You are currently viewing දේශපාලනයට සංස්කෘතික මුහුණුවරක්.

දේශපාලනයට සංස්කෘතික මුහුණුවරක්.

මෑතක දී සිසුවෙක් අපූරු ප්‍රශ්නයක් ඇසුවේ ය. ප්‍රගතිශීලී, වඩාත් අනාගතවාදී සහ අලු‍ත් දේශපාලන ව්‍යාපාර පසුපසට තල්ලු‍ වී පැරණි ප්‍රභූ කල්ලි සහ වැඩවසම් කණ්ඩායම් ම ඉදිරියට විත් ජයග්‍රහණය කරන්නේ කුමන සාධක නිසා ද? යනු එම ප්‍රශ්නය ය. එම ප්‍රශ්නය තව දුරටත්  පැහැදිලි කරන ලෙස මා ඉල්ලා සිටියේ එහි ඇති බරපතළකම අනෙක් අයටත් ඒත්තු ගැන්වීම සඳහා ය. සිසුවාගේ පැහැදිලි කිරීම පැහැදිලිය, සරළය. 
“අවුරුදු හැත්තෑ ගණනක් තිස්සේ බලයට පත්වුණු අති බහුතරයක් දෙනා වැඩවසම් බලවතුන් හෝ පවතින පසුගාමී සමාජ දේශපාලන ක්‍රමය ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යන පක්ෂ හෝ කණ්ඩායම් හෝ කල්ලිවල අය ය. දියුණු සමාජ දේශපාලන ක්‍රමයක් වෙනුවෙන් ඉදිරිපත්වන ව්‍යාපාරවලට ජනයා සිය ඡන්දය ලබා දී නැත. ඒ ඇයි? ” යනු ඔහුගේ පැහැදිලි කිරීම ය. ඉන් පසු ඔහුගෙන් ප්‍රශ්න කීපයක් මා ඇසුවේ මගේ පිළිතුරට ආරම්භයක් ලෙසින් ය. ‘ඔය කියන දිනන්න බැරි වුණ දියුණු ප්‍රගතිශීලී අනිත් කණ්ඩායම් ඇත්තටම දියුණු ද? ප්‍රගතිශීලී ද? ඔබ කියපු වැඩවසම් හැසිරීම්වලින් මුළුමනින් ම මිදුණු අය ද? එහෙමත් නැත්නම් ඒ අයත් අර ඔබ ප්‍රතික්ෂේප කරන කණ්ඩායම්වලම රිකිලි ද? ඊළඟ පරම්පරාවද?’ ඔහුගෙන් ලැබුණේ කෙටි එහෙත් දැඩි පිළිතුරකි. “ ඔව් ඒවා අලු‍ත්, දියුණුයි,
ප්‍රගතිශීලියි, ඔවුන් අලු‍ත් පරම්පරාවක්’ ඒ ඔහුගේ පිළිතුර ය.

බොහෝ සේ සිතිය යුතු ය. ඔහු ඇසුවේ ඇසිය යුතු ම පැනයකි. පැරදුණු අලු‍ත්
පක්ෂ හෝ කණ්ඩායම් පිළිබඳ ඔහුගේ ස්ථාවරය ඒ කෙටි පිළිතුර තුළ විය. ගියවර
‘කිවි දා දැක්ම’ ලිපිය තුළ මා මතු කළ අදහස ඔහු වෙත ඉදිරිපත් කළෙමි. එනම්
දේශපාලන ව්‍යාපාර සමාජකරණය නොවීම නැතහොත් දේශපාලන ව්‍යාපාර පුළුල් සමාජ
ව්‍යාපාර බවට පත් නොවීම එක හේතුවකි. එසේම විවිධ ලොකු කුඩා සමාජ ව්‍යාපාර
විසින් දේශපාලන ව්‍යාපාර අත්අඩංගුවට ගනු ලැබීම තවත් හේතුවකි. එහෙත් ඒ
හේතු දැක්වීම සෑහුණේ නැත. ඒ ඔහුට පමණක් නොවේ. මට ද මා දුන් පිළිතුර
ප්‍රමාණවත් වුණේ නැත.

දේශපාලන ව්‍යාපාර සමාජකරණය නොවීම හෝ සමාජ ව්‍යාපාර බවට පත් නොවීම අලු‍ත්
දේශපාලන ව්‍යාපාරවල පරාජයට හේතුව නම් පැරණි සහ නව වැඩවසම් කල්ලි සහ
ඔවුනගේ අතවැසියන් ජයග්‍රහණය කරන්නේ ඒවා සමාජ ව්‍යාපාර වීම හෝ සමාජකරණය
වීම නිසා ද යන්න මා වෙළාගත් ප්‍රශ්නයක් විය. සිදුවන්නේ කුමක් ද?

