You are currently viewing වැඩිවෙන මිලෙන් ගොඩ යන යටිමඩි ගහන කළුකඩ…

වැඩිවෙන මිලෙන් ගොඩ යන යටිමඩි ගහන කළුකඩ…

ලංකාව වටේටම තියෙන්නෙ මුහුද නිසාම නිරන්තරයෙන් මුහුදු රැල්ලට සේදෙනවා.එහෙම නැත්නම් රැල්ලට අහුවෙනවා. ඒ පුරුද්ද ශ්‍රී ලාංකිකයන්ගේ ලේ වෙලට කාන්දුවෙලා නිසා වෙන්න පුළුවන් බොහෝම ඉක්මනින් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් රැලි ගොඩ නගන්න පුළුවන්.එයින් යහපත් සහ අයහපත් විදියට ප්‍රතිපල ලැබෙන නිසා රැල්ලට අහුවෙනව නම් නිකන්ම හේදිලා යන්න රැල්ලට අහුවෙන්නෙ නැතිව රැල්ල දරාගෙන ඉන්න පුළුවන් විදියට විතරක් ඒකට නිරාවණය වෙන්න පුරුදු වෙන්න. මොකද එකපාරටම රැල්ලක් ගැන කියවන්නෙ කියල බැලුවද ?

වෙනයම් හේතුවක් නිසා නෙවෙයි රැලි වලට අහුවෙලා නැත්තටම නැති වෙලා ඉන්න ජාතියක් තවත් තියෙන දේවල් නැති කරගන්න එක වළක්වන එක හොඳයි කියල හිතුනා.

ඔබ දන්නවනම් ගෙවීගිය මාසය තුළ පමණක් ලංකාවේ උද්ධමනය 60.08% ක් විදියට කොළඹ පාරිභෝගික මිළ දර්ශකය සටහන් කරනවා.එයින් ආහාර මිල උද්ධමනය පමණක් සටහන් වෙන්නෙ 90.9% ලෙසටයි.එයින් කියවෙන දේ තමයි ශ්‍රී ලංකාව මේ වෙනවිට අධි උද්ධමනයට පා තබා අවසන් කියන එක. එතකොට මොකද වෙන්නෙ ? එතකොට වෙනදේ තමයි ඔබ මිලදී ගන්න ආහාර  සහ වෙනත් පාරිභෝගික ද්‍රව්‍ය මිල ඉතාමත් වේගයෙන් ඉහළ යාම.දැනටමත් ඔබට ඒ බලපෑම දැඩිව දැනෙනවා ඇති. ඒ නිසා ඇතැම් පාරිභෝගික ද්‍රව්‍ය මිළදී ගැනීමෙන් වලකින්න සංසඳ පවා හදාගෙන තියෙනවා පෙනෙන්න තියෙනවා.

මේ මිල ඉහළ යාම පිලිබඳව සඳන් කරන විටදී පාරිභෝගික හැසිරීම පිළිබඳවත් සඳහන් කළ යුතුයි. හේතුව කියනවනම් පාරිභෝගික හැසිරීමත් මේ සඳහා දැඩි බලපෑමක් කරන නිසා.ඔබට මතක ඇති මෑතකදී සබන් මිල ඉහළ යාමට නියමිත බව ආරංචි වූ වහාම පාරිභෝගිකයින්ගේ හැසිරීම පිළිබඳව.පාරිභෝගිකයින් විසින් තමන්ගේ ආභරණ පවා උගස් කර සබන් පිරී තිබූ රාක්ක හිස් කරන ආකාරය අපිට දකින්න ලැබුණා. එයින් බහුලව තිබූ පාරිභෝගික භාණ්ඩ පවා හිඟ භාණ්ඩ බවට පත්වීමෙන් ඒවායේ මිළ ඉහළ යාමට බලපෑමක් ඇති කලා.මේ සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාව තුළ සඳහන්වන මූලික කරුණු වූවත් ඒ තුළින ඇති කරන බලපෑම විශාල බවට දිය හැකි උදාහරණයක් පමණයි.ඒ නිසා පාරිභෝගිකයාගේ හැසිරීමත් උද්ධමනයට විශාල බලපෑමක් සිදු කරන බවත් අපි සිහියේ තබා ගමු.

මීළඟ කාරණාවට එළැඹීමේ දී, ශ්‍රී ලංකාවේ මේ මොහොත තුළ පවතින උද්ධමනයට හේතුවට පාරිභෝගික හැසිරීම නෙවෙයි.ඒකට වෙනත් හේතු සාධක ගණනාවක් පවතිනවා.ඒ පිළිබඳව මීට පෙර ලිපි තුළින් අපි සාකච්ඡා කර තිබෙනවා ඔබට මතක ඇති.ශ්‍රී ලංකාවේ විදේශ සංචිත පහළ යාම, ඩොලරය හමුවේ රුපියලේ අගය අවප්‍රමාණය වීම වගේ හේතු මේ සඳහා දැඩි බලපෑමක් කරනවා.ඒ බලපෑම නිසා දේශීය ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාම විශාල ගැටලුවක් බවට පත්වෙලා තියෙනවා. ඔවුන් විසින් තමන්ගේ නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීම සඳහා වෙනදාට වඩා වැඩි මුදලක් යට කරන්න වෙනවා.ඒ වගේම තමන්ගේ සේවකයින්ට වැටුප් ගෙවීම,ඉන්ධන හිඟක් පවතින අවස්ථාවක දී නිෂ්පාදන ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සම්බ්න්ධයෙන් ගැටළු ගණනාවක් ඔවුන්ට තිබෙනවා. ඒ සියල්ල සඳහා ඔවුන් වැය කළ යුත්තේ තමන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමෙන් ලබන ආදායම් මගින්.එවැනි තත්වයක් තුළ දී අදාල ආයතනයන් හී නිෂ්පාදන මිල ඉහළ යාම සාමාන්‍ය තත්වයක්. විශේෂයෙන් අධි උද්ධමනයක් පවතින අවස්ථාවක දී අසාමාන්‍ය මිළ ඉහළ යාමක් අත් දකින්න හැකියාවක් තිබෙනවා.ශ්‍රී ලංකාව තුළ අතිමහත් ජනප්‍රියත්වයට පත්ව තිබෙන ආහාර නිෂ්පාදන ආයතනයන් කිහිපයක නිෂ්පාදන වර්ජනය කිරීම කළ යුතු බවට රැල්ලක් නිර්මාණය වෙමින් පවතිනවා.එම ආයතනයන්ට බොහෝවිට මුහුණ දීමට සිදුව ඇත්තේ මෙවැනි ඉරණමකට විය හැකියි.

