You are currently viewing සහන මත යැපෙන ප්‍රජාවක් බිහි නොකළ යුතුයි

සහන මත යැපෙන ප්‍රජාවක් බිහි නොකළ යුතුයි

ආර්ථික ප්‍රශ්නවලින් මිරිකී සිටින රටට සහන පැකේජයක් ආණ්ඩුව ප්‍රකාශයට පත් කර තිබේ. රජයේ සේවකයන්, විශ්‍රාමිකයන්, සමෘද්ධිලාභීන් සහ යුද්ධයේ දී ජීවිත පරිත්‍යාගයෙන් කැපකිරීම් කළ ආරක්ෂක අංශ එයින් ආවරණය කෙරේ.

වතුකරයේ ජනතාවට ද තිරිඟු පිටි සඳහා වෙනම සහනයක් සපයා ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඖෂධ සඳහා අය කරන බදු සම්පූර්ණයෙන් ඉවත්කොට තිබේ. ජීවන වියදම ප්‍රශ්නයක් වී ඇති අවස්ථාවක සහ කොවිඩ් අවදානම මැද ආදායම පිරිහී ඇති ජන කොටසකට අවශ්‍යම කරන උපකාර සැලසීම අගය කළ යුතුය.

සහන ලැබුණ පිරිස මහත් උද්දාමයකට පත්ව ඇති බව සැකයක් නැත. බඩු මිල හා ඉන්ධන මිල ගණන් ඉහළ යෑම ගැන තිබුණ කනස්සල්ල තාවකාලිකව යටපත් විය හැකිය. සහනය සමග මතුවන අනෙක් පැත්තක් ද තිබේ. මෙම සහන දෙන්නේ කෙසේද? ජාතික ආදායම දුර්වල වී ඇති අවස්ථාවක ප්‍රකාශයට පත් කරන සහන සඳහා වහාම මුදල් උපයා ගැනීමට භාණ්ඩාගාරයට සිදු වේ.

ආදායම ඉක්මනින් නංවා ගැනීමේ දී බදු වැඩි කිරීම හැර අනෙක් ප්‍රතිකර්මයක් නැත. ඍජු හා වක්‍ර බදු සශෝධනය කරන්නට සිදුවෙයි. මෙම බදු ගෙවන්නට සිදුවෙන්නේ ද දුක් විඳින පොදු ජනතාවටය. බදු ප්‍රතිශත නැවත වටයකින් නංවන අවදානමක් ඇති පසුබිම තුළ එදිනෙදා ජීවිතයේ බර ඉසිලිය නොහැකි ආකාරයකට තවත් වැඩි කරන අවකාශයක් නිර්මාණය වනු ඇති බව සඳහන් කළ යුතුව තිබේ.

සහනවලට වැය කරන ධනයෙන් උද්ධමනයක් ඇති වෙයි. එයට මුහුණ දෙන පරිදි හැදෙන ආර්ථිකය මැද පන්තිය හා දුගී දුප්පත් ජන කොටස තවත් අර්බුදයකට තල්ලු කරන අවදානමක් ඇත. ඉදිරි මාස කිහිපය තුළ එහි ප්‍රතිවිපාක දැනෙන්නට බැරි නැත. ප්‍රපාතයකින් තවත් පහළට වැටෙන්නට පෙර එයින් ගැලවෙන මගක් සොයාගැනීම අවශ්‍යය. ජනප්‍රිය තීන්දුවලින් ක්ෂණික වාසි ලැබිය හැකිය. ආර්ථික වර්ධනය අරමුණු කරගෙන තද තීරණ නොගතහොත් ඇතිවිය හැකි දරුණු ප්‍රතිවිපාක ද අපේක්ෂා කළ යුතුය.

රජයේ ආර්ථික වැඩපිළිවෙළ අසීරු තැනක බව මෙහි දී අමතක කළ යුතු නැත. අභ්‍යන්තර හා බාහිර වශයෙන් බරපතළ පීඩන දෙකකට මැදි වී සිටී. රජයේ ආදායම පිරිහී ඇත. 2022 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය එයට සාක්ෂියකි. සංවර්ධන වැඩ කටයුතු සීමා කරන ලද අතර රජයේ ගොඩනැගිලි ඉදිකිරීම් පවා අත්හිටුවීය. රජයේ රැකියා සැපයීම සීමා කර තිබේ. විදේශ විනිමය හිඟය බාහිර වශයෙන් එල්ල වූ පීඩනයකි.

