You are currently viewing නව දූෂණ විරෝධී නීති යටතේ වැරදි සහ දඬුවම් සඳහා වන යෝජනාව

නව දූෂණ විරෝධී නීති යටතේ වැරදි සහ දඬුවම් සඳහා වන යෝජනාව

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්හි 2021 දූෂණ සංජානන දර්ශකයට අනුව, ශ්‍රී ලංකාව 0 (“ඉතා දූෂිත”) සිට 100 (“ඉතා පිරිසිදු”) දක්වා වන පරිමාණයෙන් ලකුණු 37ක් ලබා ඇත. මෙය ශ්‍රී ලංකාවේ දූෂිත මට්ටම තේරුම් ගැනීම සඳහා වන දර්ශකයකි. 

රජය විසින් යෝජනා කරන ලද නව දූෂණ විරෝධී නීතියක් මගින් ස්වාධීන කොමිෂන් සභාවක් නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ. එසේ වුවද, වැදගත් වන්නේ ස්වාධීන ඵලදායී නීති රාමුවක්, ශක්තිමත් විමර්ශන අංශයක් සහ විනිශ්චය යාන්ත්‍රණයක් එකවර ස්ථාපිත කිරීම පමණක් නොවේ. 

මෙම යෝජනාව ශ්‍රී ලංකාවේ දූෂණය පිටුදැකීමට උපකාරී වන නව වැරදි මාලාවක් යෝජනා කරන නීතිමය රාමුව සමග කටයුතු කිරීමට පමණක් යොමු වේ. 

වැරදි සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ සාමාජිකයන් වගවිය යුතු බවට නව පනතින් යෝජනා කර ඇත. “පෞද්ගලික අංශයේ ආයතනයක් සඳහා, ආර්ථික, මූල්‍ය හෝ වාණිජ ක්‍රියාකාරකම් වලදී ඕනෑම තත්වයකින් මෙහෙයවන හෝ ක්‍රියා කරන” සහ තමාට හෝ වෙනත් පුද්ගලයෙකුට වාසියක් සෘජුව හෝ වක්‍රව ඉල්ලා සිටින හෝ පිළිගන්නා පුද්ගලයෙක් (එම පුද්ගලයාගේ රාජකාරි කඩකරමින් කිසියම් ක්‍රියාවක් කිරීමට හෝ   කිසිදු ක්‍රියාවක් කිරීමෙන් වැළකී සිටීමට) පනත යටතේ අල්ලස් ගැනීමේ වරදක් සිදු කරයි. මෙය සැලකිය යුතු පියවරකි. එසේ වුවද, නව පනත යටතේ සලකා බලන වැරදි, අන්තර්ගතය සම්බන්ධයෙන් කටයුුතු කිරීමට අවශ්‍ය වැරදිවල පුළුල් පරාසය නියෝජනය නොකරන බැවින් වැඩිදියුණු කිරීමක් අවශ්‍ය වේ. 

මෙහි ඉදිරිපත් කරන යෝජනා මගින් ශ්‍රී ලංකාවේ දූෂණය මැඩලීම සඳහා නව වැරදි සහ දඬුවම් මාලාවක් සකස් කෙරේ. මෙම විධිවිධාන ශ්‍රී ලංකා රාජ්‍යයට දූෂණයට එරෙහිව සටන් කිරීමේදී සමස්ත උපායමාර්ගික ප්‍රවේශයක් අදාළ කර ගැනීමට උපකාරී වනු ඇත. යෝජිත ප්‍රතිපාදන සුළු දූෂණ හෝ බරපතල මට්ටමේ දූෂණ යනාදී සියලු වැරදි සම්බන්ධයෙන් යොදා ගත හැකිය. කිසිවකුට ව්‍යතිරේකයක් අදාළ නොකෙරෙන අතර නීතිය යටතේ කටයුතු කළ නොහැකි අපැහැදිලි ස්ථාන නොමැත. එබැවින් සෑම මටට්මක ම පවතින දූෂණය පිටුදැකීම සඳහා මෙම විධිවිධාන ශ්‍රී ලංකා නීතියට ඇතුළත් කර ගනිමින් මේ සම්බන්ධයෙන් රාජ්‍යය සිය කැපවීම පෙන්විය යුතු බව අවධාරණය කෙරේ. යෝජිත විධිවිධාන සැලසුම් කර ඇත්තේ සිංගප්පූරුවේ සහ හොංකොංහි පවතින දූෂණ විරෝධී නීති හොඳින් අධ්‍යයනය කිරීමෙන් සහ සලකා බැලීමෙන් පසුවය.

 දූෂණය මැඩලීමට අදාළව පහත විස්තර කර ඇති යෝජිත විධිවිධාන, ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී නීතියට ඇතුළත් කළහොත්, ශ්‍රී ලංකාවේ දූෂණයට එරෙහි සටන සම්බන්ධයෙන් වන අධිෂ්ඨානය සහ දේශපාලන අභිප්‍රාය කෙරෙහි නියත වශයෙන්ම බලපානු ඇත. ශ්‍රී ලංකාවේ දූෂණයෙන් පිරුණු අතීතය දූෂණයෙන් තොර සමාජයක් බවට පරිවර්තනය කිරීමේ ප්‍රධාන අංගයක් වන්නේ දේශපාලන අභිප්‍රාය බව අපි විශ්වාස කරමු. යෝජිත විධිවිධාන මගින් දූෂණ විරෝධී කාර්යයේ බීජ පැළ වීමට හා වර්ධනය වීමට ඉඩ සලසන පස සහ පෝෂක සපයයි.

 දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා මහජනතාව, දේශපාලන සමාජය සහ සමස්ත රාජ්‍ය සේවය බලමුලු ගැන්වීමට මෙම විධිවිධාන රාජ්‍යයට උපකාරී වනු ඇත.

