You are currently viewing ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එ.ජා. මානව හිමිකම් කවුන්සිල සැසිවාරය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එ.ජා. මානව හිමිකම් කවුන්සිල සැසිවාරය.

ත්‍රස්තවාදය පිළිබඳ සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඔවුන් හා ත්‍රස්තවාදය අතර පැහැදිලි සබඳතාවක් දකින්නට නැත්නම් ඔවුනට එරෙහිව කටයුතු කිරීමේ කෙටි මාර්ගයක් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට උපදෙස් දී ඇතැයි පසුගියදා ඩේලි මීරර් පුවත්පතේ පළවී තිබිණි.

මේ මස අවසානයේදී  ආරම්භ වීමට නියමිත එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය යළිත් සලකා බලන්නට නියමිතව ඇති තත්ත්වයක් යටතේ ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයාගේ මෙම උපදෙස් සම්බන්ධයෙන් විදේශ ඇමැති මහචාර්ය ජී.එල්. පීරිස් මහතා පසුගිය අඟහරුවාදා විදේශ අමාත්‍යාංශයේ පැවැති  රැස්වීමකදී මෙරට සිවිල් සමාජ නියෝජිතයන් හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන්  හට දැනුම් දී තිබිණි. එම රැස්වීමද මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය මුල් කොටගෙන පවත්වන්නට ඇති බව සිතිය හැකිය.

මානව හිමිකම් කවුන්සිලයෙන් හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලින් එල්ලවන අභියෝගවලට මුහුණ දීමේදී මෙම රැස්වීම නිවැරැදි දිශාවකට යොමු වූ යහපත් ප්‍රවේශයකි. මන්ද යත් මෙම සිවිල් සංවිධානවලට හා රාජ්‍ය නොවන සංවිධානවලට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා එ.ජා. ආයතන සමඟ දීර්ඝ කාලයක් තිස්සේ සබඳතා පවතින හෙයිනි. එම ජාත්‍යන්තර සංවිධාන මෙරට  මානව හිමිකම් තත්ත්වය පිළිබඳව තොරතුරු ලබාගැනීමේදීත් වෙනත් මාර්ගවලින් ලබාගන්නා ලද තොරතුරු තහවුරු කර ගැනීමේදීත් මෙම දේශීය සංවිධාන සමඟ කටයුතු කිරීම බොහෝ දෙනා දන්නා කරුණකි.

එහෙයින් මෙම දේශීය සංවිධාන සමග ආණ්ඩුව යහපත් සබඳතාවක් පවත්වාගෙන යාම මෙරට ආණ්ඩුවට මෙන්ම ජාත්‍යන්තර සංවිධානවලටද ප්‍රයෝජනවත් විය හැකිය. එය දෙපාර්ශ්වය අතර වැරැදි වැටහීම් ඇතොත් ඒවා නිරාකරණය කර ගැනීමටද උපකාරී  විය හැකිය.

පොදුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය ඇතුළු විදේශීය ආයතන හා සංවිධාන උනන්දුවක් දැක්වුවද ගතවූ වසර දෙකක පමණ කාලය තුළදී  මානව හිමිකම් කවුන්සිලයේත් යුරෝපා පාර්ලිමේන්තුවේත් විශේෂ අවධානයට මෙරට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලක්වී තිබේ. පසුගිය කාලයේ මානව හිමිකම් පිළිබඳ එ.ජා. මහ කොමසාරිස් මිචෙල් බැචලේ සිය වාර්තාවල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද  කරුණුවලදීත් ශ්‍රී ලංකාව යුරෝපා වෙළෙඳපොළෙන් ලැබෙන ජී.එස්.පී. ප්ලස් බදු සහනය ඉවත් කරන බවට තර්ජනයක්ද සමගින් පසුගිය වසරේ ජූනි 10 වැනිදා යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවේත් ප්‍රධාන වශයෙන් අවධාරණය කරනු ලැබූ කරුණක් වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාත්‍යන්තර නීතියට හා ජාත්‍යන්තර ක්‍රියාමාර්ගවලට ගැළපෙන අයුරින් සංශෝධනය කළ යුතුය යන්න හා එම පනත යටතේ  අත්අඩංගුවට ගනු ලැබ දීර්ඝ කාලයක් රඳවා ගනු ලැබ සිටින්නන් නිදහස් කළ යුතුය  යන්නයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සංශෝධනය කළ යුතුය යන්න මෙරට ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ කරුණක් නොවේ. පසුගිය ආණ්ඩුවත් වත්මන් ආණ්ඩුවත් මානව හිමිකම් කවුසිල්ලයේ පසුගිය සැසි වාරවලදී ඊට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදය මැඬලීමේ පනත් කෙටුම්පතක් සකස් කොට තිබියදී එජාප ජනාධිපතිවරණයෙන් පරාජය වී ආණ්ඩුවද වෙනස් විය. ඉන්පසු එම නව පනත් කෙටුම්පත විදේශ අවශ්‍යතා අනුව සකස් කරනු ලැබ ඇතැයි කියමින් වත්මන් ආණ්ඩුව 2020 ජනවාරි මාසයේදී එය ඉල්ලා අස්කර ගත්තේය.

