You are currently viewing පසුගිය ජනාධිපතිවරණය වංචාවක්ද?

පසුගිය ජනාධිපතිවරණය වංචාවක්ද?

නාගානන්ද කොඩිතුවක්කු, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම, එහි සභාපතිනිය ඇතුළු එහි සමාජිකයන්ද, මැතිවරණ කොමිසම ද, එහි හිටපු සභාපති හා සාමාජිකයින්ද වගඋත්තරකරුවන් කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමට ඇතුළත් කථාව ශ්‍රී ලංකා රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය කුණුවී තිබෙන හා ජරාජීර්ණ වී තිබෙන තරම පෙන්නුම් කරන ඉතා වැදගත් කථාවක් ලෙස සැළකිය හැකිය. මෙම පෙත්සමට කථා තුනක් ඇතුලත්‍ ය. එයින් එක කථාවක් එම ජනාධිපතිවරණය තුළ පෙත්සම්කරුට (නාගානන්දට) සිදුවී තිබුන බලවත් අසාධාරණයක් ගැනය. එනම් ජනාධිපතිවරණයට තරඟ කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍ය එකසත් රාජධානියේ තමන්ට තිබූ පුරවැසි භාවය ඉවත් කරගනු ලැබුවත් තමන්ට නාම යෝජනා ලබාදීමට එකඟත්වය පළ කර තිබූ පක්ෂය අවසන් මොහොතේදී නාම යෝජනා ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා ජනාධිපතිවරණයට තරඟ කිරීමට නොලැබීම පිලිබද කථාවය. පෙත්සමේ එන ප්‍රධානම කථාව ලෙස සැළකිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂගේ නාම යෝජනා භාරගැනීම ප්‍රතික්ෂේප කල යුතු පදනමක් තිබියදී නීතියට අනුව එසේ කිරීමෙන් වැළකී ජනාධිපතිවරණයට තරඟ කිරීමට අවස්ථාවක් දීම මගින් චේතනාන්විත දඩුවම් ලැබිය යුතු වරදක මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියට එරෙහිව ඉතිරිපත් කරන කථාවය. එයට ඇතුළත් ඔහුගේ තුන්වැනි කථාව වන්නේ මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු එම කොමිසමේ සමාජිකයින් ඒ මගින් සිදුකර තිබෙන දූෂණයට එරෙහිව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම වෙත තමන් (නාගානන්ද) කරන ලද පැමිණිල්ල විභාග නොකිරීම පිළිබද කථාවය. මා මේ ලිපියෙන් විග්‍රහ කරන්නේ ඒ කථා තුනම නොව බරපතල නුසුදුසු කමක් තිබියදී එය නොසලකා ගෝඨාභය රාජපක්ෂට නීතියට පටහැනිව තරඟ කරන්නට ඉඩ ලබාදීම ගැන බිහිසුණු කථාවය. එහිදී නාගානන්ද බරපතල ලෙස චෝදනා කරන්නේ එවකට රාජ්‍යය නිලධාරින් අතර සිටි මහජනයා අතර ජනප්‍රියම නිලධාරියා ලෙස සැලකිය හැකි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියට එරෙහිවය. මැතිවරණ කොමිසමේ සභාපති වරයා මමද කිසියම් දීර්ග කාලයක් තිස්සේ දන්නා හදුනන හා මිත්‍රත්වයක්ද තිබූ කෙනෙකි. එවැනි කෙනෙකු සම්බන්ධයෙන් ඔහුගේ යහපතට හේතු නොවන විචාරයක් කරන්නට සිදුවීම මගේ සතුටට හේතු වන්නේ නැතත් මේ ප්‍රශ්නයට ලැබෙන වැදගත්කම සලකා මට එසේ කරන්නට සිදුවී තිබෙන්නේ යැයි කිව හැකිය.

