You are currently viewing පළාත් පාලන ඡන්දයට මිශ්‍ර ක්‍රමය සුදුසු ඇයි?

පළාත් පාලන ඡන්දයට මිශ්‍ර ක්‍රමය සුදුසු ඇයි?

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මගින් කේවල සහ සමානුපාතික නියෝජනය මිශ්‍ර වූ ක්‍රමයක් යටතේ එම මැතිවරණය පැවැත්වීම කෙරෙහි අවධානය යොමුකර ඇතැයි සඳහන් වෙයි. ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණු සාකච්ඡාවල දී නියෝජිතයන් සියයට 60ක්  කේවල ක්‍රමය යටතේ ද සීයයට 40ක් සමානුපාතික ක්‍රමය යටතේ ද තෝරා ගැනීම කෙරෙහි අවධානය යොමු වූ බව ද වාර්තා විය. 

මැතිවරණ ක්‍රමය අනාගතයේ දී සංශෝධනය කිරීම යථාර්ථයක් නම් එහි දී වෙනසකට භාජන විය යුතු ප්‍රධානම කාරණය වන්නේ සමානුපාතික ක්‍රමය බවට විවාදයක් නැත. ඡන්ද ක්‍රමය පවා බඩගෝස්තරය සොයාගන්නා සාස්තරයක් බවට පත්කරගෙන ඇති පිරිසක් මෙයට එකඟ නොවී සිටිය හැකි වුව ද රටේ අතිමහත් බහුතරය පක්ෂ භේදයකින් තොරව මේ වෙනසට එකඟවනු ඇති බවට සැකයක් නැත.

සමානුපාතික ක්‍රමය රටට සිදු කර ඇති හොඳට වඩා නරක වැඩි බැවිනි. එම ක්‍රමය බැලූ බැල්මට වඩාත් සාධාරණ සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් බව පෙනී ගියත් ඒ යටතේ ඡන්ද කෙරුවාව දූෂණයට පාර කපා දීමක් බව ද පෙන්වා දිය යුතුය. ඡන්ද දූෂණ සහ මැරකම් ද එකම පක්ෂය ඇතුළේ පවා ගහ මරා ගැනීම් ද රටට හඳුන්වා දුන් සමානුපාතික ක්‍රමය වඩාත් සුජාත ක්‍රමයක් බවට හරවා ගැනීමට යෝජිත මිශ්‍ර ක්‍රමය හේතුවනු ඇතැයි සැලකිය හැකිය.

සමානුපාතික ක්‍රමය පමණක් ක්‍රියාත්මක වනවිට විය හැකි තවත් අවනඩුවක් වන්නේ ඡන්දය දුන් ජනතාවට ඍජුව වගකියන නියෝජිතයන් නොමැති වීමය. මහ මැතිවරණයකදී දිස්ත්‍රික්කයක් පුරා ඡන්ද ප්‍රචාරයක් සිදුකර තේරී පත්වෙන මන්ත්‍රීවරයාට ඍජුව වගකියන ආසනයක් නැත. මේ නිසා මන්ත්‍රීවරයා වඩාත්ම සමීපව කටයුතු කරන ආසනයට වඩා වෙනත් ආසනවල අතදිගහැර තමාට වියදම් කළ පුද්ගලයන් කෙරෙහි අවධානය යොමු කිරීම සාමාන්‍ය ක්‍රියාවක් බවට පත්ව තිබේ.

මන්ත්‍රීවරයාට වැඩකර රැකියාවක් හෝ වෙනත් ප්‍රයෝජනයක් හෝ ලබා ගැනීමට බලාපොරොත්තු වන ඡන්දදායකයා මෙහි දී අමාරුවේ වැටෙයි. එපමණක් නොව කිසියම් ආසනයකට හෝ ප්‍රදේශයකට හෝ සිදුවිය යුතු පොදු වැඩ කිරීම පවා අර්බුදයට යන අවස්ථාද උද්ගත වෙයි. එහෙත් සමානුපාතික ක්‍රමයට අමතරව කේවල ක්‍රමය ද ක්‍රියාත්මක වන්නේ නම් එවැනි අවස්ථාවලට ඇති ඉඩකඩ අවම වනු ඇත.