 ඵලදායී නීති මගින් දූෂණයට එරෙහි සටන සඳහා පදනම සපයන බව අපි උපකල්පනය කරමු. නීතිය මගින් පළමුව දූෂණ වැරදි, ඒවා සඳහා වන දඬුවම් සහ ඊට එරෙහිව ක්‍රියාත්මක කිරීමේ බලතල නිසියාකාරව සහ ඒකාබද්ධව නිර්වචනය කළ යුතුය. නීතිය මගින් නීතිය ක්‍රියාත්මක කිරීමේ දී උසස් මට්ටමේ අදාළ කර ගැනීමක් සහිතව සහයෝගය දැක්විය යුතුය. විශේෂයෙන් දූෂණ වැරදි සම්බන්ධයෙන් කටයුතු කිරීම අපහසු බැවින් මෙය ඉතා වැදගත් වේ. සාමාන්‍ය අපරාධයක දී වින්දිතයා විසින් විමර්ශකයාට සිදු වූ සියල්ල  පවසන නමුත් දූෂණයට අදාළ වැරදිවලදී දෙන්නා සහ ලබන්නා යන දෙදෙනාම සත්‍ය පැවසීමට අකමැති වන අතර සත්‍ය සැඟවීම පෙළඹෙති. මෙමගින් විමර්ශනය සහ සාක්ෂි රැස් කිරීම වඩාත් අභියෝගාත්මක තත්වයට පත් කෙරේ. සාර්ථකත්වය ළඟා කර ගැනීමට නම්, නීතිය ක්රියාත්මක කිරීම සඳහා නීතිය මගින් ප්‍රමාණවත් බලයක් ලබා දිය යුතුය

 දූෂණ වරදක් සම්බන්ධයෙන් පවතින නීතිය 1994 අංක 19 දරන අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ අඩංගු වන අතර, එම පනතේ 70 වැනි වගන්තිය යටතේ ‘දූෂණය’ වරදක් බවට පත්කර ඇත. පවතින නීතිය යටතේ රාජ්‍ය නිලධාරියෙකු පමණක් රජයට පාඩුවක් කරමින් ඔහුගේ/ඇයගේ වැරදි ක්‍රියාවකට වග කීමට බැඳී සිටින තත්වයට පත් කරනු ලැබේ.

 නව පනත් කෙටුම්පත මගින් 39 වගන්තියේ A උපලේඛනය යටතේ සාකච්ඡා කෙරෙන වැරදි සමාලෝචනය සඳහා අවස්ථාව සලසා දී නොමැත. නමුත් නව කෙටුම්පතේ 100 වැනි වගන්තිය මගින් පෞද්ගලික අංශයේ අල්ලස් සම්බන්ධයෙන් කටයුතු කෙරේ. කෙසේ හෝ මෙයින් පෙනී යන්නේ තෘප්තියට පත්වන ආකාරයෙන් සිදුවන දූෂණ වැරදි සම්බන්ධයෙන් පනත් කෙටුම්පත වඩාත් විස්තරාත්මක විය යුතු බවයි.

 එබැවින් පහත සඳහන් සුවිශේෂී ලක්ෂණ යෝජනා කෙරෙන අතර නව වරදක් නීතියක් ලෙස හඳුන්වා දීමේ දී එම නීති ශක්තිමත් කිරීමට ප්‍රයෝජනවත් වනු ඇත:

(i)                යෝජිත විධිවිධාන මගින් රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේ ම දූෂණ විමර්ශනය කිරීමට රජයට ඉඩ සැලසෙන අතර එමගින් දෙන්නා සහ ලබන්නා යන දෙඅංශයෙන්ම කටයුතු කිරීමට ප්‍රතිපාදන සලසා ඇත. එමගින් පුද්ගලික අංශයේ සිද්ධීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට යෝජනා කෙරේ. ශ්‍රී ලංකාවේ සමාගම් දූෂණවලින් තොරව තබා ගැනීම ශ්‍රී ලංකාවට උපායමාර්ගික වැදගත්කමක් වන්නේ එසේ නොවුවහොත් වෙනත් රටවලට ශ්‍රී ලංකාව සමග වෙළඳාම් කිරීමට අවශ්‍ය නොවනු ඇති අතර ඔවුන්ට ශ්‍රී ලංකාවේ මුදල් ආයෝජනය නොකරනු ඇත. යෝජිත ප්‍රතිපාදන මගින් අල්ලස් දෙන්නන් සම්බන්ධයෙන් ද කටයුතු කරනු ලැබේ. රටක් වශයෙන් අප දිගටම අල්ලස් දී දඬුවම් මගහැර සිටියහොත් ඉල්ලුම්-සැපයුම් ගතිකය නිසා දූෂණ ඇති වීමේ තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇත.

(ii)              යෝජිත විධිවිධාන මගින් උපකල්පන වගන්තියක් ඇතුළත් කරනු ලැබේ – රාජ්‍ය නිලධාරියෙකු අල්ලස් ලබා ඇති බව අනාවරණය වූ විට දූෂණයක් සිදු වී ඇති බවට වන උපකල්පනය. මෙම යෝජිත උපකල්පන වගන්තිය යටතේ අධිකරණයේ චෝදනා ලැබ සිටින රාජ්‍ය නිලධාරියෙකුට තමාට ලැබුණු දේ දූෂිත ලෙස නොලැබුණු බව අධිකරණයට පැහැදිලි කිරීමේ වගකීමක් ඇති බව යෝජනා කෙරේ. අධිකරණය සෑහීමකට පත් වන පරිදි පැහැදිලි කිරීමට ඔහු හෝ ඇය අපොහොසත් වුවහොත් ඔහුට හෝ ඇයට එම මුදල් දූෂිත ලෙස ලැබුණු බවට අනුමාන කෙරේ. නමුත් මෙම උපකල්පනය ඉදිරිපත් කර ඇත්තේ උපකල්පනය මත පදනම් වූ වරද තහවුරු කිරීමට නොව අවශ්‍ය සියලු සාක්ෂි උසාවියට ගෙන ඒමට වන අතර උපකල්පන වගන්තිය චෝදනා ඉදිරිපත් කිරීම සඳහා අමතර උපකාරයක් වේ.

