මෑත දිනකදී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශ කරන ලද්දේ වැට් බදු ප්‍රතිශතය 8% සිට 12% දක්වා වැඩි කරන බවය.මේ බදු මිල ඉහළ දැමීම සිදුවන්නේ ශ්‍රී ලංකාව තුළ උද්ධමන බලපෑම අධිකව තිබෙන අවධියක වීම සුවිශේෂ කරුණක්. 2022 පෙබරවාරි මස වාර්තා වූ වාර්ෂික උද්ධමන අනුපාතය 15.1%ක අගයක් වූ අතර අනෙකුත් අංශයන් අභිභවා ආහාර අංශයේ උද්ධමනය පෙබරවාරි මස වන විට 25.7% බවට පත් වුණා.ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව මාර්තු මස ආහාර උද්ධමනය 30.2%ක් වැනි ඉහළ අගයක් ගනු ලබනවා.එය මැයි මාසය වන විට 57.4%ක් දක්වා වැඩිවෙනවා.2022 මැයි මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මාසික වෙනස 8.34% ලෙස වාර්තා වූයේ, ආහාර නොවන සහ ආහාර යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල පිළිවෙළින් 4.87% සහ 3.47% ලෙස නිරීක්ෂණය වූ මිල වැඩිවීම් හේතුව නිසයි.
මේ මොහොත වන විට තත්වය තවත් බරපතල වී ඇතිවා මිස අවම වීමක් දැකිය නොහැකියි.අග්‍රාමාත්‍යවරයා දක්වන අදහස් අනුව පෙනී යන්නේ ඉදිරියේදී තත්වය මෙයටත් වඩා අසීරු වන බවයි.මෙය ජනතාවගේ ජීවිතවල ගුණාත්මකභාවය අවම වීමට හේතුවක් වීමට නියමිතයි.
2019 වසරේදී රජය විසින් ව්‍යාපාරික පන්තියට සහ ආදායම් බදු ගෙවන්නන් හට බදු සහනයක් ලබා දෙනු ලැබුවා.මේ හේතුව නිසා ශ්‍රී ලංකාවට වාර්ෂිකව බදු ආදායම රුපියල් බිලියන 600ත් 800ත් අතර ප්‍රමාණයකින් අහිමි වු අතරම එහි ප්‍රතිඵලයක් ලෙස කලාපයේ දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අඩුම ආදායම් අනුපාතය වාර්තා කරන්නට ශ්‍රී ලංකාවට හැකිවෙනවා.2019 වසරේ 12.7% ලෙස පැවති එම 2020 වසරේ දී 9.1% දක්වාත් 2021 වසරේ දී 8.7% දක්වාත් අඩු උනා.ඒත් සමගම 2019 වසරේ 9.6%ක්ව පැවති අයවැය හිඟය 2021 වසර වන විට 12.2% දක්වාත් ඉහළ ගියා.මේ සියල්ල සඳහා ලිහිල් කරන ලද බදු ක්‍රමවේදය තුළින් දැඩි බලපෑමක් එල්ල වුණා.තත්වය මෙසේ තිබියදී 2022.06.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි බදු සංශෝධනයක් ක්‍රියාවට නැංවෙනවා.ඒ වගේම ඔක්තෝබර් මාසයේ පළමුවදා සිට ක්‍රියාත්මක වන පරිදි ආදායම් බදු,ඔට්ටු හා සූදු බදු ඉහළ දැමීමටත් නියමිතයි.
ඒ අනුව මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ මත පනවනු ලබන ආනයන බද්ද,වැට් සහ රේගු බදු මත අධිභාරය ඉහළ දැමීමට තීරණයක් ගෙන තිබෙනවා.එහිදී ඇතැම් නිෂ්පාදනයන් මත පනවා ඇති රේගු බදු අධිභාරය ඉහළ යනු ඇත. උදාහරණ ලෙස,
-චොකලට් නිෂ්පාදන 50%
-රූපලාවණ්‍ය ආලේපන 75%
-බයිසිකල් සහ ත්‍රී රෝද රථ ටයර 50%
-ශීතකරණ,රෙදි සෝදන යන්ත්‍ර,විදුලි පංකා -වැනි ගෘහස්ථ උපකරණ 100%
ලෙස බදු ඉහළ දමා තිබෙනවා.
