You are currently viewing රාජ්‍ය ව්‍යවසායන් විකුණයි ද?

රාජ්‍ය ව්‍යවසායන් විකුණයි ද?

රී ලංකා රජය සතු ව්‍යවසායයන්  සම්බන්ධයෙන් ජනතාව තුළ දීර්ඝකාලයක් පුරාවට පවතින්නේ සුපහන් හැඟීමක් නොවේ. එම ආයතන වෙතින් ජනතාවට සිදුවන සේවයට වඩා වැඩි වියදමක් දැරීමට සිදුවන බව බහුතරයකගේ මතයයි. එම නිසා එම රාජ්‍ය ආයතන අතරින් බහුතරයක් ප්‍රතිව්‍යූහගත කරනය කළ යුතු බවත් එසේ කිරීම තුළින් එම ආයතන සඳහා යොදවන බදු මුදල් ප්‍රමාණයන්ගෙන් විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇති බවට උපකල්පනය කරනු ලබන බව පැවසිය හැකියි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගතකරණ ප්‍රතිපත්තිය සැළකිල්ලට ගැනීමේ දී එක් පැහැදිලි ප්‍රතිපත්තියක සිට තීරණ ගනු ලැබීමක් දැකිය නොහැක්කක්. එනම් පත්වන රජයන් විසින් කලෙන් කලට ගනු ලබන තීරණ මත පදනම්ව ආයතන ප්‍රතිව්‍යුහගත කරණය කිරීම හෝ රජය වෙත පවරා ගැනීම සිදු කරනු ලැබූ බව පෙනී යනවා.

නමුත් ශ්‍රී ලංකාව විසින් 2022 වසරේ සිට මුහුණ දෙන අර්බූදයන් හමුවේ නැවතත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කරණය කළ යුතු බවට මතයක් පැතිර යාමත් සමග සහ IMF නිර්දේශයන්ට සමගාමීව රාජ්‍ය ආයතන රැසක් ප්‍රතිව්‍යූහගත කරණය කිරීම සඳහා සහ වසා දැමීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙන බව පෙනී යනවා.බොහෝ දියුණු රටවල රජයේ කාර්යය වන්නේ ආරක්ෂාව,මහජන සුබසාධනය වැනි ක්ෂේත්‍රයන් බවත් රජයක් ව්‍යාපාර කටයුතු සඳහා මැදිහත් නොවිය යුතු බවත් යන සංකල්පයන් ඔස්සේ ක්‍රියාත්මක වීම වඩා වැදගත් බවයි රජයේ මතය වන්නේ.  

 IMF විසින් 2022 මාර්තු 25 වැනිදා නිකුත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවේ, රට මුහුණ දෙන ගැටලු විසඳාගැනීම සඳහා වූ ප්‍රධාන නිර්දේශයන් අතර පළමුවැන්නෙහි එසේ සඳහන් වන්නේ.

“සැළකිය යුතු ආදායමක් මත පදනම් වූ මූල්‍ය ඒකාග්‍රතාව ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. වැට් බදු සහ ආදායම් බදු ශක්තිමත් කිරීම, බදු අනුපාත වැඩි කිරීම, සහ බදු පදනම් පුළුල් කිරීම හරහා පියවර ගත යුතු ය. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන්ගෙන් මූල්‍ය අවදානම් අවම කිරීම උදෙසා රාජ්‍ය මූල්‍ය ගැලපීම සමග බලශක්ති මිලකරණ ප්‍රතිසංස්කරණ ද සිදු කළ යුතුය,”

රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ මූලික අඩිතාලම සකස් කිරීම සඳහා 2022 සැප්තැම්බර් 05 වැනිදා රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් පාඩු ලබන රාජ්‍ය ආයතන ඉලක්ක කරගනිමින් ‘රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණ ඒකකයක්’ ස්ථාපිත කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගනු ලැබූ අතර එම ක්‍රියාවලිය වේගවත් වීම සඳහා IMF විසින් ශ්‍රී ලංකාව සඳහා 17 වන වතාවටත් ණය මුදලක් අනුමත කිරීම තුළින් සහ එම ණය මුදල ලබා දීම සඳහා ලබා දුන් ඉලක්ක අතරින් එකක් වනුයේද රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කරණය කිරීම යන්නයි. එම යොජනාව පැමිණිමට පෙර කැබිනට් මණ්ඩලයට මේ පිළිබඳව යෝජනා කළ අතර,

