You are currently viewing ගෙව්වත් නොගෙව්වත් ජනතාව අමාරුවේ දමන බදු…

ගෙව්වත් නොගෙව්වත් ජනතාව අමාරුවේ දමන බදු…

උග්‍ර ජීවන වියදම හමුවේ මේවන විට මෙරට ජනතාවගෙන් බහුතරයක් දිවිගෙවන්නේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේය. එවැනි තත්වයක් තුළ ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය නැවත වෙනස් කිරීම තුළින් ජන ජීවිතයට විශාල බලපෑමක් ඇතිවන බව හොඳින්ම පෙනී යන කරුණක්. එම හඳුන්වාදුන් නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට ආදායම් උපයන පිරිස් අතර දැඩි නොසන්සුන්තාවයක් ද උද්ගතව තිබෙන බව පෙනී යයි.

එම බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතා බහක් ඇතිව තිබෙන්නේ, මාසික ආදායම රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩි සියලු දෙනා ආදායම් බද්දට යටත්වීම හේතුවෙනි. මෙම බදු සංශෝධනය ගෙන ඒමට පෙර බදු අයකරන ලද්දේ මාසික ආදායම රුපියල් 250,000 වැඩි යෙන් උපයන පුද්ගලයින්ගෙන් පමණි.නමුත් එම තත්වය මේ වනවිට වෙනස් වී ඇත්තේ ආදායම් උපයන විශාල පිරිසක් ආදායම් බදු ගෙවීම සඳහා යටත් වීමත් සමගිනි.

රජයක් විසින් රටක කාර්‍යයන් සහ කර්තව්‍යයන් පවත්වාගෙන යාම සඳහා ආදායම් උත්පාදනය කළ යුතු අතර ඒ සඳහා පවතින ප්‍රමුඛතම උපක්‍රමය වන්නේ බදු අයකර ගැනීමයි. බදු වර්ග කොටස් දෙකකින් සමන්විත වන අතර සෘජු බදු හා වක්‍ර බදු ලෙස එම කොටස් දෙක හඳුන්වා දිය හැකියි. භාණ්ඩ හා සේවා මත අයකරගනු ලබන බදු වක්‍ර බදු ලෙසත් උපයන ආදායම් මත අයකරගන්නා බදු සෘජු බදු ලෙසත් හැඳින්විය හැකියි.

මෙම දෙආකාරයේම බදු පසුගිය 2020 වසරේදී පහල දැමීම හේතුවෙන් රජයට හිමිවීමට තිබූ බදු ආදායම දැඩි ලෙස පහල ගිය අතර එහි ප්‍රතිපල පසුගිය කාලසීමාව සිට වර්තමානය දක්වා මෙරට ජනතාව භුක්තිවිඳිනු දැකිය හැකියි. එම නිසා බදු යනු යම් රටක පැවැත්ම උදෙසා අත්‍යාවශ්‍ය සාධකයක් වන අත‍ර එමගින් ආදායම් විෂමතාව, සම්පත් බෙදීයාමේ විෂමතාව අවමකොට සමාජ සුබ සාධනය ඉහළ දැමීම තුළින් පහල ආදායම් ලබන කොටස් ආරක්ෂා කිරීම සහ යටිතල පහසුකම් වර්ධන කිරීම වැනි කාර්‍යයන් ඉටුකර ගැනීමට රජයට හැකියාව ලැබේ.නමුත් මෙවර සංශෝධනය කරනු ලැබූ බදු ප්‍රතිපත්තිය තුළින් ඉහතින් අපේක්ෂා කරන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අවකාශය ලැබේද යන්න පිළිබඳව විමසා බැලිය යුතුය.

බදු සංශෝධනය වන ආකාරය

නව බදු ප්‍රතිපත්තිය අනුව මාසික ආදායම රුපියල් ලක්ෂය හෝ ඊට වඩා වැඩි පුද්ගලයන්ගෙන් ආදායම් බද්දක් අයකරනු ලැබේ.

