You are currently viewing 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ඉන්දීය සහාය ඉල්ලීම

13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ඉන්දීය සහාය ඉල්ලීම

දෙමළ ජාතික සන්ධානයේ (TNA) නායක ආර්.සම්බන්ධන් ගේ ප්‍රධානත්වයෙන් මාවෙයි සේනාධිරාජා [ඉලංගෙයි තමිල් අරසු කච්චි-ITAK] සෙල්වම් අඩයික්කලනාදන් [තමිල් ඊළාම් විමුක්ති සංවිධානය-TELO], ධර්මලිංගම් සිද්ධාර්ථන් තමිල් ඊළාම් ජනතා විමුක්ති සංවිධානය -PLOTE], සී.වී.විග්නේශ්වරන් [දෙමළ ජනතා ජාතික සන්ධානය-TPNA], සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්  [ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණ-EPRLF] සහ දෙමළ ජාතික පක්‍ෂය[TNP]  හවුලේ අත්සන් කළ එම ලිපිය අද [18] පස්වරුවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ අත පත් කරන ලද්දේ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදීය.

දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් ඉන්දීය මැදිහත්වීම ඉල්ලන එම ලිපිය භාරදී ඇත්තේ උතුරු නැගෙනහිර ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් ජනාධිපතිවරයා දෙමළ පක්ෂවල සහාය ඉල්ලමින් රාජාසන කතාව පවත්වා පැය කීපයකට පසුය.

ලංකාවේ දෙමළ ජනයා මුහුණ දෙන ගැටළු පිළිබඳව දෙමළ බස කතා කරන සියලු පාර්ශවයන් එක්ව පොදු ලියවිල්ලක් සකස් කොට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි වෙත යොමු කරන ලෙස ඉන්දියාව ඉල්ලා තිබිණි.

 ඒ අනුව දෙමළ බස කතා කරන ජනයා නියෝජනය කරමින් දෙමළ, මුස්ලිම් හා කඳුකර දෙමළ දේශපාලන පක්‍ෂ නායකයන් එක්ව සාකච්ජා වට කිහිපයකින් අනතුරුව හවුල් ලියවිල්ලක් සකස් කරනු ලැබුවද අවසානයේ ඊට අත්සන් තබා ඇත්තේ උතුර නැගෙනහිර නියෝජනය කරන දෙමළ දේශපාලන පක්‍ෂ පමණි. සෙසු පක්‍ෂ පවසා සිටියේ පිටතින් සිට ඊට සහාය ලබා දෙන බවයි.

පෙඩරල් යෝජනා ඇතුලත් වගන්ති සංශෝධනය කිරීම හේතුවෙන් මේ සම්බන්ධව මුලින්ම විරෝධය දක්වා සිටියේ ඉලංගෙයි තමිල් අරසු කච්චි වන අතර පසුව පැවති සාකච්ජා වට කිහිපයකින් අනතුරුව ගැටළු විසඳා ගෙන පොදු ලියවිල්ලට අත්සන් තැබීමට එම පක්‍ෂය එකඟවිය. පෙඩරල් හා ස්වයං නිර්ණය අයිතිය ගැන යෝජනා ඇතුලත් කිරීමත් සමග මුස්ලිම් හා කඳුකරයේ දෙමළ පක්‍ෂ ඊට අත්සන් තැබීම ප්‍රතික්ෂේව කර ඇත.

උතුරු නැගෙනහිර දෙමළ ජනයා නියෝජනය කරන තමිල් ඊළාම් විමුක්ති සංවිධානය [TELO], තමිල් ඊළාම් ජනතා විමුක්ති සංවිධානය [PLOTE] ඉලංගෙයි තමිල් අරසු කච්චි[ITAK], දෙමළ ජනතා ජාතික සන්ධානය[TPNA], ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණ[EPRLF] සහ දෙමළ ජාතික පක්‍ෂය[TNP] මෙම පොදු ලියවිල්ල සඳහා අත්සන් තැබිණි.

 මෙම ලියවිල්ල  ජනවාරි 11 වැනිදා බාර දීමට නියමිතව තිබුනද එය 18 වනදාට  කල් දැමුනේ ඉන්දීය මහ කොමසාරිස් බග්ලේ ගේ හදිසි දිල්ලි ගමන හේතුවෙනී.

 ඉන්දීය අගමැතිවරයාට යවන ලිපියට අත්සන් නොකළ කඳුකරයේ දේශපාලන පක්‍ෂ වන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ[DPF], කඳුරට ජනතා පෙරමුණ[UPF] සහ කම්කරු ජාතික සංගමය[NWU] ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, උතුරු නැගෙනහිර පක්‍ෂ වල ගමනට බාධාවක් නොවන්නා සේම, කඳුකර දෙමළ ජනතාවගේ දේශපාලන ගමනද අත් නොහරිමින් නරේන්ද්‍ර මෝඩි වෙත වෙනම ලිපියක් යොමු කරන බවය.