විදේශ සංචිත ගැන අවධානය යොමු කරන්නට සිදුවී තිබේ. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමේ දී පවා විනිමය හිඟ බව වාර්තා වෙයි. රාජ්‍ය ආදායම අඩු, විදේශ විනිමය සංචිත සීමා වී ඇති අවස්ථාවක ප්‍රකාශයට පත්කර ඇති සහන 2022 වසරේ සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි තියුණු බලපෑමක් එල්ල කරනු ඇත.

පවතින විෂම රාමුවෙන් ගැලවෙන්නට අලුත් පියවර අවශ්‍යය. බදු වැඩි නොකර රාජ්‍ය ආදායම නංවාගත යුතුව තිබේ. රටට විශාල අවස්ථා නැත. විදේශ විනිමය සංචිත තර කරගත යුතුය. මෙකී වෙනස්කම් සඳහා අනුබලයක් ලෝකයේ වෙනත් රටකින් ලැබෙන්නේ නැත. සෑම රටක්ම කොවිඩ් වසංගතයේ ග්‍රහණයට හසු වී තිබේ. මහන්සියෙන් වැඩ කරන්නට සිදුවේ. නිෂ්පාදනය නැංවිය යුතුය.

මානව සම්පත නිසි සේ උපයෝගී කරගැනීමට සිදුවේ. ඉඩම්, සාගර සම්පත්, බලශක්තිය වැනි පැති කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය. නිෂ්පාදනය වැඩි කරන අතර ඒවා ලෝක වෙළඳපොළට අපනයනය කළ හැකි ක්‍රම ගැන යුහුසුළු වීම වැදගත්ය.

සහන ලබාදෙන අතර සහන සඳහා අවශ්‍ය ධනය උත්පාදනය කරගැනීම ආණ්ඩුවේ වගකීමකි. ආදායම උත්පාදනය නොකළහොත් ණය බර තවත් උත්සන්න විය හැකිය. ඉදිරියේ දී තවත් ප්‍රශ්න ඇති කරනු ඇත. ණය ගෙවා ගැනීම පවා පහසු නැති අවධියක සිටින අප එවැනි පැති ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය.

ආර්ථිකය එක පැත්තකට දෙන විසඳුම අනෙක් පැත්තකින් අනපේක්ෂිත ප්‍රතිඵල අත්පත් කරන අතර එහි ප්‍රතිවිපාක ඉතාම අහිතකර විය හැකිය. අසීරු අවස්ථාවක ආර්ථිකයක් පාලනය කිරීම පහසු නැත. වියදම අඩු කරගත යුතු අතර වහාම කළ හැකි ප්‍රතිසංස්කරණවලට යා යුතුය. එවැනි ක්‍රියාමාර්ගයකින් බැහැරව ගන්නා තීරණවල අවදානමක් තිබේ….

ලෝක ආර්ථිකයම මේ වෙන විට අර්බුදයකට මුහුණ පා තිබේ. එය ලංකාවට පමණක් අනන්‍ය වූ අර්බුදයක් නොවේ. අන්තර්ජාතික වෙළෙඳපොළ මත ඉහළ බැඳියාවක් සහිත ආර්ථිකයක් ලංකාවේ පවතින අතර මහා පරිමාණ ආර්ථික සහිත රාජ්‍යවලට සාපේක්ෂව අපට ඇත්තේ කුඩා ප්‍රමාණයේ ආර්ථිකයකි. එවැනි කුඩා ආර්ථික විෂයයෙහි කොවිඩ් වසංගතයත් සමග නිර්මාණය වූ සුවිශේෂ තත්ත්වය මගින් දැඩි බලපෑමක් එල්ල වූ අතර එම තත්ත්වය ලංකා ආර්ථිකය කෙරෙන් ද දැකගන්නට ලැබිණි. 