අඩුම බදු අනුපාතය 06%ක් වන අතර ඉහළම බදු අනුපාතය 36% කි.

රුපියල් ලක්ෂය දක්වා ආදයම් ලබන පුද්ගලයින්ට ආදයම් බදු අය කිරීමක් නොමැත.

කාණ්ඩ 06ක් යටතේ බදු අය කෙරන අතර 06%, 12%, 18%, 24%,30%, 36% ලෙස ආදයම අනුව බදු ප්‍රතිශත ඉහළ දැමෙනු ඇත.

2022 ඔක්තෝබර් 01 වනදා සිට 2023 මාර්තු 31 දක්වා තක්සේරු වර්ෂයේ ඉතිරි මාස 06හි ආදායම රුපියල් ලක්ෂ 6ක් හෝ ඊට අඩු නම් එම පුද්ගලයින් ආදායම් බදුවලින් නිදහස් වෙයි.

එම දෙවන මාස 06 හි ආදායම රුපියල් ලක්ෂ 6 සීමාව ඉක්මවන්නේ නම් එහිදී වැඩිවන පළමු රුපියල් 250,000 සඳහා 6%ක බදු මුදලක් අයකිරීමට යෝජිතය.

දෙවන මාස හයේ මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් 250,001 සිට රුපියල් ලක්ෂ 5 අතර ආදායම පවතින පුද්ගලයෙකුගෙන් 12%ක් සහ මුල් ලක්ෂ 5 සීමාව ඉක්මවා රුපියල් ලක්ෂ හතහමාරක් දක්වා 18%ක ආදායම් බද්දක් අයකරගැනීමට යෝජනා කර ඇත.

රුපියල් 750001ත් රුපියල් මිලියනයත් අතර ආදායම පවතින පුද්ගලයෙකු 24%ක් ද රුපියල් මිලියනයට වැඩි මිලියන 1.2ක් උපයන පුද්ගලයින්ගෙන් 30%ක ආදායම් බද්දක් සහ රුඔඉයල් මිලියන 1.2කට වැඩි ආදායමක් ලබන පුද්ගලයෙකුගෙන් 36%ක ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජිතය.

2023 අප්‍රේල් 01 වනදා සිට ඉදිරි වර්ෂයක් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත දේශීය ආදායම් බදු නීතිය අනුව වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12ක් වන පුද්ගලයෙකුගෙන් ආදායම් බදු අයකිරීමක් සිදු නොවේ.

එතැන් සිට උපයන අතිරික්ත රුපියල් ලක්ෂ 5 සඳහා සියයට 6ක බදු මුදලක් අය කෙරේ.

මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 10 දක්වා උපයන පුද්ගලයෙකුගෙන් සියයට 12ක්ද අය කෙරේ.

මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 10 සිට රුපියල් ලක්ෂ 15 දක්වා වාර්ෂිකව ආදායම උපයන පුද්ගලයෙකුගෙන් සියයට 18ක් බදු වශයෙන් අය කර ගැනීමට යෝජිතය.

මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 15 සිට රුපියල් ලක්ෂ 20 දක්වා වාර්ෂිකව ආදායම් ලබන පුද්ගලයෙකුගෙන් සියයට 24ක් මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 20 සිට රුපියල් ලක්ෂ 25 දක්වා වාර්ෂිකව උපයන පුද්ගලයෙකුගෙන් සියයට 30ක් හා මුල් ලක්ෂ 12 හැර ආදයම රුපියල් ලක්ෂ 25 ඉක්මවන පුද්ගලයෙකුගෙන් සියයට 36ක ආදායම් බද්දක් අයකරගැනීමට යෝජිතය.
මේ වනතෙක් පැවති දේශීය ආදායම් පනත අනුව වාර්ෂික පුද්ගල ආදායම රුපියල් ලක්ෂ 30 (මාසික ආදායම රුපියල් 250,000) ඉක්මවන සෑම පුද්ගලයෙකුගෙන් රජය ආදායම් බදු අයකරගනු ලබයි.