(iii)             ඊළඟ විධිවිධානය වන්නේ අල්ලසක් පිළිගන්නා පුද්ගලයාට සත්‍ය වශයෙන්ම අල්ලසක් නැවත ලබා දීමට බලයක්, අයිතියක් හෝ අවස්ථාවක් නොමැති වුවද, අල්ලස් ලබා දෙන්නාට අනුග්‍රහයක් ලබා දීම හේතුවෙන් ඔහු වැරදිකරුවෙකු ලෙස සලකනු ලැබේ. මෙම විධිවිධානය පිටුපස ඇති තාර්කිකත්වය වන්නේ අල්ලස් ලබා ගැනීමෙන් පසුව අපේක්ෂිත උපකාරය ලබා දීමට ඇතැම් දූෂිත වැරදිකරුවන් අපොහොසත් වීමයි. ඓසේ වුවද, ඔවුන්ට දඩුවමින් බේරී යාමට ඉඩ නොදිය යුතුය.

(iv)            මෙම ප්‍රතිපාදන මගින් ව්‍යාපාරික ලෝකයේ භාවිතයන් ද සීමා කරයි. උදාහරණයක් ලෙස, අල්ලස් දීම/පිළිගැනීම සඳහා නිදහසට කරුණක් ලෙස හැම්පර් (තෑගි පැකේජ/තෑගි වවුචර්) ලබා දීම/ පිළිගැනීම . මෙම විධිවිධානය අනුව “හැම්පර්/ තෑගි වවුචර් පත්” ලෙස රවටා දෙනු ලබන අල්ලස යහපත් අරමුණින් ලබා දෙන මුදල් වන බවට නීත්‍යානුකූල නොවන කිසිවක් නොවන බවට යම් පුද්ගලයෙකුට අධිකරණයක් ඉදිරියේ නිදහසට කරුණු දැක්විය නොහැක.

(v)              යෝජිත විධිවිධාන මගින් දඩ සහ/හෝ සිරදඬුවම් ආකාරයේ දඬුවම්වලට අමතරව ලැබුණු අල්ලස් ප්‍රමාණයට සමාන දඬුවමක් ගෙවීමට අල්ලස් ලබන්නන්ට නියෝග කිරීමට අධිකරණයට බලය ලබාදේ. එහි අදහස වන්නේ විත්තිකරු රුපියල් ලක්ෂ 10ක් ලබා ගතහොත් ඔහුට හෝ ඇයට ඒ මුදල ආපසු ලබා දීමට වන බවයි. චූදිතයා කිසිදු දූෂිත ක්‍රියාවකින් කිසිදු ප්‍රතිලාභයක් භුක්ති නොවිඳිය යුතුය යන මූලධර්මය මෙයින් අවධාරණය කෙරිණි.

(vi)            යම් පුද්ගලයෙක් දූෂණ වරදක් කර ඇති බව අනාවරණය වූ විට, ප්‍රධානියාට එම අල්ලස් මුදල සිවිල් ණයක් ලෙස අයකර ගත හැකිය. උදාහරණයක් ලෙස බහු-ජාතික සමාගමක (MNC) කළමණාකරු වෙනත් අයට ලබා දුන් කොන්ත්‍රාත්තු වෙනුවෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් දූෂණ වරදකට වරදකරු වේ. ඔහුට සිර දඬුවම් නියම වූ අතර ඔහුට ලැබුණු මුළු අල්ලස් මුදලට සමාන දඩයක් ගෙවීමට නියම විය. දඬුවම් නියම කිරීමෙන් පසු, බහු-ජාතික සමාගම් කළමනාකරුගෙන් අල්ලස් අයකර ගැනීමට යෝජිත විධිවිධාන යටතේ සිවිල් ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ හැකිය. එය ද්විත්ව අන්තරායකට සමාන නොවනු ඇත.

(vii)         යෝජිත විධිවිධාන මගින් ශ්‍රී ලංකාවෙන් පිටත සිදු කරන ලද දූෂණ වැරදි සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන් දඩුවම් ලැබීමට බැඳී සිටින අතර එම වැරදි ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති ආකාරයටම කටයුතු කළ යුතුය.

පහත දක්වා ඇති කෙටුම්පත් විධිවිධානවල පෙර කී සුවිශේෂී ලක්ෂණ අඩංගු වන අතර නව පනත කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට ඒවා නව වැරදි ලෙස සැලකීමට ඉඩ ඇත.

 ඵලදායී බලාත්මක කිරීම

 දැඩි නීති තිබීම ඵලදායී බලාත්මක කිරීමක් ඇති බවට සහතිකයක් නොවන බව අපි විශ්වාස කරමු. දැඩි නීති තිබුණත් ඒවා සාර්ථකව ක්‍රියාත්මක නොවේ නම්, දූෂිතයන් හඳුනාගැනීමට සහ විමර්ශනය කිරීමට ඉඩ නොතබන බැවින් දූෂණය තව දුරටත් වර්ධනය වනු ඇත. මෙම තත්වය මනා යුධ සැලැස්මක් ඇති නමුත් දුර්වල හමුදාවක් තිබීම වැනි වනු ඇත. එබැවින් ඵලදායී බලාත්මක කිරීමේ ආයතනයක් පිහිටුවීම සඳහා ප්‍රමුඛත්වය සහ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. මේ සම්බන්ධයෙන් දැනට පවතින අල්ලස් හා දූෂණ කොමිසම ස්වාධීන, පූර්ණ බලතල සහිත සහ ඵලදායී බලාත්මක කිරීමේ ආයතනයක් බවට පරිවර්තනය කිරීම ශ්‍රී ලංකාව තුළ දූෂණයෙන් තොර සමාජයක් ස්ථාපිත කිරීම සඳහා වන පූර්ව අවශ්‍යතාවයකි.

 ඵලදායී විනිශ්චය:

නිසි ලෙස හඳුනා ගැනීම සහ නීති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, කෙතරම් ඵලදායී වුවත්, ඵලදායී විනිශ්චයක් තිබිය යුතුය. වැරදිකරුවන් හඳුනා ගැනීම සහ පසුව අධිකරණයේ නඩු පැවරීම මගින් වරදකරුවන් අධෛර්යමත් කෙරේ. දැඩි නීතිවල සහය ඇතිව සාර්ථකව දඩුවම් ලබා දීමේ යාන්ත්‍රණයක් ඇති කර දූෂණය වැළැක්විය හැකිය යන පණිවිඩය ලබා දිය හැකිය. 

