You are currently viewing බුද්ධි ගලනයෙන් සෙලවෙන රටේ ගමන

බුද්ධි ගලනයෙන් සෙලවෙන රටේ ගමන

රී ලංකාවෙ මේ පවතින තත්වය නිසා විදෙස්ගත වෙන්න තියෙන අවස්ථාවක් මග හැර ගන්න බොහෝ දෙනෙක් කැමති නැහැ. ශ්‍රී ලංකාව සතු විශාල වටිනාකමක් සහිත මානව සම්පතක් තියෙනවා කළමනාකරණය කිරීමේත් විවිධ ගැටළු සහ අඩුපාඩු දකින්න පුළුවන්. ශ්‍රී ලංකාව කියන්නෙ අධ්‍යාපනය බොහොම හොඳින් ක්‍රියාත්මකවන රටක්. එම හේතුව මත මෙරට සාක්ෂරතාව ඉහළ මට්ටමක පවතිනවා. 2017 වසරේ දී සාක්ෂරතාවය 91.9% ව තිබුනත් 2018 වසර වන විට ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවය 91.7% අඩුවනවා වර්තමානය වනවිට තව ටිකක් අඩුවෙලා තියෙන්න පුළුවන්. මේ තරම් ඉහළ සාක්ෂරතාවයක් තිබෙන රටක උගත් සහ බුද්ධිමත් ප්‍රජාවක් ඉන්න එක ගැන සැකයක් නැහැ.  මේ උගත් සහ බුද්ධිමත් පිරිස තමන්ගේ හැකියාවන් සඳහා නිසි ඇගයීමක් සහ වටිනාකමක් නොලැබෙන නිසා විදෙස් ගතවන්න තීරණය කරනවා. අන්න ඒ මොහොතේ දී ශ්‍රී ලංකාවේ බුද්ධිය වෙනත් රටවලට ගලායාමක් සිදුවෙන නිසා අපි ඒකට බුද්ධි ගලනය කියල කියනවා. 

ඕනෑම රටක තමන් කැමති රැකියාවක නියැලිලා ජීවත් වෙන එක අයිතියක් විදියට සලකනවා ඒ වගේමයි තමන් කැමති වෙනත් රටක පදිංචි වෙන්න නම් ඒකත් පුළුවන්. නමුත් ශ්‍රී ලංකාව වගේ රටක ගත්තම තියෙන්නෙ උත්තර සොයන්න වෙහෙසෙන්නෙ නැති ප්‍රශ්ණයක්. ඒ කියන්නෙ ලෝකයේ බොහොමයක් බලවත් රටවල් තමන්ගේ රටතුළ සිටින මානව සම්පත සතු හැකියාවන්ට නිසි ලෙස සැලකීම සහ අවශ්‍ය  ගරුත්වය ලබාදීම නිසා හැකියාවන් බහුල පිරිස් තමන්ගේ රටවල් තුල රඳවා ගැනීමට වගේම වෙනත් රටවල හැකියාවන්ගෙන් පිරිණු පුද්ගලයින් තමන්ගේ රටට ගෙන්වා ගැනීමටත් සමත් වෙනවා. ඒ නිසා ඔවුන් ඉක්මනින් දියුණු රටවල් බවට පත්වෙලා තියෙනවා. කොහොම උනත් රටකින් තවත් රටක සංක්‍රමණය වෙනවා කියන එක සැහැල්ලුවට ගතයුතු කාරණයක් නෙවෙයි, බොහොම බරපතල කාරණාවක්. ඒකෙන් පෙනෙන ප්‍රධානතම කාරණාව වෙන්නෙ,අදාල රට තුළ සිටින ජනතාවගේ හැකියාවන්ට සහ ජනතාවට නිසි ගරුත්වය, පිළිගැනීම, යහපත් ජීවිතයකට අවශ්‍ය පරිසරය අදාල රටතුළ නොමැති බවයි. ඒ වගේ රටවැසියන්ට කිසිදු ඇගයීමක් ලබා බොදෙන රටක් බවට ශ්‍රී ලංකාව පත්වෙලා තියෙනවා. ඒකයි “බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට එන්න එපා” කියලා දැන්වීම්  (Advertisement) දාන්න වෙලා තියෙන්නෙ. 