මා සිතන ආකාරයට ලංකාවේ වැඩවසම් කල්ලිවලට ජනතා කැමැත්ත ලැබෙනුයේ පහත සඳහන්
හේතු නිසා ය. එම කල්ලි පෙනීසිටින්නේ වැඩවසම් දාස අවිඥානයෙන් නො මිදුණු
බහුතරයකගේ සාමාන්‍ය වශයෙන් ඔහේ පවතින ජීවන රටාව වෙනුවෙන් ය. ඊට පක්ෂපාතී
ලෙස ය. එම ජීවන රටාව පාලක කල්ලි විසින් හිරිහැර නොකර පවත්වාගෙන යන එකකි.
සුපුරුදු සහ වෙහෙසක් නැතිව තේරුම් ගත හැකි දෙයකි. කාලයක් තිස්සේ හීලෑ
වුණු සතුන් සේ අසංස්කෘතික වූ ජන අවිඥානයට අලු‍ත් දේ රන් වුවත් නො වටී. ඒ
නිසාම ඔවුන්ට හුරු පුරුදු ප්‍රභූ ලොක්කන්ට සහ නිලමක්කාර අතවැසියන්ට ඡන්දය
දෙනවා නොව දෙවෙනවා ය. එය ලෙහෙසිය.

අමාරුවෙන් තේරුම් ගත යුතු දෙයක් එහි නැත. මේ මිනිසුන් දීර්ඝ කාලීන
අසංස්කෘතිකයන් ලෙස තබා ගැනීම සඳහා අමුතු වෙහෙසක් දැරීමට පාලකයන් වෙහෙස
විය යුතු නැත. ඒ වෙනුවට විවිධාකාර පරිවාර බල ඇණි තම ලාභ රේට්ටු ද වැඩිකර
ගනිමින් ඒ සඳහා වෙහෙස වෙති. සැමදා පැරැන්නන් ජය ගන්නේ ජන සමාජයේ
අසංස්කෘතිකකම නිසා මිස පැරණි සහ නව වැඩවසම් පුද්ගලයන් සංස්කෘතික නිසා
නොවේ ය. එහෙත් ඔවුන් පුරසාරම් දොඩනුයේ පුළුවන්නම් ‘මහලොකු බුද්ධිමතුන්,
අලු‍ත් අදහස් තියෙන අය ඡන්දයකින් දිනා පෙන්නන්න’ කියා ය. අසංස්කෘතික
බහුතරයක් සහිත ජන සමාජයක සංස්කෘතික නියෝජිතයන්ට වඩා වැඩවසම් බලවතුන්ට ඒ
ජනයා කැමතිය. එය ඒ ජනයාගේත් සමාජයකත් ඛේදවාචකය කි. අප අවධානය යොමු කළ
යුත්තේ මේ දුෂ්ට චක්‍රයෙන් ජනයා ගලවා ගන්නේ කෙසේ ද කියා මිස ඒ ජනයා ඉන්නා
තැනම තියා අපේ බල ව්‍යාපෘති ගොඩනගා ගන්නා ආකාරය නොවේ ය.

මේ හා බැඳුණු තවත් ගැටලුවක් ඇත. එනම් යල් පැන යා යුතු වැඩවසම් පීඩිත
අවිඥානයෙන් සමහර ඉදිරිගාමී යැයි සිතන සහ කියන දේශපාලන පුරෝගාමීන් පවා
ගැලවී නැත. එය ගැටලුවක් වන්නේ පුළුල් දේශපාලන-සමාජ ව්‍යාපාර ගොඩනැගීම
සඳහා අවශ්‍ය සවිඥානිකත්වයට එය බාධාවක් වන නිසා ය. පුළුල් වීමට හෝ පුළුල්
කිරීමට අවශ්‍ය  සවිඥානිකත්වය යටකරමින් පටු තත්ත්වාරෝපිත අනන්‍යතා සහිත
අවිඥාන බලවත් විය හැකිය. අප කවුරුත් ඒවායේ අණසකට යටත් නොවිය යුතු ය.

රටක සමාජ සංවර්ධනය සඳහා දේශපාලන අසංස්කෘතික භාවයෙන් ජනයා ගලවා ගැනීම
අත්‍යවශ්‍ය කොන්දේසියකි. දූෂණ, අක්‍රමිකතා, වංචා, අශීලාචාරකම්,
අසාධාරණකම්, අවභාවිතා, සොරකම්, නාස්තිකිරීම්, වෙනස්කොට සැලකීම්, නීතිය
අව-පරිහරණය යනාදී සියල්ල අසංස්කෘතික දේශපාලන සමාජ යටි පදනමක, ඊට අනුබල
ලැබෙන ජන අවිඥානයක සහ රාජ්‍ය පුරුද්දක මතුපිට ප්‍රකාශ වීම් ය. නව දේශපාලන
ව්‍යාපාර උත්සාහ ගත යුත්තේ මේ යටි පදනම අහෝසි කොට දැමීම ය. ඒ සඳහා කළ
යුත්තේ තනි තනිව විසඳුම් තමා ළඟ ඇතැයි කෑ ගැසීම නොව, තම විසඳුම් සහ ඒවා
පදනම් වන දාර්ශනික සහ විද්‍යාත්මක දැකීම් සමාජ ගත කොට ඒවා සෑම සමාජ
මට්ටමකම සංවාද සාකච්ඡා බවට පත් කිරීම ය.

