිය යයි. සමහරුන් මිය යන්නේ ඉඩම් ආරවුල නිරාකරණය කරගන්නට නොහැකිව රණ්ඩු සරුවල් වීම් හරහා ය. ලංකාවේ මෙම නඩු ප්‍රමාදය ඉඩම් නඩුවලට පමණක් උරුම කරුමයක් නොවෙන බව කිව යුතුය.
පසුගිය දා පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයක් පැවතියේ මෙම නඩු කටයුතු ප්‍රමාදය අරඹයා ය. එහිදී වර්තමාන අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා ඉතාමත් වැදගත් සංඛ්‍යා දත්ත රාශියක් මෙම නඩුකටයුතු ප්‍රමාදය සම්බන්ධයෙන් ගෙනහැර දැක්වීය.
“අපේ රටේ ජන සංඛ්‍යාවෙන් මිලියනකට ඉන්න විනිසුරන් ගණන 18යි. අධිකරණ සේවා කොමිසන් සභාව 2022 දී අපෙන් ඉල්ලලා තිබෙනවා අධිකරණ 174ක් අලුතින් පිහිටුවන්න කියලා. රටේ තිබෙන ආර්ථික තත්ත්වය එක්ක එහෙම අධිකරණ පිහිටුවන්න අපිට බැහැ. මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 17 දෙනෙක් අධිකරණ ශාලා 4ක නිරන්තරයෙන් නඩු අහනවා. පවතින නඩු 5482යි. එක විනිසුරුවරයෙක්ට විසඳන්න තියෙන නඩු සංඛ්‍යාව ගත්තොත් නඩු 322ක්. අභියාචනාධිකරණයේ විනිසුරන් සංඛ්‍යාව 20යි. අභියාචනාධිකරණ 10ක් ක්‍රියාත්මකයි. 2022 වෙද්දී පැවති නඩු සංඛ්‍යාව 3423යි. එක විනිසුරුවරයෙක්ට නඩු 171ක් විසඳන්න තිබෙනවා.
සිවිල් අභියාචනාධිකරණයේ අධිකරණ 22කක් තිබෙනවා. නඩු සංඛ්‍යාව 6800යි. වාණිජ මහාධිකරණ 04ක් තිබෙනවා. තිබෙන නඩු ගණන 8376යි. එයින් නඩු 5808ක්ම බේරුම්කරණය සම්බන්ධ නඩු. විමසීමට සාමාන්‍යයෙන් නඩු 2568ක් තිබෙනවා. එතකොට එක විනිසුරුවරයෙක්ට නඩු 488ක් විසඳන්න අවශ්‍යයි.
අපරාධ මහාධිකරණ 48ක් තිබෙනවා. එහි නඩු 29723ක් තිබෙනවා. දිසා අධිකරණ 61ක් අස්සේ නඩු දෙලක්ෂ හැට තුන් දහස් හාරසීය අසූ එකක් තිබෙනවා. මහේස්ත්‍රාත් අධිකරණවල අට ලක්ෂ තුන් දහස් හය සියය හතලිස් දෙකක් නඩු තිබෙනවා.
ළමා මහේස්ත්‍රාත් අධිකරණවල නඩු 1168ක් තිබෙනවා. කම්කරු විනිශ්චය සභාවල නඩු 5225ක් තිබෙනවා. මහාධිකරණවල පවතින අපරාධ නඩු 29723ක් තිබෙනවා. ළමා අපචාර නඩු 5550ක් තිබෙනවා. ස්ත්‍රී දූෂණ නඩු 4312ක් තිබෙනවා. මේ ළමා හා ස්ත්‍රී නඩු වර්ග දෙකේම එකතුව 9862කක්.”
ඔහු මෙසේ ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත වලින් නඩු කටයුතු ප්‍රමාදය නැතිනම් ‘යුක්තියේ ප්‍රමාදයේ’ පරිමාව අපහට සිතාගන්නට අපහසු නැත.
