You are currently viewing පළාත් සභා රැක ගැනීම සඳහා වූ එතෙර වෙසෙන ලාංකික සමූහය.

පළාත් සභා රැක ගැනීම සඳහා වූ එතෙර වෙසෙන ලාංකික සමූහය.

ලංකාවේ පළාත් සභා ක්‍රමය පිළිබඳ දෙමළ බස වහරන ජනතාව තුළ මේ වෙන විටත් ඉතා ප්‍රබල මතභේදයක් නිර්මාණය කොට ඇති බව අප පිළිගත යුතුය. එනම් එක් පාර්ශවයක් විසින් මෙම පළාත් සභා ක්‍රමය ප්‍රතිඵලදායක නොවන බවත් එය අහෝසි කළ යුතු බවටත් අදහස් දක්වන අතර අනෙක් පාර්ශවය විසින් පළාත් සභා ක්‍රමය තුළ අර්ථවත් කිසිවක් නොමැති බවත් එහෙත් එය  ක්‍රියාත්මක කිරීමට ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාවට බලපෑම් කළ යුතු බවටත් වන පරස්පර විරෝධී තර්කයක් ඉදිරිපත් කරති. 

කෙසේ වෙතත් ඉහත පරස්පරතාවයන් කුමක් වුවත් අද දිනයේ සැබෑ අවශ්‍යතාවය වී ඇත්තේ මෙහි කිසිවක් නැතැයි කියා ප්‍රතික්ෂේප කිරීම පසෙක ලා පවතින නීති රාමුව තුළ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කොට ඇති මෙකී පළාත් සභා ක්‍රමය උපයෝගී කරගනිමින් නිර්මාණශීලී දේශපාලන ක්‍රියාදාමයකට යොමුවන ලෙස ශ්‍රී ලංකා රජයටත් සියලු විපක්ෂ පක්ෂයන්ටත් බලපෑම් කිරීමේ හඬක් නැගීමකි.

අවුල් කිරීම ජනතාව අසරණ කිරීමක්…

දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකාව තුල පවත්නා ජනවාර්ගික ගැටළුවට මෙතෙක් ඉතිහාසය තුල අප සතුව පවත්නා එකම දේශපාලන විසඳුම වන්නේ බලය බෙදාහැරීමේ ක්‍රමවේදයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කොට දී ඇති මෙකී පළාත් සභා ආණ්ඩු ක්‍රමය වන බව අප පිලිගත යුතුය.

එමෙන්ම පසුගිය තිස්පස් වසරක් පුරා ප්‍රජාතන්ත්‍රීය මැතිවරණ ක්‍රමවේදයක් තුලින් කිසියම් හෝ ව්‍යවස්ථාපිත පාලන ආයතන ක්‍රමයක් ස්ථාපනය කොට ඇත්නම් සහ බලය විමධ්‍යගත කිරීමේ එකම මූලික හා නීත්‍යානුකූල ප්‍රායෝගික දේශපාලන විසඳුමක් අප සතුව පවතීනම් ඒ අන් කිසිවක් නොව මේකී පළාත් සභා ක්‍රමය ලෙස හැඳින්විය හැකිය. 

විවිධ ආකාර වූ දේශපාලන විසඳුම් පිළිබඳ සංවාද පවත්වමින් මේ වන විටත් අප සතුව පවත්නා  මෙකී වැදගත් මෙවලම කෙරෙහි විශ්වාසයක් ඇති කොට නොගනිමින්, මෙම ලැබී ඇති බලතල ක්‍රියාත්මක නොකිරීමට කටයුතු කිරීම තුළින් සිදුවනුයේ වසර ගනනාවක් තුල පීඩාවට ලක්ව ජීවත් වන ශ්‍රී ලාංකික  ජනතාව තව තවත් දේශපාලන වශයෙන් අඛණ්ඩව අසරණ භාවයට පත් කිරීමකි. 

