You are currently viewing අධිකරණමය මනසක් හැම මහේස්ත්‍රාත්වරයෙක්ටම ලැබේවා…!

අධිකරණමය මනසක් හැම මහේස්ත්‍රාත්වරයෙක්ටම ලැබේවා…!

කේ. සංජීව

පසුගිය ජූලි 06 දා ප්‍රහසන ශිල්පිනී නතාශා එදිරිසූරිය ගේ ඇප ඇයදුම් පත විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කළේය.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ සැකකාරියගේ ප්‍රකාශය තුළින් මහජන කැළඹීමක් ඇති වූ බව තහවුරු කෙරෙන කරුණු කිසිවක් ඇය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති බී වාර්තාවේ සඳහන් නොවන බවය.

මෙම නඩු තීන්දුව හේතු කිහිපයක් නිසා ඉතාමත් වැදගත් බව කිවයුතුය. එනිසාම ඒ පිළිබඳව අප වැඩි වැඩියෙන් ලිවිය යුතුය. මෙම නඩු තීන්දුව අන්තර්ගත වාර්තාව කියවාගෙන යනවිට ගරු මහාධිකරණ විනිසුරුවරයා මෙසේ එක තැනක ප්‍රකාශ කරයි. ‘එසේම අධිකරණයක වගකීම වන්නේ විමර්ශන නිළධාරීන් එනම් පොලිස් නිළධාරීන් සංඥය වරදක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමේදී එම සැකකරුට හෝ සැකකාරියට විරුද්ධව ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් අධිකරණමය මනසකින් කටයුතු කර ඉදිරිපියවර ගැනීම විනා විමර්ශකයන් ඉදිරිපත් කළ පමණින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නොවන බවටද සටහන් කළ යුතුය’ මෙම ප්‍රකාශය ඉතාමත් වැදගත් බව අපගේ හැඟීමයි.

ගරු කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාද මේ කියන ආකාරයෙන් අධිකරණමය මනසකින් කටයුතු කළානම් ඔහුට එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ජාත්‍යන්තර සම්මුති පනත අරඹයා මෑත කාලීනව ඉදිරිපත් කර තිබෙන අදහස් සහ ප්‍රකාශන‍යන් ඇස ගැටෙන්නට තිබුණි. එසේ ඇසගැටුනා නම් විශේෂයෙන් මෙම සම්මුති පනත කිසියම් සැකකරුවෙකුට විරුද්ධව පාවිච්චි කිරීමේදී සැලකිල්ලට ගත යුතුයැයි එක්සත් ජාතීන් යෝජනා කරන ‘රබාට් ක්‍රියාකාරී සැළැස්ම’ අනුව කටයුතු කරන්නට ඔහුට සිතෙන්නට ඉඩ තිබුණි. එනිසා ගරු උගත් මහේස්ත්‍රාත්වරුන්ට මෙන්ම පොලිස් ලොක්කන්ටද අධිකරණමය මනසක් ලැබේවා යන්න මගේ ප්‍රාර්ථනාවයි…!

‘මේ තැනැත්තිය ඉදිරිපත් කරන වචන සම්බන්ධයෙන් මටත් ගැටලුවක් තිබෙනවා. නමුත් යම්කිසි දෙයක් ඉදිරිපත් කළ පමණින් ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නෙ කොහොමද? විද්‍යාව ගැන තරයේ විශ්වාස කරන පුද්ගලයෙකුට ආගම්වල තිබෙන ඇතැම් කාරණා ප්‍රායෝගික දැයි ප්‍රශ්න කරන්න පුළුවන්. ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නෙ කොහොමද? යම් යම් ප්‍රකාශ වලින් විවිධ පුද්ගලයින්ගේ හා ජන කණ්ඩායම් වල සිත් රිදීම් හා සිත් තැවුල් ඇති වෙන්න පුළුවන්. ඒත් ඒ සියල්ලක්ම වෛරී ප්‍රකාශ යන්නට ඇතුලත් කරන්න බැහැ.’ මෙසේ ප්‍රකාශ කරන ගරු මහාධිකරණ විනිසුරුවරයා පසුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කරුණු එකින් එක ගෙනහර දක්වමින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ යම් සැකකරුවෙක් අත්අඩංගුවට ගන්නේ නම් එහිදී සැලකිලිමත් විය යුතු කරුණු ගෙනහැර දක්වයි.

මෙම කරුණු මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දක්වමින් අපත් මීට ටික කාලයකට ප්‍රථම දැක්වූ අදහස් ය. එයට හේතුව මෙම සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීමක් සිදුකිරීමට ප්‍රථම මෙන්ම අධිකරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ප්‍රථමද යම් සලකා බැලීම් ගොන්නක් විමර්ශකයන් සහ ගරු මහේස්ත්‍රාත්වරයා කළ යුතු යැයි දීර්ඝ සාහිත්‍යක් තිබෙන බැවින් ය. එහෙත් ලංකාව තුළ මෙම පනත භාවිතා කළේ වල්බූරු නිදහසක් සහිතව දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කරන්නට ය. එනිසා ඒ සාහිත්‍ය මඟහැර වෙනත් පාරවල්වල රස්තියාදු ගැසීමට විමර්ශකයන් කටයුතු කළෝය.