පසුගිය ජූලි 27 දා රුපියල් මිලියන 1500ක වියදමින් ඉදි කළ රත්නපුර නව අධිකරණ සංකීර්ණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. එහිදී ද අධිකරණයේ කාර්‍යභාරය ගැන මෙන්ම නීතියේ ආධිපත්‍ය පිළිබඳවද බොහෝ කතා කියනු අපහට අසාගන්නට හැකිවිය. නඩු කටයුතු පමාවද එහි එක් මාතෘකාවක් විය.
මෙම රුපියල් මිලියන 1500ක වියදම ගැන කල්පනා කරන විට මා හට සිතුනේ මේ මුදලින් ලංකාවේ සමස්ථ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා ඇරඹුමක් ගන්නට, ප්‍රථිපත්ති සම්පාදකයන් හට සිතුනා නම් යන්න යි. ඒ මන්ද රත්නපුර පැරණි අධිකරණ සංක්‍රීරණය තව ටික කාලයක් පවත්වාගෙන යාමට හැකියාව තිබූ බැවින් ය.
එහෙත් අප කුමන සංඛ්‍යා දත්ත ඉදිරිපත් කළත් මෙම නඩු කටයුතු ප්‍රමාදය වළක්වාගෙන වඩාත් සාධාරණ අධිකරණ ක්‍රමයක් ස්ථාපනය කරගැනීම සඳහා අප අවංකවම උත්සාහ ගන්නවාද යන්න ප්‍රශ්නයක් ය. රත්නපුර නව අධිකරණ සංක්‍රීරණය පිළිබඳව වූ කතාවද මම කියන මේ කාරණාවට නිදර්ශනයක් ය.
අප කතා කරන මෙම නඩු ප්‍රමාදය සිවිල් සහ අපරාධ නඩු යන අංශ දෙකටම එක ලෙස බලපා ඇත. බොහෝ අපරාධ නඩු අවසන් කිරීමට ගතවෙන කාලය වසර 15ක් පමණ වෙයි. සමහර නඩු අවුරුදු 10කින් පමණ අවසන් වෙයි.
මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා විනිසුරන් වැඩි වැඩියෙන් බඳවා ගැනීම ම ප්‍රමානවත් ද? මේ සඳහා නව අධිකරණ සංක්‍රීර්ණ ස්ථාපනය කිරීම ම ප්‍රමානවත්ද? මේ පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයන් බරපතළ ලෙස සිතා බැලිය යුතුය.
නඩු ප්‍රමාදය වැළැක්වීම සඳහා නිශ්චිත කාල පරාසයක් තුළ සැළසුමකට අනුව වැඩ කළ යුතුය. එහෙත් තවමත් එය සිදුවන්නේ නැත. ගොඩනැගිලි ස්ථාපනය කළ පමණින් නඩු කටයුතු ප්‍රමාදයට පිළියම් ලැබෙන්නේ නැත.
මෙහිදී මූලික වශයෙන්ම නඩු ප්‍රමාදය සඳහා බලපාන නීතිමය තත්ත්වයන් ද සංශෝධනය විය යුතුය. එමෙන්ම නඩු කටයුතු සඳහා අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය සංශෝධනය කළ යුතුය. ඉන්පසුව අධිකරණය සතු සම්පත් වැඩි කළ යුතුය. විනිසුරුවන්ගේ ප්‍රමාණය, අධිකරණ සංඛ්‍යාව, අධිකරණවල ගුණාත්මක තත්ත්වය, අධිකරණයන් සහ එහි සම්පූර්ණ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම, වැනි දේවල් ඉන් අනතුරුව කළ යුතුය.