එහෙත් මානව හිමිකම් කවුන්සිලයේ 2020 හා 2021 යෝජනාවලින් පසු හා යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනාවෙන් පසු වත්මන් ආණ්ඩුවද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ කෙටුම්පතක් සකස් කරන්නට පියවර ගෙන ඒ බව පසුගිය වසරේ ජුනි 25 වැනිදා යුරෝපා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඒ අනුව සකස් කරන ලද  සංශෝධන පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එහෙත් දෙමළ ජාතික සන්ධානයත්, මෙරටෙ ඇතැම් ප්‍රබල රාජ්‍ය නොවන සංවිධානත් ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර සිට ක්‍රියාත්මක වන හියුමන් රයිට්ස් වොච් සංවිධානයත්  එම සංශෝධන ප්‍රතික්ෂේප කොට තිබිණි. ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ මානව හිමිකම් උල්ලංඝනය කරන වගන්ති මෙම සංශෝධන මඟින් බල රහිත නොකෙරෙන බව කියමිනි.

සැකකරුවන් හට නඩු පැවරීම සඳහා කෙටි මාවතක් වශයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා නොගන්නැයි  ජනාධිපතිවරයා පොලීසියට උපදෙස් දී ඇත්තේ ඒ පසුබිම තුළය. මෙය එසේ සැකකරුවන් හට නඩු පැවරීම සඳහා පොලීසිය අසාධාරණ ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගන්නා  බවට ජනාධිපතිවරයා කළ චෝදනාවකැයිද සැලකිය හැකිය. එහි ඇති යහපත් පැත්ත වන්නේ වරදක් නිවැරැදි කිරීමේ මුල් පියවර එසේ වරදක් සිදු වූ බවට පිළිගැනීමයි. කෙසේ වෙතත් දේශපාලනඥයින් රාජ්‍ය නිලධාරීන් දෙන මෙවැනි උපදෙස් හා සහතිකවලට වඩා ජාත්‍යන්තර සංවිධාන අපේක්ෂා කරන්නේ  ප්‍රායෝගිකව ඒවා ක්‍රියාත්මක විය යුතුය යන්නයි.

 අනෙක්  අතට මානව හිමිකම්වලට බලපෑම් කළ හැකි වගන්ති තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සකසන තත්ත්වයක් තුළ ජනාධිපතිවරයාගේ උපදෙස් ශ්‍රී ලංකාවට එල්ලවන විදේශ බලපෑම් හා දඬුවම් කරන බවට එල්ලවන තර්ජන වළක්වා ගැනීමට කොතෙක් දුරට උපකාරී වේද යන්න ගැටලුවකි.

 1970 ගණන්වල අවසානයේදී බෙදුම්වාදී ඉලක්ක ඇතිව විවිධ දෙමළ ආයුධ සන්නද්ධ සංවිධාන බිහිවීමත් සමඟ ඒවා අතුරින් විශේෂයෙන්ම කොටි සංවිධානය මර්දනය කිරීම සඳහා එවකට බලයේ සිටි  ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා නීති ගෙන ආවේය. පසුව ස්ථාවර මර්දන නීතියක් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 1979 දී සම්මත කරනු ලැබීය.

එම පනතට ආරම්භයේ සිටම වාමාංශික පක්ෂ දෙමළ පක්ෂ හා මානව හිමිකම් සංවිධානවලින් විරෝධය පළ විය. ඒ එම පනතේ ඇති අතිශයින්ම මර්දනකාරී වගන්ති ගණනාවක් හේතුවෙනි. එම පනත යටතේ පොලීසියට සැකකරුවකු  අධිකරණයට ඉදිරිපත් නොකොට දීර්ඝ කාලයක් රඳවා ගත හැකිය. එසේම සැකකරුවකු වධ  හිංසා වැනි බලපෑම් නිසා හෝ දෙන කට උත්තරයක් ඔහුට එරෙහිව අධිකරණයකදී සාක්ෂියක් වශයෙන් යොදාගත හැකිය.