බුද්ධි ගලනය කියන දේ ඇති වෙන්න සුළු පිරිසක් පමණක් විදෙස් ගත වීම ප්‍රමාණවත් වන්නේ නැහැ.  ඒ සඳහා සැලකිය යුතු පිරිසක් විදෙස් ගත වියයුතුයි. ඒ වගේම ඔවුන් රටේ ශ්‍රම බලකායේ සාමාජිකයින් වීමත් ඒ සඳහා බලපානවා. මේ කියන ශ්‍රම බලකායෙ විශාල පිරිසක් සෑම වසරකම ඔබ හිතනවට වඩා විශාල පිරිසක් මේ රට හැරදමා යනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වාර්තාවන්ට අනුව 2022 වර්ෂයේ මුල් මාස 09ට ගමන් බලපත්‍ර ලක්ෂ 07ක් නිකුත්කොට තිබෙනවා. එය 2021 වසරේ වාර්තා වුනේ ලක්ෂ 04ක් ලෙසයි. ඒ අනුව මේ වර්ෂයේ වැඩිම විදෙස් ගමන් බලපත් ලබාගත් මාසය බවට අගෝස්තු මාසට පත් වන්නේ ගමන් බලපත්‍ර 15,286ක් නිකුත් කිරීමත් සමගයි. එමෙන්ම මේ වසරේ මුල් මාස නවයට විදෙස්ගතවීම් 240,000 ක් වූ බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් වාර්තා වන්නේ.

ඒ තමන්ගේ පහසුව,දියුණුව,යහපත සඳහා නිසා ඔවුන්ට කිසිදු ආකාරයක දෝෂාරෝපණයක් කරන්න බැහැ. තමන්ගේ හැකියාවට, දක්ෂතාවයට මේ රටේ නිසි සැලකිල්ලක් ලබා නොදෙන්නේ නම් නිසි සැලකිල්ලක් ලබා දෙන ස්ථානයට ඔවුන් ගමන් කිරීමේ වරදක් දකින්න බැහැ. 

මේ බුද්ධි ගලනය නිසා ශ්‍රී ලංකාවට වෙන්න පුළුවන් බලපෑම් ගැන කතා කලොත්,රටට අවශ්‍ය බොහෝ ක්ෂේත්‍රයන්ගේ අත්දැකීම් බහුලම පිරිසක් තමයි මේ සංක්‍රමණය වන්නෙ. ඒ වගේ අවස්ථාවකදී රටේ ඉදිරි ගමනට අවශ්‍ය දැනුම සහ සංකල්පයන් රට දාලා යනවා කියන දේ අපිට මතක තියාගන්න වෙනවා. උදාහරණයක් ලෙස මේ වන විට වෛද්‍යවරු 400කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට විදෙස්ගතව සිටිනවා. මේ වනවිට වයස අවුරුදු 60 වැඩි රාජ්‍ය සේවකයින් විශ්‍රාම යැවීමට ගෙන ඇති තීරණයත් සමග විශේෂඥ වෛද්‍යවරුන් 249ක් විශ්‍රාම යාමට නියමිතයි. එම තත්වය වැඩිදුර  අධ්‍යාපනය සඳහා විදෙස්ගතව සිටින් වෛද්‍යවරුන්ගෙන් සපුරාලිය හැකියැයි සිතුවත් එය එතරම් ඵලදායී වේද යන්න සැක සහිත වන්නේ නැවත ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණිමට දක්වන කැමැත්ත එතරම් සාධනීය තත්වයක නොමැති නිසියි. මේ එක් කෂේත්‍රයක පමණක් උවත්  අනෙකුත් අංශයන්ගේද එතරම් වෙනසක් දකින්නට නැහැ. මෙවැනි තත්වයකදී  අපේ රටේ සංවර්ධන කාර්‍යයන් සඳහා දායකත්වය දක්වන ශ්‍රම බලකාය විදෙස් ගත වීමේ ප්‍රතිපලයක් විදියට රටේ ශ්‍රම බලකාය සංකෝචනය වෙලා තවත් රට අගාධයට ඇද වැටෙන එකයි වෙන්නෙ. 