“රජය සතු වාණිජ ව්‍යාපාරයන්හි කාර්ය සාධනය දීර්ඝ කාලයක් තිස්සේ සතුටුදායක තත්ත්වයක නොපවතින අතර, ඇතැම් ව්‍යාපාර විවිධ හේතුන් මත අඛණ්ඩව පාඩු ලබමින් පවතියි. මෙම තත්ත්වය මහා භාණ්ඩාගාරය වෙත දැඩි පීඩනයක් ඇති කිරීමට ‍හේතු වී ඇති බැවින් එවැනි ව්‍යාපාර කාර්යක්ෂම හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා විකල්ප යාන්ත්‍රණයක් හඳුන්වාදිය යුතුව තිබේ. ඒ අනුව, මහා භාණ්ඩාගාරය වෙත පැවරී ඇති මූල්‍ය බර අවමකර ගැනීම සඳහා වන ක්‍රම හඳුනාගැනීමත්, රජය සතු ව්‍යවසායන්හි සමස්ත කාර්යසාධනය වැඩිදියුණු කිරීමත් අරමුණු කරගෙන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය මඟපෙන්වීම සහ සහායවීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණ ඒකකය ස්ථාපිත කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී,”

යනුවෙන් එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් විය.

මොනවද මේ ආයතන?

මාර්තු 23 වැනිදා ජනාධිපතිවරයා යටතේ පවතින මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින්, රජය විසින් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට තීරණය කර ඇති රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳ නවතම තොරතුරු යාවත්කාලීන කළ අතර එම නිවේදනයට අනුව, රාජ්‍ය ව්‍යවසායන් හතක රජය සතු කොටස් අයිතිය පැවරීමට මාර්තු 13 වැනිදා රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ප්‍රකාශ කෙරිණි. එම රාජ්‍ය ව්‍යවසායන් වන්නේ;

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ශ්‍රී ලංකන් කේටරින් සමාගම

ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී.

සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව

කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම (කොළඹ – ග්‍රැන්ඩ් හයට්)

හොටෙල් ඩිවෙලොප්මන්ට් ලංකා සමාගම (කොළඹ හිල්ටන් හෝටලය)

සී/ස ලිට්‍රෝ ගෑස් පර්යන්ත (පුද්) සමාගම ඇතුලු ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම

ලංකා හොස්පිටල් සංස්ථා පී. එල්. සී.

ඒ අනුව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහකරණ ඒකකය විසින් මෙම සමාගම් සඳහා ගනුදෙනුකාර උපදේශන සේවාවන් සැපයීම හා කොටස් අයිතිය පැවරීමේ කටයුතු සඳහා සහායවීම පිණිස පිළිගත් සහ පළපුරුදු සුදුසුකම් ඇති උපදේශන සමාගම් හෝ සංවර්ධන මූල්‍ය ආයතනයන් පත්කරනු ලබන අතර, එවැනි ගනුදෙනුකාර උපදේශන සමාගම් තෝරාගැනීම කෙටි කාලයකින් ආරම්භ කරනු ඇති.

එසේම එම උපදේශකවරුන් විසින් විකුණුම් පාර්ශ්වය වෙනුවෙන් නිසි ඇගයීම් හා විමර්ශන කටයුතු තක්සේරු කිරීම හා ඩිජිටල් දත්ත ගබඩාවක් සකස් කිරීම, ගනුදෙනු උපක්‍රම හා අලෙවිකරණ උපක්‍රම සකස් කිරීම මඟින් එම ව්‍යපාර බැහැර කිරීමට අවශ්‍ය සහය ලබාදෙනු ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී මෙම රාජ්‍ය ව්‍යාපාරවල රජයේ කොටස් අලෙවි කිරීමට අදාළව කැමැත්ත පළකිරීමේ නිවේදනය හා යෝජනා කැදවීමේ නිවේදන ක්‍රියාවලිය සඳහා දේශීය හා අන්තර්ජාතික මාධ්‍යවල දැන්වීම් පළ කිරීමට නියමිතයි.

මේ අතර,මහා භාණ්ඩාගාරය සතුව 49.50%ක ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධන හිමිකම් පවතින  ශ්‍රී ලංකා ටෙලිකොම් සහ  ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව 51.34% ක කොටස් හිමිකම් පවතින ලංකා හොස්පිටල්ස් යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව රජය විසින් වෙනමම ද නිවේදනය කෙරිණි.

සාමාණ්‍යයෙන් ශ්‍රී ලංකා රජය සතු ව්‍යවසායන්ගේ කාර්යසාධනය සෑම වසරකම ගණනය කරනු ලබන අතර මෙරට රජය ප්‍රධාන ව්‍යාපාර 52ක් සම්බන්ධයෙන් සිදුකරන ලාභය ගණනය කිරීමට අනුව, හඳුනාගත් ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52ක් විසින් 2022 වසරේ පළමු මාස හතර තුළ පමණක් ලබා ඇති පාඩුව රුපියල් බිලියන 859ක් ලෙස සටහන්ව ඇත.නමුත් එම පාඩුව සිදුවී ඇත්තේ ආයතන 19 ක් වෙතින් බවද හඳුනාගෙන ඇත.