මෙරට ආර්ථික අර්බුදය තීව්‍ර වූයේ කොවිඩ් වසංගතයත් සමග අපේ විදේශ විනිමය ආදායම් මාර්ගවල ඇති වූ අවහිරතා නිසාය. ඒ අනුව විදෙස්ගත රැකියාවල නියුතු වූවන්ගෙන් ලැබෙන ප්‍රේෂණ අඩු විය. සංචාරක කර්මාන්තය ද බිඳ වැටිණි. එසේම ශ්‍රම වෙළෙඳ පොළේ ඉපැයීම් ද විශාල වශයෙන් අඩු විණි. දේශීය අපනයන ඉපැයුම්වල ආදායම් ද පහළ ගියේය. එම සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස අපේ විදේශීය ඉපැයීම් අඩු වූ අතර එයින් සිදූ වූයේ ලංකාව ලබාගෙන තිබූ විදේශ ණයවල වාර්ෂික ණය හා පොලී වාරික ගෙවීම අපහසු තත්ත්වයකට පත් වීමය.

අත්‍යවශ්‍ය ආනයන සිදු කිරීම ද දුෂ්කර විය. සෑම භාණ්ඩයක්ම පිටරටින් ගෙන්වන ආර්ථිකයක් ලංකාවේ ඇති නිසා එල්ල වූ බලපෑම ප්‍රබල එකක් විය. පොදුවේ සමාජයේ සෑම පාර්ශවයකටම එහි අහිතකර ප්‍රතිවිපාක අත්විඳීමට සිදු විය. බොර දියේ මාළු බෑමට අපේක්ෂාවෙන් සිටින ඇතැම් කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් අර්බුදයට පත් වූ ආර්ථිකය තවදුරටත් පිරිහිණි. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය මාස කීපයේ දී සාමාන්‍ය ජනතාවට ඉතා අහිතකර තත්ත්වයනට මුහුණ පෑමට සිදු විය. 

මේ බව අවබෝධ කරගත් පාලකයන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් අදාළ සහන පැකේජය හඳුන්වා දුන් බව මාගේ අදහසයි. ඒ අනුව ආනයනය කරන සියලුම ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු ඉවත් කිරීම, ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ට හා ආබාධිත සෙබළුන්ට රුපියල් 5000 ක විශේෂ දීමනාවක් ලබා දීම, රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ට මසකට රුපියල් 5000 ක දීමනාවක් ලබා දීම, සමෘද්ධිලාභීන්ගේ රුපියල් 3500 ක් වන මාසික දීමනාව රුපියල් 1000 කින් ඉහළ නැංවීම ආදී යෝජනා එහි අන්තර්ගත අතර ඒ සඳහා රුපියල් බිලියන 229 ක් වැය වෙන බව ද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

නිදහස ලබාගත් දා සිට අපේ රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයට අදාළ තොරතුරු පිරික්සුවහොත් වැඩි වශයෙන් සහන ලබා දී ඇති බව පැහැදිලි වෙයි. එහෙයින් මම පෞද්ගලිකව සහන ලබා දීමට විරුද්ධ වෙමි. ලබා දෙන සහන මගින් යැපෙන ප්‍රජාවක් පමණක් බිහි වී ඇති නිසාය. එම සහන ලබා දීම අත්හිටුවුවහොත් සිය අයිතිවාසිකම් වරප්‍රසාද නැති කළේ යැයි කියමින් ඔවුන් පාරට බැසීමට ඉඩ තිබේ.

එනිසා සහන මත යැපෙන ප්‍රජාවක් අප බිහි නොකළ යුතුය. අදාළ සහන ලබා ගන්නා පිරිස් නැවත ඒවා ලබා ගැනීමට අවශ්‍ය නොවන පරිදි ආර්ථික වශයෙන් සවිබල ගැන්වුණු පසු සහන ලබා දීම නතර කළ යුතුය. එහෙත් ලංකාවේ එවැන්නක් සිදු වෙන්නේ නැත. කෙසේ වෙතත් මේ අවස්ථාවේ දී ජනතාවට සහන ලබා දීම සම්බන්ධයෙන් විරුද්ධ විය නොහැකිය. මන්ද සමස්ත ආර්ථිකයේ ඇති වූ අර්බුදය හේතුවෙන් සමාජයේ සෑම තරාතිරමකම පුරවැසියන් පීඩාවට පත්ව සිටින නිසාය.

