You are currently viewing යන යකා ඊපීඑෆ් එකත් බිඳගෙන ගියා වගේ…!

යන යකා ඊපීඑෆ් එකත් බිඳගෙන ගියා වගේ…!

-කේ. සංජීව-

පසුගිය ජුලි 01වැනිදා දේශීය ණය ප්‍රශස්ථකරණයට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අතර එම යෝජනාව වැඩි ජන්ද 60කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ජන්ද 122ක් ද විපක්ෂව ජන්ද 62ක් ලැබුණි.

දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීමේ ක්‍රියාවලිය දින 05ක බැංකු නිවාඩුවක් ද සමගින් පසුගිය සතියේ දී ‘ණය ප්‍රශස්ථකරණය’ යන නමින් රජය විසින් ආරම්භ කළ අතර විපක්ෂ කණ්ඩායම් මීට සිය විරෝධය පළකරණු පෙනුනි. එයට ප්‍රධානම හේතුව මෙම ක්‍රියාවලිය මගින් ඊපීඑෆ් මත ඇතිකරණු ලබන අහිතකර ප්‍රථිපලයයි.

මහබැංකු වාර්ථාවන්ට අනුව රජයේ සමස්ථ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 83.67කි. මෙම ණය මල්ල තුළ දේශීය ණය ඩොලර් බිලියන 42.1ක් ද විදේශ ණය ඩොලර් බිලියන 41.5ක් ද අන්තර්ග ය. මෙම සමස්ථ ණය සංයුතියෙන් ණය ඩොලර් බිලියන 19.8ක් මෙම යෝජනාවලියට අනුව පුතිව්‍යුගතකරණය කෙරෙනු ඇත.

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය  ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ ‘රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 128% ක් වූ ණයබර, 2032 වනවිට 95 % ක් දක්වා අඩු කිරීම, දළ දේශීය නිෂ්පාදනයෙන් 34.6%ක් ව පවතින ශ්‍රී ලංකාවේ දළ මුල්‍ය අවශ්‍යතාවය, 2027-2032 වන විට වාර්ෂික සාමාන්‍ය 13% ක් දක්වා අවම කරගැනීම සහ 2022 වසර වනවිට දළ දේශීය නිෂ්පාදනයෙන් 9.4% ක්ව ඇති ශ්‍රී ලංකාවේ විදේශීය ණය සේවා කරණය 4.5% ක් දකවා අඩු කරගැනීම මෙම යෝජනාවේ අරමුණ බවයි.

ඊපීඑෆ් අවුලරජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙම විවාදයට එකතුවෙමින් මෙසේ ප්‍රකාශ කළේය. ‘අර්ථ සාධක අරමුදලෙන් ඇහුවා මේ කැල්කියූලේෂන් එක දෙන්න පුලුවන්ද කියලා. මෙතන සමහර මන්ත්‍රීවරුන් කිව්වා වාගේම අර්ථ සාධක අරමුදලේ ප්‍රධානියා කිව්වා මේක ඔහු දැක්කෙත් ෆේස්බුක් එකෙන් කියලා. එහෙනම් අර්ථ සාධක අරමුදලට සිද්ධ වෙන්න යන පාඩුව පාර්ලිමේන්තුවට ගණන් හදලා පෙන්වන්න වෙනවා. අද මේක සම්මත වුනා කියලා අඟහරුවාදා ඉදලා මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හතර වෙනිදා මේ යෝජනාව අර්ථ සාධක අරමුදලට සහ ETF එකට රජය විසින් ඉදිරිපත් කරනවා. ඔවුන්ට දවස් 21ක් තියනවා. ජුලි මාසයේ 25 වෙනිදා තමයි ඔවුන් තීරණය කරන්නේ මේ වැඩපිළිවලට ඔවුන් එකඟ වෙනවා ද? නැද්ද කියලා. මේ දවස් 21ක තුළ අර්ථ සාධක අරමුදලට සහ පාර්ලිමේන්තුවට වගකීමක් තියෙනවා මේ සාමාජිකයින්ට යම්කිසි අගතියක් සිදධ වෙනවද ? ඒ අගතිය කුමක්ද ? ගණන් හිලව් මාර්ගයෙන් ඒක සාකච්ජා කරන්න’

