You are currently viewing රාජ්‍ය සේවයේ විෂම චක්‍රය.

රාජ්‍ය සේවයේ විෂම චක්‍රය.

රාජ්‍ය සේවයේ පිරිහීම වෙනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? කාර්යක්ෂමතාව
අඩුවෙලාද, එසේත් නැතිනම් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට භාරදෙනු ලැබ
තිබෙන ප්‍රතිපත්ති රාජ්‍ය සේවය මගින් නියමාකාරයෙන් ක්‍රියාත්මක නොකර
ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමට රාජ්‍ය සේවය කටයුතු කර තිබේද යන කරුණු
කෙරෙහි අපගේ අවධානය යොමුකළ යුතුය. එසේත් නැතිනම් රාජ්‍ය සේවයේ නෛසර්ගික
ගුණාංගයක් වන රතුපටි ක්‍රමයට අනුව රාජ්‍ය සේවකයන් හිතාමතාම කටයුතු
කරනවාද? එසේ කරමින් වැඩ ප්‍රමාද කරනවාද? එසේත් නැතිනම් රාජ්‍ය සේවකයන්
හිතාමතාම ආණ්ඩුවට පක්ෂ හා විපක්ෂ වශයෙන් බෙදී කටයුතු කරනවාද? ආණ්ඩුවේ
දේශපාලන මතවාදය ඉවතලා තම තමන්ගේ දේශපාලන මතවාද මත කටයුතු කරනවාදැයි සිතා
බැලිය යුතුය. එසේත් නැතිනම් රාජ්‍ය සේවයට නුසුදුසු පුද්ගලයන් බඳවාගෙන
ඔවුන්ට කරන්න බැරි වැඩ රාජකාරි පැවරීමෙන් රාජ්‍ය සේවයේ කඩා වැටීමක් තිබේ
ද යනාදී වශයෙන් සිතා බැලිය යුතු පැති රාශියකි.

රාජ්‍ය සේවය යනුවෙන් අදහස් කරන්නේ මහජනතාවට සේවය කිරීමයි. (To Serve the
Public) රාජ්‍ය සේවය පිරිහී ඇතැයි කීමෙන් රාජ්‍ය සේවකයන් ජනතාවට සේවය
නොකර පැත්තකට වී සිටින බවක් ද අදහස් වෙයි. රාජ්‍ය සේවකයන් සිටින්නේ
ජනතාවට සේවය කිරීමටය. එහෙත් ඔවුන් එය නොකරන්නේ නම් එතැන ඇත්තේ පිරිහීමකි.
රාජ්‍ය සේවය හා රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අතර පවතින්නේ ගසට
පොත්ත බඳු සබඳතාවකි. ඒ දෙක එකිනෙකින් වෙන්කළ නොහැකිය. ආණ්ඩුවේ වැඩකටයුතු
ජනතාව කරා ගෙනගොස් ක්‍රියාවට නංවා ඒවායේ ප්‍රතිඵල ලබා ගැනීමට රාජ්‍ය සේවය
පැවැතිය යුතුමය. රාජ්‍ය සේවයකින් තොරව ආණ්ඩුවකට ක්‍රියාකාරීත්වයක් ඇත්තේම
නැත. ආණ්ඩුවේ පැවැත්මට රාජ්‍ය සේවය පැවතිය යුතුමය.

රාජ්‍ය සේවය ආණ්ඩුවේ හස්තයක් වුණාට රාජ්‍ය සේවය තිබිය යුත්තේ දේශපාලන
බලපෑම් හා දේශපාලන මැදිහත්වීම්වලින් තොරවය. එය පැවැතිය යුත්තේ නිදහස් හා
ස්වාධීන සේවාවක් වශයෙනි. එයට ආණ්ඩුවේ සේවය නොකියා රාජ්‍ය සේවය කියන්නේ
එහෙයිනි. එබැවින් එය අපක්ෂපාතී විය යුතුය. රාජ්‍ය සේවය අපක්ෂපාතී හා
ස්වාධීන වීමට නම් ඊට බඳවා ගැනීම් නිදහස් හා සාධාරණ පදනමක් මත විය යුතුය.