එවැනි පිරිස්වලට සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කර ගැනීම පිණිස මෙය ප්‍රබල පිටුවහලක් වෙයි. අනෙක් වැදගත් කාරණය නම් ලෝකයේම ආහාර හිඟයක් උද්ගතව ඇති පසුබිමක ලංකාව පිටරටින් ආනයනය කරන සහල් කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇති වීමට වුව ඉඩ ඇති තත්ත්වයක දේශීය නිෂ්පාදකයාට ගොවියාට සිය ගෙවතුවල අවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගා කර ගැනීමට ද මෙම සහන පැකේජයෙන් උත්තේජනයක් ලබා දී තිබීමය. ඒ හරහා ජාතික නිෂ්පාදනය වැඩි කර ගැනීමට ද පුළුවන. ආර්ථිකයේ ඇති වී තිබෙන පරිහානියෙන් ගොඩ ඒම සඳහා ලබා දුන් සහන පැකේජයක් මිස හුදු පරිභෝජනය පිණිස ලබා දුන් එකක් නොවන බව ජනතාව තේරුම්ගත යුතුය. එනිසා ඒවා උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සැවොම දායක විය යුතුය.

ශ්‍රී ලංකාව 1954 වසරේ සිටම අයවැය හිඟයක් තිබෙන රටකි. එවැනි රටක සහන ලබා දීම සිදු කළ නොහැකි දෙයකි. ජාතික නිෂ්පාදිතයෙන් ආදායමට වඩා වියදම් ප්‍රමාණය වැඩි වීම ප්‍රශ්නයකි. එහෙත් මේ සහනය ලබා දෙන්නේ ආර්ථිකය නගා සිටුවීම සඳහා බව අප තේරුම් ගත යුතුය. රාජ්‍ය සේවයේ රැකියාවල නියුතු වූවන් අධෛර්යවත් වුවහොත් රාජ්‍ය සේවය බිඳවැටීම සිදු වෙයි. රාජ්‍ය සේවකයන්ට ඔවුන්ගේ එදිනෙදා වියදම් ආවරණය කර ගැනීමට තරම් ප්‍රමාණවත් වැටුප් නොලැබෙන රාජ්‍ය සේවය අකාර්යක්ෂම වීම අපේක්ෂා කළ හැකි දෙයකි. තවද වෙනත් අයථා ක්‍රමවලින් මුදල් ඉපැයීමට ද යොමු විය හැකිය. ඔවුන්ගෙන් යැපෙන්නන්ගේ අවශ්‍යතා ඉටු කිරීම ද දුෂ්කර වෙනු ඇත. නිවෙස්වල සිටින මවුපියන්ට අවශ්‍ය ආහාර ඖෂධ ආදිය මිල දී ගැනීම ද කළ යුතුය.

එවැනි සන්දර්භයක රාජ්‍ය සේවකයන් සඳහා ජනවාරි මස සිට රුපියල් 5000 ක දීමනාවක් ලබා දීමට කර ඇති යෝජනාව හොඳය. එමගින් ඔවුන් මුහුණපාන ආර්ථික දුෂ්කරතාවලට යම් සහනයක් ලැබෙනු ඇත. එසේම මෙම සහන පැකේජයෙන් විශ්‍රාමිකයන් සඳහා ද රුපියල් 5000 ක දීමනාවක් ලබා දීමට යෝජනා කර තිබේ. එය ද අගනා යෝජනාවකි. මන්ද විශ්‍රාමිකයන්ට එවැනි දීමනාවක් ලබා දීම මගින් ඔවුන් රැක බලා ගන්නා අයට ද යම් සහනයක් ලැබෙන නිසාය. එබැවින් රාජ්‍ය සේවයට අදාළ යෝජනා ද්වයෙන්ම එහි සේවයේ නියුතු අයට හා ඔවුන්ගෙන් යැපෙන්නන්ට සහනයක් හිමි වෙයි.