ජාත්‍යන්තර මැදිහත්වීමක් තුලින්ම නිර්මාණය වී ඇති, අඩසියවසක් පුරා අඛණ්ඩව පවත්නා දේශපාලන ගැටුමට සහ දශක හතරක ඈතට දිවෙන ම්ලේච්ඡ යුද්ධයට පවත්නා එකම විසඳුම ලෙස පිළිගත හැකිව පවතින සහ ශ්‍රී ලංකාව තුළ දැනටමත් නීතියක් බවට පත් කොට පරිපාලන ක්‍රමයක් සකස් කර ඇති මෙන්ම නිරන්තරයෙන්ම ජාත්‍යන්තර සහයෝගය ලැබෙන්නා වූ මෙකී දේශපාලන විසඳුම පසෙක ලා වෙනත් කුමන ක්‍රමවේදයක් අපේක්ෂා කරන්නේද යන්න අප අවධාරණයට ගත යුතුය. එසේම ජාත්‍යන්තරය විසින් බලපෑම් කළ හැකි වන්නා වූ මෙයට වඩා සුදුසු වෙනත් විසඳුමක් ලබා ගැනීමේ අවස්ථාවන් උදා විය නොහැකි බව අප සිත් තබාගත යුතුය.

එමෙන්ම මෙකී පළාත් සභා පාලන ක්‍රමය යටතේ ඒකී බලතල වඩාත් නිවැරදිව හා ස්වාධීනව ක්‍රියාත්මක වූ නැගෙනහිර පළාත් සභාව සහ ජනගහන‌යෙන් වැඩි පිරිසක් දෙමළ බස කථා කරන මධ්‍යම කඳුකර පළාත් සභාව ද මනාව ක්‍රියාත්මක වූ බව නොරහසකි. මෙකී පාලන ක්‍රමය තුල එකී පළාත්හී ජනතාව තම ජීවන ක්‍රමයට අවැසි සියල්ල සඳහා මධ්‍යම රජය මත යැපීම වෙනුවට තමන්ගේ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය සහ යම් යම් සංවර්ධන ව්‍යාපෘතීන් පළාත් සභා ක්‍රමය තුලින් ක්‍රියාත්මක කරවා ගත් බවට ද අපට ප්‍රමාණවත් උදාහරණ ඇත. 

එසේම සිංහල ජනතාව බහුතරයක් වෙසෙන පළාත් සභා පවා ඉතා අර්ථවත් ආකාරයෙන් මෙම බලතල භාවිතා කළ අතර එම පළාත් සභාවල ක්‍රියාත්මක වන බලතල මධ්‍යම රජය විසින් කප්පාදු කිරීමට කටයුතු කළ අවස්ථාවල ඊට විරුද්ධව නැගී සිට හඬනගා තම පළාත් සභා සතු බලතල රැක ගැනීමට කටයුතු කළ අවස්ථා ද දක්නට ඇත. 

අනෙක් පසින් මෙකී පළාත් සභා ක්‍රමය ලංකා දේශපාලන ව්‍යුහය තුල නිර්මාණය කිරීමට ගනු ලබන උත්සාහය තරම්ම වූ උත්සාහයක් මෙකී දේශපාලන ක්‍රමවේදය  උතුරු නැගෙනහිර පළාත් සභාව තුල  ක්‍රියාත්මක කිරීමට එරෙහිව ක්‍රියාත්මක වී ඇති බවද අප හඳුනා ගත යුතුය.

උතුරු නැගෙනහිර ජනතාවට එනම් නිශ්චිතවම උතුරු පළාතට එකී බලතල වල  සම්පූර්ණ ප්‍රතිඵල  නෙලාගැනීමට ඉඩ නොදෙන තත්ත්වයක් අඛණ්ඩව දක්නට ලැබිය හැකිය, එමෙන්ම පළාත් සභා සතු බලතල හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ වැරදි චිත්‍රයන් සැලසුම් සහගතවම දියත් කොට තිබීම දක්නට ලැබීම ඉතා වේදනාකාරී  තත්ත්වයකි. 