ඡන්ද බලය හා මැතිවරණ කොමිසම

නාගානන්ද ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් කථාකරන්නේ පසු ගිය ජනාධිපතිවරණය ගැන වන නිසා ඡන්ද බලය ගැන කරන සමාන්‍ය කරුණු සොයා බැලීමකින් මෙම විග්‍රහය ආරම්භ කිරීම සුදුසුය. ව්‍යවස්ථාවට අනුව ජනරජයට බලය ලැබෙන පරමාධිපත්‍ය බලයේ හිමිකරුවන් වන්නේ රටේ ඡන්දදායක මහජනයාය. ඔවුන්, ඔවුන්ට හිමි පරමාධිපත්‍යය බලය අභ්‍යාස කරන්නේ ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා මැතිවරණය වැනි මැතිවරණ වලදී ඡන්දය පාවිච්චි කිරීමෙනි. ඒ සියළු මැතිවරණ අතුරින් ලංකාවේ රාජ්‍යය බලයේදී ජනාධිපතිවරණය ප්‍රධාන ය. රාජ්‍යයේ සකල විධ බලය තිබෙන්නේ ජනාධිපතිටය. ජනාධිපතිවරණය රටේ රාජ්‍ය බලය හා රාජ්‍යය නායකයා තීරණය කරන මැතිවරණය වන නිසාම එය සියළු මැතිවරණ අතරින් ප්‍රධාන මැතිවරණය ලෙස සැළකිය හැකිය. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයේ සාරය ලෙස සැලකේ. ඡන්දය දීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ අත්‍යාවශ්‍ය අංගයක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තින්දුවකින් පිළිගෙන තිබෙන අතර ඒ නිසා ඡන්දය ක්‍රියාදාමයට අදාල කාරණා මූලික අයිතිවාසිකම් පිළිබද අධිකරන බල ක්ෂේත්‍රයට අයිති දේවල් ලෙස සැළකේ. ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ බලයලත් අධිකාරිය ලෙස ක්‍රියා කරන්නේ මැතිවරණ කොමිසමය.

ලංකාවේ මැතිවරණ කොමිසම ඉන්දියානු මැතිවරණ කොමිසම තරම් දියුණු නැත. ඉන්දියාව සිය මැතිවරණ කොමිසම නීති ගත කළේ 1951 ජනවාරි 25 වනදාය. ලංකාව සිය මැතිවරණ කොමිසම නීතිගත කළේ 2001 ඔක්තෝබර් 3 වන දාය. ලංකාව ඉන්දියාවට වඩා අවුරුදු 51 කට පසුව හදන මැතිවරණ කොමිසම ඉන්දියානු කොමිසමට වඩා හුඟාක් පසුගාමි නම් ඉන්දියාවට සාපේක්ෂව ව්‍යවස්ථා සම්පාදන විෂයේදී ලංකාව සිටින පසුගාමිත්වයේ තරම තේරුම් ගත හැකිය. එහිදී ලංකාව මැතිවරණ කොමිසම හදන විට ලෝකයේ ලොකු පිළිගැනීමක් හිමිකරගෙන තිබුන  ඉන්දියානු මැතිවරණ කොමිසම කොහෙත්ම සැළකිල්ලට ගෙන නැත.

මැතිවරණයක් යනු ක්‍රියාවලියකි. එම සමස්ථ ක්‍රියාවලිය නිදහස් හා සාධාරණ ලෙසත් නීතියට අනුකූල ලෙසත් පවත්වා ගෙනයාම මැතිවරණ කොමිසම වෙත පැවරී තිබෙන ව්‍යවස්ථාපිත වගකීමකි. ප්‍රජාතන්ත්‍රවාදි රටවල සමාන්‍යයෙන් මැතිවරණ අරමුදල් හා මැතිවරණ වියදම් පාලනය සදහා දැඩි නීතී රීති පවතී. ලංකාවේද ඒ සදහා 1978 තෙක් දැඩි නීති රීති පැවතුණි. මැතිවරණ අරමුදල් හා මැතිවරණ වියදම් සදහා නීති නැති අරාජික යුගයක් ඇතිවන්නේ 1978 න් පසුවය. ඒ මගින් මහජනයා මුදලට මිලදී ගත හැකි දූෂිත ක්‍රමයක් ඇති වී යැයි කිව හැකිය. ඉන්පසු 17 වැනි සංශෝධනයක් යටතේ මැතිවරණ කොමිසමක් හදන 2001 දී හෝ නැවත ඒ ගැන සලකා බලන 2015 වේ 19 වැනි සංශෝධනයේ දී පවා මැතිවරණ අරමුදල් හෝ වියදම් පාලනය කිරීමේ අවශ්‍යතාව නොසළකා හැර තිබීමෙන් පෙනෙන්නේ තිබුන දූෂිත ක්‍රමයට ලස්සන බාහිර පෙනුමක් ලබා දෙනවා මිස පැවති දූෂිත තත්වයෙහි ගැඹුරු වෙනසක් ඇති කිරීමේ අභිලාෂයක් එම ප්‍රතිසංස්කරණ අවස්ථා දෙකටම තිබී නැති බවය. 2010-2015 කාලයේදී ප්‍රධාන පක්ෂ දෙකේ ජනාධිපති අපේක්ෂකයකු සදහා යන වියදම රුපියල් බිලියන 3 ක් ලෙස සැලකුණි. එය විශාල මුදලක් බව අමුතුවෙන් කිවයුතු නැත. සිරිතක් ලෙස ජනාධිපතිවරණ වලදී අපේක්ෂකයින් ලොකු සල්ලි ලබා ගන්නේ කළු සල්ලිකාරයින් ගෙනි.