නව බදු සංශෝධනය තුලින් මේ වසරේ ඔක්තෝබර් පළමුවනදා සිට ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා මාස 06 තුළ ආදායම රුපියල් ලක්ෂ 6 ඉක්මවන සෑම පුද්ගලයෙකුගෙන්ම ආදායම් බදු අයකර ගැනීමටත් ලබන වසරේ සිට වාර්ෂික ආදායම වාර්ෂික පුද්ගල ආදායම රුපියල් ලක්ෂ 12 (මාසික ආදායම රුපියල් 100,000) ඉක්මවන සෑම පුද්ගලයෙකුගෙන් රජය ආදායම් බදු අයකර ගැනීමට අපේක්ෂා කරයි.

එමෙන්ම ඉදිරි කාලය තුළ මෙතෙක් ලබා දී තිබූ වසරකට රුපියල් මිලියන 1.2ක් වූ වියදම් සහන ද ඉවත් කිරීමට පනත යෝජනා කර ඇත.

මෙයට අමතරව සම්මත ආයතනික ආදායම් බදු අනුපාතය ඔක්තෝම්බර් මස පළමුවැනිදා සිට 30% දක්වා ඉහළ නංවනු ඇත. මෙතෙක් සහනදායී බදු අනුපාත භුක්ති විඳි අපනයන, වැවිලි, සෞඛ්‍ය සේවා සහ සංචාරක සහ තොරතුරු තාක්ෂණ වැනි අංශ වලත් මෙතැන්පටන් ආයතනික ආදායම් බදු අනුපාතය වූ 30% ක සම්මත ආයතනික බදු අනුපාතය ගෙවීමට සිදු වනු ඇත.

බදු සංශෝධනය වන ආකාරය සාධාරණද ?

මූල්‍ය අරමුදල පෙන්වන පරිදි මෙම වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 9.4කින් පහත වැටෙනු ඇත. 2023 වසරේදීද සියයට 4.6කින් පමණ ඍණ අගයක් විය හැකි බව කියැවේ. මෙවැනි අඩු වර්ධනයක පවතින අවස්ථාවක කර්මාන්ත හා සේවාවලට ශක්තියක් සපයා දිරිගැන්වීම වෙනුවට බදු අය කිරීම ජනතාවගෙන් කරන අය කරගැනීම හා සමානය.
ශ්‍රී ලංකාව මේ වනවිට දැඩි ආර්ථික අර්බූදයකට මුහුණ පා සිටින් බව පුනරුච්ජාරණය කළයුතු නැත.

2020 වසරේදී බලයට පත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බදු අඩු කළ අතර ඔවුන් විසින් උපයන විට බදු අවම කළ අතර රඳවාගැනීමේ බද්ද, ප්‍රාග්ධන වර්ධන බද්ද, බැංකු රඳවාගැනීම් ඉවත් කරන ලදී. එමෙන්ම වැට් බදු අඩු කරන ලද අතර විගණන වාර්තා පෙන්වන පරිදි එකී තීරණ මත වසරකට රු. බිලියන අටසියයක පමණ අවාසියක් ආණ්ඩුවට සිදුවී තිබේ.වර්තමාන රජය විසින් සිදු කරනුයේ එම අවාසිය පියවා ගැනීම සඳහා කටයුතු කිරීමයි.මෙම තත්වය ජනතාවට මෙන්ම සුළු ව්‍යාපාරිකයින්ට දරාගත හැකිද යන ගැටලුව ඉස්මතු වන අතර එමගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් සංකෝචනය වීමේ අවධානමක් පවතී.

බදු සංශෝධනය සම්බන්ධව ඇති යෝජනා.