මේ අතර වැට් බදු හෙවත් එකතු කල අගය මත බදු පැනවීම සඳහා ලියාපදිංචි වියයුතු සීමාව වසරකට රුපියල් මිලියන 300ක්ව පැවති අගය වසරකට රුපියල් මිලියන 120ක් දක්වා අඩු කරමින් එම බද්ද සඳහා ලියාපදිංචි වියයුතු සංඛ්‍යාව වැඩි කිරීමටත්,8%ක අගයක පැවති වැට් බදු ප්‍රතිශතය 12%ක් දක්වා ඉහළ දැමීමටත් මැයි මස 31 දින නිකුත් කල බදු සංශෝධනය මගින් තීරණය කර තිබෙනවා.ඒ වගේම පදිංචියට යෝග්‍ය සහාධිපත්‍ය දේපල සඳහා ලබා දෙන ලද එකතුකල අගය මත බදු නිදහසද ඉවත්කර තිබෙනු දැකිය හැකියි.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක් තමන්ගේ ආහාර පාන සඳහා දළ් වශයෙන් ආදායමෙන් 30%ක් පමණ වැය කරනු ලබයි.එම නිසා ආහාර මිල ඉහළ යාම යනු සාමාන්‍ය ජනතාවගේ ගුණාත්මක ජීවන රටාවට දැඩි බලපෑමක් සිදුවන ක්‍රියාවක් ලෙස සැලකිය හැකියි.නමුත් මේ වන විට එම ප්‍රමාණය 50%ක් පමණ වන බවට උපකල්පනය කළ හැකිය.මාර්තු මස 180ක් පමණ වූ සම්බා සහල් කිලෝව ජූනි මස මුල් සතිය වන විට රුපියල් 240ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර සාලයා මාලු කිලෝවක මිල රුපියල් 800ක් දක්වා ඉහළ ගොස් තිබීමද සැලකිය යුතු කරුණකි.එමෙන්ම හාල් මැස්සන් ග්‍රෑම් 250ක් මේ වනවිට මිල රුපියල් 400ක පමණ මට්ටමක පවතින අතර රුපියල් 305 ට පැවති සීනි කිලෝවක මිල මේ වනවිට රුපියල් 335ක් දක්වා වැඩි වීමකට ලක්වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය.ඒ අනුව වැට් බදු අනුපාතය ඉහළ යාමත් සමග මෙම මිළ ගණන් තවදුරටත් වැඩි වනු ඇති බවට නිගමනය කළ හැකිය.
එයට අමතරව ආහාර නොවන කාණ්ඩයේ මිල ගණන් ඉහළ යාමට ඇති ඉඩකඩත් සමග ආහාර කාණ්ඩය සඳහා සිදුවන බලපෑම විශාල වනු ඇති බවට සිතිය හැකියි.එම තත්වය සාමාන්‍ය ජනතාවට අතිශය අසීරු ජීවන තත්වයක් උදාකර දීමට හේතුවිය හැකිය.
මසකට රුපියල් 250,000කට වැඩි ආදායමක් ලැබූ පුද්ගලයන් සඳහා පනවා තිබූ ආදායම් බදු ගෙවීමේ සීමාව මසකට රුපියල් 150,000කට වැඩි ආදායමක් උපයන පුද්ගලයින් සඳහාද ගෙවීමට නියමිත පරිදි සංශෝධනයට ලක්වීමට නියමිතයි.
මෙම බදු සංශෝධනය අනුව සංස්ථාපිත ආදායම් බදු අනුපාතයද 24% සිට 30% දක්වාද සහනදායී සංස්ථාපිත ආදායම් බදු අනුපාතය 14% සිට 15% දක්වා ඔක්තෝබර් මස 01 වන දින සිට ඉහළ නැංවෙනු ඇති.එමෙන්ම 2019 වසරේදී ඇතැම් අංශයන් සඳහා ලබා දුන් බදු විරාමයන්ද මේ තුළින් අහෝසි කිරීමට නියමිතයි.
රඳවා ගැනීමේ බදු යටතේ 2022 ඔක්තෝබර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල අත්තිකාරම් අදායම් බද්ද සහ සේවා නියුක්ති ආදායම මත රඳවා ගැනීමේ බද්ද වර්ෂයකට රුපියල් මිලියන 1.8ක් වන බදු සහන කාල සීමාව ඉක්මවන සෑම තනැත්තෙකුටම බදු අනිවාර්‍යය වෙනු ඇති.එමෙන්ම අත්තිකාරම් ආදායම් බද්ද/ රඳවා ගැනීමේ බද්ද සියලුම බදු ගෙවන්නන් සඳහා අනිවාර්යය කර ඇති අතර තනි පුද්ගල බදු ගෙවන්නන් සඳහා පොළී ද, සියලුම බදු ගෙවන්නන් සඳහා ලාභාංශද අවසානාත්මක ගෙවීම් ලෙස සලකා කටයුතු කරනු ඇත.ඒ අනුව,
පොළී 5%
ලාභාංශ 14%
කුලිය මසකට රුපියල් 100,000 ඉක්මවා යන්නේ නම් 10%
වෙනත් සියලුම අවස්ථා සඳහා 14%
ක් වන අනුපාතයන් යටතේ අඩුකිරීම් කිරීමට නියමිතයි.
