You are currently viewing බන්ධනාගාරගත බහුතරය සැකකරුවන්

බන්ධනාගාරගත බහුතරය සැකකරුවන්

බන්ධනාගාරගත බහුතරය සැකකරුවන් වන අතර, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ජාත්‍යන්තර සම්මතයන් අනුව ඔවුන් අධිකරණ ක්‍රියාදාමයකින් වරදකරුවන් වන තෙක් නිර්දෝෂී බවට පූර්ව නිගමනය කළ යුතුය. බොහෝ සැකකරුවන් බන්ධනාගාරගත කොට ඇත්තේ රිමාන්ඩ් භාරයට පත්කිරීම සාමාන්‍යකරණය වී, ඇප ලබාදීම ව්‍යතිරේකය වූ තත්ත්වයක වීමත්, ඇප ප්‍රදානය කළ විට ඊට සරිලන ඇප තැබීම සඳහා හැකියාවක් නොමැති වීමත් නිසාය. තවත් බොහෝ අය බන්ධනාගාරගත වී ඇත්තේ සුළු අපරාධ සඳහා නියම වූ දඩමුදල් ගෙවීමට නොහැකියාව නිසාය.

දීර්ඝ කාලීන බන්ධනාගාරගත වීම් සඳහා තවත් හේතුවක් වන්නේ නඩුවිභාග ආරම්භ කිරීම සඳහා සහ අවසන් කිරීම අතරතුර වසර ගණනක් ගතවීමයි. මෑතක පළ වූ මාධ්‍ය වාර්තාවලින් සඳහන් කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්තඩංගුවට පත් සැකකරුවෙකු වසර 15ක් පුරා බන්ධනාගායේ රඳවා තබාගැනීමෙන් පසු, දින කිහිපයකට පෙර නිදොස් කොට නිදහස් කළ බවකි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්තඩංගුවට පත් රැඳවියන් වසර ගණනක් රඳවා තබාගැනීමෙන් පසු නිදහස් කිරීම හෝ නිදොස් කොට නිදහස් කළ අවස්ථාවලින් රැසකින් මේ එකක් පමණි. එමෙන්ම, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හෝ මරණ දඬුවම ලබාදෙමින් වඩාත් බරපතළ අපරාධ සඳහා වරදකරු කළ පුද්ගලයන් ද සිටින බව අමතක නොකළ යුතුය.

සිදුකළ හෝ සිදුකළ බවට චෝදනා නගා ඇති අපරාධ සඳහා එම චුදිතයන්ගේ හෝ සැකකරුවන්ගේ දරුවන්, දෙමව්පියන් සහ පවුලේ අනෙකුත් සාමාජිකයන් දණ්ඩනයට ලක්නොවිය යුතු නමුත්, ඔවුහු ද අවසානයේ එම අපරාධ හෝ චෝදනාවල වින්දිතයන් බවට පත්වෙති. යම් පුද්ගලයෙකු සිරකරුවෙකු වී ඇති කාරණය කුමක් වුවත්, පවුලේ සාමාජිකයන් බොහෝ අභියෝගවලට මුහුණපාති. මිනිත්තු කිහිපයක හමුවීමක් සඳහා දුරබැහැර ගමන් යාමට සිදුවීමත්, බොහෝ බන්ධනාගාරවල සිරකරුවන් හා ඔවුන්ගේ පවුල් අතර හමුවීම් මානුෂීය ලෙස සිදුකිරීමට ද අවසර ලැබෙන පරිදි නිසි විධිවිධාන යොදා නොමැති හේතුවෙන් සිරකරුවන් මුණගැසීමට යාම යනු අතිශය දුෂ්කර ක්‍රියාවකි.