මීට කලින්ද කියා තිබෙන පරිදි නාගානන්ද කොඩිතුවක්කු සිය මූලික අයිතිවාසිකම් පෙත්සමට මූලික වශයෙන් පාදක කරගෙන තිබෙන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී නාම යෝජනා භාරගත් අවස්ථාවේ දී මැතිවරණ කොමිසමේ සභාපති විසින් සිදු කර තිබෙන වගකීම් පැහැර හැරීමක් පිළිබදවය. ඔහු මැතිවරණ කොමිසමේ ප්‍රධානියා වශයෙන් කර තිබෙන වගිකීම් පැහැර හැරීම නාගානන්ද පෙන්නුම් කර තිබෙන්නේ අත්වැරද්දකින් සිදුවූ දෙයක් ලෙස නොව චේතනාන්විතව කරන ලද වගකීම් පැහැර හැරීමක් ලෙසය. ඔහු කියන ආකාරයට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා චේතනාන්විතව කර තිබෙන වගකීම් පැහැර හැරීම මෙසේය.

එම ජනාධිපතිවරණයට තරඟ කරන බව ඇප තැබීමෙන් අභිලාෂය පලකරනු ලැබූ අය 36 දෙනෙකු සිටියේය. ඒ 36 දෙනා අතර පොදු ජන පෙරමුණ වෙනුවෙන් දෙදෙනෙක් ඇප තැන්පත් කර තිබුණි. ඒ ගෝඨාභය රාජපක්ෂ හා චමල් රාජපක්ෂ යන දෙදෙනාය. එහෙත් නාම යෝජනා පැවති දිනයට චමල් රාජපක්ෂ සහභාගි වුවද ඔහු නාම යෝජනා භාර දුන්නේ නැත. නාම යෝජනා වලිදී 1981 ජනාධිපතිවරණ පනත අනුව නාම යෝජනා ලබා දෙන අය විසින් ව්‍යවස්ථාවේ 91 වගන්තියෙන් විස්තර කර ඇති නුසුදුසු කමකට තමන් අයත් නොවන කෙනෙකු බව දිවුරුම් පෙත්සමකින් ප්‍රකාශ කළ යුතුය. ඒ අවස්ථාවේ පැවති නීතිය අනුව ද්විත්ව පුරවැසියෙකුට ද ජනාධිපතිවරණයට තරඟ කළ නොහැකිය. ද්විත්ව පුරවැසියන් ලෙස සැළකිය හැකි පුද්ගලයින් දෙදෙනෙකු වන ගෝඨාභය රාජපක්ෂ හා නාගානන්ද කොඩිතුවක්කු එළැඹෙන ජනාධිපතිවරණයට තරඟ කිරීම සදහා දැනටමත් ප්‍රාචරක කටයුතු ආරම්භ කර තිබෙන බවත් ද්විත්ව පුරවැසියෙකුගේ තත්වයක ඉඳිමින් ජනාධිපතිවරණයකට තරඟ කිරීම නීති විරෝධී නිසා නාම යෝජනාවලදී ඒ දෙදෙනාගේ අයදුම් පත් දැඩි පරීක්ෂාවට ලක් කරන ලෙස ඉල්ලා 2009.05.13 යන දින පිළියන්දලින් ඕෂල හේරත්  මැතිවරණ කොමිසමේ සභාපති අමතා ලිඛිත දැනුම් දීමක් කර තිබුණි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ පනතින් ඉල්ලා තිබෙන ආකාරයට හා ව්‍යවස්ථාවෙහි සදහන් ආකාරයට නුසුදුසු කම් ඇති කෙනෙකු නොවන බවට සහතික වෙමින්  2019 ඔක්තෝබර් 06 වනදා දිවුරුම් පෙත්සමක් ලබා දී ඇතත් ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කරන පුරවැසිභාවය අත් හැරීම සදහා වන පිළිගත් සහතිකයක පිටපතක් එම දිවුරුම් පෙත්සමට ඇතුළත් කර තිබී නැත. ගෝඨාභය රාජපක්ෂට ඒ සදහා ඇමරිකන් රාජ්‍යය දෙපාර්තමේන්තුවේ ලබාගත් සහතිකයක් ඉදිරිපත් කිරීමේ හැකියාවක්ද තිබී නැත. මක්නිසාදයත් ගෝඨාභයගේ නම ඇතුළත්ව තිබුණේ ජනාධිපතිවරණයෙන් පසුව ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව 2020 අගෝස්තු 05 වනදා ප්‍රසිද්ධ කළ ඇමරිකන් පුරවැසිභාවය අත් හරින ලද අයගේ නාම ලේඛනයටය. ඒ අනුව ඔහු නියම ලෙස ඇමරිකන් පුරවැසිභාවය අතහැර තිබුණේ 2020 මාර්තු 31 වනදාය. ජනාධිපතිවරණයට පසුවය. මොන හේතුවක් නිසා හෝ ජනාධිපතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කර තිබුන ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාද ගෝථාභයගේ නාම යෝජනාව ප්‍රශ්න කිරීමකට ලක් නොකළේය. කථාවේ බිහිසුණු කොටස දිග හැරෙන්නේ ඉන් පසුවය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ගෝඨාභය ඔහු ගේ නාමයෝජනා සමග භාරදෙන ලද නුසුදුසු කමකට ලක් නොවන කෙනෙකු බවට ලබා දෙන දිවුරුම් පෙත්සම භාරගත්තේ ඇමරිකන් පුරවැසි භාවය අත් හැර ඇති බව සනාථ කරන ඇමරිකන් රාජ්‍යය දෙපාර්තමේන්තුවේ සහතිකයක් නැතිවය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දිවුරුම් පෙත්සම සමග ඇමරිකන් පුරවැසි භාවය අත් හැර තිබෙන බව සනාථ කරන සහතිකය ඉල්ලා සිටිය යුතුව තිබුනි.නාගානන්ද කොඩිතුවක්කු පෙන්වා දී තිබෙන අකාරයට එය සභාපති වරයා අතින් සිදුවූ අත් වැරැද්දක් ලෙස සැලකිය නොහැකිය.එය ජනාධිපති වරනයකට තරඟ කිරීමට තිබිය යුතු සුදුසු කම් සම්පූර්ණ කල නොහැකි තත්වයක සිටි ගෝඨාභය රාජපක්ෂට පරීක්ෂාවට ලක් කිරීමකින් තොරව එම දුෂ්කර කඩුල්ල ජය ගැනීම සදහා නීතියට පටහැනිව ලබා දෙන ලද අනුග්‍රහයක් ලෙස සැළකිය හැකිය.