ලෝකයේ මැදි ආදායම් ලබන රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ බදු අනුපාතය අඩු බව විශේෂඥයෝ කියති. දළ දේශීය නිෂ්පාදිතය අනුව බදු අනුපාතිකය සියයට 8.7 බව මුදල් අමාත්‍යාංශ වාර්තා ප්‍රකාශ කර ඇත. අඩුම තරමින් සියයට 15ක බදු ආදායමක් මැදි ආදායම් රටක තිබිය යුතු බව නිරීක්ෂකයෝ දක්වා තිබේ.එසේ වූවත් ජනතාව විසින් උපයන ආදායමේ කිසිදු වෙනසක් නොවී පැවතියදී ජනතාව විසින් ගෙවීමට නියමිතව පවතින ඉහත දක්වා ඇති ආකාරයේ බදු පිළිබඳව 43 වන සේනාංකය විසින් ද අදහස් දක්වා තිබේ. ඔවුන් පවසා සිටින්නේ මෙම නව බදු ක්‍රමයට විරුද්ධව ඇතිවන මහා සමාජ විරෝධතාව නිසා නව බදු ක්‍රමය හඳුන්වා දීම තුළින් රජය විසින් බලාපොරොත්තු වන රජයේ ආදායම වැඩි කිරීම,ජීවන බර අඩු කිරීම හෝ සමාජ සංතුළන ඇතිවීම සිදු නොවනු ඇති බවයි.මෙහිදී 43 වන සේනාංකය මගින් බදු ප්‍රතිපත්තිය වෙනස්වීම නිසා ඇතිවන ප්‍රතිපල සම්බන්ධව සහ බදු ක්‍රමය පිළිබඳව උද්ගතව ඇති ගැටලුව සඳහා විසඳුම් මාලාවක් යෝජනා කරන ලදී.
ඍජු බදු සම්බන්ධව දැනට හඳුන්වා දී ඇති ක්‍රමවේදය මෙයට වඩා ජනතා හිතවාදී කිරීම 

මේ බදු ක්‍රමයෙන් ප්‍රධාන වශයෙන් පීඩා විඳින්නේ බදු ස්ථර වල පහල මට්ටමේ සිටින පිරිස්ය. පවතින අති උද්ධමනකාරී තත්ත්වයට අනුරූපව වැටුප් වැඩිවීමක් සිදු නොවූ පසුබිමක, නව බදු ප්‍රතිපත්තියක් හරහා  වෘත්තිකයින් මිලදී ගැනීමේ හැකියාව තවදුරටත් අඩුවී රට හැර යාම  වැඩිවී එම සේ වාවන් බිඳවැටීමේ අවධානමක්ද  මතු වී ඇත. 

ඒ නිසා 43 සේනාංකය

අ . දැනට බදු ගෙවිය යුතුයැයි තීරණය කර ඇති අවම මාසික ආදායම් මට්ටම රු 100,000 සිට 200,000 දක්වා ඉහල දමන ලෙසය.

ආ .බදු කාණ්ඩ සඳහා අයකරන අනුපාතිකයන් 6% සිට 36% දක්වා ඇති අගයන් 4% සිට 24% දක්වා පහල දමන ලෙසය. 

මේ නිසා රජයට ලැබෙන ඍජු බදු ප්‍රමාණයේ අඩුවක් වන්නේ නම් ඒ අඩුවීම පියවා ගැනීම සඳහා 43 සේනාංකය පහත සඳහන් ක්‍රියාමාර්ගයන් යෝජනා කරනු ලැබේ. 

