You are currently viewing අඳුරෙන් එළියට යන්න මගක්.

අඳුරෙන් එළියට යන්න මගක්.

මෙවර කිවිදා දැක්ම ලියන්නට වී තිබෙන්නේ රටේ වෙන කවරදාටවත් නැති තරම්
සංකීර්ණ ගැටලු ගණනාවක් මතු වී තිබෙන අවස්ථාවකය.  ඉතාමත් සරළව කිවහොත්
ඩොලර් හිඟය නිසා මතු වූ බරපතළ ප්‍රශ්න ගණනාවක්ම මුළු රටම බරපතළ හිරවීමකට
තල්ලු කර ඇත. එක පැත්තකින් ඩොලර් හිඟවීම නිසා ඉන්ධන නොමැතිවීමෙන් ගමනා
ගමනයට බරපතළ ගැටලුවක් මතුවී ඇත. එහිම දිගුවක් වශයෙන් විදුලි බලය
නිපදවන්නට ඉන්ධන නොමැතිවීම නිසා පැය 05 කටත් වැඩි කාලයක් විදුලිය කපන්නට
සිදුවී ඇත.

පැය ගණන් විදුලිය කැපීමෙන් රටේ අනෙකුත් ක්ෂේත්‍ර ගණනාවක්ම බරපතළ ගැටලුවලට
මුහුණ දෙමින් තිබෙන බව ඉතාමත්ම පැහැදිලිය. මේ ගැටලුව පිළිබඳව කතා කිරීම
හැර වෙන දෙයක් පිළිබඳව අවධානය යොමු කරන්නට නොහැකි තරමට ආර්ථික ක්ෂේත්‍රයේ
තත්ත්වය වර්ධනය වී ඇත. ඒ නිසාම මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ අපි මුහුණ
දෙමින් සිටින අර්බුදය පිළිබඳවය. ඒ කියන්නේ ආර්ථිකයේ මතුවී තිබෙන
ගැටලුකාරිත්වය පිළිබඳව සහ එයින් එළියට යාම සඳහා ගත හැකි පියවර පිළිබඳවය.

අර්බුදයේ තරම

බොහෝ අය දන්නා පරිදි රටක ආර්ථිකයක් කියන්නේ හුදකලා ක්‍රියාදාමයක් නොව
එකිනෙකට ගැටගැසුණු ක්‍රියාදාමයක්ය. රටේ සිදු වෙමින් පවතින දේවල් මෙන්ම
ලෝකය තුළ සිදු වෙමින් පවතින දේවල්ද ඒ අනුව ආර්ථිකයට සම්බන්ධය.

අපේ රටේ ආර්ථකය යම් ආකාරයක අලුත් අර්බුදයකට මුහුණ දුන්නේ 2015 ආරම්භයේ
පටන් බව මගේ තේරුම් ගැනීමය. රටේ ආර්ථික වර්ධන වේගය පහතට වැටෙන්නට ගන්නේ
එතැන් පටන්ය. මා උත්සාහ කරන්නේ ප්‍රශ්නයේ අතීතයට ගොස් වගකීම කාටහරි බාරදී
චෝදනා කරමින් සිටින්නට නොවේ. 2015 සිට 2022 දක්වා පසුගිය වසර 07 තුළ
ආණ්‍ඩු දෙකක් පාලනයට සම්බන්ධ වී ඇති බව පැහැදිලිය. එයින් එකක් වන්නේ
2015-2019 දක්වා පැවැති එජාප මුල් කරගත් ආණ්‍ඩුවය.