හැබැයි සිදුවිය යුත්තේ එකකට වඩා තමන්ගේ එක බලවත් කිරීමට උත්සාහ කිරීම නොව
රටට අවශ්‍ය කිසිවකුටත් උල්ලංඝනය කළ නොහැකි රාජ්‍ය දර්ශනයක් සකසා ගැනීම
සඳහා එකී සංවාද උපයෝගී කර ගැනීමය. එකිනෙක වාද යල් පැනගොස් ඇතිය යන ළමා
විවාදවලින් මිදී ජනයාට නිදහස්, ගෞරවාන්විත සහ ප්‍රීතිමත් ජීවිතයක් ලබා
දීම සඳහා වන ජනරජවාදී රාජ්‍ය මූලධර්ම සහ ප්‍රතිපත්ති සකසා ගැනීම සඳහා
සම්මුතිකාමී එකඟතාවලට යෑම ය.

මේ සඳහා විය යුත්තේ කුමක්ද යන්න ‘කිවි දා දැක්ම’ ලිපි මාලාවේ වාර කීපයක
දී ම සඳහන් කළ බව ඔබට මතක ඇතැයි සිතමි. විය යුත්තේ නව ආකාරයක ජාතික
නිදහස් ව්‍යාපාරයක් ගොඩනගා ගැනීම ය. මන්ද මේ රට තවම නිදහස් නැත. රටට
නිදහස ලැබුණේ ද නැත. 1948 ලැබුණේ මෙරට ඉපදී බලවත් වූ කල්ලි සහ පවුල්
කීපයකට සමාජය මත ඕනෑම ආකාරයේ බලහත්කාරයක් බාධාවකින් තොරව යෙදවීමේ
වරප්‍රසාදය හෝ බලය පමණක් ය. රට හෝ සාමාන්‍ය ජනයා ඇතුළත් කරගත් නිදහසක්
තවම එනම් වසර හැත්තෑ ගණනක් ගිය ද ලැබී නැත. එබැවින් රටට අවශ්‍ය වනුයේ එකී
නිදහස ලබා ගැනීමේ ජාතික නිදහස් ව්‍යාපාරයකි.

ආණ්ඩු බලය ලබා ගැනීමේ ‘කන්න රැස්වීම්වලට’ වඩා බරපතළ සූදානමක් සහ ජාතික
වැඩපිළිවෙළක් ඊට අවශ්‍යය ය.  සියලු‍ දේශපාලන-සමාජ ව්‍යාපාරවල ප්‍රමුඛ
අරමුණ එය විය යුතුය. එහෙත් එය තනිවම කළ හැකි දෙයක් නොව අවංකව කළ යුතු
සාමුහික කටයුත්තකි. ඊට නම් තවමත් කවුරුත් මුල පුරා නැත. තැටිය රත් වී ඇති
විට රොටී පුළුස්සා ගන්නවා මිස රත් වූ තැටියේ දුක නිවන්නට කවුරුත්
ඉදිරිපත් වන්නේ නැත. නිදහස් මිනිසුන් ගෞරවාන්විතව සහ ප්‍රීතිමත්ව ජීවත්වන
රටක් යනු මාරුවෙන් මාරුවට එක එක කල්ලි රොටී පුළුස්සා ගන්නා තැටියක් නොවන
බව අප ජන සමාජයට කියා දිය යුතු ය.

තැටිය රත්කරපු අයම ඒ රත්වීමේ අර්බුදය කියා දී ඊට විසඳුම් තමන් ළඟ ඇතැයි
කියන පුද්ගලවාදී හෝ කල්ලිවාදී ව්‍යාපෘති සිදුකරන්නේ ද සමාජය අසංස්කෘතික
දේශපාලනයකට තල්ලු‍ කිරීම බව හෙළිදරව් කළ යුතු ය. එසේ කරමින් සමාජය
සංස්කෘතික දේශපාලනයකට ගෙන ඒම සඳහා සාමුහික ජාතික නිදහස් ව්‍යාපාරයක්
ගොඩනැගිය යුතු ය යන මතය බරපතළ ලෙස සමාජ ගත කළ යුතු ය. එවැනි ජාතික නිදහස්
ව්‍යාපාරයක් යනු වෘත්තිකයන්ගේ හෝ උගතුන්ගේ හෝ ව්‍යාපාරිකයන්ගේ හෝ ආගමික
නායකයන්ගේ හෝ එක් එක් වාද කණ්ඩායම් හෝ වාද රහිත කණ්ඩායම් හෝ පමණක් එකතු
වීමෙන් සාදන ඒවා නොවේ ය. එය ඊට එහා ගිය ඒකාබද්ධ මහා පොදුජන දේශපාලන-සමාජ
ව්‍යාපාරයක් විය යුතු ය. එහෙත් තවම ඒ සඳහා ගාන්ධි කෙනෙක් හෝ මැන්ඩෙලා
කෙනෙක් නම් මතු වී නැත.

කොළඹ විශ්වවිද්‍යාලයේ  දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන
අංශයේ
ධම්ම දිසානායක.