මහාචාර්‍ය හූල් ගේ කථාව

මේ නඩුවේ වග උත්තරකරුවකු වන පරණ මැතිවරණ කොමිසමේ සමාජිකයෙකු වූ මහාචාර්‍ය රත්න ජීවන් හූල් කියන කථාව ඉතාමත්ම බිහිසුණුය. ජනතාවට සාධාරණ මැතිවරණයක් සදහා ඇති ව්‍යවස්ථාපිත අයිතිය (103(2) ව්‍යවස්ථාව) තහවරු කිරීම සදහා ක්‍රියා කිරීම මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වශයෙන් තම වගකීම බව තමන් දැන සිටි බවත් තමන් වෙත පැවරී තිබෙන එම වගකීම ඉටු කිරීම සදහා ගත හැකි සෑම පියවරක්ම ගැනීමට තමන් ක්‍රියා කල බවත් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන දිවුරුම් පෙත්සමකින් කියා සිටී. නීතියට අනුකූලව පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය විධිමත් ලෙස අත් හැර තිබේද යන ප්‍රශ්නය කොමිසම සලකා බැලිය යුතු බව කොමිසමේ සභාපතිවරයාට පෙන්වා දුන් අවස්ථාවකදී එය කොමිසමේ වගකීමක් නොවන බවත් එය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කල යුතු දෙයක් බව සභාපති තමන්ට පවසන ලද බවත් ඔහු කියයි. ඒ ගැන ප්‍රශ්න කිරීමකදී සභාපති තවත් අවස්ථාවකදී නාම යෝජනා දිනයේදී වෙනත් අපේක්ෂකයින්ටද ඉදිරිපත් කරන විරෝධතා මගින් එම ප්‍රශ්නය මතු කිරීමේ අයිතිය තිබෙන නිසා කොමිසම ඔවුන්ට ඉඩ දී බලා සිටිය යුතු බව ප්‍රකාශකල බවත් ඒ අතර තුර කාලයේදී කොමිසමේ සභාපතිවරයා ගෝඨාභයගේ මැතිවරණ කණ්ඩායමට තමන්ව පාවාදී ඇති බව තමන්ට දැන ගන්නට ලැබී තමන් තුළ ජීවිතය ගැන බියක් ඇති කිරීමට හේතුවී තිබු බවත් නාම යෝජනා දිනයේදි අනෙක් අපේක්ෂකයින් කිසිවෙක් එම ප්‍රශ්නය මතු නොකරන ලද බවත් කොමිසමේ සභාපතිවරයාද ඒ ගැන කරුණු සොයා නොබලන ලද බවත් නීති ප්‍රකාරව තම රාජකාරිය ඉටු කිරීමට අවශ්‍ය පියවර ගැනීම සදහා තමන් බියට පත් කර තිබුන නිසා තමන්ට නිහඩ වීමට සිදුවූ බවත් එම මහාචාර්‍ය්වරයා සිය දිවුරුම් පෙත්සමෙන් වැඩිදුරත් කියා සිටී.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ මූලික කථාවේ එන කරුණු හොඳින් සලකා බැලූ විට පසු ගිය ජනාධිපතිවරණයේ නාම යෝජනා ක්‍රියා වලිය තුළ සැලසුම් සහගතව ක්‍රියාවට නගන ලද දැවැන්ත වංචාවක් සිදු වී තිබෙන බව තෙරුම් ගැනීම අමාරු නැත. එම වංචාව නොවේ නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණයට තරඟ කිරීමට පුලුවන් කම ලැබෙන්නේ නැත. එකම පවුලේ දෙදෙනෙකු (ගෝඨාභය හා චමල්) ඇප මුදල් තැන්පත් කිරීමෙන් පෙනෙන්නේද ගෝඨාභයට නාම යෝජනා ලබා ගැනීමට හැකි වේද යන ප්‍රශ්නය ගැන එම පවුලේ අය අතරද සැකයක් තිබුනු බවය. අවසානයේ ප්‍රශ්න කිරීමක් හෝ පරීක්ෂාවට ලක්වීමක් සිදු විය හැකි හැම තැනක්ම නිහඬ කරන හෝ අක්‍රීය කරන කිසියම් සුවිශේෂ අදෘශ්‍යමාන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී ගෝඨාභය රාජපක්ෂට බාධාවකින් තොරව ඔහුට තිබුන නොසුදුසු කම නොසළකා නාම යෝජනා ලබා ගැනීමට හැකිවී තිබෙන බව පෙනේ. මෙම ප්‍රශ්නයේදී මැතිවරණ කොමිසමේ සභාපතිගේ භූමිකාව තේරුම් ගැනීම අමාරු නැත. ලංකාව ගොඩනගා තිබුන ස්වාධීන කොමිසම් සභා ක්‍රමය ස්වාධීන පැවැත්මක් සදහා ශක්තිමත් පදනමක් නොතිබුන ඉතා දුර්වල ක්‍රමයක් බව ඒ වාහී අසාර්ථක භාවය සදහා දැක්විය හැකි නිදර්ශන අතරට අළුතෙන්ම එකතු වී තිබෙන එම නිදර්ශනයෙන්ද  තේරුම් ගත හැකිය. වැදගත් වන්නේ සමාන්‍ය කාලවලදී පෙන්වන ස්වාධීනත්වයේ තරම නොව සාමාන්‍ය නොවන කාල වලදී පෙන්වන ස්වාධීනත්වයේ තරමය. 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා නීතියේ 14(1)(අ) වගන්තිය අනුව ජනාධිපතිවරණයට නාම යෝජනා ලබා දී තිබෙන ජනාධිපති අපේක්ෂකයින්ට හෝ එම අපේක්ෂකයින්ගේ නාම යෝජනාවලට අත්සන් කරන පක්ෂ ලේකම් වරුන්ටද නාම යෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින් අතර ජනාධිපතිවරණයකට ඉදිරි පත්වීමට නුසුදුසු කෙනෙකු වන්නේ නම් එම අපේක්ෂකයාට හෝ අපේක්ෂිකාවට එරෙහිව නාම යෝජනා ලබා ගන්නා දිනයේ 9.00 සිට 12.30 දක්වා කාලය තුළ විරෝධතා ලිඛිතව මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කළහැකිය. එවැනි විරෝධයක් ඉදිරිපත් වූ විට වහාම පරීක්ෂා කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් වන අතර එහිදී එල්ලවී තිබෙන  නුසුදුසු කම පිළිබඳ චෝදනාව එම අපේක්ෂකයා පිළිගත හැකි සාක්ෂි මත බිඳ දැමීමට අසමත් වෙතොත් එම අපේක්ෂකයාගේ නාම යෝජනාව කොමිසම ප්‍රතික්ෂේප කළ යුතුය. ඉන් පසු නාම යෝජනා අහිමි වූ පුද්ගලයාට අවශ්‍ය නම් කොමිසමේ එම තීරනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යා හැකිය.

