You are currently viewing 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් විගණකාධිපතිගේ බලය කප්පාදු කරන හැටි

20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් විගණකාධිපතිගේ බලය කප්පාදු කරන හැටි

20 වන ව්‍යවස්ථා සංශෝධනය සිදු කළ ‘සෞභාග්‍ය යේ ආණ්ඩුව‘ ‘විගණකාධිපතිගේ බලය අඩු කරන්නට උත්සහ දරපු පළමු ආණ්ඩුව විදිහට  ඉතිහාසයට එක්වෙනවා යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ලෝකයේ කිසිම රටක් විගණකාධිපති ට දුන්න බලයක් නැවත අරගන්නට නීති හදලා නෑ.  ලෝක විගණන ඉතිහාසයේ එහෙම තැනක් හමුවෙන්නේ නෑ.  ප්‍රජාතන්ත්‍රවාදී, කොමියුනිස්ට්, ඒකාධිපති, රාජාණ්ඩුවලවත් විගණන බලය ශක්තිමත් කරනවා හැර, විගණනය බලය අඩු කරන්නට උත්සහ කරලා නෑ. 

20 වන ව්‍යවස්ථා සංශෝධනය ලෝකයේ කිසිම ආණ්ඩුවක් සිදු නොකල මුල්‍ය විනිවිද භාවය අහෝසි කිරීමේ උත්සාහයක් ගත් ලියවිල්ලක් ලෙස ඉතිහාසයට එක් වනු ඇතැයි ද තෙන්නකෝන් මහතා පවසයි. 

ලෙකෝ, රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිට්ල්, ශ්‍රී ලංකන්, ලෙට්රෝ ගෑස්, ලංකා සතොස, ගල්අගුරු සමාගම, වතු සමාගම් ඇතුළු ආයතන 127 ක් විගණනාධිපතිවරයාගෙන් ඉවත් කරන්නට කටයුතු කරලා තියෙනවා.  අපි දැක්කා, දඹර අමිල හිමියන්ට ලෙට්රෝ ගෑස් සමාගමෙන් දීමනා ගෙවන කොට විගණකාධිපතිවරයා විසින් පෙන්වා දුන් බව.

මේ සමාගම් කොළඹ හෝටල් හදන්න ගිහින් සිදු කරපු දුෂණ වංචා හෙළි වුණේ විගණකාධිපතිවරයා නිසයි.  ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වංචා දුෂණ හෙළිකළේ විගණකාධිපතිවරයා යි.  බැදුම්කර වංචාව ගැන විගණකාධිපතිවරය සිදු කළ විමර්ශන නිසා, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා, එදා විගණකාධිපති ගේ වැටුප් ගෙවන එක පවා නවත්වන්න උත්සහ කළා.  හැබැයි, 19 න් විගණන කොමිසම පිහිටුවන්නට එදා ආණ්ඩුවට සිද්ධ වුනේ ජනතාවගේ බලපෑම නිසයි.  නැතිව, අගමැතිවරයා ගේ කැමැත්ත නිසා නෙවෙයි.

මේ රටේ කොයි පුරවැසියා ද ප්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි කරන්නට යෝජනා කළේ?  කවුරුවත් මේ රටේ විගණන ක්‍රියාවලිය අඩපන කරන්න ඡන්දය ඉල්ලුවේ වත්, ඡන්දය දුන්නේ වත් නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) වගන්තිය යටතේ ජනාධිපති, අගමැති කාර්යාල විගණනය කළ යුතු වෙනවා.  රටේ ම තියෙන සම්පත් මේ ආයතන දෙකට ඕනෑම වෙලාවක ගෙන්වා ගන්නට පුළුවන්.  ජනාධිපති, අගමැතිටවත් තමන්ගේ කාර්යාලය විගණනයෙන් ඉවත් කරන උවමනාවක් තියෙන්න බෑ.    

20 කොත්තුවක් කියලා මාධ්‍ය වේදී  කුසල් පෙරේරා කියලා තිබුණා.  අපිට කොත්තුගේ ගුණ අගුණ වගේම, මේ කොත්තු බාස් හොයා ගන්නත් ඕනි.  ලෝක ඉතිහාසයේ පළමු වරට  විගණකාධිපතිගේ බලය කපන්න යෝජනා කරපු ව්‍යවස්ථා විශාරදයාගේ නමින් පිළිරුවක් දියත උයනේ විගණකාධිපති ගේ කාර්යාලය ඉස්සරහ හදන්න ඕනි යැයි ද තෙන්නකෝන් මහතා සිය නිවේදනයේ දක්වා තිබේ.

Leave a Reply