You are currently viewing ඛනිජ තෙල්, ශ්‍රී ලංකා දේශපාලනයට කරන බලපෑම කෙසේද

ඛනිජ තෙල්, ශ්‍රී ලංකා දේශපාලනයට කරන බලපෑම කෙසේද

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ දේශපාලනය සම්බන්ධයෙන් මෙන්ම ගෝලීය ආර්ථිකය සහ දේශපාලනය සම්බන්ධයෙන් සැළකිය යුතු බලපෑමක් කිරීමේ හැකියාව ඇති සාධකයක් ලෙස ඛනිජ තෙල් කර්මාන්තය සැළකිය හැකියි.ශ්‍රී ලංකාව තුළ එය කොතෙක් දුරකට දේශපාලනික වශයෙන් බලපෑම් සිදුකරන්නේ ද සහ ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් දේශපාලනයේ හැසිරීම කෙසේද යන්න පිළිබඳව යම්තාක් දුරකට හෝ කතිකාවක් ඇතිවීම අවශ්‍යයි.

එවකට මුදල් අමාත්‍යවරයාව සිටි මංගල සමරවීර විසින් ලෝක වෙළඳපොළ තුළ තෙල් මිල වෙනස් වීමට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ තෙල් මිල වෙනස් වීම සඳහා සූත්‍රයක් හඳුන්වා දුන් අතර එය විවේචනයට ලක්වීම සදහා හේතුව වූයේ එම මිල සූත්‍රය හඳුන්වා දෙනු ලැබූ කාල වකවානුව තුළ ලෝක වෙළඳපොළ තුළ තෙල් මිළ ඉහළ යාම නිසා මිළ සූත්‍රය අනුව ශ්‍රී ලංකාවේ තෙල් මිලද ඉහළ යාමයි.2019 වසර තුළදී 117ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරය 2022 ජූනි 26 දින වන විට රුපියල් 470ක් බවට ද,128ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 550ක්,රුපියල් 95ක්ව තිබූ ඔටෝ ඩීසල් ලීටරය රුපියල් 460ක්,රුපියල් 110ක් වූ සුපර් ඩීසල් ලීටරය රුපියල් 520ක් දක්වාත් ඉහළ ගියා. මෙම මිළ ගණන් ඉහළ යාම තෙල් මිල සඳහා පමණක් බලපානු ලබන බව උපකල්පනය කළත් සැබෑ ජීවිතයේ දී අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක මිළ ඉහළයාම කෙරෙහි තෙල් මිලේ වැඩිවීම හේතුවක්.එබැවින් තෙල් මිල සාමාන්‍ය ජන ජීවිතයට සිදු කරනු ලබන බලපෑම අතිවිශාලයි.ඒ වගේම රජය විසින් මෙවර තෙල් මිළ ඉහළ දමන ලද්දේ රට තුළ ඉන්ධන සංචිත නොමැතිව ජනතාව පෝළිම්වල සිටින අවස්ථාවක දී වීම විශේෂත්වයක්.මෙවැනි තත්වයක දී රජය පිළිබඳව ජනතාවගේ ආකල්පය තවදුරටත් පහළට වැටීම වැළැක්විය නොහැකි කරුණක්.

කෙසේ වෙතත් ලොව පුරා ඛනිජ තෙල් මිළ සම්බන්ධව සළකා බැලිමේ දී ආසියනු කලාපය තුළ මිල අඩුම රට වශයෙන් ඉරානය හඳුනාගත හැකියි.ශ්‍රී ලංකාව ආසියානු කලාපය තුල 21 වන ස්ථානයේ පසුවන අතර ඉන්දියාව 31 වන ස්ථානයේ ද,චීනය 26 වන ස්ථානයත් බංග්ලාදේශය 27 වන ස්ථානයත් ලබාගෙන තිබෙනවා.ලෝක තෙල් මිල සැසඳීමේ දි අඩුම තෙල් මිල වෙනිසියුලාවෙන් ද වැඩිම තෙල් මිල හොංකොං රාජ්‍යයෙන් ද වාර්තා වෙනවා.

සාමාන්‍යයෙන් ලෝකයේ අනෙකුත් රටවල් හා සැසඳීමේ දී ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට ලෝක තෙල් මිල සම්බන්ධයෙන් සිදුකළ හැකි බලපෑමක් නොමැති තරම් වෙනවා.එමෙන්ම විනිමය අනුපාත අඩුවීම හෝ වැඩිවීම මත ඉන්ධන මිළ ඉහළයාම සිදුවෙනවා.විශේෂයෙන්ම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල දැඩිලෙස පසුබෑමට ලක්වීම හේතුවෙන් තෙල් මිල ඉහළයාම වේගවත් වීමට තවත් හේතුවක් වන බව දැකිය හැකියි.

