You are currently viewing ශ්‍රී ලංකාව නිරාගමික රාජ්‍යයක් විය යුතු ද ?

ශ්‍රී ලංකාව නිරාගමික රාජ්‍යයක් විය යුතු ද ?

අනාගමිකභාවය, නිරාගමිකභාවය යන වචන දෙක අතරින් අප තෝරාගත යුත්තේ කුමන සංකල්පය ද යන කාරණය සම්බන්ධයෙන් කතිකාවක් ගොඩනැගීමේ අරමුණෙන් කොළම විශ්වවිද්‍යාලයේ කථිකාචාරිය සුමිත් චාමින්ද ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් සංවාදයක් පසුගිය දා One Test Initiative ආයතනය විසින් පවත්වන ලදී. One Test Initiative ආයතනය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ අතර සහයෝගීතාවය සහ ප්‍රතිපත්තිමය එකඟතා ප්‍රවර්ධනය කිරීම සඳහා බොහෝ පක්ෂ විසින් දායක වී සකස් කරගත් ස්ථාපිත කර ඇත.

සාකච්ඡාව මෙහෙය වූ නීතිඥ ශිරාල් ලක්තිලක අනාගමිකභාවය හා නිරාගමිකවාදය පිළිබඳවත් මෙවැනි සංවාද පැවැත්වීමේ වැදගත්කම හා එහි අරමුණු පිළිබඳවත් ප්‍රථමයෙන් දැනුම්වත් කිරීමක් සිදුකරනු ලැබීය.

ඉන් අනතුරුව කථිකාචාර්ය සුමිත් චාමින්ද සංවාදයට ප්‍රවේශවෙමින් ඉන්දියාවේ වත්මන් තත්ත්වය හා ඉන්දියාවේ නිදහස් අරගලයේ දී මහත්මාගාන්ධිගේ එකම ජාතියක් යන සංකල්පය පැහැදිලි කරන ලද්දේ ශ්‍රී ලංකාවේ අනගාරික ධර්මපාලතුමා ජාතික හා ආගමික පදනමක පිහිටා කටයුතු කළ ආකාරය හා සන්සන්නය කරමිනි. ඉන් අනතුරුව ඊජිප්තුව, පකිස්ථානය, තුර්කිය, ප්‍රංශය, ඇමෙරිකාව, ජර්මනිය, බංග්ලාදේශය වැනි රටවල් බිහිවී පවත්වාගෙන ගිය ආකාරය ද ජාතිකත්වය, භාෂා විවධිත්වය, අනාගමිකභාවය හා නිරාගමිකවාදය පදනම් කරගනිමින් විවරණය කළේය.

ඔහු පෙන්වාදෙන්නේ 40, 50 සහ 60 දශක‍යන් හි යටත් විජිතවාදයෙන් නිදහස් වූ රටවල් නිරාගමිකභාවයට පෙළඹුන ද මේ වනවිට එම නිරාගමික බවින් ඔවුන් ඈත් වෙමින් පවතින බවයි. මේ සඳහා ඉන්දියාව ම හොඳ උදාහරණයක් බව ද ඔහු කියා සිටියේය.

මෙහි දී වැදගත් වන්නේ ශ්‍රී ලංකාවට නිරාගමික රාජ්‍යයක් අවශයද යන්නයි. රාජ්‍ය සහ ආගම අතර වෙනස මෙන්ම පුද්ගලයින් අතර සත්‍යය සහ විශ්වාසයන් අතර ඇති වෙනස විභේදනය කර ගත යුත්තේ කෙසේද යන්න මෙහිදී වැදගත්වේ. සත්‍යය වනාහී මෙම යුගයේ සාපේක්ෂ දෙයකි. තාක්ෂණික යුගයේදී නිරපේක්ෂ සත්‍ය යන්නෙන් දෙයක් නැති වන කාලයක නැවත අනාගමිකභාවය පිළිබඳ සංකල්පය දාර්ශනිකව කතා කළ යුතු වී තිබේ. එයත් හුදෙක්ම විශ්වාසයක් පමණක් ද යන්න සාකච්ඡා කළ යුතුය.

ශ්‍රී ලංකාව දිගින් දිගටම මුහුණ දෙමින් තිබෙන අර්බුදය වන්නේ ආරක්ෂාව සම්බන්ධ උභතෝකෝටිකයක යි. එහිදී රටේ සමස්ත ජාතියේම ආරක්ෂාව පිළිබඳ උභතෝකෝටිකය නොව, රාජ්‍ය බලය රඳවා ගැනීමේ ප්‍රභූ පන්තියේ උභතෝකෝටිකයයි. මෙම අර්බුධය ධර්මපාලතුමාගේ කාලයේ සිටම ඇති කළ මෙම ප්‍රභූ ජාතිකවාදී කතිකාව ලංකාවේ අනෙකුත් ජාතීන් ආගම් බැහැර කරන ව්‍යාපෘතිය පසුපස තිබෙන්නේ එක පැත්තකින් රාජ්‍යයේ අධිපති බලය සම්බන්ධ ව්‍යාපෘතියයි.