ගෝඨාභය රාජපක්ෂ නාම යෝජනා භාරදෙන විට ඇමරිකන් පුරවැසි භාවය විධිමත් ලෙස අත් හැර තිබුනේද නැද්ද යන ප්‍රශ්නය සංවාදයට ලක් නොවූ සැඟවී තිබුන ප්‍රශ්නයක් නොවීය. එය විවාදයට ලක් වෙමින් තිබූ ප්‍රකට ප්‍රශ්නයක් විය. ගෝඨාභයට එරෙහිව තරඟ කළ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම ඉදිරිපත් කරන මූලික විරෝධයක් මගින් එම ප්‍රශ්නය ඉදිරියට නොගත්තේ ඇයි? ඔවුන් දෙදෙනාම හෝ එක් අයෙක් විරෝධය පළ කරන තැනකට ගියේ නම් එය මැතිවරණ කොමිසමට පවා යටගැසිම පහසු නැති ලොකු ප්‍රශ්නයක් බවට පත් වන්නට ඉඩ තිබුණි. එම අපේක්ෂකයින් දෙදෙනාට ගෝඨාභයගේ පුරවැසි ප්‍රශ්නය විරෝධයක් පළකිරීමට බරපතල හේතුවක් ලෙස නොපෙනුනේ ඇයි? ඊට ලැබෙන වැදගත්කම නොපෙනුනු නිසාද? නැතිනම් අදෘශ්‍යමාන හස්තයක් ඔවුන් කෙරෙහි බලපෑවේද? නාම යෝජනා වලදී සැලසුම් සහගත වංචාවක් සිදුවී ඇති බව අධිකරණයට පිළිගන්නට සිදු වුවහොත් අධිකරණයට කළ හැකි දේ කුමක් ද? එය නීති විශාරදයින්ගේ සංවාදයට ලක්විය යුතු වැදගත් ප්‍රශ්නයකි.