ණය ප්‍රශස්ථකරණ විවාදය හොඳින් අසා සිටිය කෙනෙක් වෙත් නම් ඔහුට හෝ ඇයට සිතට එන ප්‍රධාන ප්‍රශ්නය මෙම ණය ප්‍රශස්ථකරණ වැඩසටහනින් පාඩුවක් සිදුවන්නේ ඊපීඑෆ් පාර්ශවයට පමණක් බවය. පෙනෙන්නට තිබෙන සත්‍යයත් එයයි. ණය ප්‍රථිව්‍යුහගතකරණ වැඩපිළිවෙල තුළ සේවක අර්ථසාධක අරමුදල බිල්ලට දී ඇත. එය දැන් සක්සුදක් සේ පැහැදිලිය. මෙම යෝජනාවලියට තමන් කැමති වෙනවාද නැද්ද යන්න තීරණය කරන්නට එම අරමුදලට දින 21 තිබෙන බව ආචාර්‍ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළත් මෙම අරමුදලේ බළධාරීන් ලෙස කටයුතු කරන්නේ කවුද යන්න සොයා බැලීම තුළින් ඔවුන්ගේ තීරණය කුමක් විය හැකිදැයි අපහට දැනටමත් සිතාගන්නට අමාරු නැත. අඩුම සේවකයන්ගේ පැත්ත නියෝජනය කරන්නට මෙහි කිසිවෙක් නැත. එම තත්ත්වය තුළ අරමුදලට කුමක් සිදුවුණත් ඔවුන් මෙයට පක්ෂ වෙනු නියතය. ඒ අනුව ණය ප්‍රථිව්‍යුගතකරණය එහෙමත් නැතිනම් ණය ප්‍රශස්ථකරණය නැමති මර උගුල සේවක අර්ථසාධක අරමුදල මත පතිතවී හමාරය.

ඊපීඑෆ් පාඩුව කොපමණද?

මෙම ණය ප්‍රශස්ථකරණය නිසා ඊපීඑෆ් සඳහා සිදුවන්නට නියමිත පාඩුව කොපමනද? මේ ලියුම්කරු ආර්ථික විශ්ලේෂකයෙක් නොවෙන නිසා මේ පාඩුවේ දළ අගයක් දිරිපත් කරන ඉකොනොමැට්ටා මෙසේ උපුටන්නට සිතුවා ය.

‘ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉලක්කය වුනේ රජයේ ණය බර අඩු කර ගැනීම. රජය ණය බර අඩු කර ගනිද්දී ණය හිමියන්ට කවර හෝ පාඩුවක් වෙනවා. ඊපීඑෆ් එකට කියලා මේකේ වෙනසක් නැහැ. රජය විසින් ඊපීෆ් එකෙන් දැනට අරගෙන තිබෙන ණය හා අදාළව පමණක් තත්ත්වය විමසා බැලුවොත් අනිවාර්යයෙන්ම ඊපීෆ් එකට පාඩුවක් සිදු වෙනවා.

තොරතුරු ප්‍රමාණවත් නැති නිසා මෙම පාඩුව හරියටම ගණන් හදන්න බැහැ. නමුත් දැනට අරගෙන තිබෙන ණය හා අදාළව  මෙම පාඩුව හරියටම ගණන් බැලිය හැකි පාඩුවක්. ඒ සඳහා අවශ්‍ය වන්නේ ඊපීෆ් එක හෝ වෙනත් විශ්‍රාම වැටුප් අරමුදලක් සතුව දැනට තිබෙන බැඳුම්කර වල විස්තර පමණයි.

මෙය ගොඩක් අයට ප්‍රශ්නයක් නිසා අපි දළ ඇස්තමේන්තුවක් හදමු.

දැනට නිකුත් කර තිබෙන සියලුම බැඳුම්කර වෙනුවෙන් ගෙවන බරිත සාමාන්‍ය පොලිය 11.97%ක්. අපි මෙය 12% ලෙස ගනිමු. මෙම බැඳුම්කර 2023 ජූලි 15 සිට (එනම් තව දින 12කින්) 2045 මාර්තු 1 (එනම් තව වසර 22කින්) දක්වා කල් පිරෙනවා. ප්‍රශ්නය සරල කර ගැනීම සඳහා අපට මෙම කල් පිරීමේ දින වල බරිත සාමාන්‍ය අගය සලකන්න පුළුවන්. එම දිනය 2027 ඔක්තෝබර් 27.

වෙනත් විදිහකින් කිවුවොත් 5.0% සිට 22.5% දක්වා වන කූපන් පොලී අනුපාතික වල බරිත සාමාන්‍ය අගය 11.97% වන අයුරින් 2023 ජූලි 15 සිට 2045 මාර්තු 1 දක්වා කල් පිරෙන බැඳුම්කර සියල්ලේ කල් පිරෙන දිනය බරිත සාමාන්‍යයක් ලෙස 2027 ඔක්තෝබර් 27 ලෙස සලකන්න පුළුවන්. ඒ නිසා, මෙම බැඳුම්කර වර්ග 64 සමස්තයක් ලෙස ගත් විට 11.97% කූපන් පොලියක් ගෙවන 2027 ඔක්තෝබර් 27 කල් පිරෙන එක් විශාල බැඳුම්කරයකට සමාන කරන්න පුළුවන් (actuarially equivalent). මේ අනුව, 2023 ජූනි 30 දින සිට ගණන් හැදුවොත් ආසන්න වශයෙන් අවුරුදු 4.3කින් කල් පිරෙන ආසන්න වශයෙන් 12%ක කූපන් ගෙවන බැඳුම්කරයක්.

ප්‍රතිව්‍යුහගත කළාට පස්සේ කල් පිරීම සිදු වෙන්නේ 2027-2038 අතර. දවස හරියටම නොදන්නා නිසා වසරේ මැද සැලකුවොත් සාමාන්‍ය අගය (expected value) 2033 ජූනි 30. ඒ කියන්නේ හරියටම අවුරුදු 10කින්.