අපරාධ නඩුවක් විභාග කල හැකි අධිකරණ දෙකක් පවතින බව අප දනිමු. ඒවා නම් මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකරණයයි. එහෙත් ඕනෑම අපරාධ නඩුවක ආරම්භක ස්ථානය මහේස්ත්‍රාත් අධිකරණය යි. මහේත්‍රාත් අධිකරණයේ සැකකරුට එරෙහිව ප්‍රමාණවත් නඩුවක් පැවරීමට සාක්ෂි ඇත්නම් චෝදනාවක් ඉදිරිපත් කළ හැක්කේ එම අධිකරණයේ මහේස්ත්‍රාත්වරයාටය. මිනි මැරුම් වැනි බරපතළ අපරාධ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ මුලික පරීක්ෂණයක් පවත්වා සාක්ෂි ඇත්නම් පමණක් හෝ ඇතැම් බරපතළ අපරාධ සම්බන්ධ මුලික පරීක්ෂණයක් නොපවත්වා ලිපිගොනුව නීතිපතිවරයා වෙත යොමු කරනු ඇත. ඉන්පසුව නීතිපතිවරයා අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කිරීම සඳහා අවම වශයෙන් වසරක කාලයක්වත් ගන්නවා ඇත. සමහර සුවිශේෂී සිදුවීම්වලදී අධිචෝදනා පත්‍රය ඉක්මනින් මහාධිකරණයට ඉදිරිපත් වෙන අවස්ථාද ඇත.
සාමාන්‍ය නඩුවක් නම් මහාධිකරණය දක්වා යෑමට වසර තුනක හෝ හතරක කාලයක් ගත වේ. නඩුව ආරම්භ වූ පසුව නඩුව අවසන්ව තීන්දුවක් ලබාදීම සඳහා තවත් වසර තුනක් හෝ පහක් අතර කාලයක් ගතවෙයි. මේ කාලය ඇතුලත වැදගත් සාක්ෂිකරුවන් මිය යා හැක. සමහර අවස්ථාවල සාක්ෂිකරුවන් විදේශ ගතවෙයි. තවත් අවස්ථාවන්වල ඔවුන් පදිංචි ස්ථානය වෙනස් කිරීම නිසා සොයාගැණුමට නොහැකිවෙනු ඇති. මෙවැනි බෝහෝ හේතූන් නිසා, මෙලෙස අධිකරණ ක්‍රියාවලිය කල් ගතව ඇදීම නිසා, යුක්තිය පසිඳලීම ප්‍රමාදවෙනවාට අමතරව කිසිඳාක යුක්තියක් නොලැබී යන්නටත් පුලුවන් ය. මෙය බරපතළ තත්ත්වයක් ය. ලංකාවේ බොහෝ ප්‍රශ්නවල කේන්ද්‍රය යුක්තිය අහිමිවීමය. මෙම තත්ත්වයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ වර්තමාන තත්ත්වයයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් සහ නීති නොවන කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 600 දෙනකුගේ හිඟයක් ඇති බවත් එම තත්ත්වය තුළ අපරාධ නඩු සඳහා උපදෙස් ලබාදීම ප්‍රමාදවීම් සිදුවෙන් බවත් නීතිපතිවරයා දැනුම්දී ඇති බව හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන්නේ 2021 නොවැම්බර් 11 වෙනි දා ය. එහිදී ඔහු ප්‍රකාශ කරන්නේ මෙම තත්ත්වයට පිළියමක් වශයෙන් අධි නීතිඥවරුන් 50දෙනකු බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බවය.
එවක අධිකරණ අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කරන ගමන් වැඩිදුරටත් කියාසිටින්නේ, නඩු ප්‍රමාදවීම කියන කාරණය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ විෂය පථයට පරිබාහිර හේතු ගණනාවක් බලපා ඇති බවය.
ප්‍රමාණවත් අධිකරණ සංඛ්‍යාවක් නොතිබීම, සීමිත අධිකරණ වෛද්‍ය නිළධාරීන් ප්‍රමාණයක් සිටීම, එම නිලධාරීන් ස්ථාන මාරුවීම් ලැබීම, සීමිත රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රමාණයක් සිටීම, දිනකට එක නිලධාරියකුට අධිකරණ කිහිපයක පෙනී සිටීමට සිදුවීම, වැනි කරුණු රැසක් මෙම නඩු ප්‍රමාදය හා බැඳී පවතින බවය.
