1941.11.01 දින සිට ක්‍රියත්මක වූ 1948 අංක 20 දරන ආගමන විගමන පනත පුරවැසියන් නොවන පුද්ගලයන් රට තුළට පැමිණීමත් පුරවැසි හා පුරවැසි නොවන පුද්ගලයන් රටෙන් පිටවීම් සහ සංක්‍රමණය වීම පාලනය කිරීමත් හා නීති විරෝධිව රට තුල සිටින පුද්ගලයන් රටෙන් පිට කිරීමත් අරමුණු කොටගෙන පනවා ඇති අතර එම පනත කිහිප අවස්ථාවකදීම සංශෝධනයවී තිබෙනවා.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ජේදයේ 14(1) ව්‍යවස්ථාව අනුව පුරවැසියන්ට නැවත ශ්‍රී ලංකාවට පෙරලා පැමිණීමේ නිදහස සුරක්ෂිත කොට තිබෙනවා.ආගමන විගමන පනතේ 08 වන වගන්තිය තුළින් ද පුරවැසියන්ට පමණක් සීමා වූ එම අයිතිවාසිකම පිළිබඳව දක්වා තිබෙනු දැකිය හැකියි.එමෙන්ම, එම පනතේ 02 වන වගන්තිය මගින් මෙම පනත මගින් නිදහස් වන පුද්ගලයන් පිළිබඳව දක්වා ඇති අතර එම පුද්ගලයන් අතරට හමුදා සාමාජිකයන්,ජාත්‍යන්තර ආයතන වල නියෝජිතයන් මෙන්ම විශේෂ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවට එවනු ලබන පුද්ගලයින් ද ඇතුළත් කොට තිබෙනවා.
පනතේ VII වන කොටස මගින් පුද්ගලයින් ශ්‍රී ලංකාවෙන් බැහැර වීම පාලනය කරණු දැකිය හැකියි.එහිදී විෂය භාර අමාත්‍යවරයා කලින් කලට ගැසට් නිවේදන මගින් ලංකාවට පැමිණීමට හා පිටවීමට අවසරලත් වරාය හා ගුවන්තොටවල් නම් කරනු ලබන අතර එම කටයුතු සඳහා භාවිතා කල හැක්කේ එම ස්ථාන පමණකි. වර්තමානයේ ලංකාවේ අනුමත වරාය හා ගුවන්තොටුපළවල් ලෙස කොළඹ හා ත්‍රිකුණාමල, මත්තල වාරයත්, කටුනායක හා මත්තල ගුවන්තොටත් හැදින්විය හැක. මේ කටයුතු සිදු කිරීමට අදාල බලයලත් නිලධාරීන් පනතේම දක්වා ඇත.ඒ අනුව 37 වන රෙගුලාසිය ප්‍රකාරව අනුමත ගුවන් තොටුපලවල දී ශ්‍රී ලංකාවට ඇතුළුවන හා පිටවන පුද්ගලයන් හඳුනා ගැනීමේ වගකීම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විධායක නිළධාරියා මෙන්ම ගණන්දීමේ නිළධාරියා වශයෙන් පාලක ජනරාල් වෙත පැවරෙන අතර ඔහුගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ අතිරේක පාලක ජනරාල්වරයෙකු,පාලකවරුන් 05 දෙනෙකු,ප්‍රධාන ගණකාධිකාරීවරයෙකු සහ අභ්‍යන්තර විගණකවරයෙකු කටයුතු කරනු ලබනවා.පනතේ 10 වන වගන්තියට අනුව යම් ප්‍රද්ගලයෙකු ලංකාවට පැමිණීමේදී (පුරවැසි නොවන) එම පුත්ගලය සතුව වලංගු විදේශ බලපත්‍රයක් හා වලංගු විසා පත්‍රයක් තිබිය යුතුයි.එමෙන්ම 12 වන වගන්තියට අනුව, අමාත්‍යවරයාට යම් පුද්ගලයන් රට තුලට එම තහනම් කිරීමේ බලයත් පනත මගින් ලබාදී තිබෙනවා.
පනතේ 34 හා 35 වගන්ති අනුව, රටෙන් පිටවීමේදී අනුමත වරායවල් හා ගුවන්තොට පමණකින් එය සිදු කල යුතු අතර වලංගු ගමන් බලපත්‍රයක් තිබීම අනිවාර්ය කරුණක්.45 වගන්තියේ පනත සම්බන්දව ඇති වරදවල් දක්වා ඇති අතර පනතේ ප්‍රතිපාදන වලට පටහැනිව ලංකාවට පැමිණීම හා පිටවීම, ගමන් බලපත්‍රය,වීසා හා අනෙකුත් සහතික හොරට තැනීම, වෙනස් කිරීම, නිත්‍යානුකුල අධිකාරයක් නොමතිව වෙනත් අයකුගේ හොර විසා, ගමන් බලපත්‍ර තබාගැනීම, පනතේ ආකාරයෙන් කටයුතු කිරීමේදී එයට බාධා පැමිණවිම, ලිඛිත අවසරයකින් තොරව වෙනත් රටකට ගමන් ලියවිලි තැපැල් කිරීම, එකකට වඩා ගමන් බලපත්‍ර සන්තකයේ තබාගැනීම හා වෙනත් අයකුගේ ගමන් බලපත්‍ර තම සන්තකයේ තබාගැනීම පනත යටතේ වරදවල් ලෙස දක්වා තිබෙනවා.
