You are currently viewing දේශීය රාමුවට සහ ජාත්‍යන්තර බැඳීම් වලට අනුකූලයි.

දේශීය රාමුවට සහ ජාත්‍යන්තර බැඳීම් වලට අනුකූලයි.

මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා විසින් සිදුකළ ඉහළ මට්ටමේ කොටසේ ප්‍රකාශය

 සභාපතිතුමනි,

ශ්‍රී ලංකාව, මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම සාක්ෂාත් කර ගැනීම සඳහා වන බහුපාර්ශ්වික රාමුවේ ක්‍රියාකාරී කොටස්කරුවෙකි.

අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මූර්තිමත් කොට ඇති මූලික අයිතිවාසිකම්, අපගේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජයන් හරහා ක්‍රමානුකූලව ඉදිරියට යන අතර, අපගේ ස්වාධීන අධිකරණය හරහා බලාත්මක වේ. ත්‍රස්තවාදය හේතුවෙන් අප මුහුණ දුන් විවිධ අභියෝග මධ්‍යයේ වුවද, අප රට පුරා සාමය, ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍යය යථා තත්ත්වයට පත් කොට ඇත. අපගේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහ ස්වාධීන ආයතන මඟින්, විශ්වීය වැඩිහිටි ඡන්ද බලය හරහා විධිමත් කාල සීමාවන් තුළ නිදහස් හා සාධාරණ මැතිවරණ සහතික කරයි. ගැටුම්වලින් අනතුරුව ප්‍රකෘතිමත් වීම සහ සුව කිරීම සම්බන්ධයෙන් අප ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය අපි තවදුරටත් ඉදිරියට ගෙන යන්නෙමු. මේ සඳහා අප විසින් සංහිඳියාව, වගවීම සහ සමාජ සාධාරණත්වය සඳහා දේශීය ආයතන පිහිටුවා ඇත.

මෙම කවුන්සිලය හරහා, අපි අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක විශ්ව කාලාන්තර සමාලෝචන 3 ක් සම්පූර්ණ කොට, ගිවිසුම් ආයතන සමඟ නිර්මාණාත්මක සංවාදයක නිරත වෙමින්, විශේෂ ක්‍රියා පටිපාටි විධාන දරන්නන් පිළිගෙන, දේශීය හා ජාත්‍යන්තර මැදිහත්කරුවන් සමඟ අවංක හා විවෘත සාකච්ඡා පැවැත්වූයෙමු. එහි තාක්ෂණික සහයෝගීතාවය සහ ධාරිතා වර්ධන වැඩසටහන් ඇතුළුව මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත පවතින සැලකිය යුතු විශේෂඥ දැනුමෙන් අපි ප්‍රතිලාභ ලබා ඇත්තෙමු. එක්සත් ජාතීන්ගේ රටේ කණ්ඩායම හරහා, ප්‍රතිසන්ධානය සහ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම පිණිස අපගේ දේශීය ක්‍රියාවලීන් සඳහා ලබාදෙන අඛණ්ඩ සහයෝගය අපි අගය කරමු.

ජනවාර්ගික සහ ආගමික අනන්‍යතාවය සහ දේශපාලන බැඳීම් නොසලකා, මෙම සහයෝගී අන්තර්ක්‍රියා තුළින් සහ අපගේ දේශීය රාමුවට සහ ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව, අපගේ සියලුම පුරවැසියන් සඳහා මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම අපි අඛණ්ඩව සහතික කරමු.

සභාපතිතුමනි,

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ආර්ථික පසුබෑමකට ලක්වුවද, අපේ ජනතාවගේ සංවර්ධනය සඳහා වන අයිතිය අපි අඛණ්ඩව තහවුරු කරන්නෙමු. තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ නවතම වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව සිය ගෝලීය ශ්‍රේණිගත කිරීම ස්ථාන 7 කින් වැඩිදියුණු කොට ඇත. ඔවුන්ගේ පුළුල් බිම් මට්ටමේ ව්‍යාප්තිය සහ ප්‍රවීණත්වය තුළින් අපගේ සිවිල් සමාජ හවුල්කරුවන් ලබා දෙන දායකත්වය අපි අගය කරමු.