2. අංකයක් සහිත බදු ලිපිගොනු විවෘත කිරීම 

වසර 18 ට වැඩි සියලු දෙනා සඳහා බදු ලිපිගොනුවක් විවෘත කරලීම සඳහා අයවැයෙන් (2022) යෝජනා ඉදිරිපත් වී තිබුණි. බදු ලිපිගොනුව විවෘත කලද, අවම මාසික ආදායම වන ර 200,000 නොඉක්මවන්නේ නම් යමෙකු බදු ගෙවීමට අවශ්‍ය නොවනු ඇත. ඒ ක්‍රමය සඳහා විවිධ දෙපාර්තමේන්තු සමඟ ලිපි හුවමාරු වී තිබුණද නිශ්චිත ක්‍රියාවලියක් හඳුනා නොගෙන තිබුණි. තවද මිලියන 18 ක් පමණ වන වයස 18 ඉක්මවූ අයගේ ලිපිගොනු තැනීම හා නඩත්තුව ආදායම් බදු දෙපාර්තමේන්තුවේ  ධාරිතාවට කළ නොහැකි බවද පෙනී ගොස් ඇත. මේ සඳහා කලයුතු විසඳුම වන්නේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මැතිවරණ දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව හැඳුනුම්පත් අංකයට සමාන බදු ලිපිගොනුව අංකයක් (Tax File Number – TFN) සියලු වැඩිහිටි ජනයා වෙත නිකුත් කිරීමය. ඒ අංකය ඔවුන්ගේ සියලු ගනුදෙනු, බැංකු කටයුතු, ඉඩම් මිලදී ගැනීම් හා වෙනත් ලිපි ගොනුවල සඳහන් කර මේ සියල්ල පරිගණක මගින් අධීක්ෂණය කිරීමය. 

3. හෙවනැලි ආර්ථිකය (Shadow Economy) පාලනය කිරීම

 පාලනය නොවන මූල්‍ය සංසරණ ආර්ථිකය  (Shadow Economy) ලංකාවේ 44% ක් තරම් ඉහළ අගයක පවතින්නේ, ආදායම් උපදවන්නක් ගේ නිසි තත්ත්වය සොයා ගැනීමට නිසි කාර්යක්ෂම ක්‍රමවේදයක් නොමැතිවීම නිසාය. ලංකාවේ භාන්ඩ, සේවා හා දේපල මිල සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි තරම් ඉහල මට්ටමක පවතින්නේ මේ හෙවනැලි ආර්ථිකය නිසාය. මෙය පහල දැමීමට නම් මේ හෙවනැලි ආර්ථිකය පාලනය කල යුතුය.මේ සඳහා ජාතික හැදුනුම්පත් අංකය හා  බදු ලිපිගොනු අංක යෙදීම, විදුලි බිල, වාහන ලියාපදිංචිය, දුරකථන හා ජල බිල, බැංකු කටයුතු, කෙඩිට් කාඩ් හා ඉඩම් මිලදී ගැනීම්  යනාදී සියලු කටයුතු වල දී අනිවාර්ය කල යුතු අතර, මේ සඳහා පුද්ගල අනන්‍යතාවය සහතික කරන ඩිජිටල් තාක්ෂණ ක්‍රමවේදයන් (Blockchain Technology) අනුගමනය කළ යුතු යැයි යෝජනා කෙරේ. එසේම ආදායම් ලබන එහෙත් කිසිදු ආකාරයකින් ඒවා නිත්‍යානුකුලව සටහන් නොවන වෘත්තීන් හා ව්‍යාපාර හඳුනාගැනීම සඳහා තෝරාගත් ක්ෂේත්‍ර වල සමාජ සමීක්ෂණ කිරීමට යෝජනා කෙරේ. ඒ හා සමග එකී වෘත්තීන් හා ව්‍යාපාර ආදායම් බදු ජාලයට එක් කිරීමට පියවර ගත යුතුය.

4. මුදල් විශුද්ධිකරණය හා මුදල් සැඟවීම වැළැක්වීම

මුදල් විශුද්ධිකරණය හා මුදල් සැඟවීම වැළැක්වීමට සියලු ගෙවීම් සඳහා ඩිජිටල් වීදිකාවක් (QR Payment Platform වැනි) යෝජනා කෙරේ.

5. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම හා නොගෙවූ බදු මුදල් අය කර ගැනීම  

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනට පවතින (2016 සිට) ක්‍රමවේදය (Revenue Administrative Information System – RAMIS) තාක්ෂණ විගණනය කට ලක් කර සුදුසු පරිදි නවීකරණය කිරීමට යෝජනා කෙරේ. දැනට නොගෙවා පැහැර හැර ඇති බදු මුදල් ප්‍රමාණය රු බිලියන             කි. මෙයින් වැඩි ප්‍රමාණයක් පැහැර හැර ඇත්තේ මහා ධන කුවේරයන් හා දැවැන්ත සමාගම් මගිනි. මේ මුදල් වහා අය කරගැනීමට නීති මගින් කටයුතු කල යුතුවේ.

