You are currently viewing අර්බුද අඳුරේ සිට එළියට දකින්න මෙහෙම පුළුවන් ද?

අර්බුද අඳුරේ සිට එළියට දකින්න මෙහෙම පුළුවන් ද?

ශ්‍රී ලංකාව තුළ මේ වන විට වර්ධනය වී ඇති දේශපාලන වාතාවරණය පිළිබඳව කෙටි විමර්ශණයක් කිරීමේ අරමුණ පෙරදැරිව මෙම ලිපිය සම්පාදනය කරනු ලබන අතර එමගින් පවතින දේශපාලන කෙසේ කියවාගත යුතුද යන්න පිළිබඳව දල අදහසක් ලබා දීමට අදහස් කරනු ලබයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ධූරයෙන් ඉවත් වන ලෙස බලකරමින් රටපුරා ඇති වූ උද්ඝෝෂන රැල්ලේ උපරිමයට ළඟා වීමත් සමගම තම ජනාධිපති පුටුව හැර දා යාමට ඔහුට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත දිනාගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ අතර අදාළ තේරීපත් වීම සම්බන්ධයෙන් ද සමාජය තුළ විරෝධතා ඇති කළත් මේ මොහොත වන විට එය සමාජ මාධ්‍ය තුළට පමණක් සීමා වී ඇති ආකාරයක් දැකිය හැකියි.

තත්වය එසේ තිබිය දී ජනතාව අතර පැතිරී තිබූ එක් මතයක් වනුයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වූයේ හුදෙක්ම රාජපක්ෂවරුන්ගේ රැකවලෙකු වශයෙන් මිස ශ්‍රී ලංකාව වැටී ඇති ආර්ථික හා දේශපාලන ආගාධයෙන් ගොඩ ගැනීම සඳහා නොවන බවයි. 2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන පුමුඛ බලවේග ජයගනු ලැබුවද එමගින් ශ්‍රී ලංකාව තුළ පැවති ජාතිකවාදී බලවේග යටපත් වූ බවක් හෝ පරාජය වූ බවක් දැකිය නොහැක්කේ  එයින් පසුව පැවති පළාත් පාලන මැතිවරණයෙන් පහසු හා විශාල ජයක් ලබා ගැනීමට නව පක්ෂයක් වූ පොදුජන එක්සත් පෙරමුණ සමත් වීමෙනි. එමගින් පෙනී යන්නේ 2015 වසරේ දී සැඟවී ගිය ශ්‍රී ලංකාවේ එතෙක් පැවති ජාතික වාදී මතවාදයන් තවදුරටත් බලවත් වීමේ උපරිමයට පැමිණීමයි. එහි ප්‍රතිපලයක් ලෙස 2019 වසරේදී පැවති ජනාධිපතිවරණය විශාල ඡන්ද පරතරයක් සහිතව ජය ගැනීමට ගෝඨාභය රාජපක්ෂ සමත් වන අතර අනතුරුව පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් 2/3 පමණ බලයක් ලබා ගැනීමට පොදුජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ සන්ධානය සමත් විය. නමුත් ඔවුන් විසින් ලබාගත් බලය රඳවා ගැනීමට සහ පවත්වා ගැනීමට අපොහොසත් වනුයේ ශ්‍රී ලංකාව තුළ උද්ගත වූ දැඩි ආර්ථික අර්බූදයට විසඳුම් සෙවීම සඳහා පාලකයින් වශයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අපොහොසත් බවට පවසමින් විශාල මහජන විරෝධතාවයක් ඇතිවීමත් සමග එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවීමත් හේතුවෙනි. එම විරෝධතා රැල්ල මගින් සිදුවූයේ එතෙක් ශ්‍රී ලංකාව තුළ බලවත්ව නැගී සිටි ජාතිකවාදී මතවාද සහිත බලවේග සතුව පැවති බලය හීනවී අරගලය වඩා බලවත් වීමයි.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපති විසින් රනිල් වික්‍රමසිංහව අග්‍රාමාත්‍යයවරයා ලෙස පත් කරතිබීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන ව්‍යවස්ථාව අනුව වැඩබලන ජනාධිපතිවරයා බවටත් අනතුරුව පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ රහසිගත ඡන්දය තුළින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවටත් පත් වීමට රනිල් වික්‍රමසිංහට හැකිවිය.ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් දිනයේදීම ගාලුමුවදොර පැවති අරගල භූමියට පහර දී විසුරුවා හැරීමට කටයුතු කළ අතර එම සිදුවීම ජාත්‍යන්තරය තුළ පවා දැඩි විවේචනයට බඳුන්වූ සිදුවීමක් වූ අතර එතැන් සිට මෙම ලිපිය සම්පාදනය කරන මොහොත දක්වා මහජන අරගලයට සක්‍රීය ලෙස දායක වූ මුල්පෙල ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇත. මෙවැනි සාධක           හේතුවෙන් රනිල් වික්‍රමසිංහ බලයෙන් ඉවත් කරන ලද රාජපක්ෂවරුන ආරක්ෂා කිරීම සඳහා සහ ඒ සඳහා ප්‍රමුඛ කාර්යය සිදුකරන ලද ගාලුමුවදොර අරගලය මර්ධනය කිරීමට කටයුතු කරන බව ඇතැම් පුද්ගලයින් මත පලකරනු ලබයි.