එසේ නම් පළාත් සභා ක්‍රමය ආරක්ෂා කොට ශක්තිමත් කොට වර්ධනය කොට නිර්මාණාත්මක ව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව සුළු වාර්ගිකයන් වන අප විසින් දැඩි අවධානයක් යොමු කළ යුතු කාල වකවානුවක් අද වන විට උදා වී ඇත.

*පළාත් සභා ක්‍රමයේ ඇති තවත් සාධනීය ලක්ෂණයක් වනුයේ යම් පළාතක ජනතාවට ඔවුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීම උදෙසා නව තරුණ දේශපාලන නායකයින් බිහි කර ගැනීමට එම පළාතේ ජනතාවට අවස්ථා උදා වීමය. එමෙන්ම ජාතික මට්ටම දක්වා අවශ්‍ය වන්නා වූ දක්ෂ නායකයින් නිර්මාණය කරගැනීමේ වේදිකාව ද එහිම නිර්මාණය වන බව අප අවබෝධ ගත යුතුය.

⋆ එමෙන්ම මෙම පළාත් සභා ක්‍රමය, පළාතේ දියුණුව උදෙසා ප්‍රජාතන්ත්‍රීය ක්‍රමවේදයක් මගින් නීතිරීති සම්පාදනය කොට අභ්‍යාස කිරීමටත්, පළාත් නායකයන්ට තම පළාතේ ජනයා ප්‍රදේශය තුල නීතිරීති සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට සෘජුව දායක කරගැනීමටත් අවස්ථා උදාවනු ඇත. එමෙන්ම පළාතේ දියුණුව උදෙසා අවශ්‍ය වන නව බලතල තවදුරටත් ලබා ගැනීම සහ තවදුරටත් ඒ සඳහා බලපෑම් කිරීමට තෘණ මූල මට්ටමේ සිට ජනතා සහභාගිත්වයක් ලබා ගැනීමට ද හැකියාව පවත්නා ශක්තිමත් ක්‍රමවේදයකි.

* මේ සියල්ලටම වඩා පළාත් සභා ක්‍රමය මගින් බලය බෙදාහැරීමේ  ක්‍රියාවලිය සෘජුවම ක්‍රියාත්මක කිරීම උදෙසා අප විසින් පසුගිය දශක ගණනාවක් තිස්සේ සිදු කරන ලද අරගලයේ ප්‍රතිඵලයක් ලෙසත් හා කිසිවකුටත් පහසුවෙන් ඉවත් කළ නොහැකි ප්‍රබල බල යාන්ත්‍රණයක් ලෙසත් උතුරු නැගෙනහිර දමිළ ජනයාට පිළිගත හැක. එසේම මෙකී ක්‍රියාවලිය තුලින් උතුරු නැගෙනහිර ජීවත් වන සුළු වාර්ගික ජනතාවද නොබෙදුණු රටක් තුළ අර්ථවත් බලය බෙදාහැරීමකින් සමානාත්මතාවයෙන් යුතුව ජීවත් වීමට කැමති ජනකොටසක් බව බහුතර සිංහල ජනතාවට ඒත්තු යනු ඇත. 

⋆ එමෙන්ම උතුරු නැගෙනහිර පළාත් සභාවන් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම තුලින් රටේ  අනෙකුත්  පළාත් සභාවන් සමග එක්ව ඒ ඒ පළාත්හී දියුණුවට ක්‍රියා කිරීම මෙන්ම පළාත් සභා බලතල වලට එරෙහිව මධ්‍යම රජය විසින් යම් යම් සැලසුම් සකස් කරනු ලබන අවස්ථාවන්හිදී ඊට එරෙහිව සෘජුව හඬක් නැගීමට හැකි වනු ඇත.  එමගින් රටේ ජාතික අභිවෘද්ධිය වෙනුවෙන් සාමූහික ජනතා සහභාගිත්වයේ වර්ධනයක් සිදු වනු ඇත.

