You are currently viewing IMF එක කියන තරම් කළුද..?

IMF එක කියන තරම් කළුද..?

IMF පිළිබඳව තියෙන සංවාදය නැවත අළුත් වටයකින් මතුවෙලා තියෙනවා.මෑත කාලීනව ශ්‍රී ලංකාව මුහුන දීලා තියෙන දැවැන්ත මූල්‍ය අර්බූදයත් එක්ක එයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගන්නවද නැද්ද කියන කාරණය විවාදයට ලක්වූ කරුණක් වුනා.1950 වර්ෂයේ දී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබාගෙන පළමු  ණය ප්‍රමාණය වන ඇමරිකන් ඩොලර් මිලියන 133.6ක මුදලක් 1977දී ලබා ගන්නවා.වර්ථමානය වන විට අවස්ථා ගණනාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය ලබාදී තිබෙනවා. 

IMF එකෙන් තව මොනවද කරන්නෙ…? 

IMF එක මගින් තමන්ගේ සාමාජික රටවල මූල්‍ය ස්ථාවර භාවය ආරක්ෂා කරගන්න උදව් කරනවා.

IMF එක තමන්ගේ සාමාජික රටවල තාවකාලික ආනයන වි‍යදම් සහ අපනයන ආදායම් අතර පවතින හිඟය තුලනය කරගැනීමට අවශ්‍ය කෙටි කාලීන ණය සැපයීම ප්‍රධාන අරමුණ කරගෙන තිබුණත්, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රශ්ණ සම්බන්ධව තමන්ගේ සාමාජිකයන්ට අවශ්‍ය උපදෙස් සහ සහයෝගය ලබාදීම පමණක් නෙවෙයි විනිමය ස්ථාවරත්වය වැඩි දියුණු කිරීම, ක්‍රමානුකූල විනිමය වැඩපිලිවෙලක් සකස් කිරීම,විනිමය අවප්‍රමාණය ඉවත් කිරීම සඳහා සහයවීමත් ඔවුන් විසින් සිදුකරණ කාර්‍යයන් අතරට ඇතුළත්. 

IMF එකෙන් ලැබෙන ණය තුළින් සාමාන්‍යයෙන් සිදුවන්නෙ විදේශ සංචිත වැඩි වීමයි.විදේශ සංචිත කියන්නෙ රජය, මහ බැංකුව සහ වානිජ බැංකු මගින් භාණ්ඩ සහ සේවා අපනයන ඉපැයීමට.විදේශ සංචිත, විදේශ ආධාර,විදේශ ප්‍රදාන වගේ දේවලුත් විදේශ විනිමය වත්කම් ලෙස සැලකිය හැකියි.විදේශ සංචිත ශක්තිමත් වනවිට පිරිහෙමින් පවතින විදේශ විනිමය අනුපාත ශක්තිමත් වීමත් එමගින් රුපියලේ බාහිර අගය ශක්තිමත් වීමයි සිදුවන්නේ.මෙහිදී බාහිර අගය ශක්තිමත් වීම යනුවෙන් අදහස් කරන්නේ රුපියලකින් මිලදී ගතහැකි විදේශ මුදල් ඒකක ප්‍රමාණය අනුව රුපියලට ලැබෙන අගය වැඩි වීමයි.ඒ නිසා රුපියලට ලැබෙන ජාත්‍යන්තර පිළිගැනීම වැඩි වෙනවා.ඒ නිසා රටේ ආනයන හැකියාවත් ඉහළ යනවා.මේ සියල්ල වෙන්න නම් විදේශ සංචිත වැඩි වෙන්න වෙනවා. වර්ථමාන තත්වය මත ඒකට තියෙන විසඳුම IMF එක විතරයි.හැබැයි IMF එකට ගිහින් ණයක් ගත්තා කියල තමන් කැමති විදියට ඒ ණය යොදවන්න කිසිම රජයකට හැකියාවක් ලැබෙන්නෙ නැහැ.රජය විසින් අදාල මුදල් වැය කරන ආකාරය සහ රජයේ ආර්ථික ක්‍රියා පිළිවෙත ඔවුන් විසින් අධීක්ෂණය කරනවා තවදුරටත් ඔවුන්ගේ දැඩි කොන්දේසි සඳහා එකඟවීමට විතරක් නෙවෙයි ඒ කොන්දේසි කඩකලොත් නියමිත ණය මුදල නොලැබී යන්නත් පුළුවන්. 

ශ්‍රී ලංකාව ගැන IMF එක මොකද කියන්නෙ..? 