පාලනය කිරීමේ අයිතිය දිව්‍ය අයිතියක් ලෙස හඳුනා ගනිමින් ජනතාව පාලනය කිරීමට එරෙහිව සහ එතෙක් ජනතාව මත පැටවී පැවති පීඩනයන්  පුපුරා යමින් 1789 වර්ෂයේ දී ප්‍රංශ විප්ලවයේ ආරම්භය සිදු වූ අතර  ඒ සඳහා 1780 දී පමණ ඇති වූ ආර්ථික අර්බූදය මෙන්ම එම අර්බූදය වැඩි වීම සඳහා ධනේෂ්වරය විසින් ගෙවිය යුතු බදු නොගෙවීම සහ ධනේෂ්වරය විසින් සාමාන්‍ය ජනයා සූරාකෑමට ලක් කිරීම මේ සඳහා බලපාන ලද හේතු සාධක ලෙස පෙන්වා දිය හැකියි. මෙම තත්වය විසඳීම සඳහා මූල්‍ය අංශ ප්‍රධානී ජැක් නෙකර් විසින් අයවැය සමතුලිත කිරීමට යම් ක්‍රියාමාර්ග යෝජනා කළ ද පූජකයන් හා වංශාධිපතීන් විසින් එම යොජනා ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු සේවයෙන් පහ කිරීමට හේතු විය. ඉන් අනතුරුව ප්‍රංශය සඳහා ව්‍යවස්ථා සංශෝධන යෝජනා සහ වෙනත් ප්‍රතිසංස්කරණ යෝජනා විශාල ප්‍රමාණයක ගෙන එනු ලැබූවද ඒවා අර්බූද සමනය සඳහා ප්‍රමාණවත් නොවීය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී මේ හා සමාන තත්වයක් දැකිය හැකි වූවද රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ නැපොලියන් බොනපාට් කිරීම එතරම් උචිත නොවන්නේ ඔහුට ඒ සඳහා පැවතිය යුතු ජනතා සහය පවතිනවාද යන්න පිළිබඳව ගැටළු සහගත තත්වයක් පැවතීමයි. රනිල් වික්‍රමසිංහ නව ජනාධිපතිවරයා විසින් ජනතා සහය ලබා ගැනීම සඳහා ජාතිකවාදීන් විසින් අනුගමනය කරන්නා වූ විවිධ උපක්‍රම අනුගමනය කරනු දැකිය හැකි අතර වඩාත් වැදගත් වනුයේ එවැනි ක්‍රියාමාර්ගයන්ට එළැඹීමට ප්‍රථම ශ්‍රී ලංකාව ගිලී ඇති අර්බූදයෙන් ගොඩ නැංවීම සඳහා අනුගමනය කිරීමට සැළසුම්කර ඇති ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම තුළින් විශ්වාසය දිනා ගැනීමයි.ඒ සඳහා අරගලය පාර්ශවය සමඟ ගොඩනගා ගතයුතු අනෝන්‍ය අවබෝධය තහවුරු කර ගැනීම සහ ආර්ථික සහ දේශපාලන අර්බූදය විසඳා ගැනීම සඳහා එම පාර්ශවය විසින් මෙන්ම සිවිල් සමාජය විසින් ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව විමසා බැලීම සඳහා කමිටුවක් පත් කිරීම,විමසා බැලීමෙන් නතර නොවී එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර අනුගමනය කිරීම සහ ජනතා අදහස් ලබා ගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමද සිදුකළ යුතුය. එමගින් ජනාධිපතිවරයාට සෑම පාර්ශවයකම සහයෝගය ලබා ගැනීමට මෙන්ම ඉතාමත් ඉක්මනින් රට වැටී ඇති අගාධය පතුලට වී ඉහළින් පෙනෙන ආලෝකය දෙස බලා සිටිනවාට වඩා එයින් ගොඩට පැමිණීම සඳහා මග හසර විවර වනු ඇත.  

Leave a Reply