2022 ජූනි 30 වැනි දින නිකුත් කරන ලද මෙම ‘වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවට’ අනුව අදාළ ආයතන 19 අතුරින් වැඩිම පාඩුවක් ලබා ඇත්තේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව යි. එම පාඩුව රුපියල් බිලියන 628කි. ඊට අමතරව:

ශ්‍රී ලංකන් ගුවන් සේවය: රුපියල් බිලියන 248ක්

ලංකා විදුලි බල මණ්ඩලය: රුපියල් බිලියන 47ක්

ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගම: රුපියල් බිලියන 06ක්

ලංකා ගමනාගමන මණ්ඩලය: රුපියල් මිලියන 599ක්

ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය: රුපියල් මිලියන 483ක්

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව: රුපියල් මිලියන 215ක්

මිල්කෝ පෞද්ගලික සමාගම: රුපියල් මිලියන 131ක්

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව: රුපියල් මිලියන 125ක්

ස්වාධීන රුපවාහිනී ජාලය: රුපියල් මිලියන 102ක්

වශයෙන් 2022 පළමු මාස හතර ඇතුළත පාඩු ලබා ඇත.

ප්‍රතිව්‍යුගතකරණය කළ යුත්තේ කෙසේද?

ව්‍යවසායන් කොටස් වෙළඳපොළේ අලෙවිකළ හැකි  ක්‍රම දෙකක් පවතී. එහිදී රජය සතුව පවතින කොටස් සෘජුවම ගැනුම්කරු වෙත අලෙවි කිරීම සිදු කරන අතර අනෙක් ක්‍රම වේදයේ දී ගැනුම්කරුවා විසින් කොටස් සියල්ල මිලදී ගත යුතු වන අතර ගැනුම්කරුවන් විසින් ලංසු ඉදිරිපත් කිරීම සිදු කරනු ලබයි.එසේම,රජය සතු කොටස් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ කොටස් වෙළඳපලට නිකුත් කිරීමේ හැකියාවද පවතී. මෙම ක්‍රම වේදයන් ඔස්සේ යවමින් ආයතන ප්‍රතිව්‍යුහගත කරණය කිරීමේ හැකියාව පවතී. මෙම ක්‍රියාවලිය සාර්ථක කිරගැනීම සඳහා අවම දේශපාලන මැදිහත් වීමක් අවශ්‍ය වන අතර එසේ නොවිම තුළින් මෙම වැඩපිළිවෙළ අසාර්ථක වීමේ සම්භාවිතාවය ඉහළ අගයක් ගනු ලබනවා.

සේවකයින්?

මෙම ක්‍රියාවලියේ දී සේවකයින් සඳහා අසාධාරණයක් වීම වැළැක්වීමට ගත හැකි පියවරයන්ද පවතී.එහිදී යම් කොටස් ප්‍රමාණයක අයිතිය සේවකයින් සඳහා ලබා දීම. සහ ස්වේච්ඡා විශ්‍රාම ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සිදු කළ හැකියි.එමෙන්ම ක්‍රමානු කූලව අතිරික්ත සේවකයින් ඉවත් කිරීම සහ එම සමාගම් මිළදී ගන්නා පුද්ගලයින් හෝ ආයතන සමග සේවකයින් රඳවා ගැනීම සඳහා කොන්දේසියකට ඇතුළත් වීමේ හැකියාවද පවතිනවා. එම නිසා යම් ආයතනයක් ප්‍රතිව්‍යුහගතකල පමණින් සේවකයින් අතරමං නොවනු ඇති බවයි විශ්වාසය වන්නේ.

සාරාංශය

ශ්‍රී ලංකාවට මේ වන විට රාජ්‍ය ආයතන ප්‍රතිවූහකරණය අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණයක් වී අවසන්. රජයට අධික වැය බරක් වන මෙම ආයතන රජය විසින් නඩත්තු කිරීමට වඩා එම ආයත තුළින් ලබන බදු ආදායම් තුළින් වඩාත් ඵලදායී සේවයක් කිරීම සඳහා රජයට හැකියාවක් ලැබෙනු ඇති. නමුත්, ඒ සඳහා අත්‍යාවශ්‍ය කාරණය වන්නේ විනිවිද භාවයයි.රජයක් විනිවිධ භාවයකින් තොරව කටයුතු නොකරන්නේ නම් රටක් වැටී ඇති අගාධයකින් ගොඩ ගැනීම සඳහා ගන්නා කිසිදු ක්‍රියාමාර්ගයකින් පලක් නොවනු ඇත.

Leave a Reply