දෙවනුව රාජ්‍ය සේවයේ උසස් වීම් දීම පිළිගත් ලෝක සම්මතයක් අනුව කළ යුතුය.
එහිදී සැලකිල්ලට ගත යුත්තේ ජ්‍යෙෂ්ඨත්වය සහ යහපත් සේවා වාර්තාවයි. බඳවා
ගැනීම් කළ යුත්තේ අධ්‍යාපන හා වෘත්තීමය සුදුසුකම් මතය. සුදුසුකම් සපුරා
සිටින පුරවැසියන් අතරින් හොඳම අය බඳවා ගැනීමට යෝග්‍ය ක්‍රමයක් තිබිය
යුතුය. එසේම රාජ්‍ය සේවකයන්ට සේවයේ ස්ථාවරභාවය සැලසිය යුතුය. බඳවා ගත්තාට
පසු විශ්‍රාම යනතෙක් විනය විරෝධී ක්‍රියාවකට වැරැදිකරුවකු වුවහොත් හැර
අත්තනෝමතිකව හා හිතුවක්කාරීව සේවයෙන් ඉවත් නොකළ යුතුය. එසේම නිදහසේ එහා
මෙහා මාරුවීමට ඉඩකඩ සැලසිය යුතුය.

වැඩකරමින් ඉගෙන ගැනීම (Learn by Training) රාජ්‍ය සේවයේ ස්වභාවයයි.
ඔවුන්ට දැනුම, අවබෝධය, අත්දැකීම් යනාදී සියල්ල ලැබෙන්නේ රස්සාව කිරීමෙනි.
ඒ සඳහා නිදහස දුන් විට ඔවුහු විශේෂඥයෝ බවට පත්වෙති. එසේම රාජ්‍ය සේවය
නිශ්චිත නීතිරීති මාලාවකට යටත්ව ක්‍රියාත්මක විය යුතුය. ආණ්ඩුවේ කාර්යයන්
ක්‍රියාවට නැංවීමට තිබෙන්නේ හස්ත දෙකකි. එකක් රාජ්‍ය සේවයයි. අනෙක
පොලිසියයි.

ආණ්ඩුවේ සිවිල් අරමුණු හා සිවිල් ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්නේ රාජ්‍ය
සේවයයි. ආණ්ඩුවේ නීතිය බලාත්මක කරමින් රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ
වගකීම පැවරී තිබෙන්නේ පොලිසියටයි. ඒ අනුව රාජ්‍ය සේවය හා පොලිසිය ආණ්ඩුවක
වම් අතට හා දකුණු අතට සමානය.

ඒ අත්දෙක නැතිව ආණ්ඩුවකට පැවැතිය නොහැකිය. අප මූලික අවධානය යොමුකළ යුතුව
තිබෙන්නේ රාජ්‍ය සේවය පිරිහී තිබෙන්නේ ඇයි ද යන්න කෙරෙහිය.

දේශපාලන හිතවත්කම, පක්ෂ සබඳතා, ඥාතිත්වය, හිතවත්කම් මත රාජ්‍ය සේවයට
බඳවාගෙන තිබෙනවා නම් සහ උසස් වීම් මාරුවීම් හා විනයානුකූල පාලනය ඉහත කී
හේතු මත සිදුවන්නේ නම් ඒ රාජ්‍ය සේවය පිරිහෙයි. සේවයේ ඉහළට යමින් වෘත්තීය
විශේෂඥයන් වීමට ඉඩකඩ තිබිය යුතුය. එසේම යාවත්කාලීනව පුහුණුවක් දිය යුතුය.
ඒ සියල්ල එසේ සිදුවී තිබියදීත් රාජ්‍ය සේවයෙන් අපේක්ෂිත අරමුණු හා
පරමාර්ථ ඉටුනොවන්නේ නම් සරලව කිවහොත් ජනතාවට සේවයක් නොවන්නේ නම් ඒ රාජ්‍ය
සේවය පිරිහී ඇතැයි කිව හැකිය. ප්‍රශ්නයකට තිබෙන්නේ බඳවා ගැනීම්, උසස්
කිරීම්, මාරුකිරීම්, ස්ථාන මාරු කිරීම්, පුහුණු කිරීම් යනාදිය නිසි
නීතිරීති හා පිළිගත් ප්‍රතිපත්ති මත සිදුවී තිබේ ද යන්නය.