ඒ සමඟ සඳහන් කළ යුතු වන්නේ ඡන්ද ක්‍රමයක් වෙනසකට භාජන කිරීමේ දී එය පරීක්ෂණයට ලක් කිරීමට සුදුසුම මැතිවරණය පළාත් පාලන මැතිවරණය බවයි. එය මහ මැතිවරණය නොවන විට එම ක්‍රමයේ හොඳ නරක පිළිබඳ සොයා බලා ඇතිකළ යුතු වෙනස්කම් තවදුරටත් තිබේ නම් ඒවාද සිදු කිරීමට අවකාශය තිබේ. මහ මැතිවරණයක දී එවැනි පරීක්ෂණ සිදු කිරීම පහසු නැත. පළාත් පාලන මැතිවරණය නියාමක ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කළ විට එහි අඩුපාඩු පහසුවෙන් හඳුනාගෙන ඒවා නිවැරැදි කර ගැනීමට හැකියාව තිබේ.

පළාත් පාලන මැතිවරණ පනතට පසුගිය යහපාලන ආණ්ඩුව යටතේ හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ හේතුවෙන් සිදු වූ තවත් එක් නාස්තිකාර ක්‍රියාවක් වූයේ තේරී පත්වන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව දෙගුණයක් බවට පත්වීමය. රටපුරා පන්දහසකට අඩු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් විසින් නියෝජනය කළ පළාත්පාලන ආයතනවලට එම ප්‍රතිසංස්කරණ යටතේ පැවැති මැතිවරණයේ දී නව දහසකට අධික සංඛ්‍යාවක් පත් වූහ. මෙය රටේ මුදල් කාබාසිනියා කර දැමීමක් පමණි.

එපමණක් නොව තේරී පත්වන මන්ත්‍රීවරුන්ට තම කොට්ඨාසවල ප්‍රශ්න විසඳීමට වඩා එය තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට අවස්ථාවක් බවට පත්විය. ඇතැම් මන්ත්‍රීවරු වෙන්දේසි වූහ. එසේම කොතරම් මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් පත්වුව ද ඒ බොහොමයක් ආයතනවලට අඩුම තරමින් අයවැය සම්මත කර ගැනීමට පවා හැකියාවක් නැත. මන්ත්‍රීන් සංඛ්‍යාව අධිකවීම නිසා ඇතැම් ආයතනවලට අලු‍තෙන් රැස්වීම් ශාලා සකස් කිරීමට පවා සිදුවිය.

මෙහි බරපතළම අවාසිය සිදු වූයේ ඒ ආයතනවල ඡන්ද දායකයන්ටය. ඇතැම් දුෂ්කර පළාත්වල පළාත් පාලන ආයතන මගින් නඩත්තු කෙරෙන කුඩා මාර්ග පවා ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ නැත. පළාත් පාලන ආයතනවලට වැඩිපුර මන්ත්‍රීන් පත්වීම ජනතාවගේ ප්‍රශ්න විසඳෙන මන්ත්‍රයක් නොවන බවට වෙනත් උදාහරණ අවශ්‍ය නැත.

මේ හේතූ නිසා පළාත් පාලන ආයතනවල දැනට සිටින නියෝජිතයන් සංඛ්‍යාව අඩු කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇති බවද සඳහන් වෙයි. එය සිදුවිය යුතු බව අපගේ වැටහීමය. අනවශ්‍ය නාස්තිකාර වියදමකට පමණක් හේතුවන මන්ත්‍රීන් සංඛ්‍යාවක් වැඩිපුර තෝරාගැනීම හැකි තරම් අධෛර්වත් කළ යුතුය.

පළාත් පාලන ආයතන තිබෙන්නේ මන්ත්‍රීවරුන්ට ආදායම් මාර්ග සකසා ගැනීමට නොව ජනතාව වෙනුවෙන් සේවය කිරීම සඳහා බවත් ඒ සඳහා ප්‍රමාණවත් මන්ත්‍රීන් සංඛ්‍යාවක් පමණක් තෝරා පත්කර ගැනීමට හැකිවන පරිදි නීති සංශෝධනය විය යුතු බවත් අපි සිතමු.

මීළඟට පැවැත්වෙන මැතිවරණය කුමක් වුවද එය මිශ්‍ර ක්‍රමය යටතේ පැවැත්වීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරමු. එය රටටත් ජනතාවටත් පක්ෂ දේශපාලනයටත් වඩාත් යහපත් ප්‍රතිඵල උදාකර දෙනු ඇත.