අධිකරණයේ දඬුවම් නියම කිරීමත් සමග දූෂිතයින්ට සහ වැරදිකරුවන් වීමට බලාපොරොත්තු වන අයට දූෂිත ක්‍රියාවන් කිරීමට පෙර දෙවරක් සිතා බැලිය යුතු බවට ප්‍රබල පණිවිඩයක් ලබා දෙනු ඇතැයි යෝජනා කෙරේ. දඬුවම් නියම කිරීමේ කොටසක් ලෙස, වරදකරු ලබා ගත් අල්ලස් ප්‍රමාණයට සමාන දඩයක් ද වරදකරුගෙන් අය කර ගැනීමට අධිකරණයට යෝජනා කෙරේ. එබැවින් මේ ආකාරයේ දැඩි ක්‍රියාමාර්ගය මගින් නැවත වරක් වැරදිකරුවාට අයථා ලෙස ලැබූ ලාභයක් භුක්ති විඳීමට ඉඩ නොදෙන බවට වන පැහැදිලි පණිවිඩයක් යවනු ලැබේ. මීට අමතරව, රජයේ ප්‍රසම්පාදන හෝ කොන්ත්‍රාත්තු සම්බන්ධ නඩු වලදී, කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට සහ/හෝ දූෂණ වැරදි සම්බන්ධයෙන් වරදකරු වූ සැපයුම්කරුවන්ට වසර පහක් දක්වා අනාගත රජයේ කොන්ත්‍රාත්තු ලබා ගැනීම තහනම් කිරීමට පරිපාලන ක්‍රියාමාර්ග ගනු ලැබේ. යෝජිත විධිවිධාන මගින් සාපරාධී දණ්ඩනවලට අමතරව, අපරාධ නඩු පැවරීම  මෙන්ම අල්ලස් මුදල් අයකර ගැනීම පිණිස සිවිල් නඩු පැවරීම සඳහා ද විධිවිධාන සපයයි.

දූෂණයේ වරද නිර්වචනය කරන යෝජිත විධිවිධාන:

1.     ඕනෑම පුද්ගලයෙකු තමන් විසින් හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙකු සමග එක්ව –

අ. දූෂිත ලෙස ඉල්ලා සිටීම හෝ ලබා ගැනීම, හෝ ලබා ගැනීමට එකඟ වීම, ඔහු/ඇය වෙනුවෙන්, හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙකු සඳහා පෙළඹවීමක් ලෙස ඕනෑම ආකාරයක සන්තෝසමක් හෝ ත්‍යාගයක් හෝ වාසියක් ලෙස හෝ වෙනත් ආකාරයකින් –

ආ. ඕනෑම පුද්ගලයෙකුට එම පුද්ගලයාගේ හෝ වෙනත් පුද්ගලයෙකුගේ ප්‍රයෝජනය සඳහා දූෂිත ලෙස ලබා දීම, පොරොන්දු වීම හෝ පිරිනැමීම, පෙළඹවීමක් ලෙස ඕනෑම ආකාරයක සන්තෝසමක් හෝ ත්‍යාගයක් හෝ වාසියක් ලෙස හෝ වෙනත් ආකාරයකින් –

I.                 සත්‍ය හෝ යෝජිත ඕනෑම කරුණක් හෝ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඕනෑම දෙයක් කරන හෝ වළක්වන ඕනෑම පුද්ගලයෙක්; හෝ

II.              යම් රාජ්‍ය ආයතනයක කිසියම් සාමාජිකයෙකු, නිලධාරියෙකු හෝ සේවකයෙකු, එවැනි රාජ්‍ය ආයතනයකට අදාළ වන, සත්‍ය හෝ යෝජිත ඕනෑම කරුණක් හෝ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඕනෑම දෙයක් කිරීම හෝ වැළැක්වීම; හෝ

i.                    සත්‍ය හෝ යෝජිත ඕනෑම කරුණක් හෝ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඕනෑම කාර්යයක් කරන හෝ වළක්වන ඕනෑම පුද්ගලයෙක්; හෝ

ii.                   යම් රාජ්‍ය ආයතනයක කිසියම් සාමාජිකයෙකු, නිලධාරියෙකු හෝ සේවකයෙකු, එවැනි රාජ්‍ය ආයතනයකට අදාළ වන, සත්‍ය හෝ යෝජිත ඕනෑම කරුණක් හෝ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඕනෑම කාර්යයක් කිරීම හෝ වැළැක්වීම;

වරදකට වරදකරු විය යුතු අතර රුපියල් 1,000,000 නොඉක්මවන දඩයකට හෝ වසර 5 කට නොවැඩි කාලයක් සඳහා සිරගත කිරීමට හෝ එම දඬුවම් ද්විත්වයට ම යටත් වේ.

 නියෝජිතයා සමග වන දූෂිත ගනුදෙනු සඳහා දඬුවම්

2.      අ. ඕනෑම නියෝජිතයෙකු තම ප්‍රධානියාගේ කටයුතු හෝ ව්‍යාපාරයට අදාළව යම් කාර්යයක් කිරීම හෝ වැළැක්වීම වෙනුවෙන් හෝ එසේ සිදු කළ හෝ වැළැක්වූ කාර්යයක් වෙනුවෙන් හෝ ඔහුගේ ප්‍රධානියාගේ කටයුතු හෝ ව්‍යාපාරයට අදාළව යම් පුද්ගලයෙකු කෙරෙහි අනුබල දැක්වීම හෝ එසේ අනුබල දැක්වීමෙන් වැළැක්වීම වෙනුවෙන් යම් පෙළඹවීමක් ලෙස ඕනෑම ආකාරයක සන්තෝසමක් හෝ ත්‍යාගයක් හෝ වාසියක් ඕනෑම පුද්ගලයෙකු වෙතින් දූෂිත ලෙස පිළිගැනීම හෝ ලබා ගැනීම හෝ පිළිගැනීමට එකඟ වීම හෝ ලබා ගැනීමට උත්සාහ කිරීම;