පවුලේ සාමාජිකයන් හමුවීම ද කොවිඩ්-19 නිසා අවලංගු හෝ සීමිත කරන ලදි. විශේෂයෙන්ම බන්ධනාගාර තුළ කොවිඩ්-19 පැතිරීම, පසුගිය සතියේ බදුල්ල බන්ධනාගාරය තුළ සිදු වූ පහරදීම සහ 2020 වසරේ මහර දී හා 2012 වසරේ වැලිකඩ දී සිදු වූ මිනීමැරුම් ආදි අර්බුදකාරී කාලවල දී සිරභාරයේ සිටින තම පවුලේ සාමාජිකයන්ගේ තත්ත්වය කෙබඳුදැයි දැනගැනීම සඳහා ඒ පවුල් නොඉවසිල්ලෙන් සිටිති. බොහෝ සිරකරුවන් ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ආදායම් උපයන්නන් වූ අතර, හදිසියෙන් තම පවුලේ ආදායම් උදෙසා වෙනත් ක්‍රමවලට යොමුවීමට එකී පවුල්වලට සිදු වේ. පවුලෙන් වෙන් වීම මානසික හෝ චිත්තවේගාත්මක අසහනයට ද මඟපාදයි. සමාජයෙන් එල්ල වන අපවාද, විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය සහ ත්‍රස්තවාදය සම්බන්ධ චෝදනා සඳහා සිරගත කළ අය මෙන්ම ඔවුන් ජනවාර්ගික හා ආගමික සුළුතරය වන විට, එල්ල වන සමාජීය අපවාද එම පවුල් කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරයි. වයෝවෘද්ධ දෙමව්පියෝ හා දරුවෝ බරපතළ ලෙස මින් අසහනයට, අපහසුවට පත් වෙති. බන්ධනාගාරගත අයගෙන් බහුතරය පුරුෂයන් වන බැවින්, ලිංගික හිරිහැර කිරීම් ඇතුළුව බොහෝ අභියෝගවලට මුහුණපෑමට කාන්තාවන්ට සිදු වේ.

2021 දෙසැම්බර් 6 වැනි දින,  SC FR9/2011 උපුටා දක්වමින්SC FR 531/2012 දරන නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරන ලද්දේ සැකකරුවෙකු වෙනුවට ඔහුගේ/ඇයගේ බිරිඳ හෝ සැමියා හෝ පවුලේ සාමාජිකයෙකු හෝ වෙනත් ඥාතියෙකු අත්අඩංගුවට ගැනීම හා රඳවා තබාගැනීම යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කොට ඇති අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත්, එවැනි ක්‍රියා හෙළාදැක, අධෛර්යමත් කළ යුතු බවත් ය. යම් පුද්ගලයෙකු විසින් සිදුකරන්නට ඇති හෝ සිදුකළ බවට සැක කෙරෙන ඕනෑම අපරාධයක් වෙනුවෙන් ඔහුගේ/ඇයගේ පවුලේ සාමාජිකයන් වගකිවයුතු හෝ දඬුවම් ලැබිය නොයුතු බවට වූ පුළුල් මූලධර්මය මින් විදහා දැක්වේ. අගය කිරීමක් ලැබීම සඳහා සුදුසු යැයි තෝරාගත් පුද්ගලයන්ට එම අවස්ථාව අහිමි කරන්නේ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් විසින් යම් අපරාධ කළ බැවින් හෝ එසේ කළ බවට චෝදනා නගා ඇති නිසා නම්, එය එකී මූලධර්මය කඩකිරීමක් බව පැහැදිලිව පෙනී යයි.

මානව හිමිකම් දිනය සැමරීම සඳහා වූ උත්සවයක් සංවිධානය කිරීම යනු අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය මඟින් තහවුරු කළ අදහස් ප්‍රකාශනයේ සහ රැස්වීමේ නිදහස ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමකි. එවැනි සමාජීය වශයෙන් වැදගත් සහ යුක්තිසහගත උත්සවයකට එරෙහිව යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් අනීතික ක්‍රම හරහා බාධා කිරීමට සැලසුම් කරන්නේ නම්, එවැනි බාධා වළක්වමින්, එසේ බාධා කරන හෝ බාධා ඇති කළ හැකි පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමත්, අදාළ උත්සවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා සුදුසු ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමත් පොලීසියේ වගකීමක් වේ.

Leave a Reply