අනෙක වන්නේ 2019 ජනාධිපතිවරණයෙන් පසුව ආරම්භ වූ අපේ ආණ්ඩුවය. ආර්ථිකයේ අද
තිබෙන ගැටලුවට මේ ආණ්ඩු දෙකේම ප්‍රතිපත්ති සම්පාදකයන් වගකිවයුතුයැයි
සාමාන්‍ය සමාජයෙන් මතු වෙන විවේචනවලට පිළිතුරක් දිය හැක්කේ ගැටලුවේ තරම
වාස්තවිකව තේරුම් ගැනීමෙන් බව මගේ අදහසය. යමක් වාස්තවිකව තේරුම් ගන්නවා
කියන්නේ ඒ ප්‍රශ්නය පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් වග විභාග කර තේරුම්
ගැනීම්ය. ප්‍රශ්නයට අපේ පැත්තේ හෝ එහා පැත්තේ සම්බන්ධතාව ගැන සිතන්නේ
නැතිව ගැටලුව තේරුම් ගැනීමය.

රටේ විදේශීය මුදල්වල හිඟය අද ඇති වී තිබෙන අර්බුදවල ප්‍රධානතම හේතුව බව
හැමෝම දන්නා කාරණයක්ය. රටට විදේශ මුදල් ලැබෙන ක්‍රම සහ මාවත් ලෝක පරිමාණව
හැකිලී ඇති බව සත්‍යයක්ය. කොවිඩ් 19 වසංගත තත්ත්වය මෙහිදී ප්‍රධානතම
බලපෑම් සාධකයක් වූ බවත් සැබෑවක්ය. ඒ කුමන හේතුව එයට සම්බන්ධ වූවත්
සාමාන්‍ය මහජනතාවට ඒ තත්ත්වය ඒ ආකාරයෙන් තේරෙන්නේ නැත. ඒ අය බලන්නේ
ජාත්‍යන්තරව කුමන හේතුව බලපෑවත් රට තුළ තිබෙන්නේ ජීවිතය පහසුවෙන් කරගෙන
යාමට ඉඩ ලබාදිය යුතු යැයි කියාය. ඉන්ධන පෝලිම්, විදුලි කප්පාදුව වැනි
දේවල් හේතුවෙන් ඒ මොහොතේ පාලන රජය ගැන බරපතළ විවේචන සමහර අය කරන්නේ ඒ
හේතුව නිසාය.

ඩොලර් හිඟය නිසා ඩොලර් ගෙවා ලබා ගන්නා භාණ්ඩ සහ සේවා එක්කෝ හිඟ වී තිබෙන
අතර නැත්නම් මිල වැඩි වී තිබේ. ඉන්ධන, ගෑස්, තිරිඟු පිටි වැනි දේවල්
සම්පූර්ණයෙන්ම ගෙන්වන්නේ පිටරටින්ය. ඒ කියන්නේ ඩොලර්වලටය. එසේම සීනි,
කිරිපිටි, සිමෙන්ති වැනි දේවල්වලින්ද වැඩි හරිය ගෙන්වන්නේ පිටරටින්ය. ඒ
කියන්නේ ඩොලර්වලටය. ඒ නිසා අපේ රටේ සාමාන්‍ය ජන ජීවිතයේ විශාල කලාපයක්
ගැට ගැසී ඇත්තේ ඩොලර් ගෙවා ලබා ගන්නා භාණ්ඩවලටය. ඩොලර් ගෙවා ලබා ගන්නා
සේවා වලටය.

තත්ත්වය මෙවැනි පදනමක තිබෙන විට රටේ විදේශ මූල්‍ය ශක්තිය වර්ධනය කර
ගැනීමේ කාර්යය අංක එකේ අවශ්‍යතාව බවට පත්වී ඇති බව ඉතාමත් පැහැදිලිය.
ජනතාවගේ පැත්තෙන් තියෙන්නේ අවශ්‍යතාව සහ බලාපොරොත්තුව පමණය. ප්‍රතිපත්ති
සහ උපක්‍රම (Policy and Strategy) තේරිය යුත්තේ ඒ ඒ කාලවලට සාපේක්ෂව
ආණ්ඩු විසින්ය. ජනතාව රජයට ඇඟිල්ල දිගු කරන්නේ මේ හේතුව පදනම් කරගනිමින්
නිසා රජයේ පැත්තෙන් ශක්තිමත් ප්‍රතිපත්තිය තේරීමකට යාම අත්‍යවශ්‍යය.