ශ්‍රී ලංකාවේ 1956 න් පසු ලංකා රාජ්‍ය බලය සම්බන්ධයෙන් එතරම් වෙනසක් සිදුව නැති බව කිව යුතුය. 1977 දක්වා නොබැඳි ප්‍රතිපත්තියක ඉන්දියාව හා සමගාමීව සිටිය ද ලංකාව දුර්වල රාජ්‍යයකි. අභ්‍යන්තර තර්ජන සහ විදේශ මැදිහත්වීම් හමුවේ 1977 න් පසුවද ලංකාව බලවත් වූවේ නැත. මේ තුළ ලංකාවේ බලය එක්සත් කිරීමේදී ඒ සඳහා උපාය වී තිබෙන්නේ අනාගමිකවාදය හෝ නිරාගමිකවාදයක් නොව සුළු ජාතීන් වෙන් කරමින් මහ ජාතියේ ආරක්ෂාව තහවුරු කිරීමෙනි. ඒ අනුව ජාතිකවාදය සහ බලය අතර ප්‍රබල සම්බන්ධයක් ඇති බව මෙහිදී අවසාන වශයෙන් කිව යුතුය.

 ජ්‍යේෂ්ඨ පර්යේෂක හරේන්ද්‍ර දිසානායක මෙසේ කීවේය.

”‍ථෙරවාදී බෞද්ධ රටක් වශයෙන් ලංකාවේ තත්ත්වය සලකා බැලුවහොත්, පළමුව කිව යුත්තේ ලෝකයේ ඇති කිසිදු ථේරවාදී බෞද්ධ රටක් ආගමින් රාජ්‍ය වෙන් කර නැති බවයි. අප ස්වභාවයෙන්ම රාජ්‍ය සහ ආගම එකිනෙකට බැඳ තබන්න උත්සාහ කරනවා පෙනේ. තායිලන්තය, මියන්මාරය සහ ලංකාවේ තත්ත්වය සලකා බැලුවහොත් එය ඉතාමත් පැහැදිලිය. මේ කිසිදු රටක් ඒ ආයතන දෙක වෙන් කිරීමට උත්සාහ කර හෝ කරන්නේ නැත. ලංකාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට රකින විශ්ණු දෙවියන්ගේ පාට පක්ෂයට ලබා ගෙන දැඩි ආගමික රාජ්‍යයක ලක්ෂණ ඇති කළා. විශේෂයෙන්ම, ඔවුන් බලය ලබාගත් අවස්ථාවේදී හදා තිබූ පාසල් ආගමට හරවා ගෙන රාජ්‍ය තන්ත්‍රයට බෞද්ධාගමේ පිරිස් ගෙනැවිත් බෞද්ධ රාජ්‍යයක් ගොඩනංවීමට කටයුතු කළා කීවොත් නිවැරදිය. නිරාගමිකභාවය එක්සත් ජාතික පක්ෂයේ තරමක් දක්නට තිබුණ ද ආගමින් රාජ්‍ය වෙන් කිරීම යන කාරණයේදී ලංකාව අසමත් වී ඇත. එමෙන්ම ලෝකයේ කිසිදු ථේරවාදී බෞද්ධ රටක් එය සිදු කර නැති බව කිව යුතුය. ශ්‍රී ලංකාව පැත්තෙන් බැලූ කල මෙය දැන් සිංහල බෞද්ධ රටක් නොව, ‘බෞද්ධ – සිංහල’ රටක් බව කිව යුතුය. අපගේ ප්‍රමුඛ අනන්‍යතාවය සිංහලකම, දෙවන අනන්‍යතාවය බෞද්ධකම නම්, අප දැන් සිටින්නේ අනන්‍යතා මරු කරගෙනය. දැන් පොදු ජීවිතය සංවිධානය කරන්නේ ආගම විසිනි. ජනාධිපති දිවුරුම් දෙන ආකරය පිළිබඳ විමසිලිමත් වන්නේ නම්, එය මැනවින් දැකිය හැකිය. ඒ අනුව නිරාගමිකවාදය අප ගොඩ ගනීවි ද නැත්නම් අගාධයක් වෙත ගෙනයාවි ද යන්න අවිනිශ්චිතය. එය ගොඩගැනීමට නම් අප ‘ජාතිය’ පිළිබඳ ඇති කතාන්දරය වෙනස් කර ගත යුතුය.

ශ්‍රී ලංකාවේ බලයේ ස්වභාවය එදා පටන් අදටත් සමානබවක් පෙන්වයි. ප්‍රභූ තත්ත්‍රය තුළ විශාල තරඟයක් නිර්මාණය වී තිබේ. අද ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය අනුකරණය කරමින් මෙරට පොදු ජන පෙරමුණ නිර්මාණය වී ඇති බව පැහැදිලි කරුණකි. ඒ අනුව අද ගාන්ධියානු ආදර්ශය වෙනුවට භාරතීය ජනතා පක්ෂයේ ස්වභාවය ජාතිකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනුකරණය කරමින් සිටිනවා.

කෙසේ වෙතත් ඉන්දියාවෙන් හෝ වෙනත් කිසිදු තැනකින් තෝරාගත් ආකෘතියක්  ශ්‍රී ලංකාවට ආරෝපණය කර ගැනීම සම්බන්ධයෙන් ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. මෙහි දී වඩාත් වැදගත් වන්නේ විවිධ  සන්ධර්භවලදී ගනු ලැබ ඇත්තේ එක් එක් අර්ථ බව තේරුම් ගැනීමයි. 

Leave a Reply