ජාත්‍යන්තර ප්‍රජාවේ සංවර්ධනය වෙමින් පවතින සාමාජික රාජ්‍යයක් ලෙස, තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ අපගේ ප්‍රයත්නයන්ට බලපාන වසංගතය සහ යුරෝපයේ දිග හැරෙන ගැටුම් වැනි අර්බුදවල තවදුරටත් අහිතකර ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට අපි සූදානම් වන්නෙමු.

සභාපතිතුමනි,

අද අප සිටින්නේ කවුන්සිලයේ වැඩ කටයුතු සමාලෝචනය කරනු ලබන කාල පරිච්ඡේදයක ය. මෙම කවුන්සිලය එහි පූර්වගාමියා වූ කොමිසමේ බිඳවැටීම සඳහා තුඩු දුන් විශ්වසනීයත්වය පිළිබඳ පරතරය මඟහරවා ගැනීමට සමත් වී ඇත්ද යන්න අපි මෙනෙහි කරන්නෙමු.

මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සඳහා වූ බහුපාර්ශ්වික ආකෘතිය පසුගිය දශක කිහිපය තුළ දී ක්‍රමානුකූලව වර්ධනය විය. අපි පාරිශුද්ධ යැයි සලකනු ලබන මූලික මූලධර්ම වන, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සාමාජික රටවල ස්වෛරී සමානාත්මතාවය මත පදනම් වූ අපක්ෂපාතීත්වය, වාස්තවිකත්වය සහ තෝරා නොගැනීම යන මූලධර්ම මගින් මෙහෙයවිය යුතුය යන මූලධර්ම මත මෙම සම්මුතිය ගොඩනගා ඇත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 60/251 යෝජනාව සහ මානව හිමිකම් කවුන්සිලයේ 5/1 සහ 5/2 යෝජනා ද මඟින් කවුන්සිලයේ ක්‍රියාකිරීමේ විධික්‍රම විනිවිදභාවයෙන් යුක්ත විය යුතු බවත්, සාධාරණ හා අපක්ෂපාතී විය යුතු බවත්, අව්‍යාජ සංවාදයක් ඇති කළ යුතු බවත් තීරණය කරන ලදී.

2021 මාර්තු මාසයේදී, අදාළ රට ලෙස ශ්‍රී ලංකාවේ අනුමැතියකින් තොරව ඉදිරිපත් කරන ලද 46/1 යෝජනාව සඳහා කවුන්සිලය ඡන්දය ප්‍රකාශ කළේය. මෙම කාරණය සලකා බැලීම මත මෙම සංසදය ධ්‍රැවීකරණය හා දේශපාලනීකරණය විය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මෙම කවුන්සිලය වෙත මුලින් ප්‍රදානය කරන ලද ජනවරමෙන් විශ්මය ජනක ලෙස ඉවත්ව යමින්, මෙම යෝජනාවේ ක්‍රියාත්මක 6 වැනි ඡේදය ඊනියා සාක්ෂි රැස් කිරීමේ යාන්ත්‍රණයක් පිළිබඳව සඳහන් කරන අතර, එය රටවල් ගණනාවක් විසින් දැඩි ලෙස විරුද්ධ වන ලද පියවරකි. එවැනි මුලපිරීම් මඟින්, දේශීය හා ජාත්‍යන්තර තලය තුළ අසමගියක් ඇති කරයි. එය සංහිඳියා ප්‍රයත්නවලට බාධා ඇති කරයි, අතීත තුවාල යළි විවෘත කිරීමෙන් වෛරය ජනනය කරයි, සමාජය ධ්‍රැවීකරණය කරයි.