ආ. ඕනෑම පුද්ගලයෙකු තම ප්‍රධානියාගේ කටයුතු හෝ ව්‍යාපාරයට අදාළව යම් කාර්යයක් කිරීම හෝ වැළැක්වීම වෙනුවෙන් හෝ එසේ සිදු කළ හෝ වැළැක්වූ කාර්යයක් වෙනුවෙන් හෝ ඔහුගේ ප්‍රධානියාගේ කටයුතු හෝ ව්‍යාපාරයට අදාළව යම් පුද්ගලයෙකු කෙරෙහි අනුබල දැක්වීම හෝ එසේ අනුබල දැක්වීමෙන් වැළැක්වීම වෙනුවෙන් යම් පෙළඹවීමක් ලෙස ඕනෑම ආකාරයක සන්තෝසමක් හෝ ත්‍යාගයක් හෝ වාසියක් යම් නියෝජිතයෙකු වෙත දූෂිත ලෙස ලබා දීම හෝ ලබා දීමට එකඟ වීම;

අ. තම ප්‍රධානියා උනන්දුවක් දක්වන ඕනෑම රිසිට්පතක්, ගිණුමක් හෝ වෙනත් ලේඛනයක් හෝ අසත්‍ය හෝ වැරදි හෝ දෝෂ සහිත ප්‍රකාශයක් අඩංගු වන සහ ඔහුගේ දැනුමට අනුව ප්‍රධානියා නොමග යැවීමට අපේක්ෂා කරන වෙනත් ලේඛනයක් කිසියම් පුද්ගලයෙකු දැනුවත්ව නියෝජිතයෙකු වෙත ලබා දීම හෝ යම් නියෝජිතයෙකු දැනුවත්ව තම ප්‍රධානියා රැවටීම සඳහා භාවිතා කිරීම,

ප්‍රධානියා සමග සාකච්ඡා කිරීමෙන් පසු  ක්‍රීඩාව ආදි ශිෂ්‍ය සංගමය යටතට ගන්නා ලෙස නව සභාපතිවරයාට වරදකට වරදකරු විය යුතු අතර රුපියල් 0,00,000 නොඉක්මවන දඩයකට හෝ වසර 5 කට නොවැඩි කාලයක් සඳහා සිරගත කිරීමට හෝ එම දඬුවම් ද්විත්වයට ම යටත් වේ.

 ඇතැම් අවස්ථාවලදී උපරිම දඬුවම ඉහළ දැමීම

1 හෝ 2 වගන්තිය යටතේ වන වරදකට වරදකරු වූ තැනැත්තෙකු, එම වරද සිදු කරන ලද කාරණය හෝ ගනුදෙනුව රජය හෝ එහි ඕනෑම දෙපාර්තමේන්තුවක් හෝ කිසියම් රාජ්‍ය ආයතනයක් සමග වන කොන්ත්‍රාත්තුවකට හෝ එවැනි කොන්ත්‍රාත්තුවක ඔ්නෑම කාර්යයක් සිදු කිරීම සඳහා වන උප කොන්ත්‍රාත්තුවකට අදාළ වන්නේ නම් රු. 2,000,000 නොඉක්මවන දඩයකට හෝ අවුරුදු 7 කට නොවැඩි කාලයක් සඳහා සිරගත කිරීම හෝ එම දඩුවම් දෙකට ම යටත් වේ.

ඇතැම් අවස්ථාවලදී දූෂණය උපකල්පනය කිරීම

3.  මෙයට විරුද්ධ ලෙස ඔප්පු කළහොත් හැර  5 හෝ 6 වගන්තිය යටතේ වරදක් සම්බන්ධයෙන් පුද්ගලයෙකුට එරෙහි ඕනෑම ක්‍රියාමාර්ගයක දී, රජයේ හෝ එහි කිසියම් දෙපාර්තමේන්තුවක හෝ රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු පුද්ගලයෙකුට සන්තෝසමක් ලබා දුන් බව හෝ එවැනි පුද්ගලයෙකු විසින් කිසියම් සන්තෝසමක් පිළිගැනීම හෝ ලබා ගත් බව හෝ රජය හෝ එහි කිසියම් දෙපාර්තමේන්තුවක් හෝ රාජ්‍ය ආයතනයක් සමග කටයුතු කරන පුද්ගලයෙකු හෝ නියෝජිතයෙකු වෙත පෙළඹවීමක් ලෙස දූෂිතව සන්තෝසමක් ගෙවීම හෝ ලබා දීම හෝ ත්‍යාගයක් ලබා දී ඇති බව ඔප්පු කරනු ලැබේ.

අරමුණ ඉටු නොවූවත් සන්තෝසම පිළිගන්නා පුද්ගලයා වරදකරුවෙකු වීම ආදිය

4. (1) 6(අ) වගන්තිය යටතේ කිසියම් වරදක් සම්බන්ධයෙන් කිසියම් නියෝජිතයෙකුට එරෙහි ඕනෑම ක්‍රියාමාර්ගයක දී , ඔහු තම ප්‍රධානියාගේ කටයුතු හෝ ව්‍යාපාරයට අදාළව යම් කාර්යයක් කිරීම හෝ කාර්යයක් කිරීම වැළැක්වීම හෝ යම් පුද්ගලයකුට ප්‍රසාදයක් හෝ අප්‍රසාදයක් දැක්වීම හෝ දැක්වීමෙන් වැළකී සිටීම සහ එම සන්තෝසම ලබා දී ඇත්තේ පෙළඹවීමක් හෝ ත්‍යාගයක් හෝ ප්‍රතිලාභයක් ලෙස යැයි විශ්වාස කිරීමට හෝ සැක කිරීමට හේතුවක් ඇති විට ඔහු විසින් දූෂිතව සන්තෝසමක් පිළගැනීම, ලබා ගැනීම හෝ පිළිගැනීමට එකඟ වීම හෝ ලබා ගැනීමට උත්සාහ කිරීම යන්න ඔප්පු වන්නේ නම් ඔහුට එසේ කිරීමට, පෙන්වීමට හෝ වැළැක්වීමට බලයක්, අයිතියක් හෝ අවස්ථාවක් නොතිබීම හෝ සන්තෝසමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එය ලබා නොගැනීම හෝ කාර්යය, ප්‍රසාදය හෝ අප්‍රසාදය ඔහුගේ ප්‍රධානියාගේ කටයුතු හෝ ව්‍යාපාරයට අදාළ නොවීම යන කරුණු තිබිය දී වුව ඔහු එම වගන්තිය යටතේ වරදකට වරදකරු වන්නේය.