”ඉන්දීය අගමැතිට ලංකාවේ දෙමළ කතා කරන පක්‍ෂ සියල්ල එක්ව යොමු කරන ලිපියේ ඉන්දීය සම්භවයක් සහිත කඳුකර දෙමළ ජනයාගේ දේශපාලන අභිලාෂයන් ගැන ගැටළුවක් මතුව තිබුණා. අපේ සහභාගිත්වය උතුරු නැගෙනහිර දෙමළ බස කතා කරන පක්‍ෂ වලට බාධාවක් වී ඇති බව දැන ගත් නිසා මේ කාර්ය සඳහා පිටතින් සිට සහාය ලබා දෙන්න අපේක්‍ෂා කරනවා.”  යැයි මනෝ ගනේෂන්, වේලුසාමි රාධාක්‍රිෂ්ණන් හා පලනි දිගම්බරම් පක්‍ෂ නායකයන් නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

ඔවුහු පවසන්නේ මෙම වැඩපිළිවෙල ලංකාවේ දෙමළ මුස්ලිම් ජනයා නියෝජනය වන පරිදි දෙමළ බස කතා කරන සමස්ත ජනයා නමින් ආරම්භ කළ  සෙල්වම් අදික්කලෙනාදන් සහ ධර්මලිංගම් සිද්ධාර්තන් පක්‍ෂ නායකයන්  දෙදෙනාට ස්තුතිය පළ කරමින්, සියලු දෙනාටම එක්ව එක ලියවිල්ලක් සකස් කරන්නට නොහැකි වීම හා කඳුකරයේ ජනතාවගේ අභිලාෂයන් එම ලියවිල්ලට ඇතුල් නොවීම ගැන කනගාටුවන බවය.

 පෙඩරල් විසදුම්, ස්වයං නිර්ණය අයිතිය වැනි කරුණු හේතුවෙන් ඉන්දීය අගමැතිවරයා වෙත යවන පොදු ලියවිල්ලට කඳුකරයේ හා මුස්ලිම් පක්‍ෂ අත්සන් නොකළ ද  දෙමළ බස කතා කරන ජනයාගේ අයිතීන් දිනා ගන්නා සටනේ දිගටම ඉන්නා බව කඳුරට ජනතා පෙරමුණේ [UPF] නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුසාමි රාධාක්‍රිෂ්ණන්  නුවරඑළියේදී මාධ්‍යවේදීන් හමුවී ප්‍රකාශ කර තිබිණි.

දෙමළ බස කතා කරන ජනයාගේ  ගැටළුවලට විසදුම් සෙවීමේ පක්‍ෂ නායක සාකච්ජා වන්ට ආරම්භයේ සිටම උද්යෝගිමත් දායකත්වයක් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් [SLMC] නායක රවුෆ් හකීම් සිය පක්ෂයේ අභ්‍යන්තරයෙන් එල්ලවූ විරෝධය හමුවේ අවසන් ලියවිල්ලට අත්සන් තබා නොමැත.  

හකීම් පවසන්නේ හවුල් ලියවිල්ලට තමන් අත්සන් නොකළ ද  දෙමළ බස කතා කරන ජනතාවගේ ගැටළු වලට විසදුම් සෙවීමේ සාකච්ජාවේ දිගටම රැඳී සිටින බවයි.

ඉන්දු ලංකා ගිවිසුම මගින් ක්‍රියාත්මක කෙරෙන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා උතුරු නැගෙනහිර දෙපළාත් ඒකාබද්ධ කිරීමට එරෙහි වූ සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ [ACMC] උත්තරීතර මණ්ඩලය මෙම ලියවිල්ල ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය දැඩි ලෙස විවේචනය කරන දෙමළ ජාතික ජනතා පෙරමුණ [TNPF] චෝදනා කරන්නේ, දෙමළ ජාතික සන්ධානය සංශෝධනයට සහාය දැක්වීම මගින් දෙමළ ජනයාගේ අනුප්‍රාප්තික ජනවරමට පටහැනිව ක්‍රියා කරන බවයි.

 දෙමළ ජනයා විසින් ආරම්භයේදීම පළාත් සභා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් එය වර්ජනය කරනු ලැබුවේ දෙමළ ජාතියේ දේශපාලන අභිලාෂයන් සහ ස්වයං නිර්ණය අයිතිය ඒ මගින් නොසලකා හැර තිබු බැවින් යැයි  TNPF නිකුත් කළ නිවේදනය මගින් පෙන්වා දෙයි.

 නිවේදනයේ දැක්වෙන්නේ 13 වැනි සංශෝධනය යටතේ පළාත් සභා නිර්මාණය කර ඒකාබද්ධ උතුරු නැගෙනහිරට පොලිස් හා ඉඩම් බලතල ලබා දීමට වූ  පොරොන්දුව ඉටු කරන මෙන්, දෙමළ දේශපාලඥයන් හා ඉන්දීය රජය යළි යළිත් ඉල්ලා සිටිය ද, ශ්‍රී ලංකාව සිය ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ බවයි.

Leave a Reply