පවතින විදේශ විනිමය හිඟය හමුවේ ඊට පිළියම් සෙවීමට අන්තර්ජාතික මුල්‍ය අරමුදලට යා යුතු බවට ඇතැම් අය යෝජනා කරති. එහෙත් ණය ලබා දීමේදී එම අරමුදල පනවන කොන්දේසි අතර විශ්‍රාම වැටුප් කපා හැරීම රාජ්‍ය සේවය අඩු කිරීම යනාදිය ද වෙයි. එවැනි තත්ත්වයක රටේ ජනතාව ගැන සිතමින් ලබා දී තිබෙන මෙම සහන පැකේජය ගැන අප සතුටු විය යුතුය. කුස ගැන පමණක් සිතන්නේ නැතුව රට ගොඩ ගැනීමේ යහපත් චේතනාවෙන් අදාළ සහන භූක්ති විඳීමට අපේ රටේ ජනතාව වග බලාගත යුතුය. එසේ නොකර සාම්ප්‍රදායික ලෙස කෑමට බීමට දුන් සහනාධාරයක් යැයි සිතමින් කටයුතු කළහොත් මුල සිටි අර්බුදයටම අප ගමන් ගනු ඇත.

රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම පිණිස එය ප්‍රතිව්‍යුහගත කළ යුතුය. නිදහස ලබා ගැනීමෙන් පසු ආවෘත ආර්ථිකය යටතේ එක් පරම්පරාවකුත් විවෘත ආර්ථිකය යටතේ පරම්පරා දෙකකුත් බිහි වී ඇත. අපි වසර පහෙන් පහට ආණ්ඩු වෙනස් කළෙමු. මහජන අපේක්ෂා ඉටු නොකළ ඇතැම් ආණ්ඩු දරුණු ලෙස පරාජයට පත් කළෙමු. එයින් හැඟෙන්නේ ලංකාවේ මහ ජනයාට ප්‍රබල බලයක් ඇති බවය. එහෙත් අප වෙනස් කළ යුත්තේ ආණ්ඩු නොව රාජ්‍ය තන්ත්‍රයයි. ක්‍රියාකාරීත්වයයි. රාජ්‍ය ක්‍රියාකාරීත්වය වෙනස් නොකර මේ ආර්ථික අර්බුදය ජය ගත නොහැකිය. එනිසා රාජ්‍ය ක්‍රියාකාරීත්වය වෙනස් කිරීමට නම් ප්‍රතිව්‍යුහගතකරණයකට යා යුතුය.

පොහොර ප්‍රශ්නය හේතුවෙන් වී අස්වැන්න සියයට 20 ත් 30 ත් අතර ප්‍රමාණයකින් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙ​ෙරන බවත් එයින් සිදු වෙන පාඩුව පියවීම සඳහා ගොවීන්ට වී කිලෝවකට රුපියල් 25 ක අමතර මිලක් ලබා දෙන බවත් මුදල් අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව ඉදිරියේ දී වී කිලෝවකට රුපියල් 75 ක සහතික මිලක් හිමි වනු ඇත. මේ යෝජනාව ගොවීන්ගේ පැත්තෙන් හොඳ එකක් වුවද වී මිල ඉහළ නැංවීම හේතුවෙන් සහල් මිල ඉහළ ගොස් පාරිභෝගිකයා තවත් ආර්ථිකමය වශයෙන් දුෂ්කරතාවට පත් වනු ඇති බවට යමෙකුට කිව හැකිය. මෙහිලා සඳහන් කළ යුතු වැදගත්ම දේ නම් නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීමකින් තොරව පාරිභෝගිකයා ආරක්ෂා කර ගත නොහැකි බවය. පළමුව සිදු විය යුත්තේ නිෂ්පාදන ක්‍රියාවලියයි. දෙවනුව හුවමාරුවත් තෙවනුව පරිභෝජනයත් සිදු වෙයි. පළමුවැන්න සිදු නොකර දෙවැනි හා තෙවැනි ඒවා කළ නොහැකිය. එහෙයින් නිෂ්පාදකයා සුරක්ෂිත විය යුතුය.