(2) 6(ආ) වගන්තිය යටතේ කිසියම් වරදක් සම්බන්ධයෙන් කිසියම් නියෝජිතයෙකුට එරෙහි ඕනෑම ක්‍රියාමාර්ගයක දී , ඔහු යම් කාර්යයක් කිරීම හෝ කාර්යයක් කිරීම වැළැක්වීම  හෝ යම් පුද්ගලයකුට ප්‍රසාදයක් හෝ අප්‍රසාදයක් දැක්වීම හෝ දැක්වීමෙන් වැළකී සිටීම වෙනුවෙන් පෙළඹවීමක් ලෙස නියෝජිතයෙකුට දූෂිතව යම් සන්තෝසමක් හෝ ත්‍යාගය්ක් ලබා දීම, ලබා දීමට එකඟ වීම හෝ පිරිණැමීම සිදු කළ බව ඔප්පු කළහොත් සහ ඕනෑම නියෝජිතයෙකු සහ එලෙස කිරීමට, පෙන්වීමට හෝ වැළකී සිටීමට නියෝජිතයාට බලය, අයිතිය හෝ අවස්ථාව තිබුණු බව සහ කාර්යය, ප්‍රසාදය හෝ අප්‍රසාදය  ප්‍රධානියාගේ කටයුතු හෝ ව්‍යාපාරයට අදාළ වූ බව විශ්වාස කිරීමට හෝ සැක කිරීමට හේතුවක් ඇති විට නියෝජිතයාට එසේ කිරීමට බලයක්, අයිතියක් හෝ අවස්ථාවක් නොතිබීම හෝ කාර්යය, ප්‍රසාදය හෝ අප්‍රසාදය ඔහුගේ ප්‍රධානියාගේ කටයුතු හෝ ව්‍යාපාරයට අදාළ නොවීම යන කරුණු තිබිය දී වුව ඔහු එම වගන්තිය යටතේ වරදකට වරදකරු වන්නේය.

දූෂිත ලෙස ටෙන්ඩර් ඉවත් කර ගැනීම

5.  අ. ඕනෑම කාර්යයක් ඉටු කිරීම, ඕනෑම සේවාවක් සැපයීම, ඕනෑම දෙයක් කිරීම හෝ කිසියම් භාණ්ඩයක්, අමුද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍යයක් සැපයීම සඳහා රජයෙන් හෝ රාජ්‍ය ආයතනයකින් කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමේ අදහසින්, කොන්ත්‍රාත්තුව සඳහා ටෙන්ඩරයක් ඉදිරිපත් කර ඇති ඕනෑම පුද්ගලයෙකුට එය ඉවත් කර ගැනීම වෙනුවෙන් පෙළඹවීමක් හෝ ත්‍යාගයක් ලෙස කිසියම් සන්තෝසමක් ලබා දෙන පුද්ගලයෙකු; හෝ

ආ. එම කොන්ත්‍රාත්තුව සඳහා ඔහු විසින් ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයක් ඉවත් කර ගැනීම වෙනුවෙන් පෙළඹවීමක් හෝ ත්‍යාගයක් ලෙස යම් සන්තෝසමක් ඉල්ලා සිටින හෝ පිළිගන්නා පුද්ගලයෙකු;

වරදකට වරදකරු වන අතර රුපියල් 1,000,000 නොඉක්මවන දඩයකට හෝ වසර 7 කට නොවැඩි කාලයක් සඳහා සිරගත කිරීමට හෝ එම දඬුවම් ද්විත්වයට ම යටත් වන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හට අල්ලස් ලබා දීම

6.  අ. මන්ත්‍රීවරයෙකු ලෙස යම් ක්‍රියාවක් කිරීමට හෝ එය වැළැක්වීම වෙනුවෙන් පෙළඹවීමක් හෝ ත්‍යාගයක් හෝ ප්‍රතිලාභයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කිසියම් සන්තෝසමක් ලබා‍ දෙන පුද්ගලයෙකු‍;

ආ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් යම් ක්‍රියාවක් කිරීම හෝ වැළැක්වීම වෙනුවෙන් පෙළඹවීමක් හෝ ත්‍යාගයක් හෝ ප්‍රතිලාභයක් ලෙස යම් සන්තෝසමක් ඉල්ලා සිටින හෝ පිළිගන්නා පුද්ගලයෙකු,

වරදකට වරදකරු වන අතර රුපියල් 1,000,000 නොඉක්මවන දඩයකට හෝ වසර 7 කට නොවැඩි කාලයක් සඳහා සිරගත කිරීමට හෝ එම දඬුවම් ද්විත්වයට ම යටත් වන්නේය.