කැබිනට් මණ්ඩලය සාමූහික වගකීමක් ගැනීමත් ආණ්‍ඩුව එක හඬකින් කතා කිරීමත්
අවශ්‍යය. එසේම මෙවැනි අර්බුදජනක අවස්ථාවක තේරිය යුතු නිවැරදිම විසඳුම
සොයා ගැනීමට පහසු වන්නේ පළල් ප්‍රජාතන්ත්‍රීය අවකාශයක් තුළ ප්‍රශ්නය
සාකච්ඡා කිරීමෙනි. විදුලි අර්බුදය පිළිබඳව ජනාධිපතිතුමා විසින් පසුගියදා
පැවැත්වූ සාකච්ඡාව ඒ පැත්තෙන් ඉතාමත් ධනාත්මක හා ඉදිරිගාමී පියවරක්ය.
ඩොලර් ගැටලුව හෙවත් විදේශීය මුදල් සම්බන්ධ ගැටලුව පිළිබඳවත් පළල් හා
වෘත්තීය මට්ටමේ සාකච්ඡාවක් ගොඩනගා ගැනීම ඉතාමත් වැදගත්ය.

ඩොලර් වැය කරන ආකාරය නිවැරදි ද?

මේ සංවාදයටම සම්බන්ධව පසුගිය දිනවල මතුවූ අදහසක් වන්නේ අපේ රටේ විදේශ
මුදල් වැය කරන ආකාරයේ ගැටලුවක් තිබෙන බවයි.
ඉන්ධන ගෙන්වීමට වඩා ඇපල් ගෙන්වීම ප්‍රධාන වී ඇතැයි සමහරුන් කියන්නේ මේ
කාරණය පිළිබඳවය. මේ කාරණය සත්‍ය කරුණක් දැයි මා දන්නේ නැත. එහෙත් විවෘත
ආර්ථිකයක් ඇති රටක ආනයනය පිළිබඳව නීති රීති දැමීමේදී සැලකිල්ලට ගත යුතු
පැති ගණනාවක් තිබෙන බව පැහැදිලිය. අපේ රටේ ආනයනය පිළිබඳව දැනටමත් පනවා
ඇති නීති පිළිබඳව වෙළෙඳ සබඳතා ඇති සමහර රටවල් විරෝධය පළ කර ඇත.
යුරෝපියානු සංගමය මේ පිළිබඳව නිශ්චිතවම කරුණු දක්වා තිබූ බව සත්‍යයක්ය.
මේ පිළිබඳව රජයේ තීරණය පළල් අවධානයකින් ගත යුතු බව සත්‍යයක්ය. එසේම ඩොලර්
හිඟ කාලයේ ආනයනය කරන්නේ මොනවාද යන කාරණය පිළිබඳව අවම වශයෙන් කැබිනට්
මණ්‍ඩලය තුළවත් යම් එකඟතාවක් ගොඩනගා ගැනීම ඉතාමත් වැදගත්ය.