6. රේගු දෙපාර්තමේන්තුව පාරදෘශ්‍ය, කාර්යක්ෂම, අවංක ආයතනයක් බවට පත් කිරීම 

අන්තර්ජාතික විගණනයකට අනුව (Global Integrity Report) පසුගිය දශක දෙකක කාලය තුළ විදේශ වෙළඳාමේ දී ආනයන අපනයන යන්හි අගය වැඩි කිරීම (Over Invoice) හා අගය අඩු කර පෙන්වීම (Under Invoice) නිසා වාර්ෂිකව ඩොලර් බිලියන 02 ක පමණ එනම් දශකයට ඩොලර් මිලියන 40 ක් පමණ අයථා ආකාරයෙන් විදේශගතවීම දැකිය හැකි විය. ආණ්ඩුවේ මුළු විදේශ ණය ඩොලර් මිලියන 46 ක් වනවිට මෙහි බරපතල බව වැටහෙනු ඇත. ශ්‍රී ලංකාව වෙළඳාම් කරන රටවල රේගු කාර්යාංශ විසින් අපගේ අපනයන හා ආනයන සඳහා ලබාදී ඇති අගයන් අඛණ්ඩව සංසන්දනය කරන ක්‍රමවේදයක්  ශ්‍රී ලංකාවට නොමැති බව ද පෙනී ගියේ ය. ආනයන අපනයන බදු හා අන්තර්ජාතික වෙළෙඳ ගිවිසුම් ආදියේ පවත්නා සංකීර්ණතා නිසා රේගුවට ආදායම් අහිමි වන බව පෙනී ගියේය. මෙයට අමතරව භාණ්ඩවල වටිනාකම් තක්සේරු කිරීමේ දුර්වලතා හා අපහසුතා විසින් රේගුවට ආදායම් අහිමි වන බව පෙනී ගියේය.ගුදම් ධාරිතා සීමා හා කන්ටේනර් තදබදය හෞතික ගැටලුවක් ලෙස පෙන්වා දෙනු ලැබීය. ස්කෑන් යන්ත්‍ර හා වෙනත් පරීක්ෂණ ක්‍රමවේද වල තාක්ෂණික සීමා පිළිබඳව සඳහන් කරන ලදී.ආනයනකරුවන්ගේ ගැටළු හා සංකීර්ණ පරිපාලනමය තත්ත්වයන්, දේශපාලන බලපෑම් ආදිය ද රේගු ආදායමට සෘණාත්මකව බලපා ඇත.

ආනයන හා අපනයන සඳහා අධිමිල හා අඩු මිල යෙදවීම මගින් වාර්ෂිකව සිදුවන ඇමෙරිකන් ඩොලර් බිලියන 02ක පමණ විදේශ විනිමය අහිමිවීම වැළැක්වීම සඳහා විදේශ රේගුව ආයතන සමඟ ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් අත්‍යවශ්‍ය බැව් යෝජනා කෙරේ. එයට පසු බිමක් ලෙස විධිමත් වෝහාරික අධ්‍යනයක් වෘත්තීය මට්ටමෙන් සියලු මූලික වෙළද භාණ්ඩ සඳහා සිදු කළ යුතු බැව් යෝජනා කරයි.