IMF එකෙන් පවසන ආකාරයට ශ්‍රී ලංකාව මේ මොහොතේ ගත කරන්නේ ශ්‍රී ලංකාව විසින්ම ඇතිකරගත් දැඩි ආර්ථික පසුබෑමක.

ශ්‍රී ලංකාව පිළිබඳ IMF කාර්‍යමණ්ඩල වාර්තාව පසුගිය දිනක එළිදක්වනු ලැබුවා.එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ඉතාමත් අසීරු අඩියක පසුවන බවයි නිරීක්ෂණය කළ හැක්කේ.COVD – 19 වසංගත තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට වැඩිම ආදායම් ලැබෙන සංචාරක ක්ෂේත්‍රයට සිදු වූ බලපෑම, බදු කපා හැරීම වැනි හේතු නිසා 2020 – 2021 කාල සීමාව තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%කට වඩා විශාල මූල්‍ය හිඟයක් ඇති වීමට බලපෑවා.2021 වර්ෂයේ පමණක් රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 119% කට වඩා වැඩි වීමත් දැකිය හැකි බව ඔවුන්ගේ වාර්තාවේ සඳහන්.ඒ සඳහා හේතු ලෙස ඔවුන් පවසන්නේ,ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොල අහිමිවීම, විදේශ ණය ආපසු ගෙවීම සහ ජංගම ගිණුමේ හිඟය පුළුල්වීම හේතු නිසා විදේශ විනිමය හිඟය ඇති වීමට මූලික හේතු ලෙස දක්වා තිබෙනවා.උද්ධමනය දෙගුණයකින් වැඩි වීම සහ එය තනි අගයක රඳවා ගැනීමට රජය අපොහොසත් වී තිබෙනවා.ඔවුන් පවසන්නේ රට තුළ් ඉහළ උද්ධමනයට මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය බලපා තිබෙනවා. එසේම රාජ්‍ය ණය දරාගත නොහැකි ආකාරයට ඉහළ යාමත්, ණය සහ සේවා අවශ්‍යතා ආවරණය කිරීමටද පවතින සංචිත ප්‍රමාණවත් නොවන බවයි ඔවුන් පවසන්නේ. 

IMF එකෙන් ශ්‍රී ලංකාවට දෙන විසඳුම් මොනවද..? 

ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම් විශාල ආර්ථික ප්‍රතිසංස්කරණයක් කරන්නට සිදුවේවි.

IMF එකට අනුව සාර්ව ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා අවශ්‍ය උපායමාර්ගයන් සඳහා එළඹීය යුතු වෙනවා.එම ක්‍රියා මාර්ගයන් එතරම් පහසු සහ සුමට ක්‍රියා මාර්ගයන් නෙවෙයි. නමුත් පවතින තත්වයෙන් රට ගලවා ගැනීම සඳහා මෙම කැපකිරීම කරන්නට සිදුවේවි. ඔවුන්ට අනුව, 

සැලකිය යුතු අදායමක් මත පදනම් වූ මූල්‍ය ඒකාග්‍රතාවය සහ ප්‍රතිසංස්කරණයන් සිදු කළ යුතුයි.වැට් බදු සහ ආදායම් බදු ඉහළ දැමීම,පාඩු ලබන රාජ්‍ය ආයතම ප්‍රතිව්‍යූහගත කිරීම,නව රාජ්‍ය මූල්‍ය රීති ප්‍රතිසංස්කරණන් සිදුකිරීම ආදිය ද වැදගත්.ඒ වගේම, ණය තිරසාර භාවය යථා තත්වයට පත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගයන් ඇති කිරීම සහ වෙළඳපල මගින් තීරණයවන නම්‍යශීලී විනිමය අනුපාතයන් ක්‍රමානුකූලව සකස් කිරීම බලශක්‍ති මිළ කරණ ප්‍රතිසංස්කරණය කිරීම සහ අඩු ආදායම් ලබන පුද්ගල කණ්ඩායම් සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමටද IMF මගින් නිර්දේශකර තිබෙනවා. 

මේ සියල්ල දෙස හොඳින් බැලුවොත් පෙනන දේ තමයි ශ්‍රී ලංකාවට ගොඩ යන්නනම් IMF එකට යන්න වෙනවා වගේම ඒ සඳහා විශාල කැපකිරීමකුත් කරන්න වෙනවා. එසේ නොමැතිනම් වැඩි කලක් නොගිහින් ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් ලෙස නම් කිරීමට වැඩි ඉඩක් පවතිනවා.

Leave a Reply