රටේ ශ්‍රම බලකායෙන් පුහුණු ශ්‍රමික පිරිස් අඩුවෙන කොට රටේ නිෂ්පාදනය අඩුවෙනවා. රටේ නිෂ්පාදනය අඩුවෙන කොට රටේ අපනයන අඩුවෙලා ආනයනයට අවශ්‍ය කරන ඉපැයීම් එහෙමත් නැත්නම් රටට අවශ්‍ය විදේශ විනිමය සොයාගන්න බැරිවෙලා දැන් තියෙන තත්වයට පත් වෙන්න පුළුවන්. ඒකෙන් පැහැදිලිවන දේ තමයි ශ්‍රී ලංකාවට දැන් උරුම වෙලා තියෙන දේ ඇති වෙන්න තවත් එක ප්‍රධාන හේතුවක් තමයි බුද්ධි ගලනය කියන්නෙ.  

හරි, අපි කොහොමද බුද්ධිගලනය අඩු කරන්නෙ, ඒක කරන්න පුළුවන් අපේ රට ඉහල ආදායම් ලබන තත්වයකට ඔසවා තැබිය හැකි ආකාරයට ව්‍යූහාත්මක වෙනසක් කිරීමයි. වෙළඳාම් කටයුතු නිදහස්ව කරගෙන යාමට අවස්ථාව දීම වගේම නියාමනයට අවශ්‍ය නීතිරීති සම්පාදනය කිරීම, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සඳහා පර්‍යේෂනයන්ට අවශ්‍ය පහසුකම් සහ මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම, විශාල සහ ප්‍රධාන අපනයන වෙළඳ පළවල්  සමග සම්බන්ධතා ඇතිකර ගැනීම වගේ පියවර ගැනීමෙන් බුද්ධි ගලනය යම්තාක් දුරටකට අඩුකර ගන්න පුළුවන් වේවි. 

ඇතැම් පිරිස් නගන තර්කයක් වන්නේ විදෙස් රැකියා සඳහා පිටත්ව යාම ඉහළ ගොස්  තිබීම රටට ආර්ථිකමය වශයෙන් හිතකර බවයි. රට විරුවන් විසින් මෙරටට එවනු ලබන විදේශ ප්‍රේශණ නිසා තෙල්, බෙහෙත්, පොහොර ආදිය සපයා ගත හැකි බවයි ඔවුන් පවසන්නේ. කොහොම උනත් අපිට කිසිදු අයිතියක් නැහැ කිසිම පුද්ගලයෙකුට රටෙන් යන්න එපා කියන්න. ඔවුන්ට අවශ්‍ය යහපත් ජීවිතයක් නම් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමේ අයිතිය ඔවුන්ට තිබෙනවා. ඒ වගේම ඔබටත් ඒ අයිතිය තියෙනවා. ඒකයි වෙනදට වඩා පාස්පෝට් පෝලිම දැන් වැඩි. හීනවලට ඇවිදන් යන එකට කවුරු හරි බාල්දි දානවනම් ඒකට පිළිතුරු දෙන එක තමන්ට බාරයි. 

මතක තියාගන්න ඕන තවත් එක කාරණයක් තියෙනවා. මේ රටේ ඉදිරිගාමී පරපුර ඇතැම් අවස්ථාවලදී රටට අහිමි වීමේ ප්‍රතිපල අපි දැනටමත් භුක්ති විඳිනවා. ඉතිරි පිරිසත් රට හැර යාම නවත්වා රටේම නතර කරගැනීමට මේ වනවිට ගෙන ඇත්තේ එකම පියවරක් පමණයි.”මම රට හැරදා ගිය සියලුම බුද්ධිමතුන්ට නැවත අපේ රටට එන්න කියලා ආරාධනා කරනවා” මෙන්න මේ ටික තමන්ගේ කතාවෙන් කියපු එක විතරමයි.

Leave a Reply