අවුරුදු දහයකින් ආපසු ලැබෙන මුදලක් සහ අවුරුදු 4.3කින් ආපසු ලැබෙන මුදලක් සෘජුව සංසන්ඳනය කරන්න බැහැ. ගොඩක් අය කරන වැරැද්ද ඕකයි. ඒ නිසා, අපි මේ දෙවන බැඳුම්කරය කොටස් දෙකකට කඩමු. පළමුව වසර 4.3කට ආයෝජනය කරනවා. දෙවනුව, වසර 4.3කට පසු අතට ලැබෙන මුදල තවත් වසර 5.7කට ආයෝජනය කරනවා. දැන් අපිට මෙහි පළමු කොටස පමණක් අරගෙන දැන් තත්ත්වය එක්ක සංසන්ඳනය කරන්න පුළුවන්. එහෙම කරලා ලාභ පාඩු ගණනය කරන්න පුළුවන්.

දැන් මේ පළමු කොටස පමණක් ගත්තොත්, ඒ කොටස සඳහා පළමු වසර 2.5 තුළ 12%ක පොලියක් ලැබෙනවා. ඒ කියන්නේ දැන් ලැබෙන පොලියමයි. නමුත් ඉතිරි වසර 1.8 තුළ ලැබෙන්නේ 9%ක පොලියක්. ඒ කියන්නේ 3%කින් අඩු පොලියක්. ඒ අනුව, වසර 1.8කදී 5.4%ක පමණ පාඩුවක් වෙනවා. මුළු බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 9,032ක් බැවින් ඊපීෆ් එක සතු කොටස එයින් 37%ක් පමණ සේ උපකල්පනය කර එම ප්‍රමාණයෙන් 5.4%ක් ගණන් බැලුවොත් මෙහි රුපියල් බිලියන 180ක පමණ පාඩුවක් තිබෙනවා. අදාළ තොරතුරු ලැබෙද්දී මේ ගණන හරියටම ඇස්තමේන්තු කරන්න පුළුවන්’

ඉකොනොමැට්ටා කියන මෙම ගණන් මිනුන් පවා වෙනස් වෙන්නට පුලුවන්. සමහරවිට පාඩුව මීටත් වඩා වැඩි විය හැකියි. සමහර විට පාඩුව අඩුවෙන්නත් පුලුවන්. එයට හේතුව උද්දමනය වගේ තත්ත්වයන්ගේ වෙනස් වීම.

ස්ථාවරත්වය
දේශීය මූල්‍ය වෙළෙඳපොල ස්ථාවරත්වය යන්න මෙම ක්‍රියාදාමය තුළ දැනට ආරක්ෂා වී ඇති බව පෙනෙයි. තැන්පත්කරුවන්ට අගතියක් නොවීමට වගබලා ගැනීම කියන සාධකයේදී සේවක අර්ථසාධක අරමුදල තුළ වැඩකරන ජනතාවගේ මිලියන විස්සකට ආසන්න සක්‍රිය ගිණුම් මෙම ක්‍රියාවලිය තුළ අනාරක්ෂිතභාවයට පත්වී ඇත. මෙම ප්‍රමානයට සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල තුළ සක්‍රිය සාමාජික ගිණුම් මිලියන 2.6 ක ප්‍රමානයද එකතුවූ විට තැම්පත්කරුවන් බොහෝ පිරිසක් මෙම ක්‍රියාවලිය හරහා අගතියට පත්වී සිටී.

එහෙත් රජයේ පාර්ශවයන් උදම් අනන්නේ බැංකු කඩාගෙන වැටීම වළක්වා මෙම ක්‍රියාවලිය මෙසේ ගොඩදැමීම ප්‍රසංසාවට ලක්කළ යුතු බවය. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ අවස්ථාවේදී සාර්ථකත්වයට පත්වී ඇතැයි ඔවුන් ප්‍රකාශ කරයි. මෙම තර්කයෙහි 50%ක් සත්‍ය බව ප්‍රකාශ කළ හැකිය. ඒ මෙම ප්‍රශස්ථකරණ වැඩපිළිවෙල අන්තර්ජාතික මූල්‍ය අරමුදල පිළිගන්නවා ද යන්න තවමත් අප දන්නේ නැති නිසා ය. හෙයාර් කට් එකක් නොමැතිව කාලය දිගු කිරීම සහ ණය පොලිය වෙනස් කිරීම මතම මෙම ක්‍රියාවලියට ඉදිරියට යා හැකිද? මේ ප්‍රශ්නයටද ඉදිරිකාලයේදී පිළිතුරු ලැබෙනු ඇත.

රටේ ආර්ථිකය කඩාගෙන වැටුණේ ඇයි? එයට හේතු මොනවාද? රටේ ආර්ථිකය ඝාතනය කළ ඝාතකයන්ට දෙන දඬුවම් මොනවාද? යන්න පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහට කිසිඳු අදහසක් නැත. එම තත්ත්වය තුළ දැන් දඬුවම් ලබා සිටින්නේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් පමණක් ය.