– කේ. සංජීව –
පොළොන්නරු මනම්පිටියේ පසුගිය දා සිද්ධවුණ බස් රථ අනතුර නිසා මිනිසුන් 10 දෙනෙක් මරණයට පත්වෙලා 40කට වැඩි පිරිසක් තුවාල ලබලා තිබෙනවා. මේ අනතුරට හේතුව රියදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය. කඳුරුවෙල සිට කාන්තන්කූඩිවලට ධාවනය වෙමින් තිබුණාය කියන මේ බස් රථය පදවනු ලැබූ රියදුරාගේ රියදුරු ඉතිහාසය පිරිසිදු එකක් නෙවෙයි කියලා කියන්නෙත් පොළොන්නරුව පොලීසිය. නිතර දඩකන අවවාද ලබන තවත් බස් රථ රියදුරෙක් කරපු හදියක් නිසා ආයෙත් අපි පුද්ගලික බස් මාෆියාව ගැන වගේම මඟමරුවා කර්මාන්තය ගැනත් කතාකරන්න පටන් අරගෙන.
මාර්ග අනතුරු නිසා 2021, 2020, සහ 2019 අවුරුදුවල කොතරම් මිනිස්සු ප්‍රමානයක් මියැදිලා තිබෙනවා ද? ඔබ මොහොතකට සිතන්න. මේ අවුරුදු තුන තුළ පිළිවෙලින් පදිකයෝ 612, 671, 776ක් මරණයට පත්වෙලා තිබෙනවා මාර්ග අනතුරු නිසා. මාර්ග අනතුරු නිසා මගීන් කොතරම් ප්‍රමානයක් මේ අවුරුදු තුන තුළ සිය ජීවිතේට විරාමය තියලා තියෙනවාද? ඉහත අවුරුදු පිළිවෙලටම ඒ ගාන මෙන්න මෙහෙමයි – 264, 279, 405
මේ මාර්ග අනතුරුවලින් රියදුරන් කොතරම් ප්‍රමානයක් මරණයට පත්වෙලා තිබෙනවාද? 2021, 2020, සහ 2019 කියන මේ අවුරුදු තුන ඇතුත රියදුරන් පිළිවෙලින් 298, 200, 282 මරණයට පත්වෙලා තිබෙනවා.
මේ දත්ත මම ගත්තේ ප්‍රවාහන අමාත්‍යාශයේ වෙබ් අඩවියෙන්. පොලිස් වාර්තාවන්ට අනුව මේ ගණන් තවත් විශාල විය හැකියි. මේ මහපාරේ රිය අනතුරුවලට ප්‍රධානම හේතුව තමයි කිසිඳු සංස්කෘතියක් නැති අවිදිමත් පුද්ගලික බස් රථ සේවාව. මේක ඇත්තටම මාෆියා එකක් කීවොත් වැරදි නෑ.
පොලීසිය කියන විදිහට ලංකාවේ සිදුවන රිය අනතුරු සාතිශ්‍ය බහුතරයකට වගකියන්න ඕනී අවිනීත බස් රථ රියදුරන්. ඔවුන්ට මාර්ග නීති අදාළම නැති බව තමයි පොලීසියේ නිරීක්ෂණය. පොලීසියේ විතරක් නෙවෙයි මහජනතාව වන අපගේ නිරීක්ෂණයත් ඒකම තමයි. ඇයි පුද්ගලික බස් රථ කර්මාන්තයට මෙහෙම වෙලා තියෙන්නේ.
ලංකාව තුළ ක්‍රියාත්මක පුද්ගලික බස් රථ කර්මාන්තය කියන්නේ ඇත්තටම ස්ව- රැකියාවක් කීවොත් හරියටම හරී. බස් රථ දහයකට පහළවකට වඩා තියෙන ව්‍යාපාරිකයෝ මේ ව්‍යාපාරයේ ඉන්නේ අතලොස්සයි. අනෙක් සියල්ලන්ම ලීසින් කරලා බස් එකක් අරගෙන, දේශපාලන හිතවත්කම් උඩ මාර්ග බලපත්‍රයක් අරගෙන, බස් රථයක් පාරට දාපු උදවිය. ඒ පිරිසෙන් සාතිශ්‍ය බහුතරය අද වෙනකොට තමන්ගේ බස් රථය දවසේ කුලියට දීලා තමයි තිබෙන්නේ.