පසුගිය 2021 වර්ෂයේ මෙරට අපනයනයෙන් ලැබූ ඩොලර් ආදායම ඩොලර් මිලියන 12502
කි. ඒ කියන්නේ ඩොලර් කෝටි 1250 කි. එම වර්ෂයේ මෙරටට පිටරටින් ආනයනය කරනු
ලැබූ භාණ්‍ඩ සඳහා සිදු කර තිබෙන වියදම ඩොලර් මිලියන 20,637 කි. ඒ කියන්නේ
ඩොලර් කෝටි 2063 කි. මේ වියදම තුළ ඉන්ධන, බෙහෙත් වැනි දේ තිබෙන බව
සැබෑවක්ය. එහෙත් ඒ තුළ විදේශවලින් ගෙන්වන එළවළු පලතුරු ඇතුළු ආහාර වර්ග
සඳහා ඩොලර් මිලියන 1.666 ක් පමණ වැය කර ඇති බව මහ බැංකු වාර්තාවෙන් පෙනී
යන කාරණයයි. විවෘත වෙළෙඳපොළ ආරක්ෂා කරන අතරම අප සතුව තිබෙන ඩොලර්
සකසුරුවමින් යොදවන පරිදි ප්‍රතිපත්ති සහ නීති සකස් කිරීම මේ අමාරුසහගත
අවස්ථාවේ ඉතාමත් අවශ්‍ය කාරණයක්ය.

කළ යුත්තේ කුමක්ද?

අපේ රටේ ආර්ථිකයේ බරපතළ ගැටලුවක් පැමිණි පළමු අවස්ථාව මෙය නොවේ. වසර 30
යුද්ධය, සුනාමිය වැනි බරපතළ අවස්ථා පාලනය කර ගැනීමටත් ඒවා මතින් සාර්ථකව
නැගී සිටීමටත් රටක් ලෙසින් අපට හැකි වී ඇත. ඒ නිසා මේ ආර්ථික අර්බුදයෙන්
ගොඩ ඒමේ හැකියාව සහ බලාපොරොත්තුව අවුල් කර ගැනීමේ කිසිදු අවශ්‍යතාවක්
නැත. එහෙත් මෙවැනි අර්බුදවලින් ගොඩයාමේ හැකියාව තිබෙන්නේ ආර්ථික
ක්ෂේත්‍රය පිළිබඳව රටේ තිබෙන විශේෂඥයන්ගේ මැදිහත්වීමෙන් ගොඩ නගන ශක්තිමත්
සැලැස්මක් තුළින්ය. දේශපාලන වශයෙන් පක්ෂවලට සහ කණ්ඩායම්වලට බෙදී සිටීම
සාමාන්‍ය තත්ත්වයකදී නිවැරදි නමුත් මෙවැනි තීරණාත්මක තත්ත්වයකදී ඒ
දෙපැත්තට බෙදී සිදුකරන දේශපාලනය පසෙකින් තැබිය යුතු බව මගේ යෝජනාවය.

දෙවනුව මේ ගැටලුව සම්බන්ධව විසඳුම් සෙවීමේ ප්‍රජාතන්ත්‍රීය ඉඩ වඩාත්
ධනාත්මකව පාවිච්චි කළ යුතුය. මේ ගැටලුවට විසඳුම තිබෙන්නේ තාක්ෂණික සහ
විශේෂඥ දැනුම යන දෙපැත්තෙන් නිර්මාණය කරන පිළිතුරක් මත මිස හුදු තීරණ
ගැනීම මත නොවේ. ඒ නිසාම මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ මෙම විෂය
සම්බන්ධ විශේෂඥ දැනුම්සහගත ආයතන පද්ධතිය තුළ උපදේශනාත්මකව මැදිහත්වීම්
(Consultative interventions) හරහා බුද්ධිමත් හා ප්‍රායෝගික විසඳුම්
මාලාවක් නිර්මාණය කරගැනීම ඉතාමත් අවශ්‍යය. අපේ රටේ 1948 සිටම දේශපාලන
තීරණ ගැනීමේ ක්‍රමවේදයේ තිබූ බරපතළම වැරැද්දක් වූයේ ‘‘රටේ ප්‍රශ්නයක්
තිබේ. අපේ ළඟ උත්තරය තිබේ’’ යන අදහසින් වැඩ කිරීමය. අනෙක් ක්ෂේත්‍රවලට
වඩා ආර්ථික ක්ෂේත්‍රයේ ගැටලුවලට පිළිතුරු සෙවීමේදී විශේෂඥ උපදේශනය
අත්‍යවශ්‍යය බව ලෝකයේ දියුණු රටවලින් අපි ලබා ගත යුතු ආදර්ශයක් බව මගේ
යෝජනාවය.