අප පනතේ 3වෙනි වගන්තිය අන්තර්ජාතික සම්මුති පනතේ 20 වෙනි වගන්තියේ දෙවෙනි උප වගන්තියට සමාන බව ප්‍රකාශ කරන මහාධිකරණ විනිසුරුවරයා මෙය අර්ථදැක්විය යුත්තේ එම පනතේම 19 වැනි වගන්තිය සමග කියවමින් බව අවධාරණය කරයි. 19 වැනි වගන්තියෙන් ප්‍රකාශ වෙන්නේ භාෂනයේ සහ ප්‍රකාශනයේ අයිතියයි. මෙය ඉතාමත් වැදගත් අවධාරණය කිරීමක් ය. ලංකාවේද මූලික අයිතිවාසිකම් තුළින් භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය තහවුරු කර ඇත.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව ක්‍රියාකාරී සැළැස්මක් 2020 සැප්තැම්බර් මස එළිදක්වා ඇතිබවද ප්‍රකාශ  කරන මහාධිකරණ විනිසුරුවරයා ඒ අනුවද කටයුතු කළ යුතුයැයි ප්‍රකාශ කරයි. එහිදී වෛරී ප්‍රකාශ කොටස් තුනකට වැටෙන බවත් 1. සමූල ඝාතනයන් සිදුවන ආකාරයේ බරපළත වෛරී ප්‍රකාශ, 2. මධ්‍යම මට්ටමේ වෛරී ප්‍රකාශ, 3. ඉතාම අඩු මට්ටමේ ප්‍රකාශ යන්න එම කොටස් තුන බව සඳහන් කරන මහාධිකරණ විනිසුරුවරයා විශේෂයෙන් යම්කිසි ප්‍රකාශයක් වෛරී ප්‍රකාශයක් ද නැද්ද කියා තීරණය කිරීමේදී ඒකී ප්‍රකාශය මගින් ඉලක්කගත කණ්ඩායමක් වෙනස්කමකට ලක් කිරීම සඳහා උසිගැන්වීමක් තිබීමට නම් වෛරී ප්‍රකාශය කරන්නා, ප්‍රේක්ෂකාගාරය, ඉලක්කගත කණ්ඩායමක් තිබිය යුතු බව ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙම සැකකාරිය 2023.04.01 දින ප්‍රකාශය කළේ යැයි කියනු ලබන වැඩසටහනට සහභාගී වූ ප්‍රේක්ෂකයින් කිසිඳු ප්‍රචණ්ඩත්වයක නිරතවූ බවට කිසිඳු සාක්ෂියක් නැතැයි ප්‍රකාශ කරන විනිසුරුවරයා යම් ප්‍රකාශයක් වෛරී ප්‍රකාශයක් ද නැද්ද යන්න සැලකා බැලීමේදී අනුගමනය කළ යුතු නිර්නායකයන් මොනවාද යන්න 2012 ඔක්තෝම්බර් මාසයේදී මොරොක්කෝවේ රබාත් නගරයේදී එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්‍යාලය පැවැත්වූ සැසිවාරයේදී හඳුන්වා දුන් බවත් එය වැදගත් බවත් අවධාරණය කරයි.

රබාට් ප්ලෑන් ඔෆ් ඇක්ෂන් යන්නට වැදගත් බවක් ලංකාව තුළ ලබාදෙමින් ගරු විනිසුරුවරයා එහි අන්තර්ගත කරුණු 06 උපුටමින් යම් ප්‍රකාශයක් වෛරී ප්‍රකාශයක් වන්නේ කෙසේදැයි පැහැදිලි කරයි. එහිදී එම ප්‍රකාශය කරනු ලබන සන්දර්භය සහ කථානායකයා කවුද යන්න බෙහෙවින් වැදගත් බව අපගේද හැඟීමයි. ඒවා පිළිබඳව තැකීමක් විමර්ශකයන් හෝ මහේස්ත්‍රාත්වරයා කළානම් ශක්තික සත්කුමාර වැනි පුද්ගලයන් එතරම් දීර්ඝ කාලයක් මානවහිමිකම් කඩමින් රඳවා තබාගන්නට හේතුවක් නැත.

මෙනිසා ආගමික නායකයෙක් පොලීසියට පැමිණ ආගමික අපහාසයක් සිදුවූ බවට හෝ යම් පුද්ගලයෙක් වෛරී ප්‍රකාශයක් කර ඇතැයි ප්‍රකාශ කළ පමණින් ඔහු අත්අඩංගුවට ගෙන මෙම පනත යටතේ රක්ෂිත බන්ධනාගාරයට දැක්කීම පොලිස් ලොක්කන්ගේ කාර්‍ය නොවන බව මෙන්ම එවැනි සැකකරුවෙක් පොලීසිය විසින් උසාවියකට ඉදිරිපත් කළ පමණින් ඔහු හෝ ඇය රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ගරු මහේස්ත්‍රාත්වරයාගේ රාජකාරිය නොවෙන බවද මෙම නඩු තීන්දුවෙන් ගරු මහාධිකරණ විනිසුරුවරයා අවධාරණය කරයි. ඒ අර්ථයෙන් මෙම නඩු තීන්දුව බෙහෙවින් වැදගත් බව ප්‍රකාශ කළ යුතුය.

ඔහු මෙහිදී දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ වගන්තිද ගෙනහැර දක්වමින් ප්‍රකාශ කරන්නේ ඒ වගන්ති හරහා හෝ ගොස් නතාෂාට මෙම සිදුවීමට දඬුවම් කළ නොහැකි බවයි. මෙයත් බෙහෙවින් වටිනා නිරීක්ෂණයක් ය. මෙම නඩු තීන්දුව පොලිස් ලොක්කන් ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ ඇස් ඇරවනු ඇතැයි අප කල්පනා කරමු…!

Leave a Reply