අපරාධ හා ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා රටකට  අනිවාර්යයෙන්ම නීති අවශ්‍ය වේ. සමහර තත්ත්වයන් යටතේ විශේෂ නීතිද අවශ්‍ය විය හැකිය. එම අපරාධ හා ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමේදී සැකකරුවන්ගෙන් තොරතුරු ලබාගැනීම අත්‍යවශ්‍යය. පොලීසිය හා සමහර තත්ත්වයන් යටතේ හමුදාව සැකකරුවන් රඳවා ගන්නේ මෙසේ තොරතුරු හා ‘‘පාපොච්චාරණ’’ ලබා ගැනීම සඳහාය.

ලෝකයේ කිසිදු රටක මෙම ක්‍රියාවලිය ඒ රටවල නීතියට අනුකූලව පමණක් සිදු නොවේ. මෙම තොරතුරු ලබා ගැනීමට නීතියට පිටස්තර වූ ක්‍රියාමාර්ග ගැනීම කවුරුත් දන්නා දෙයකි.  ඇතැම්විට සැකකරුවන් මානසිකව දුර්වල කොට ප්‍රකාශ ලබා ගැනීම සඳහා දීර්ඝ කාලයක් ඔවුන් රඳවා ගැනීම සිදුවේ. එසේම වධ හිංසාද සිදුවේ. මේ රටේද මේවා පිළිබඳව බොහෝ විට ජනමාධ්‍යවලද තොරතුරු පළවී තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කළ යුතු යැයිද එමඟින් සැකකරුවන්ගේ මානව හිමිකම් ආරක්ෂා කළ යුතු යැයිද බලපෑම් කරන රටවලද ඒවා  සිදු වේ. ඇමෙරිකාව පවත්වාගෙන ගිය ඉරාකයේ අබු ග්‍රායිත් සිර කඳවුරේ හා කියුබානු භූමියේ ඇති ඇමෙරිකානු බලධාරීන් පවත්වාගෙන යන ගුවන් තනාමෝ නාවික කඳවුරේ සිට එළියට ආ තොරතුරු හා ඡායාරූප ඒ බව දැක්වෙන ප්‍රබල සාක්ෂිය. මෙසේ වන්නේ කිසිදු අපරාධයකට හෝ ත්‍රස්තවාදී කටයුත්තකට සම්බන්ධ කිසිදු සැකකරුවකු හුදු ප්‍රශ්න කිරීමකදී එම කටයුතුවලට අදාළ තොරතුරු හෙළි නොකරන හෙයිනි.

එහෙත් අපරාධකරුවකුටද මානව හිමිකම් ඇත. ලෝකයේ ඕනෑම රටක බලධාරීහු ඒවා ආරක්ෂා කිරීමට බැඳී සිටිති. ඒ සඳහා සෑම රටකම පාහේ නීති ඇත. ඒවා උල්ලංඝනය කිරීම වරදකි.මෙවැනි නීති රීති නැති වුවහොත් දරුණු තත්ත්වයක් ඇතිවිය හැකිවා මෙන්ම බොහෝ නිර්දෝෂි පුද්ගලයන්ටද දඬුවම් විඳීමට සිදුවිය හැකිය. සාමාන්‍ය නීතිය යටතේ අත්අඩංගුවට ගනු ලැබූ අයකු පැය 24 ඇතුළත හෝ පැය 48ක් ඇතුළත 72ක් ඇතුළත  අධිකරණයකට ඉදිරිපත් කළ යුතු යැයි බොහෝ රටවල නීති ඇත්තේ ඒ නිසාය.

එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින නියමයක් නැතිව ඇතැම් සැකකරුවෝ රඳවා ගනු ලැබ සිටිති. එය සාධාරණ වන්නේ කෙසේද? චෝදනා පත්‍රයක් හෝ නැතිව වසර දහයකට වඩා දීර්ඝ කාලයක් ඇතැම් සැකකරුවන් රඳවා ගනු ලැබ සිටින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පවසා තිබිණි. එසේම සැකකරුවකු ප්‍රකාශයක් දෙන වටපිටාව නොසලකා එම ප්‍රකාශය ඔහුට එරෙහිව සාක්ෂියක් වශයෙන්  යොදා ගැනීමට බොහෝ මානව හිමිකම් සංවිධානවල විවේචනයට ලක්වී තිබේ.