මෙරට පැවැති සිවිල් සේවය රාජ්‍ය පරිපාලන සේවය බවට පත්වීමෙන් පසුව රාජ්‍ය
පරිපාලන සේවයෙන් විශිෂ්ටයන් බිහිවීම එන්න එන්නම කඩාවැටෙමින් පවතී. එයට එක
හේතුවක් වී තිබෙන්නේ සුදුසුකම් මත දක්ෂ හා බුද්ධිමත් උගත් තරුණ තරුණියන්
සේවයට බඳවා ගැනීමේ ක්‍රමය යටපත් කරමින් දේශපාලන ඇඟිලිගැසීම් මත
අනුග්‍රාහක පත්වීම් දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වීමය. වර්තමානයේ පරිපාලන
සේවයට බඳවා ගැනීමට විභාගවලින් සමත් වීම ප්‍රමාණවත් නොවේ.

සිවිල් සේවා විභාගය ලංකාවේ තියෙන අමාරුම විභාග දෙකෙන් එකකි. අනෙක් අමාරුම
විභාගය විදේශ සේවා විභාගයයි. එතරම් අමාරු විභාගයකින් සමත් වූ අයත් සම්මුඛ
පරීක්ෂණයට ගිය පසු බලන්නේ දේශපාලන සබඳතාය.
සම්මුඛ පරීක්ෂණයේදී දක්ෂතා, කුසලතා සහ හැකියාවන් පැත්තකට දමා මොහු කාගේ
දේශපාලන පන්දමෙක්දැයි සොයා බලයි. එවැනි අය පරිපාලන සේවයට බඳවා ගත්තට පසු
ප්‍රශ්න ඇතිවෙයි. තමන් පරිපාලන සේවයට පිවිසියේ වැරැදි ක්‍රමයකට බව ඒ
නිලධාරීහු ද දනිති. පැවැත්ම සඳහා තම කාර්යක්ෂමතාව ඉහළ නංවා ගත යුතුය යන
හැඟීම යටපත් වී දේශපාලන පන්දම මත වැජඹෙන්නට පුරුදු පුහුණු වීමටත් නිලධරයෝ
පෙළඹෙති.

මේ දේශපාලනය නිසා පරිපාලන සේවයට අලුතින් බැඳෙන ආධුනික නිලධාරියෙක්
අවුරුදු 25 සිට 30 අතර දිගුකාලීන කීර්තිමත් සේවා වාර්තාවක් සහිත ජ්‍යෙෂ්ඨ
නිලධාරියකු නොසලකා හළ හැකිය. දේශපාලන පන්දම මත කෙරෙන අනුග්‍රාහක පත්වීම්
ලබන පරිපාලන නිලධාරීන් වෘත්තීමය පරිපාලකයක් බවට පත්වීමට වඩා ආරම්භයේ සිටම
දේශපාලන අවශ්‍යතා මත දේශපාලන අතකොළු ලෙස කටයුතු කරන ස්වභාවයක් පසුගිය
අවුරුදු 25 සිට 30 අතර කාලයක අපට දක්නට ලැබෙයි.