2022 ඔක්තෝබර් මස 01 වනදා සිට මාසිකව රුපියල් 100,000කට වැඩි සේවා ගෙවීම් මත වෘත්තීකයන්ගෙන් 5%ක රඳවා ගැනීමේ බද්දක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම සඳහා රුපියල් මිලියන 1.5ක් දක්වා සහනයක් හඳුන්වා දීමටද කටයුතු කරණු ඇත.එසේම 11.25%ක්ව පැවති විදුලි සංදේශ බදු අනුපාතය 15%ක් දක්වා ඉහළ දමනු ඇති.ඔට්ටු සහ සූදු සඳහා බදු අනුපාත 2023 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මකවන පරිදි බදු සංශෝධනය ක්‍රියාවට නැංවීමට නියමිතයි. ඒ අනුව සූදු ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම සඳහා වූ වාර්ශික බද්ද රුපියල් මිලියන 200 සිට රුපියල් මිලියන 500 දක්වා වැඩි කිරීමට කටයුතු යෙදෙනු ඇත. ඔට්ටු ව්‍යාපාර සම්බන්ධයෙන් වාර්ෂික බද්ද, නියෝජිතයෙකු මඟින් සිදු කරන අවස්ථාවක දී රුපියල් මිලියන 4 සිට රුපියල් මිලියන 5 දක්වා ද, සජීවි විකාශන පහසුකම් භාවිතා කරමින් සිදු කරන අවස්ථාවක දී රුපියල් මිලියන 0.6 සිට රු. මිලියන 01 දක්වා ද, සජීවි විකාශන පහසුකම් භාවිතා නොකරමින් සිදු කරන අවස්ථාවක දී රු. 50 000 සිට රු. 75,000 දක්වා ද වැඩි කිරීමට යෝජිතයි.
මේ සියල්ල තුළින් අපේක්ෂා කරනුයේ 2019 වසරේ සිට රජයට අහිමිව තිබූ ආදායම යලි යථා තත්වයට පත් කර ගැනීමයි.නමුත් මේ වනවිට ආහාර කාණ්ඩයේ එළවලු,සහල්,නැවුම් මාලු,පරිප්පු,කරවල ආදීයේ මිල ගණන්වල ඉහළ යාමක් වාර්තා වීම සහ නව බදු ඉහළ යාමත් සමග එම මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවට නිගමනය කල හැකියි.
එමෙන්ම ගෑස්,ප්‍රවාහන,ඉන්ධන,නිවාස ජලය, විදුලිය ආදී ආහාර නොවන කාණ්ඩයේ මිල ඉහළ යාමද ආහාර කාණ්ඩයේ මිල ඉහල යාම සඳහා බලපෑමක් ඇති කලා.ඒ අනුව නව බදු පැනවීමත් සමග ආහාර නොවන කාණ්ඩයේ මිල ඉහළ යාමෙන් ආහාර කාන්ඩයටද බලපෑමක් ඇති වන බැවින් මෙම තත්වය සාමාන්‍ය ජනයාට දරා ගැනීමේ හැකියාව තව දුරටත් පවතීද යන ගැටලුවත් මේ සමගින්ම පැන නගිනු ඇති.
නමුත්,මෙහිදී අමතක නොකළ යුතු කාරණය වන්නේ ඉහළ උද්ධමන අනුපාතිකයක් පවතින අවස්ථාවකදී එම තත්වය පාලනය කර ගැනීම උදෙසා රාජ්‍ය ආදායම ඉහළ නැංවිය යුතු වීමයි.එවිට උද්ධමන අවධානම අවම කිරීමටත් ප්‍රතිපත්ති පොළී අනුපාතිකය ඉහළ දමමින් මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කිරීමටත් හැකියාව ලැබෙනු ඇත.ඒ අනුව බදු අනුපාත ඉහළ දැමීම ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මේ මොහොත තුළ ගත හැකි වඩාත් ඉක්මන් ක්‍රියාමාර්ගය ලෙස හඳුන්වා දිය හැකිය.එමගින් උද්ධමනය තුලින් අයපත් ප්‍රතිවිපාකයන් භුක්තිවිඳි පුද්ගලයන් සහ පුද්ගල කාණ්ඩ සඳහා සහන සැලසීමද මේ තුළින් වඩා කඩිනම් කළ හැකිවේ යැයි අපේක්ෂා කළ හැකියි.
Source – Daily Price Report | Central Bank of Sri Lanka (cbsl.gov.lk),
Bath Curry Indicator – A Food Price Tracker | Advocata Institute Sri Lanka