ඉකුත් වසරේ ජුනි මාසයේ 23 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ ක්‍රීඩා ඇමැති  නාමල් රාජපක්ෂ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ ඇතැම් සැකකරුවන් තමන්ගේ (රාජපක්ෂ මහතාගේ) වයසට වඩා වැඩි කාලයක් (වසර 35කට වැඩි කාලයක්) බන්ධනාගාරවල සිටින බව ප්‍රකාශ කළේය. මෙම තත්ත්වයට විසඳුම් දෙන යාන්ත්‍රණයක් අවශ්‍ය බවද ඔහු එහිදී අවධාරණය කළේය. එය අධිකරණ ඇමැති අලි සබ්රි මහතාද අනුමත කොට තිබිණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දේශපාලන හා ජාතිවාදී අරමුණෙන් ඇතැම් පුද්ගලයන්ට එරෙහිව යොදාගන්නා බවටද පසුගිය කාලයේ මානව හයිමිකම් කවුන්සිලය පවසා තිබිණි. ඔවුන් පවසා තිබුණේ එය සුළු ජාතීන්ට එරෙහිව යොදාගන්නා බවයි.

දශක ගණනක්  වූ දීර්ඝ කාලයක් සැකකරුවන් රවටා ගනු ලැබ සිටින බව නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ  කොට මාස අටක් පමණ  ගත වී ඇත. එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ මෙම දරුණු වගන්ති නිසා ජාත්‍යන්තර වශයෙන් බලපෑම් හා දඬුවම්  කරන බවට තර්ජනද එල්ල වෙමින් තිබේ. එහෙත් එම සැකකරුවන් ඇප පිට නිදහස් කිරීමට හෝ බලධාරීන් කටයුතු නොකරන්නේ මන්දැයි නොවැටහේ. එම පනතට ආණ්ඩුව ඉදිරිපත් කොට ඇති සංශෝධනවලින්ද මෙම ගැටලුව විසඳෙන බවක් පෙනෙන්නට නැත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙරට බෙදුම්වාදී අරගලය මර්දනය කරන්නට කොතෙක් දුරට දායක වූයේ දැයි පැහැදිලි නැත. උතුරු  හා නැගෙනහිර පළාත්වල තරුණයන් කොටි සංවිධානයට බැඳීම ඉන් වැළකුණේ නැත. දැනුදු දෙමළ දේශපාලනය තුළ කොටි සංවිධානයට එක්තරා ආකාරයක පූජනීයත්වයක් ලැබී තිබේ. වසරක් පාසා යුද්ධයේදී මියගිය උන් සමරා උතුරේ පැවැත්වෙන උත්සවවලදී ඒ බව පෙනේ. ත්‍රස්තවාදයට එරෙහි නීති අවශ්‍ය නොවන බවක් ඉන් අදහස්  නොකෙරේ. මානව හිමිකම් කවුන්සිලය වැනි ආයතන පවසන්නේ ඒ නීති මානව හිමිකම් හැකිතාක් දුරට ආරක්ෂා වන අයුරින් සකස් විය යුතු බවයි. ආණ්ඩුවද එය පිළිගෙන නව නීති  සම්පාදනය කරන බව පවසයි.

නාමල් රාජපක්ෂ මහතා යෝජනා කළද වසර 15කට 20කට දීර්ඝ කාලයක් පුරා රඳවා ගනු සිටින පුද්ගලයන් නිදහස් කොට ආණ්ඩුවට එල්ල වන විදේශ පීඩනය මඳක් හෝ තුනීකර ගැනීමට අදාළ අංශ කටයුතු නොකරන්නේ මන්දැයි නොවැටහේ. ඇතැම් පුද්ගලයන් පවසන්නේ මෙම සැකකරුවන් කලෙක දරුණු ත්‍රස්තවාදී සංවිධානයකට බැඳී කටයුතු කොට  ඇති බවයි. එහෙත් එම තර්කය ඉදිරිපත් කෙරෙන්නේ එම සැකකරුවන්ගේ නායකයන් නිදැල්ලේ සිටින තත්ත්වයකය.

කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. යනු ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකත්වය භාර ගත් පුද්ගලයාය. ආරක්ෂක හමුදා 2009 දී ඔහු මලයාසියාවේදී අල්ලා ගෙන මෙරටට නොගෙන ආවේ නම් ඔහු දැන් මෙන් ළමා නිවාසයක් පවත්වාගෙන නිදහසේ සිටිනු ඇත්ද? ප්‍රභාකරන්ගේ උදහසට ලක් නොවූයේ නම් කරුණා අම්මාන් 2004 කොටි සංවිධානයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වේද? මානව හිමිකම් කවුන්සිලය කියන සියල්ල කළ නොහැකි විය හැකිය. එහෙත් එම ආයතනයෙන් ඇතිවන පීඩනය මදක් හෝ අඩුකර ගැනීමට කළ හැකි කිසිවක් නැතුවා නොවේ.