බොහෝ මාර්ගවල අද බස් රථ කුලියට අරගෙන දුවන්නේ රියදුරන් සහ කොන්තදොස්තරවරුන්. බස් සහ මාර්ග බලපත්‍ර හිමිකරුවන් අතරමැදියන් විදිහට ඉදගෙන මේ කර්මාන්තයෙන් විශාල මුදලක් හම්බකරනවා. ඇත්තටම ඒක හම්බකිරීමටත් වඩා ගසා කෑමක් කීවොත් ඒක තමයි නිවැරැදිම කතාව. බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය දේශපාලන සම්බන්ධකම් නිසා, හැමෝටම මේ කර්මාන්තයට එන්න අමාරුයි.
2021, 2020 සහ 2019 වර්ෂවල ලංකාව පුරා මාර්ගවල ධාවනය වුණ පුද්ගලික බස් රථ පිළිබඳ සංඛ්‍යා දත්ත ඉහත සඳහන් කරපු වෙබ් අඩවියේ තිබෙනවා. ඊට අනුව මේ අවුරුදු තුනේ ලංකාවේ ධාවනය කළ බස් ගාණ තමයි මේ – 20,021, 20,123, 19,979.
මේ දත්ත දිහා බැලුවාම පෙනෙන්න ඕනී මේක විදිමත් කරන්න ලේසි නැති සේවාවක් කියන දේ. බස් විසි දහසක් ගත්තොත් අවම වශයෙන් දහදාහකට එහා අයිතිකරුවන් සිටිය හැකියි. අපි නිකමට හිතමු මේ ප්‍රමානය 15000ක් කියලා. මේ තත්ත්වය තුළ මේක නියාමනය කරන්නේ කොහොමද? බොහෝ බස් හිමිකරුවන් අද වෙනකොට නාමිකයි. ඔවුන් හවසට ඔවුන්ගේ කුලිය ගන්නවා පමණයි. ඔවුන්ට පාලනය පිළිබඳ කිසිඳු බලයක් නැහැ. මෙන්න මේ තත්ත්වය තුළ මේ කර්මාන්තය විදිමත්, මිනිස් ජීවිත ආරක්ෂා කරන කර්මාන්තයක් බවට පත් කිරීම, ලේසි නෑ.
අනික් පැත්තෙන් හොඳ පාලකයෙක්ට මේක හොඳ පැත්තට හරවන්න බැරිකමක්කුත් නැහැ. මේ රට යම්කිසි කෙනෙකුට දියුණු කරන්න අවශ්‍යයි නම් මේ පුද්ගලික බස් රථ කර්මාන්තය විදිමත් කරලා එය කර්මාන්තයක් බවට පත් කළ යුතුයි.
ඒ සඳහා මුලින්ම මේ කර්මාන්තයේ වර්තමාන ස්වභාවය අප තේරුම් ගත යුතුයි. අමාත්‍යාංශයම කියන විදිහට බස්නාහිර පළාතේ හෙරෝයින් අයිස් වගේ අන්තරායකර මත් පාවිච්චියට අරගෙන බස් රථ ධාවනය කරන රියදුරන් විශාල ප්‍රමානයක් ඉන්නවා.
මේ පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශය කියන්නේ මෙන්න මේවගේ කතාවක්.
“මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රිය ධාවනය කරන රියදුරන් ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මාර්ග අනතුරු වැඩිවීමේ ප්‍රවණතාවය අඩුකර ගැනීම අරමුණු කරගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණ නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කළ බවත්, එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් රුපියල් මිලියන 10 ක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය කට්ටල (Drugs Kit) 5000 ක් ශ්‍රී ලංකා පොලීසිය වෙත ලබාදී එමගින් බස්නාහිර පළාත තුළ 2023 ජුනි 12 සිට 18 දින දක්වා රියදුරන් 1781 ක් පරීක්ෂාවට ලක් කළ බවත්, ඉන් රියදුරන් 66 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු වු බවටත් වැඩිදුරටත් සඳහන් කරන ලදී”
මෙයින් ඔබට මේ කර්මාන්තය තුළ වර්තමානයේ පවතින මාෆියා ස්වභාවය තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෑ. බස් රථයක දෛනික ආදායමෙන් යම් කොටසක් ජාතික ගමනාගමන කොමිෂමෙන් පත්කරලා සිටින පරීක්ෂකවරුන්, පාලකවරුන්, නියාමකවරුන් වෙනුවෙන් වෙන්වෙනවා. තවත් කොටසක් පොලිස් නිළධාරීන් වෙනුවෙන් වෙන් වෙනවා. තවත් කොටසක් වෙන් වෙන්නේ කප්පන්කරුවන් වෙනුවෙන්. බස් රථවලින් කප්පම් එකතුකිරිම අද පාතාලයේ ප්‍රධාන කාර්‍යයක්. ඊළඟට තවත් විශාල මුදලක් රියදුරුගේ සහ කොන්දොස්තර ගේ මත් අවශ්‍යතාවය වෙනුවෙන් කාමභෝගී ජීවිතය වෙනුවෙන් වැය වෙනවා.