7. ලංකාවේ ධනය නීතිවිරෝධී ලෙස විදේශ ගත වීම වැළැක්වීම 

විවෘත ගිණුම් ක්‍රමය (Open Account System) විසින් උණ්ඩියල් හා හවාලා ක්‍රම මුදල් රටින් පිටකිරීමට වලට අවශ්‍ය ප්‍රාග්ධන චක්‍රය නිර්මාණය වන බව හඳුනා ගෙන ඇත. මගීන් විදේශ ගතවීමේදී ගෙන යා හැකි මුදල් ප්‍රමාණය (ඇමරිකන් ඩොලර් 10,000) හා පැළඳ ගත හැකි ආභරණ යනාදිය අවභාවිතයට ගෙන විදේශ විනිමය හා රත්රන්, මැණික් ආදිය පරීක්ෂාවට භාජනය නොවී විදේශගත වන බව නිරීක්ෂණය වී ඇත. එසේම යම් නීති විරෝධී භාණ්ඩ (උදා : බීඩි කොල) සඳහා තිබූ ත්‍යාග මුදල් අත්හිටුවීම විසින් ඒවා නීතිවිරෝධීව රටට ඇතුළු වීම වේගවත් වූ බවටද මතයන් ඇත. මේ ප්‍රශ්න විසඳීම සඳහා විදේශ විනිමය පනත (Exchange Control Act – 1988) විධිමත් ලෙස සංශෝධනය කර උණ්ඩියල් හා හවාලා ක්‍රම වලට දැඩි දඬුවම් පනවා, විදේශ ගතවීමේදී විදේශ විනිමය රැගෙන යාම  රත්‍රං රැගෙන යාම පිළිබඳව නව ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බැව් යෝජනා කෙරේ.

8. සුරාබදු ආදායම කාර්යක්ෂම කිරීම 

සුරාබදු ආඥා පනත දුම්කොල බදු පනත කාර්යක්ෂමව ක්‍රියාත්මක කර ආණ්ඩුවට ආදායම් ලබා දීමට කටයුතු කල යුතුය. ඒ සමඟම  මත්ද්‍රව්‍ය ආදී සමාජ විරෝධී ක්‍රියාවන් මර්දනය කිරීමට පොලිසිය, රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදිය සමඟ ක්‍රියාකිරීමට, සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියා කල යුතුය.

9. ස්වාධින බදු කොමිසමක් පත් කිරීම

ජනතාවගෙන් අය කරගන්නා බදු මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් කිසිදු ආකාරයක පාරදෘශ්‍ය භාවයක් නොමැති වීම සහ දේශපාලඥයන් ජනතාවගේ බදු මුදල් තම පුද්ගලික සුඛ විහරණයට හා නාස්තියට ලක් කරන බව පෙනීයාම ජනතාව බදු ගෙවීමට මැළිවීමේ  එක් හේතුවකි. බදු අය කර ගැනීම සාධාරණව, සමානව හා නීතිය සියලු දෙනාටම එක් අයුරින් ක්‍රියාත්මක වන අයුරින් සිදුවීම අධීක්ෂණය සඳහා ස්වාධීන බදු කොමිසමක් ස්ථාපිත කලයුතුය. මේ කොමිසම බදු මුදල් අපහරණය වන්නේදැයි ද සොයා බැලිය යුතුය. ආදායම් බදු දෙපාර්තමේන්තුව දේශපාලන අතපෙවීම් වලින් තොර ස්වාධීන ආයතනයක් බවට පත්කිරීම මේ මගින් සිදුවනු ඇත.

සාරාංශය

රජය විසින් මේ මොහොත තුළ සිදු කිරීම වඩාත් උචිත වන්නේ තරමක් හෝ නම්‍යශීලී වී බදු ප්‍රතිපත්තිය පිළිබඳව අනෙකුත් පකෂ, විෂය ප්‍රාමාණිකයින්, සිවිල් සංවිධාන සහ වෘත්තීය සංගම් විසින් ගෙන එනු ලබන යෝජනා පිලිබඳව අවධානය යොමුකර ඔවුන් විසින් ගෙන එනු ලබන සාධනීය යෝජනා ක්‍රියාවට නැංවීමයි.එමගින් මේ වන විට රටපුරා ක්‍රියාත්මක වන සහ ක්‍රියාත්මක වීමට නියමිත වෘත්තීය ක්‍රියා මාර්ග මෙන්ම තවදුරටත් සිදුවීමට නියමිත ආර්ථිකයේ සංකෝචන ක්‍රියාවලිය නවතාලීමට හැකිවනු ඇත.

Leave a Reply