ලෝක දේශපාලනය සම්බන්ධයෙන් සැලකීමේ දී ඛනිජ තෙල් විශාල බලපෑමක් සිදුකරනු ලබන අතර ශ්‍රී ලංකාව සම්බන්ධවද වැඩි වෙනසක් දැකිය නොහැකියි. රුසියාව සහ යුක්රේනය අතර යුධමය තත්වය හේතුවෙන් ලොව තුන්වන විශාලතම ඛනිජ තෙල් නිෂ්පාදකයා වන රුසියාවට බොහෝමයක් යුරෝපා රටවල් සම්බාධක පැනවීම නිසා එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන බැලරයක මිළ 10%කින් පමණ ඉහළ ගිය අතර ඒත් සමගම යුරෝපා ගෑස් සැපයුමෙන් 40%ක පමණ සැපයුම් කරුවා වන රුසියාව සම්බන්ධයෙන් යුරෝපා රටවල් විසින් පනවනු ලැබූ ඉන්ධන සම්බාධක සම්බන්ධව නැවත සළකා බැලීමක් සිදුකරනු අති බවටයි සඳහන් වන්නේ.ඒ අනුව යුරෝපා රටවලට ප්‍රමාණවත් තරම් ඉන්ධන සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඉන්ධන බැරලයක මිල තව දුරටත් ඉහළ යනු ඇති.‍

ඛනිජ තෙල් හේතුවෙන් දේශපාලන අර්බූද උද්ගත වූ රටක් ලෙස කසකස්ථානය හැඳින්විය හැකියි.කසකස්ථාන රජය විසින් එරට ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග වර්ධනය වූ ජනතා විරෝධය සිවිල් නොසන්සුන්තාවයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් මුල් අවස්ථාවේ දී ඉන්ධන මිල පහළ දැමීම සිදුකළ ද ජනවාරි 05 වන විට විරෝධතාකරුවන් විසින් එරට අල්මාටි ගුවන්තොටුපල සහ ජනාධිපති මන්දිරය අත්පත් කරගනු ලැබූ අතර රජයේ හමුදා එයට දක්වනු ලැබූ ප්‍රතිචාරයන් හි ප්‍රතිඵලයක් ලෙස විරෝධතා කරුවන් 225ක් පමණ මරණයට පත් විය.කසකස්ථානය යනු ඛනිජ තෙල් ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන්ම සිටින රටක් වුවද එරට පාලකයින් විසින් ඉන්ධන මිල පාලනය කිරීම සහ සම්පත් කළමණාකරණය සම්බන්ධව දක්වන දුර්වලතාවය පිළිබඳව ඇතිවූ අර්බුදකාරී තත්වය හේතුවෙන්  එම විරෝධතා ඇති වී තිබුණා.

තෙල් මිල ඉහළ යාම සම්බන්ධව නොවුනත් ශ්‍රී ලංකාවේ භාන්ඩ හා සේවා මිළ ඉහළ යාම නිසා දැඩි අර්බුදකාරී තත්වයන් ඇති වූ අවස්ථාවක් ලෙස 1953 හර්තාලය හැඳින්විය හැකියි.එවකට මුදල් අමාත්‍ය ධූරය දරණ ලද ජේ.ආර් ජයවර්ධන විසින් ශත 25ක්ව පැවති සහල් මිල ශත 70ක් දක්වා ඉහළ නැංවීම සහ තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිළ ඉහළ දැමීම කොළඹ,කැළණිය,ගම්පහ,කුරුණෑගල,අනුරාධපුර,වැලිගම,ගාල්ල,මාතර,යාපනය,මඩකලපුව වැනි ප්‍රදේශයන්වල ජනතාව රජයට එරෙහිව විරෝධතා දක්වනු ලැබුවා. එහි අවසන් ප්‍රතිඵලය ලෙස ජේ.ආර් ජයවර්ධනට මුදල් අමාත්‍ය ධූරයත් ඩඩ්ලි සේනානායකට අග්‍රාමාත්‍ය ධූරයත් අහිමිවනවා. ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ බොහෝ සිදුවීම් නැවත නැවතත් සිදුවන බව නිරීක්ෂණය කළ හැකියි.

එමෙන්ම ලෝක දේශපාලනය නිසාවෙන් හෝ ලෝක ආර්ථික අර්බූදය නිසාවෙන් මෙවැනි තත්වයන් ඇතිවන බව ප්‍රකාශ කිරීම පමණක් රජයකට සිදු කළ නොහැකියි. එම ගැටළු සඳහා මුහුණ දිය හැකි නිශ්චිත වැඩපිළිවෙළක දැඩි අවශ්‍යතාවයකින් ශ්‍රී ලංකාව පීඩා විඳිමින් සිටිනවා.මේ සඳහා බොහෝ විසඳුම් එක් එක් විෂයන්හි ප්‍රාමාණිකයින් විසින් රජයට ඉදිරිපත් කරනු ලැබුවත් ඒ සඳහා ප්‍රමාණවත් අවාධානයක් යොමු වී ඇත්ද යන්න පිළිබඳව ඇත්තේ සැකයක්. රජයේ මෙම හැසිරීම පිළිබඳව ජනතා ප්‍රතිචාර කවර අකාරයක් ගනු ලබනු ඇත්ද යන්න පිළිබඳව විමසිලිමත්ව බලා සිටිය යුතුවෙනවා.