පනතේ 45 c වගන්තිය අනුව නිත්‍යානුකුල නොවන ආකාරයට යම් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට රටෙන් පිටිවිමට පහසුකම් සැපයීමද වරදක් වන අතරම එයට ආධාර අනුබල දීමද වරදක්.පනතේ වැරදි සඳහා අවමය වසර 1ක් හා උපරිමය වසර 5ක් දක්වා සිරදඩුවම් හෝ අවමය 50,000 ක හා උමරිමය 200,000 දක්වා දඩයකට යටත් කරනු ලැබිය හැකියි.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලතල කාර්යභාරයන් සහ ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බැලීමේ දී 1948 අංක 20 දරණ ආගමන විගමන පනතේ පූර්විකාවේ සඳහන් ආකාරයට පහත විධිවිධාන සකස් කිරීමට බලය පවරා තිබෙනු දැකිය හැකියි.
· ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන පුද්ගලයන් ශ්‍රී ලංකාවට ඇතුළුවීම පාලනය කිරීම.
· ශ්‍රී ලංකා පුරවැසියන් සහ ශ්‍රී ලාංකික නොවන පුද්ගයින් ශ්‍රී ලංකාවෙන් පිටවීම පාලනය කිරීම.
· ශ්‍රී ලාංකික පුරවැසියන් නොවන අනවශ්‍ය පුද්ගලයින් ශ්‍රී ලංකාවෙන් බැහැර කිරීම.
· වෙනත් නොවැදගත් කරුණු හෝ ඉහත සඳහන් කරුණු හා සම්බන්ධ විධිවිධාන සකස් කිරීම.
එමෙන්ම පනතේ 4 වන වගන්තිය තුළින් පත්කර ඇති පාලකවරයාට අනෙකුත් නිළධාරීන්ට ආගමන විගමන පනත මගින් හෝ ඒ යටතේ ප්‍රධානය කර ඇති බලතල,රාජකාරී,ක්‍රියාකාරකම් ක්‍රියාවේ යෙදවීමට,ඉෂ්ඨ කිරීමට,ලබා දීමට බලය පවරා තිබෙනවා.ලිපියේ පෙර සඳහන් කර ඇති ආකාරයට පනතේ 02වන වගන්තිය හෝ 31 වන වගන්තිය හෝ 52 වන වගන්තිය මගින් ප්‍රදානය කර ඇති බලතල අමාත්‍යවරයා විසින්ම ක්‍රියාවේ යෙදවිය යුතුයි.
ආගමන විගමන රෙගුලාසි තුළ එන 56 වන රෙගුලාසියට අනුව ශ්‍රී ලංකාවෙන් බැහැරවන පුද්ගලයින්ගේ ගමන් ලිපි ලේඛන මුද්‍රා තැබීම සහ ඒ පිළිබඳ වාර්තා පවත්වාගෙන යාම මෙන්ම පනතේ 37 වන වගන්තියේ සඳහන් වන ආකාරයට අනුමත තොටුපල වලදී ශ්‍රී ලංකාවට ඇතුළුවන හා ශ්‍රී ලංකාවෙන් බැහැරවන පුද්ගලයන් හඳුනා ගැනීමද දෙපාර්තමේන්තුව විසින් සිදුකළ යුතුයි.එමෙන්ම ආගමන විගමන පනත මගින් පවරා ඇති බලතල ක්‍රියාවේ යෙදවීම, ආගමන විගමන පනත මගින් පවරා ඇති රාජකාරි ඉෂ්ඨ කිරීම,ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලමන් ලිපි ලේඛන නිකුත් කිරීම ද ඔවුන්ගේ ක්‍රියාකාරකම් සඳහා ඇතුළත් වන බව දැකිය හැකියි.
කෙසේ නමුත් ආගමන විගමන පනතේ ප්‍රතිපාදනයන්ට අනුකූලව සියළු ලිපි ලේඛන හා අනෙකුත් සුදුසුකම් සපුරා ඇති පුරවැසියෙකු හො පුද්ගලයෙකු ශ්‍රී ලංකාවට ඇතුළු වීමට හෝ පිටවීමට බාධා කිරීමේ හැකියාවක් හෝ අභිමතයක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පවරා ඇති බවක් දැකිය නොහැකියි.විශේෂයෙන්ම එවැනි සියළු සුදුසුකම් සපුරා ඇති පුද්ගලයෙකු රටින් බැහැරවීම වැළැක්වීම සඳහා අධිකරණ නියෝගයක් පැවතීම අත්‍යාවශ්‍ය කරුණක්. එයින් හැඟවෙන කාරණය වන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් එවන් ක්‍රියාකාරකමක් සිදු කිරීම තුළින් දෙපාර්තමේන්තුවේ බලතල ඉක්මවා ක්‍රියාකරන බවයි. නමුත් එවැනි සිදුවීමක් වන අවස්ථාවකදී ආගමන විගමන දෙපාර්තමේන්තු සේවකයින් විසින් යම් වෘත්තීය ක්‍රියාමාර්ගයක් අනුගමනය කර ඇත්තේ නම් එවැනි විටකදී එම තත්වය වෙනස් විය හැකියි.එසේ නොවන තත්වයක් තුළදී කිසියම් පුදගලයෙකු සඳහා බාධාකිරීම් සිදු කරන්නේ නම් ආගමන විගමන දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම මගින් නෛතික ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ හැකියාවක් ද පවතින බව සැළකිය යුතුයි.