මේ සියල්ල සත්‍ය බව අපහට පෙනෙයි. එහෙත් අප මේවා කෙසේ හෝ වෙනස් කරගතයුතු නැද්ද?
මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව ආශ්‍රයෙන් මෙම නඩු ප්‍රමාදයට බලපාන හේතු අවම කිරීම සඳහා නීතිපතිවරයාගේ බලය දිස්ත්‍රික්ක මට්ටමට විමධ්‍යගත කළ නොහැකිද? උත්සාහ ගන්නවා නම් බැරි නැත.
රජයේ රස පරීක්ෂකවරයාගේ කාර්‍යභාරයද එසේ පළාත් මට්ටමින් පවත්වාගෙන යන්නට අමාරුවක් නැත. මේ සඳහා විශාල සේවකයන් ප්‍රමානයක් නැවත බඳවාගත යුතු බව සත්‍යයක් ය. එහෙත් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කාර්‍යක්ෂම කර නඩු ප්‍රමාදය අවම කිරීම සඳහා එම පියවරයන් අනිවාර්‍යෙන් ගත යුතුව ඇත.
මෙසේ නීතිපතිවරයාගේ කාර්‍යභාරය දිස්ත්‍රික් මට්ටමින් විමධ්‍යගත කළහොත් එම දිස්ත්‍රික් නීතිපති නියෝජිත නිළධාරීන්ට අපරාධ සම්බන්ධයෙන් පොලිස් ස්ථාන සඳහා කෙළින්ම අවශ්‍ය උපදෙස් ලබාදිය හැකිය. එමගින් විශාල කාලයක් අඩුකර ගත හැකිවනවා ඇත. එය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තවත් ශක්තිමත් කරනවා ඇත.
මෙම නඩු කටයුතු ප්‍රමාදය අවම කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව අධිකරණය සහ ඊට සමගාමී අනෙකුත් ආයතන ඩිජිටල්කරණය කිරීම ඉතාමත් වැදගත් ය. අප රජයක් ලෙස නිසි ප්‍රථිපත්තියක පිහිටා මෙම ඩිජිටල්කරණය කළහොත් මෙම නඩු ප්‍රමාද කාලය අඩකින් අවම කරගන්නට හැකිවෙනු ඇත.
ඉන්පසුව උසාවිය පවත්වනු ලබන වේලාවන් වෙනස් කිරීම, ත්‍රි පුද්ගල විනිසුරුවරුන් සහිත විශේෂ නඩු විභාග අහෝසි කිරීම, විශ්‍රාමික විනිසුරන් යම් කාලයක් සඳහා යම් යම් නඩු කටයුතු සඳහා යොදාගැනීම, සිවිල් සහ මහේස්ත්‍රාත් අධිකරණවල ක්‍රියාපටිපාටීන් වෙනස් කිරීම, වැනි ප්‍රතිසංස්කරණ හරහා මෙම යුක්තියේ ප්‍රමාදයට පිළියම් සෙවිය හැකිය. අවශ්‍ය වන්නේ ඒ සඳහා රජයක් සතු උවමනාවය.
පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් පිටත නඩු ප්‍රමාදය පිළිබඳව කතාකළ පමණින් හෝ කෙස්ස පැලෙන තර්ක ඉදිරිපත් කළ පමණින් නඩුකටයුතු කාර්‍යක්ෂමතාවයට පත්වන්නේ නැත. ඒ සඳහා ක්‍රියාකාරී සැළැස්මක් පාර්ලිමේන්තුව විසින් ගොඩනගා එය ක්‍රියාවට නැඟිය යුතුය.
ඒ නිස්චිත දින වකවානු සහිතව සොයා බැලීමක් පසුවිපරම් ක්‍රියාවලියක් සමගින් ය.