සිවිල් සේවය පැවැතිය ද අවුරුද්දකට බඳවා ගත්තේ දහයකට අඩු ගණනකි. එසේ බඳවා
ගත්තේත් විශිෂ්ටයන්ය. රොනී ද මැල්, කීර්ති වීරක්කොඩි, කේ.එච්.ජේ.
විජේදාස, සරත් අමුණුගම, බ්‍රැඩ්මන් වීරකෝන් වැන්නෝ විශ්වවිද්‍යාලයේදීත්
රාජකාරියේදීත් දක්ෂතා දැක්වූ පුද්ගලයෝය. ඔවුන් බඳවා ගත්තේ ද පවුල්
පසුබිමද සලකා බලාය. සිවිල් සේවා විභාගය සමත් වුවත් ගෞරවණීය පවුල්
පසුබිමක් නොවූ නිසා සිවිල් සේවයට පැමිණීමට නොහැකි වූ පුද්ගලයෝ එකල
සිටියහ. ගෞරවණීය නම්බුකාර ඒ නිලධරයෝ විශිෂ්ටයෝ ලෙස හැසිරුණහ. ලීල්
ගුණසේකරගේ අත්සන හා පෙත්සම නවකතාවලින් සේම ලෙනාඩ් වුල්ෆ්ගේ නවකතාවලින්
අනාවරණය වන්නේ සිවිල් සේවා නිලධාරියකු වීම කෙතරම් ගෞරවණීය තනතුරක් ද
යන්නය.

එහෙත් සිවිල් සේවාව වෙනුවට පරිපාලන සේවාව ආරම්භ කළ පසු තොග ගණනින් බඳවා
ගනියි. එසේ බඳවා ගැනීම සඳහා විභාග පටිපාටියත් ලිහිල් කරයි. පවුල් පසුබිම
නොසොයා බඳවා ගනියි. එසේ බඳවා ගන්නා අයට වුවද වෘත්තීයමය ගරුත්වය රැකගැනීම
සඳහා ප්‍රමාණවත් වැටුප් ද නොගෙවයි. ඒ නිසා අයථා ක්‍රමවලින් මුදල් ඉපැයීමට
ඔවුහු පෙළඹෙති. එසේම දැන් ආරම්භයේ සිටම දේශපාලකයෝ ඇඟිලි ගසති. ප්‍රාදේශීය
ලේකම්වරුන් පත්කරන්නේ දේශපාලකයන්ගේ රුචි අරුචිකම් මතය. උසස්වීම් දෙන්නේ
ඇමැතිගේ වුවමනා එපාකම් අනුවය.

ඒ කිසිවක් සුදුසුකම් නොවේ. ඒ ක්‍රමය නිසා ජ්‍යෙෂ්ඨයකු සිටියදී කනිෂ්ඨයකු
උඩට පැමිණි විට ඒ ජ්‍යෙෂ්ඨයා කොහේ යන්නද? මොනවා කරන්නද? එසේ වූ කල ඔවුහු
හිතාමතාම කඩාකප්පල්කාරී ක්‍රියාවලට පෙළඹෙති. වැඩ නොකර සිටිති. නැතිනම්
සේවාව ලබා ගැනීමට පැමිණෙන ජනතාව රස්තියාදු කරති. එසේම පරිපාලන හා මුදල්
රෙගුලාසි මතම වැඩ කිරීමට පුරුදු වෙති. ‘පුහුණු දුබලතාව’ (Training in
Capacity) පරිපාලන සේවයට වැළඳෙන රෝගයකි. එකම විධියකට කාලයක් තිස්සේ යම්
කාර්යයක් කරගෙන යන විට ඒ කාර්යය වෙනත් විධියකට කිරීමට ඔවුන්ට පුහුණුවක්
නොලැබෙයි. උදේගයක් උනන්දුවක් ඇති නොවෙයි. එය ලෙඩකි. උද්ධච්ඡකම ඔවුන්ට
වැළඳෙන අනෙක් රෝගයයි. ඉන් හිරිහැරයට පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාවය.