මෙහෙම ආදායම බෙදෙන පසුබිමක බස් රථයේ අයිතිකාරුවන්ට සහ රියදුරු කොන්දොස්තරට ගෙදරට ගෙනයන්න ලැබෙන මුදල සීමිත වෙනවා. ඒ සීමිත මුදල වර්ධනය කරගන්න නම් අසීමිත තරඟයක නිරත වෙන්න වෙනවා. රේස් යන්න වෙනවා. මරුවා පෙනි පෙනී ඉස්සර කරන්න, අනෙක් බස් රථයකට වෙට්ටු දාන්න වෙනවා.
මෙන්න මෙහෙම තත්ත්වයක තිබෙන මේ කර්මාන්තය වෙනස් කරන්නේ කෙසේද? මේ පිළිබඳව යෝජනා අදහස ඕනෑවටත් වඩා සමාජය උඩට ඇවිත් තිබෙනවා. සිංගප්පූරුව වගේ රටක් ආදර්ශයට ගත්තොත් අපිට මෙන්න මේ යෝජනා කිහිපය මේ විදිහට එකතු කරන්න පුලුවන්. මොරටුව විශ්ව විද්‍යාලය වැනි ආයතනත් මෙවැනි යෝජනා ඉදිපත් කරලා තිබෙන බව දැනගන්නට තිබෙනවා. ඒත් මේ යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැක්ම සහ ප්‍රතිපාදන සම්පාදනය විය යුතුයි.
1/ සමාගම් තුනක් විතර හදලා ඒ තුනට මේ බස් රථ සියල්ල අන්තර්ග්‍රහනය කරගන්න ඕනී.
2/ සියලු බස් රථවල කොන්දොස්තරවරුන් අයින් කරන්න ඕනී
3/ ගෙවීම සඳහා ස්මාට් කාඩ් ක්‍රමය හඳුන්වා දෙන්න ඕනී. (කාඩ් එක බස් එකේ තියෙන සන්වේදකයේ, නගිනකොට සහ බහිනකොට ස්පර්ශ කළාම ගෙවීම සිදුවෙනවා)
4/ බස් රථයේ රියදුරාට නිළ ඇඳුමක් දෙන්න ඕනෑ
6/ ලොරිබොඩි බස් රථ අයින් කරලා ඇත්ත බස් ගේන්න ඕනී. සියලුම බස් වායු සමනය කළ බස් රථ වෙන්න ඕනෑ..
7/ අධිවේගී මාර්ගවල ඇරුණාම අනෙක් මාර්ගවල වේග සීමා පොවරු සවිකරලා ඒ ගැන දැනුවත් කරන්න ඕනී. පැයට කිලෝමීටර් 60කට එහා වේගයකින් යන්න බැරිවෙන්න නීති ගේන්න ඕනෑ.
8/ බස් රථ සහ දුම්රිය ඒකාබද්ධ කරන්න ඕනෑ.
9/ පාරේ හිතාමතාම අපරීක්ෂාකාරී විදිහට රිය ධාවනය කරලා මිනී මරණ රියදුරන්ට දඬුම්කිරීම සඳහා ඒක සංවිධානත්මක අපරාදයක් බවට පත් කරන්න ඕනෑ. (දැන් තියෙන ක්‍රමය අනුව සති දෙකෙන් ගෙදර)
10/ වේග නීතිය කැඩීම, නොසැලකිලිමත් රිය පැදවීම වැනි වැරදිකර පළවෙනි පාරට අහුවුණොත්, පළවෙනි පාරට අවුරුද්දක් රියදුරු බලපත්‍රය අත්හිටුවිය යුතුයි. දෙවෙනි පාර, තුන්වෙනි පාර වෙනකොට ජීවිතාන්තය දක්වාම රියදුරු බලපත්‍රය අවලංගු කළ යුතුයි.
මේවා ඉතිං අපි හැමදාම කියනවා. ඒත් වෙන්නේ නෑ. මේවා කරන්න හරි ස්මාට් පාලකයෙක් එන්න ඕනෑ. එහෙම නැතිව මේ අවිදිමත් කර්මාන්තයට තිත තියන්න බැහැ. අපේ මාර්ග සහ රථ වාහන නීතිය තියෙන්නේ රජයට සල්ලි හම්බකරන්න, පොලිස්කාරයන්ට අතයටින් ගණුදෙණුවක් කරගන්නට මිසක් මිනිස් ජීවිත රැකගන්න නෙවෙයි. එනිසා මොහොතක් සිතන්න. පුරවැසියන් විදිහට මේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කතාකරන්න..!