රාජ්‍ය ආයතනයක පුද්ගලයෙකු හට අල්ලස් ලබා දීම

7. අ. යම් රාජ්‍ය ආයතනයක පුද්ගලයෙකු හට සන්තෝසමක් ලෙස ත්‍යාගයක් හෝ ප්‍රතිලාභයක් පිරිනමන පුද්ගලයෙකු-

ආ. 1 (අ) (I), (ii) සහ (iii) ඡේදවල දක්වා ඇති පරිදි යම් කාර්යයක් කිරීම හෝ එම කාර්යය කිරීමෙන් වැළකීම වෙනුවෙන් පෙළඹවීමක් ලෙස සන්තෝසමක් හෝ ත්‍යාගයක් හෝ ප්‍රතිලාභයක් ලබා දීමට පොළඹවන හෝ පිළිගන්නා රාජ්‍ය ආයතනයක සාමාජිකයෙකු,

I. අදාළ රාජ්‍ය ආයතනයේ රැස්වීමක දී යම් ක්‍රියාමාර්ගයකට, තීරණයකට හෝ රාජ්‍ය ආයතනයට ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පක්ෂව හෝ ඊට එරෙහිව ඡන්දය ලබා දීම හෝ ඡන්දය ලබා දීමෙන් වැළකී සිටීම සිදු කරන සාමාජිකයෙකු,  

ii. ඕනෑම නිළ කාර්යයක් සිදු කිරීම හෝ එම කාර්යය කිරීමෙන් වැළකී සිටීම හෝ එම කාර්යය වේගවත් කිරීමට, ප්‍රමාද කිරීමට සහාය වීම, එම කාර්යයට බාධා කිරීම හෝ එම කාර්යය ඉටු කිරීමෙන් වැළැක්වීම සිදු කරන සාමාජිකයෙකු; හෝ

iii.  කිසියම් පුද්ගලයෙකුට පක්ෂව කිසියම් ඡන්දයක් ලබා දීමට සහාය දීම හෝ එය වැළැක්වීම හෝ කොන්ත්රාත්තුවක් හෝ ප්‍රතිලාභයක් ලබා දීම කෙරෙහි සහාය ලබා දෙන සාමාජිකයෙකු; හෝ

වරදකට වරදකරු වන අතර රුපියල් 1,000,000 නොඉක්මවන දඩයකට හෝ වසර 7 කට නොවැඩි කාලයක් සඳහා සිරගත කිරීමට හෝ එම දඬුවම් ද්විත්වයට ම යටත් වන්නේය.

8. – (1) මෙම පනතේ යම් විධිවිධානයකට පටහැනිව යම් සන්තෝසමක් හෝ වාසියක් පිළිගැනීමෙන් සිදු වන යම් වරදක් සම්බන්ධයෙන් අධිකරණයක් විසින් යම් තැනැත්තකු වරදකරු කරනු ලැබුවහොත්, එම සන්තෝසම හෝ වාසිය මුදලක් නම් හෝ එම සන්තෝසමේ වටිනාකම තක්සේරු කළ හැකි නම්, අධිකරණය මගින් එම පුද්ගලයාට වෙනත් දඬුවමක් පැනවීමට අමතරව නියෝගයේ නිශ්චිතව දක්වා ඇති කාල සීමාව තුළ, එම සන්තෝසමේ ප්‍රමාණයට සමාන මුදලක් දඩයක් ලෙස ගෙවීමට ඔහුට නියෝග කළ හැකි අතර අධිකරණයේ මතය අනුව එම සන්තෝසමේ වටිනාකම දඩයක් ලෙස අයකර ගත හැකිය.

2) මෙම පනතට පටහැනිව සන්තෝසමක් පිළිගැනීමට අදාළව වැරදි 2ක් හෝ වැඩි ගණනක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තැනැත්තෙකු එම වරද අතරින් එකකට හෝ කිහිපයකට වරදකරු කරනු ලැබුවහොත් සහ අනෙකුත් කැපී පෙනෙන වරදවලට අදාළ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ දඬුවම් නියම කිරීම සඳහා අධිකරණය විසින් සැලකිල්ලට ගනු ලබන්නේ නම් අධිකරණය විසින් (1) උප වගන්තියේ සඳහන් දණ්ඩනය, එසේ සැලකිල්ලට ගත් වැරදි සඳහා වන චෝදනාවල දක්වා ඇති සන්තෝසමේ මුළු ප්‍රමාණය හෝ වටිනාකම නොඉක්මවන මුදලකින් වැඩි කළ හැක.

 රහසින් ලබා දෙන ත්‍යාගයක් ප්‍රධානියා හට ආපසු ලබා ගත හැක

9. – (1) මෙම පනතට පටහැනිව කිසියම් පුද්ගලයෙකු විසින් නියෝජිතයෙකුට යම් සන්තෝසමක් ලබා දී ඇත්නම්, ‍ප්‍රධානියා හට නියෝජිතයාගෙන් හෝ නියෝජිතයාට සන්තෝසම ලබා දුන් පුද්ගලයාගෙන් එම මුදල හෝ මුදල් වටිනාකම සිවිල් ණයක් ලෙස අයකර ගත හැකි අතර මෙම පනත යටතේ වරදක් සම්බන්ධයෙන් විත්තිකරු වරදකරු කිරීම හෝ නිදොස් කිරීම, එම මුදල හෝ මුදල් වටිනාකම අයකර ගැනීම සඳහා වන නඩු කටයුතුවලට බාධාවක් නොවිය යුත්තේය.

         (2) මෙම වගන්තියේ අඩංගු කිසිඳු කරුණක් මගින් ප්‍රධානියා හට තම නියෝජිතයා වෙතින් කිසියම් මුදලක් හෝ දේපළක් අයකර ගැනීමට ඇති අයිතියට අගතියක් හෝ බලපෑමක් එල්ල නොකළ යුත්තේය.

10. වරදට අනුබල දීම

දණ්ඩ නීති සංග්‍රහයේ දක්වා ඇති පරිදි වරදට අනුබල දෙන ඕනෑම අයෙකු;

a.     මෙම විධිවිධාන යටතේ වරදක් සිදු කිරීම; හෝ

b.     ශ්‍රී ලංකාව තුළ පදිංචි ප්‍රධානියෙකුගේ කටයුතුවලට හෝ ව්‍යාපාරයට අදාළව හෝ ඔහු වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටත යම්කිසි ක්‍රියාවක් සිදු කළහොත් මෙම පනත යටතේ එම ක්‍රියාව ශ්‍රී ලංකාව තුළ සිදු කරනු ලැබුවහොත් වරදක් වන්නේ නම් එම වරද සඳහා වරදකරුවෙකු කර ඒ් සඳහා නියම කර ඇති දඬුවම ලැබීමට යටත් වන්නේය.