මෙකී කාරණා පදනම් කොට ගනිමින් ශ්‍රී ලාංකික සුළු ජන වාර්ගිකයන් නියෝජනය කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ මෙම පලාත් සභා ක්‍රමයේ ඇති වැදගත්කම අවංකවම තේරුම් ගෙන මෙම ක්‍රමවේදය කිසිදු ආකාරයකින් බිඳ දැමීමට හෝ අහෝසි කිරීමක් සිදු නොකළ යුතු බවට ශ්‍රී ලංකා රජයටත් ප්‍රධාන විපක්ෂයටත් අනෙකුත් ජාතික තලයේ සියලුම දේශපාලන පක්ෂ වලටත් බලපෑම් කළ යුතුය .

එමෙන්ම මෙම පළාත් සභාවන් හට නැවත පුනර්ජීවනය ලබාදීම සඳහා වහාම පළාත් සභා මැතිවරණය පවත්වා ඒ ඒ පළාත් සභාවන්ට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවට ශ්‍රී ලංකා රජයටත් ප්‍රධාන විපක්ෂය ඇතුළු අනෙකුත් සියලුම ජාතික තලයේ දේශපාලන පක්ෂවලටත් බලපෑම් කිරීම අද යුගයේ  අවශ්‍යතාවය වී ඇත.

එබැවින් දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පදනම් කර ගනිමින් බිහි කරන ලද පලාත් සභා ක්‍රමවේදය කෙරෙහි පූර්ණ විශ්වාසය තබා මෙම ක්‍රමවේදය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු යැයි අවංකවම විශ්වාස කරන එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන් වන අප, ලංකාවේ ජාතික දේශපාලන පක්ෂ සමග ඒකාබද්ධව හා ස්වාධීනව උතුරු, නැගෙනහිර, කඳුකර හා රටේ අනිකුත් ප්‍රදේශවල ජීවත්වන සුළු ජනවාර්ගිකයන් ගේ යහපත වෙනුවෙන් ඔවුන්ව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ එකමුතුව එකහඬින් මෙම යෝජනාව ශ්‍රී ලංකා රජයටත් ප්‍රධාන විපක්ෂයටත් අවධාරණය කොට ප්‍රකාශ කළ යුතුයැයි ඉතා ඕනෑකමින් ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු 

13 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය පදනම් කරගත් පළාත් සභා ක්‍රමවේදය ආරක්ෂා කිරීම අරමුණු කොට ගත් එතෙර වෙසෙන ලාංකික සමූහය

සම්බන්ධීකරණ කමිටුව වෙනුවෙන්;

සෙල්ලයියා මනෝරංජන් – කැනඩාව – ලංකාවේ පළාත් සභා ක්‍රමය පිළිබඳ දෙමළ බස වහරන ජනතාව තුළ මේ වෙන විටත් ඉතා ප්‍රබල මතභේදයක් නිර්මාණය කොට ඇති බව අප පිළිගත යුතුය. එනම් එක් පාර්ශවයක් විසින් මෙම පළාත් සභා ක්‍රමය ප්‍රතිඵලදායක නොවන බවත් එය අහෝසි කළ යුතු බවටත් අදහස් දක්වන අතර අනෙක් පාර්ශවය විසින් පළාත් සභා ක්‍රමය තුළ අර්ථවත් කිසිවක් නොමැති බවත් එහෙත් එය  ක්‍රියාත්මක කිරීමට ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාවට බලපෑම් කළ යුතු බවටත් වන පරස්පර විරෝධී තර්කයක් ඉදිරිපත් කරති. 

සම්බන්ධීකරණ කමිටුව වෙනුවෙන්;

සෙල්ලයියා මනෝරංජන් – කැනඩාව –  selliahy@gmail.com

පද්මප්‍රභා මහාලිංගම් – ස්විට්සර්ලන්තය – prpraba@hotmail.com

තම්බයියා  සෝතිලිංගම් – එංගලන්තය – uksothi@gmail.com

මුරුගවේල් යෝගරාජා – ප්‍රංශය -murugavelyogarajah@gmail.com

නිව්ටන් මරියනායගම් – නෝර්වේ – ndpnewton@gmail.com

නෝයෙල් නඩේසන්   – ඕස්ට්‍රේලියාව – uthayam12@gmail.com

Leave a Reply