මේ සියල්ල නිසා ජනතාවට රාජ්‍ය සේවය එපා වී තිබේ. රාජ්‍ය සේවකයෝත් රස්සාව
නිසා එහි රැඳී සිටිනවා මිස කැමැත්තකින්, උනන්දුවකින්, උදේගයකින්
පරහිතකාමිත්වයකින් රැකියාවෙහි නොයෙදෙති. මේ හේතු නිසා ආණ්ඩුවටත් රාජ්‍ය
සේවාව එපා වී තිබේ. එවැනි දහසකුත් එකක් ප්‍රශ්න මැද ඉතා අමාරුවෙන්
පළමුවැනි ශ්‍රේණියට පැමිණි නිලධාරීන් සිටියදී අමාත්‍යාංශ ලේකම්වරුන් ලෙස
යුදහමුදා නිලධාරීන් පත්කරති. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් තනතුරට හමුදා
නිලධාරියකු දැමූ විට ඒ අමාත්‍යාංශය කරගෙන යන්නේ කෙසේද? පරිපාලන
නිලධාරියකු ඒ තනතුරට එන විට ඔහුට කෘෂිකර්ම උපාධියක් නොතිබුණත් ඔහු මුදල්
රෙගුලාසි, පරිපාලන රෙගුලාසි, ටෙන්ඩර් පටිපාටි යනාදී සියල්ල ගැන විශේෂඥයකු
වී හමාරය. රාජ්‍ය සේවයේ අවුරුදු 25 ක් 30 ක් සිටියොත් ඔහු විවිධ
ක්ෂේත්‍රවල, විවිධ තනතුරුවල, විවිධ රාජකාරි පිළිබඳ ප්‍රවීණයෙක් වෙයි.
ඔහුගේ උපාධිය පාලි සිංහල හෝ බෞද්ධ ශිෂ්ඨාචාරය පිළිබඳව වුවත් අර දිගු
කාලයේදී ඔහු පරිපාලන සේවයේ විශේෂඥයෙක් වෙයි.

විශේෂඥ දැනුමක් සහිත පරිපාලන නිලධාරීන් විසින් කරනු ලැබිය යුතු කාර්යයන්
හමුදා ජනරාල්වරයකුට පැවරීමෙන් රාජ්‍ය සේවය කඩාවැටෙයි. පිරිහෙයි. එවැනි
ජනරාල්වරුන් පරිපාලන සේවා නිලධාරීන්ට ඉහළින් පත්කිරීම මගින් පළමුව
පරිපාලන නිලධාරීන්ට නින්දාවක් ඇතිවෙයි. පරිපාලන නිලධාරීන් හමුදා
නිලධාරියකුට සර් කියා අමතන්නේ කෙසේද? එසේම යටත්වීම හා කීකරුවීම පිළිබඳව ද
ගැටලුවක් ද ඇති වෙයි. අනෙක් පැත්තෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ තීන්දු තීරණ
ගන්නේ කෙසේදැයි අමාත්‍යාංශ ලේකම් තනතුරට අහසින් කඩාවැටෙන හමුදා නිලධාරියා
නොදනියි. එසේම ඔහුට පහළින් සිටින පරිපාලන නිලධාරීන්ගේ සහාය ලබා ගැනීම ද
ප්‍රශ්නයක් වෙයි.

පෞද්ගලිකව මා හොඳින් දන්නා කාරණයක් මම දැන් රටට හෙළිකරමි. යහපාලන ආණ්ඩු
සමයේ ඒ ආණ්ඩුවේ ප්‍රබලයකු එක් ප්‍රබල අමාත්‍යාංශයකට ලේකම්වරයකු පත්කළ
හැටි මට මතක් වෙයි. ඒ ලේකම් තනතුරට පත් කළ පුද්ගලයා විශ්වවිද්‍යාලයක
ඉංජිනේරු පීඨයක සේවය කරමින් සිටි කථිකාචාර්යවරයෙකි. ඒ කථිකාචාර්යවරයා
අමාත්‍යාංශ ලේකම් තනතුරට පත් කළේ ඒ නායකයාට සමීප ඇමැතිවරයකුගේ නිර්දේශය
මතය. අමාත්‍යාංශ ලේකම් තනතුරට පත්කළ පසු ඒ කථිකාචාර්යවරයා රාජ්‍ය
ප්‍රතිපත්ති ගැන ඉගෙන ගත්තේ ජාතික අධ්‍යාපන ආයතනයෙන් සාමාන්‍ය පෙළ
විභාගයට සැකසූ ගුරු අත්පොතකිනි.