11. ප්‍රයත්නයන්

මෙම පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කිරීමට උත්සාහ කරන කවරෙකු වුව ද එම වරද සිදු කර ඇති බව සලකනු ලබන අතර එම වරද සඳහා වරදකරුවෙකු කර ඒ් සඳහා නියම කර ඇති දඬුවම ලැබීමට යටත් වන්නේය.

12. කුමන්ත්‍රණය

දණ්ඩ නීති සංග්‍රහයේ දක්වා ඇති පරිදි සාපරාධී කුමන්ත්‍රණයක පාර්ශවයක් වන මෙම පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කිරීමට උත්සාහ කරන කවරෙකු වුව ද එම වරද සිදු කර ඇති බව සලකනු ලබන අතර එම වරද සඳහා වරදකරුවෙකු කර ඒ් සඳහා නියම කර ඇති දඬුවම ලැබීමට යටත් වන්නේය.

 13. අර්ථ නිරූපණය

“නියෝජිතයා” යනු වෙනත් අයෙකු විසින් සේවයේ යොදවා ඇති හෝ වෙනත් අයෙකු වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයෙකු වන අතර එයට භාරකරුවෙකු, පරිපාලකයෙකු සහ ක්‍රියාත්මක කරන්නෙකු සහ රජය සඳහා හෝ ඕනෑම සංස්ථාවක් හෝ රාජ්‍ය ආයතනයක් යටතේ සේවය කරන පුද්ගලයෙකු ඇතුළත් වන අතර 3 වැනි වගන්තියේ අරමුණු සඳහා උප කොන්ත්‍රාත්කරුවෙකු සහ එවැනි උප කොන්ත්‍රාත්කරුවෙකු විසින් සේවයේ නියුක්ත කර ඇති හෝ එවැනි උප කොන්ත්‍රාත්කරුවෙකු වෙනුවෙන් කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකු ඇතුළත් වේ;

 සන්තෝසමට පහත දෑ අතුළත් වේ:

අ) මුදල් හෝ කිසියම් තෑග්ගක්, ණයක්, ගාස්තුවක්, කොමිස් මුදලක්, වටිනා ඇපයක් හෝ වෙනත් චංචල හෝ නිශ්චල දේපලක් හෝ කිසියම් දේපලක හිමිකමක්;

ආ) ඕනෑම තනතුරක්, රැකියාවක් හෝ කොන්ත්රාත්තුවක්;

ඇ) කිසියම් ණයක්, බැඳීමක් හෝ වෙනත් වගකීමක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් හෝ ගෙවීමක්, නිදහස් කිරීම, මුදා හැරීම හෝ ඈවර කිරීම;

ඈ) දැනට ක්‍රියාත්මක වන හෝ නොවන කිසියම් දඬුවමකින් හෝ ආබාධයකින් හෝ අත් අඩංගුවට ගැනීමකින් හෝ විනයානුකූල හෝ දණ්ඩන ස්වභාවයේ යම් ක්‍රියාවකින් හෝ ක්‍රියාවලියකින් ආරක්ෂා වීම සහ යම් හිමිකමක් හෝ ඕනෑම නිල බලයක් හෝ වගකීමක් ඇතුළු වෙනත් ඕනෑම ‍සේවාවක්, අනුග්‍රහයක් හෝ වාසියක්

ඉ) (අ), (ආ), (ඇ) සහ (ඈ) යන ඡේදවල අර්ථයට ඇතුළත් වන ඕනෑම පිරිනැමීමක්, සන්තෝසමක් ලබා දෙන බවට වන පොරොන්දුවක්;

“රාජ්‍ය ආයතනය” යන්නෙන් අදහස් වන්නේ අමාත්‍යාංශයක්, දෙපාර්තමේන්තුවක්, සංස්ථාවක්, මණ්ඩලයක්, කොමසාරිස්වරුන් හෝ මහජන සෞඛ්‍යයට හෝ ව්‍යාපාරවලට හෝ මහජන උපයෝගිතාවලට හෝ වෙනත් ආකාරයකින් අයකරනු ලබන මුදල් පරිපාලනය කිරීමට අදාළ ඕනෑම ලිඛිත නීතියක් යටතේ සහ ඒ සඳහා ක්‍රියා කිරීමට බලය ඇති ඕනෑම  වෙනත් ආයතනයකි.

       “වාසිය” යන්නෙන් අදහස් වන්නේ

(අ) මුදල් හෝ කිසියම් වටිනා ඇපයකින් හෝ වෙනත් දේපලකින් හෝ විස්තර කෙරෙන  

දේපලක අයිතියෙන් සමන්විත ඕනෑම තෑග්ගක්, ණයක්, ගාස්තුවක්, ත්‍යාගයක් හෝ කොමිස් මුදලකි;

              (ආ) ඕනෑම තනතුරක්, රැකියාවක් හෝ කොන්ත්රාත්තුවක්;

              (ඇ) කිසියම් ණයක්, බැඳීමක් හෝ වෙනත් වගකීමක් සම්පූර්ණයෙන් හෝ අර්ධ 

                  වශයෙන් ගෙවීමක්, මුදා හැරීමක්, හෝ ඈවර කිරීම;

  (ඈ) කිසියම් දඬුවමකින් හෝ ආබාධිතභාවයකින් හෝ අත් අඩංගුවට ගැනීමකින් හෝ විනය, සිවිල් හෝ අපරාධ ස්වභාවයේ කිසියම් ක්‍රියාවකින් හෝ ක්‍රියාදාමයකින් ආරක්ෂාව ඇතුළුව වෙනත් ඕනෑම සේවාවක්, හෝ අනුග්‍රහයක් (විනෝදාස්වාදය හැර);

               (ඉ) කිසියම් අයිතියක් හෝ යම් බලයක් හෝ රාජකාරියක් ක්‍රියාත්මක  

                    කිරීම හෝ වැළැක්වීම; සහ

               (ඊ) ඕනෑම වාසියක කොන්දේසි සහිත හෝ කොන්දේසි විරහිත දීමනාවක් හෝ පොරොන්දුවක්

Leave a Reply