සභාපතිතුමනි,

මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා රජයන්ට සහාය වීම පිණිස සැබවින්ම පුළුල් වැඩකිරීමේ ක්‍රම මාලාවක් සමඟ සාමාජික රටවල් විසින් මෙම කවුන්සිලය සහ එහි ලේකම් කාර්යාලය සඳහා වරමක් ලබා දී ඇත. ශ්‍රී ලංකාව කවුන්සිලයේ වැඩ කටයුතුවල ඵලදායී හා ප්‍රයෝජනවත් වූ එම අංශවලට ක්‍රියාකාරීව සහ නිර්මාණාත්මකව සහභාගී වී ඇති අතර, එමඟින් අපගේ ජනතාවට සුරක්ෂිත, දිගු හා වඩා ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීම සහතික කිරීම සඳහා උපකාරී වී ඇත. දණ්ඩනීය, දේශපාලනීකරණය වූ, බෙදීම් ඇති කරන, උපකාරක නොවන සහ බාහිර හේතු නිසා ආරම්භ කරන ලද ඒවා අපි ප්‍රතික්ෂේප කරන්නෙමු.

සභාපතිතුමනි,

ලෝකයේ වෙනත් තැන්වල මෙන්, ත්‍රස්තවාදය සමඟ කටයුතු කිරීමේ දී මානව හිමිකම් සහ ජාතික ආරක්ෂාව අතර සාධාරණ සමතුලිතතාවයක් ඇති කිරීම සඳහා අපි උත්සාහ දරන්නෙමු. ත්‍රස්තවාදයට එරෙහි නීති සම්පාදනය මගින් විමර්ශන රඳවා තබා ගැනීමට සහ නඩු විභාගවලට යටත්වන පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කළ යුතු බවත්, ප්‍රකාශනයේ නිදහස වැනි ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සීමා නොකළ යුතු බවත් ශ්‍රී ලංකාව අවබෝධ කොටගෙන ඇත. මෙම අරමුණු පෙරදැරිව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාශයට පත් කොට වසර 43 කට පසුව එය සංශෝධනය කිරීමේ මූලික පියවරක් වන පනත් කෙටුම්පතක් මා පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළෙමි.

වෛෂයිකත්වය සහ වෙන්වීම යටපත් කිරීමේ අවශ්‍ය ප්‍රතිවිපාක ඇති කරන ස්වේච්ඡා අරමුදල් භාවිතයට අපි විශේෂ විරෝධයක් දක්වමු. මෙම පසුබිමට එරෙහිව, 46/1 යෝජනාවේ OP 6 යටතේ ස්ථාපිත සාක්ෂි රැස්කිරීමේ යාන්ත්‍රණය ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා ප්‍රයෝජනවත් නොවන බවත්, ශ්‍රී ලාංකීය සමාජය ධ්‍රැවීකරණය කිරීමට හේතුවන බවත්, මෙම අභියෝගාත්මක කාලය තුළ ආර්ථික සංවර්ධනයට, සාමයට සහ සහජීවනයට අහිතකර ලෙස බලපාන බවත් යන සිය මතය ශ්‍රී ලංකාව යළි අවධාරණය කරයි. එය මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු සමස්ත බහුපාර්ශ්වික පද්ධතිය හරහා දැඩි මූල්‍ය හිඟයක් පවතින අවස්ථාවක දී සිදුකෙරෙන ඵලදායී නොවන සාමාජික රාජ්‍ය සම්පත් නාස්ති කිරීමකි.

සභාපතිතුමනි,

මාර්තු 4 වැනි දින මෙම කවුන්සිලය ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර්ක්‍රියාකාරී සංවාදයක දී රැස්වේ. ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීම පිළිබඳ අදහස් කිහිපයක් ඔබ සමඟ බෙදාහදා ගැනීමට මම අපේක්ෂා කරමි.

ස්තුතියි.