සේවා සැපයීම් සම්බන්ධව සැලකීමේ දීත් ඇතැම් ආයතන මීට පෙර වඩාත් ප්‍රසන්න සේවා සැපයීමක් සම්බන්ධව ජනතාව අතර ප්‍රචලිතව තිබුණත් මෑත කාලීනව ඔවුන්ගේ සේවාවන් පිළිබඳව සමාජ මාධ්‍ය තුළින් පැතිර යන්නෙ එතරම් සුබදායී පුවත් නෙවෙයි.විශේෂයෙන් දේශීය වෙළඳපල අතික්‍රමණය කරමින් නොනැවතී අසල්වැසි ඉන්දියාව තුළ පවා තම ව්‍යාපාරික ආධිපත්‍යය පැතිරවීමට සමත් වූ ආයතනයකට තම කීර්ති නාමය ඉතාමත් වැදගත්. එවැන් ආයතනයකට වූවත් තමන්ගේ නිෂ්පාදන සඳහා අවශ්‍ය අමතර කොටස් ආදිය ගෙන්වීම අපහසු කාරණා පවතින ආර්ථික තත්වය සමග පැන නැගිය හැකියි.එම නිසා අදාල සේවාවන් සැපයීමේ දී යම් යම් අපහසුතා ඇතිවිය හැකි වූවත් සේවාවන්ට සමගාමීව පාරිභෝගිකයා සමග ගොඩ නගාගත යුතු සම්බන්ධතාව පළුදු කරගන්නේ නම් එය අනිවාර්යයෙන් එම ආයතනය මගින් විසඳා ගතයුතු ගැටලුවක් බව පැවසිය යුතුයි.

පාරිභාගිකයින් වශයෙන් සහ ජනතාව වශයෙන් අප මතක තබා ගතයුතු විශේෂ කරුණක් තිබෙනවා. ශ්‍රී ලංකාව වැටී තිබෙන ආර්ථික ප්‍රපාතයෙන් නැවත එළියට පැමිණීමට නම් අප විසින් දේශීය ආයතන රැක ගැනීම සිදු කළ යුතුයි. එයින් අදහස් වන්නේ අධික මිළ පිළිබඳව නොසලකා භාණ්ඩ මිළ දී ගැනීම සිදුකළ යුතුයි යන්න නෙවෙයි.යම් සීමාවකට යටත්ව හෝ අදාල පාරිභාගික භාණ්ඩ මිළදී ගැනීමට කටයුතු කළ යුතුයි.එම ආයතන දේශීය ආයතන වූවත් මේ වනවිට ඔවුන් ජාත්‍යන්තර වශයෙන් තමන්ගේ ව්‍යාපාර ව්‍යාප්තකර අවසන්.එම නිසා ඔවුන්ට ශ්‍රී ලංකාව අතහැර තමන්ගේ ව්‍යාපාර විදේශයන් හි ස්ථාපිත කිරීම එතරම් අපහසු නැහැ.ව්‍යාපරිකයින් වශයෙන් ඔවුන් විසින් ලාබ හඹා යාමේ දී ශ්‍රී ලංකාවට වඩා අඩු මිලට ශ්‍රමය මිළ දී ගැනීමේ හැකියාවක් බංග්ලාදේශය ඉන්දියාව වැනි රටවල පවතිනවා.මෙම මිළ ඉහළ යාම ඔවුන්ගේ අත්තනෝමතික භාවයේ ප්‍රතිපලයක් නම් රජය විසින් ඒ සම්බන්ධව සෘජු මැදිහත්වීමක් සිදුකළ යුතුයි. එසේ නොමැති නම් අපට මෙම අර්බූදයෙන් ගොඩ ඒම සඳහා දේශීය ව්‍යාපාර ආරක්ෂා කරගනිමින් ඔවුන් හා සමගාමීව ගමන් කලයුත් වෙනවා.ඕනෑම ආර්ථික අර්බූදයක් එන්නෙ එකපාරම නෙවෙයි ටිකෙන් ටික.එම නිසා ඒවා පිළිබඳව සැලකිලිමත් නොවී කටයුතු කිරීමෙන් පසුව එන අර්බූදයන්ගේ බලපෑම පාලනය කිරීම අතිශය අසීරුයි.ඒ වගේම එම බලපෑම් පාලනය කර සාමාන්‍ය තත්වයට පමිණීමත් එක්වර කල හැක්කක් නෙවෙයි එය සඳහාත් යම් කාලයක් ගත වේවි.එම නිසා එක්වරම රැලි වලට අසු නොවී අවබෝධයෙන් කටයුතු කළහොත් රැල්ලෙන් සේදී නොගොස් අර්බූදයෙන් ගොඩ ඒමට අපිට හැකිවේවි.

Leave a Reply