අමාත්‍යාංශ ලේකම් තනතුරට පත්වීමට පෙර ඔහු දැන සිටියේ පාලම්, බෝක්කු හා
මහාමාර්ග හැදීමට සහ ඒ ගැන ඉගැන්වීමටය. ඉතින් එවැනි පත්කිරීම් අවුරුදු 25
ක් 30 ක් තිස්සේ දිගින් දිගට සිදුවෙයි. මේ හේතු මත රාජ්‍ය සේවය පිළිබඳව
කලකිරෙන පරිපාලන නිලධාරින් පලිගන්නේ ජනතාවගෙනි. ජනතාවට රාජ්‍ය සේවය එපා
වන විට ඔවුහු ඒ  ගැන දේශපාලකයන්ට පැමිණිලි කරති. එවිට දේශපාලකයෝ රාජ්‍ය
සේවයට ඇඟිලි ගසති. එය දැන් ඔඩුදුවන තත්ත්වයට පත්ව තිබේ. ඊට හේතුව පරිපාලන
නිලධාරීන් සිටිය යුතු බොහෝ තනතුරුවල හමුදා නිලධාරීන් වාඩි කරවීමය.

සිමෙන්ති කොට්ටයක රජයේ පාලන මිල රුපියල් 1375 කි. එහෙත් දැන් සිමෙන්ති
කොට්ටයක් විකිණෙන්නේ රුපියල් 1950 කටය. රට පුරා එසේ අසාධාරණ හා
අයුක්තිසහගත වෙළෙඳාමක් සිදුවන්නේ රටේ පාරිභෝගික කටයුතු අධිකාරියක්
තිබියදීය. එහි සිටින නිලධාරීන් සියලු දෙනා ජනතා මුදල්වලින් පඩි නඩි හා
වෙනත් වරප්‍රසාද ලබා ගනිද්දීය. සියල්ල එසේ වන කල ජනතාව රාජ්‍ය සේවය
කෙරෙහි කලකිරීම අරුමයක් පුදුමයක් නොවේ.

බඳවා ගැනීමේ සිට විශ්‍රාම යාම දක්වා රාජ්‍ය සේවයේ පවතින්නේ විසම
චක්‍රයකි. ඒ නිසා රාජ්‍ය සේවකයන් අතර කිසිම තෘප්තියක් නැත. ජීවත් වීමට
වෙනත් ක්‍රමයක් තිබෙනවා නම් රාජ්‍ය සේවයේ සිටින විශාල පිරිසක් ඉන් ඉවත්ව
යනු නිසැකය.

එහෙත් පඩි නඩි ප්‍රමාණවත් නොවේ. ඒ නිසා රාජ්‍ය සේවයේ සිටින පිරිසක් බලයට
පත්වන දේශපාලකයන් සමග එකතු වී හොරකම් කරති. ඒ අයුරින් රාජ්‍ය සේවය හැම
පැත්තකින්ම දූෂණය වී හමාරය. මේ තත්ත්වයට වගකිවයුත්තේ රාජ්‍ය සේවකයන්
නොවේ. මේ තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකිවයුත්තෝ දේශපාලකයෝමය. රාජ්‍ය සේවය
දේශපාලනයෙන් මිදුණු ස්වාධීන අපක්ෂපාතී සේවාවක් විය යුතුය.

ඒ තත්ත්වය නැතිකර රාජ්‍ය සේවය ආණ්ඩුවේ සේවාවක් බවට පත්කළ දේශපාලකයන්
රාජ්‍ය සේවයේ වර්තමාන පිරිහීමට වගකිව යුතුය. 19 වැනි  ව්‍යවස්ථා
සංශෝධනයෙන් උත්සාහ කළේ මේ තත්ත්වය නැති කිරීමටය. එහෙත් 20 වැනි ව්‍යවස්ථා
සංශෝධනයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ජනතාවාදී අරමුණු හා පරමාර්ථ සුණු
විසුණු කෙරිණි. එහෙයින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පවතින තුරු රාජ්‍ය
සේවයේ පවතින මේ පිරිහීම තව තවත් ශීඝ්‍ර වනු නියතය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ
මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා