පවතින ඉන්ධන අර්බුදය හමුවේ පොදු ප්‍රවාහන සේවය සහ පෞද්ගලික ප්‍රවාහන සේවය අඩාලවීම මත සඳුදා සිට සති දෙකක කාලයක් රජයේ සේවකයින් සේවයට කැඳවීම සීමා කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාල චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු හා පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කරනු ලැබූ අතර එම චක්‍රලේඛය අනුව අමාත්‍යංශ,දෙපාර්තුමේන්තු,ආයතන සේවකයිනට තමාට පදිංචි ස්ථානයට අදාල අමාත්‍යංශ,දෙපාර්තුමේන්තු,ආයතන කාර්යාලයට අනුයුක්තව සේවය කිරීමට අවස්ථාව ලබාදීමට ලේකම්වරුනට සහ ආයතන ප්‍රධානීන්ට හැකියාව ඇත. රජය විසින් ගනු ලැබූ එම තීරණයත් සමග රාජ්‍ය සේවකයින් විසින් ඒ සඳහා දක්වන්නේ කුමන ආකාරයක ප්‍රතිවාරයක් ද යන්න විමසා බැලීම සඳහා රාජ්‍ය සේවයේ නියුතු නිළධාරීන් තිදෙනෙකු සම්බන්ධකර ගන්නා ලද අතර පහතින් දක්වා ඇත්තේ ඔවුන්ගේ අදහස්.
” ආණ්ඩුව මේ කරන්නේ ලොකු විහිළුවක්.මම අද මගේ වාහනය තෙල් පෝලිමට දාලා වැඩට ආවෙ.මට හිතෙන විදියට මේ රට ටික දවසකට වහන්න වෙනවා.අපිට ආයෙත් කොරෝනා කාලේ වගේ වැඩ කරන්න වෙනවා.තෙල් ප්‍රශ්ණයත් එක්ක බස්වල යන්න බැරි තරම් සෙනඟ.ප්‍රවාහනයම ලොකු ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ දැන්.මේ මොනවා කළත් නිසි පරිපාලන වැඩපිළිවෙලක් නැතිව රට ඉදිරියට ගෙනියන්න අමාරුයි.”
–ගොවිජන සේවා දෙපාර්තමේන්තු නිළධාරියෙක්-
” ආණ්ඩුව මේ නිවාඩු දෙන එක ඉන්ධන අර්බූදයත් එක්ක බැඳිලා තියෙනවා කියන එක පැහැදිලියි.කොහොම උනත් තියෙන තත්වයත් එක්ක විකල්ප ක්‍රමවේද වලට යන්න වෙනවා.දැන් Work from Home සංකල්පය අනුව වැඩ කරන්න පුළුවන් නම් හොඳයි.මේ වැඩපිළිවෙලත් තමන් වැඩ කරන තැනත් එක්ක වෙනස් වෙනවා.දවස් 3ක්වැඩ කලාම ඇති අය ඉන්නවා,දවස් 5ම වැඩ කරන්න ඕන අයත් ඉන්නවා.මේ නිසා මේ දේවල් පිළිබඳවත් හිතලා කරන්න සිද්ධ වෙනවා.ඒ වගේම තමයි මේ හැම දෙයක්ම සමාජයේ තියෙන තත්වය එක්ක ගලපගන්න සිදු වෙනවා.සිකුරාදා දවස නිවාඩු දෙනවනම් පඩියෙන් දවසට අදාළ පඩිය අඩු කරලා නිවාඩු දෙන්න සලකා බලන්නත් පුළුවන්. ඒ යෝජනාවට බහුතරයක් විරුද්ධ වෙන්න ඉඩ තිබුනත් මේ තත්වය තුළ ඒ ගැනත් සළකා බලන්න පුළුවන් කියල මම හිතනවා”
–ප්‍රවාහන නිළධාරියෙක්-
“මෙතනදි රජයේ සේවකයින්ට පමණක් නිවාඩු ලබාදීම අසාධාරණයි.අපේ රටේ බොහෝ දෙනෙක් රාජ්‍ය සේවකයින්ව දකින්නේ කම්මැලි සහ වැඩ නොකරන කොටසක් විදියට.රජය මේ කරන වැඩෙන් ඒ මතය තවත් වැඩි වෙන එකයි වෙන්නේ. එක අතකින් සිකුරාදා නිවාඩු දෙනවා කියන එකේ අදහස් වෙන්නේ රාජ්‍ය සේවකයින්ට අවශ්‍ය තරම් වැඩ රාජකාරි නැහැ කියන එක.රාජ්‍ය සේවකයින් ලක්ෂ 14ක් විතර ඉන්නවා ඒ හැමෝම සතියේ දවස් 05යි වැඩ කරන්නේ . ඒ වුනත් පෞද්ගලික අංශයේ සේවකයින් සෙනසුරාදත් වැඩ එහෙම තියෙද්දිත් රජයේ සේවකයින්ට නිවාඩු වැඩි වෙනවා කියන්නේ තියෙන වැඩ අඩුයි කියන එක.අනිත් කාරණය තමයි වැඩ සහ සේවකයින් අතර තුලනයක් දකින්න නැහැ.
රජයේ සේවකයින් එච්චරම කාර්යක්ෂම නම් රට අද මේ තත්වයට පත් වන්නේ නැහැ.ඒකට හේතුව තමයි රජයේ සේවකයින් නිවැරදිව තමන්ගේ කාර්යයන් ඉටුකර නොතිබීම.තවත් නිවාඩු දෙන එකෙන් වෙන්නේ වැඩ කරන්නේම නැති වෙන එක.
අනිත් කාරණාව තමයි රජයේ සේවකයින් ගෙදර නැවතුනා කියලා අනිත් දේවල් නවතින්නේ නැහැනේ ප්‍රවාහන වියදම්,විදුලි වියදම් ඒ විදියටම පවතිනවා.මම නම් හිතන්නේ මේකට කරන්න ඕන නිවාඩු දෙන එක නෙවෙයි නිවැරදිව වැඩ බෙදලා හරියට වැඩ වෙන තැනට කටයුතු කරන්න ඕන.ඒ වගේම රාජ්‍ය සේවකයින්ව තමන්ගේ ආසන්නතම සේවා ස්ථානයට යොමු කරන්නත් පුළුවන්.තවත් ඉදිරියට යනවනම් කොළ පිරවිල්ල නවත්තලා තාක්ෂණය භාවිතා කරන්න පුළුවන් රාජ්‍ය සේවයක් නිර්මාණය කරන්න කටයුතු කරනවනම් ගොඩක් ප්‍රශ්ණ විසඳගන්න පුළුවන්”
–විගණන නිළධාරියෙක් –
රාජ්‍ය සේවය යනු කුමක් ද? එය අවශ්‍ය වන්නේ කුමක් සඳහා ද? සහ එහි කාර්යය භාරය කුමක් ද යන්න පිළිබඳව නිසි අවබෝධයක් බොහෝ පිරිසකට නොමැති වීම හේතුවෙන් රාජ්‍ය සේවය පිළිබඳව විවිධ දුර්මත ඇති වීමට හේතුවක් වී තිබෙනවා. රජය විසින් විවිධ අවස්ථාවන් හිදී ගනු ලබන තීන්දු තීරණත් එම තත්වය වඩා වර්ධනය වෙන්න හේතුවක්. රාජ්‍ය සේවය යනු රටක සංවර්ධන ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා අවශ්‍යවන ගාමක බලවේගය ලෙස හැඳින්විය හැකියි.රටක සංවර්ධන ක්‍රියාවලිය රාජ්‍ය සේවයේ නිසි ක්‍රියාකාරීත්වයකින් තොරව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව සියළු දෙනාම අවබෝධ කරගතයුතු කරුණක්.ජනතාව රාජ්‍ය සේවයෙන් බලාපොරොත්තුවන සේවාව ඉටු නොවීම තුළින් රාජ්‍ය සේවය පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටීමටත් රාජ්‍ය සේවකයින් සම්බන්ධව විරෝධාකල්ප මතු වීමටත් හේතු සකස් විය හැකියි.එම තත්වය මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන නිසා රාජ්‍ය සේවකයින් දින 04ක් රාජකාරී සඳහා කැඳවීම සම්බන්ධව මෙන්ම නිවසේ සිට රාජකාරී කිරීම සඳහා අවස්ථාව ලබාදීම නිසා පුද්ගලික අංශ සේවකයින් මෙන්ම සාමාන්‍ය ජනතාව සහ ඇතැම් රාජ්‍ය සේවකයින් අතරින්ද යම් අකාරයක විරෝධයක් ඇති වී තිබෙන බව පැහැදිලි කරුණක්.
ඒ අනුව මෙම නිවාඩු ලබා දීමට ඇතිවන ජනතාවගේ කනස්සලු ස්වභාවයත්,රාජ්‍ය සේවය ආකාර්යක්ෂම බව තවදුරටත් තහවුරු වන්නේය යන මතය ව්‍යාප්ත වීමත් නිසා පැහැදිවන්නේ රාජ්‍ය සේවය ප්‍රතිව්‍යූහගත කිරීමක් කළ යුතු බවයි.ශ්‍රී ලංකාවේ සමස්ථ රාජ්‍ය සේවය ( ත්‍රිවිධ හමුදාවද ඇතුළත්ව) දාහත් ලක්ෂ දාහතර දහසක් පමණ වන අතරම මෙම ප්‍රමාණය ශ්‍රී ලංකාව වැනි රජයකට දරාගත නොහැකි මට්ටමක පවතින බව පැහැදිලියි.එවැනි තත්වයකදී පවත්නා රාජ්‍ය සේවය කෙසේ ප්‍රතිව්‍යූහගත කරණය කළ යුතුද යන්න පිළිබඳව ඉක්මන් සාකච්ඡාවක් ඇරඹීමට උචිතම කාල වකවානුවය මෙය විය හැකියි.