තුන්වෙනුව මේ ආර්ථික ගැටලුව විසඳා ගැනීමට අවශ්‍ය තවත් එක් පූර්ණ
කොන්දේසියක් ලෙසින් ශක්තිමත් සාකච්ඡා අවකාශයක් කැබිනට් මණ්‍ඩලය තුළ,
පාර්ලිමේන්තුව තුළ සහ රට තුළ ඇති කිරීම ඉතාමත් අවශ්‍යය. එයින් අදහස්
කරන්නේ කිසිදු තීරණයක් නොගෙන හැමෝගේම අදහස්වලට ඇහුම්කන් දෙමින් සිටිය
යුතු බව නොවේ. තීරණ ගන්නා යාන්ත්‍රණයේ කොටසක් බවට සියලු කොටස්කරුවන් පත්
කිරීමය. එවැනි උත්සාහයක් තුළින් සිදුවිය හැකි යහපත් දේවල් රාශියකි. එනම්
1. විසඳුම් සෙවීමේදී ඉතාමත් නිවැරදි විසඳුමක් සකසා ගැනීමේ අවකාශය වැඩිවීම
2, දැනට භාවිත කරමින් සිටින විසඳුම් වඩාත් නිවැරදිව සකසා ගැනීමේ හැකියාව
3, ගැටලුවට විසඳුම් සෙවීමේදී සිදුවිය හැකි ප්‍රතිපත්ති ගැටලු නිරාකරණය කර
ගැනීමේ හැකියාව වැනි දේවල් ඒ අතරින් ඉතාමත් වැදගත්ය.

එපමණක් නොව ආර්ථිකය වැනි සංවේදී විෂයක ජනතාවකගේ පැත්තෙන් නිවැරදි
මතවාදයක් සහ සත්‍ය තොරතුරු සමාජ ගතවීම මෙවැනි උපදේශනාත්මක මැදිහත්වීම් හා
සංවාදය තුළින් සිදුවිය හැකි වැදගත්ම ඒවාය. ආර්ථිකය සංවේදී කලාපයක් යැයි
කීවේ රටේ බැංකු පද්ධතිය සහ මුදල් පද්ධතිය පිළිබඳ ජනතා විශ්වාසය තබා ගැනීම
ඉතාමත් අවශ්‍ය කාරණයක් නිසාය. ග්‍රීසියට සිදුවූයේ ඒ රටේ මුදල් ගැන සහ
බැංකු පද්ධතිය ගැන ජනතා විශ්වාසය කඩා වැටීමය. ඒ නිසා මේ රටේ මාධ්‍ය
අවකාශයේ හැසිරෙන මිථ්‍යා මතවාද සහ කරුණු විකෘති කිරීම් අවම කිරීම ඉතාමත්
අවශ්‍යය. ඒ සඳහා සංවාදය ශක්තිමත් කිරීම ඉතාමත් වැදගත්ය.

හතරවෙනුව මේ ආර්ථික ගැටලුව සමහන් කර ගැනීමේ ක්‍රියාදාමයට විශේෂඥ
පිළිතුරක් නිර්මාණය කිරීමේදී වැදගත් විය යුතු යැයි සැලකෙන කරුණු අතර
ප්‍රමුඛතා හඳුනා ගැනීම ඉතාමත් අවශ්‍යය. එම ප්‍රමුඛතාව මත ගොඩ නගන
ක්‍රියාකාරී උපක්‍රමික සැලැස්මක් (practical Strategic plan for
recovery) හරහා මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගමන් කිරීම රාජ්‍යය පැත්තේ
ප්‍රධාන වගකීම බවට පත්වී ඇති බව මගේ අදහසය.

මහාචාර්ය චරිත හේරත්.