එහෙත් අද සිදු වී තිබෙන්නේ අතරමැදියා පමණක් සුරක්ෂිත වීමකි. නිෂ්පාදකයාත් පාරිභෝගිකයාත් ආරක්ෂා වී නොමැත. නිෂ්පාදකයා ආරක්ෂා කිරීම හරහා නිෂ්පාදනය පුළුල් වෙන අතර වෙළෙඳපොළේ ඉල්ලුම සැපයුම බලවේග අනුව පාරිභෝගිකයා ආරක්ෂා වීම ද සිදු වෙයි. එහෙත් මාෆියා අතරමැදිකරණය අපේ රටේ තිබෙන ප්‍රබල ප්‍රශ්නයකි. සෑම අංශයකම එය ක්‍රියාත්මක වෙන අතර එහි පාලනයක් ඇති නොකර මේ කිසිදෙයක් කළ නොහැකිය.

අදාළ සහන පැකේජය මගින් සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි සෑම වතුකම්කරු පවුලකටම කිලෝව රුපියල් 80 බැගින් මසකට තිරිඟු පිටි කිලෝ 15 ක් ලබා දීමට පියවර ගන්නා බව ද සඳහන්ය. ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ගෙන්වීම අවශ්‍ය වෙන්නේ නැත. මන්ද මෙරටේ භව භෝග හොඳින් වගා කළ හැකි නිසාය. එහෙත් යටත් විජිත අවධියේ පටන්ම වතු ආශ්‍රිතව ජීවත් වෙන ජනතාවට තිරිඟු පිටි ආශ්‍රිත ආහාර වර්ග පුරුදු කිරීම සිදු විය.

තේ වතුවල රැකියා කිරීමේදී ඔවුන්ට වෙනත් භව භෝග වගා කර ගැනීමට ප්‍රමාණවත් කාලයක් ඉතිරි වෙන්නේ නැත. ඔවුන්ගේ ආහාර රටාව ඇතුළත පාන්පිටිවලට ප්‍රධාන ඉල්ලුමක් නිර්මාණය වී තිබෙන්නේ ද එනිසාය. එවැනි තත්ත්වයක වතුකම්කරුවන් වෙනුවෙන් එවැනි සහනයක් ලබා දීම යෝග්‍යය. එය ඔවුන්ගේ වැටුප් ඉහළ දැමීමක් හා ජීවන තත්ත්වය උසස් කිරීමක් හා සමානය. රටේ සමස්ත ජනයාටම තිරිඟු පිටි සහන මිලට ලබා දීම වෙනුවට ඒවා වැඩි වශයෙන් පරිභෝජනයට ගන්නා ප්‍රජාවක් වෙනුවෙන් ලබා දීම වැදගත්ය.

ගෙවතු වගාකරුවන් සඳහා දිරි දීමනාවක් ලබා දීමට කර ඇති යෝජනවාද වැදගත්ය. ඒ අනුව පර්චස් 20 ට අඩු ගෙවත්තකට රුපියල් 5000 ක් ද අක්කරයට අඩු හා පර්චස් 20 ට වැඩි නම් 10000 ක් ද ලබා දීමට යෝජිතය. වෙළෙඳපොළට ගොස් එළවළු මිලට ගැනීමට මිනිස්සු පුරුදුව සිටිති. තම ගෙවත්තේ එළවළුවක් දෙකක් සිටුවා පරිභෝජනයට ගැනීමේ හුරුවක් ඔවුන්ට නැත. යෝජනා කර ඇති දිරි දීමනාව විශාල මුදලක් නොවූවද ගෙවතු මට්ටමින් එළවළු වගාව සඳහා නිවැසියන් යොමු කරවීමේ අරමුණින් ඉදිරිපත් කර ඇති බව පැහැදිලිය. ඒ සඳහා ජනතාවට යොමු විය හැකි නම් එළවළුවලින් ස්වයංපෝෂිත විය හැකිය.

චීනයේ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 53 ක් රැඳෙන්නේ කුඩා ව්‍යාපාර මතය. අප රටේ ද කුඩා ව්‍යාපාරිකයන් හා නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමට දිරි දීමනා ලබා දීම වැදගත්ය. ඇතැම් ප්‍රදේශවල අක්කරයට අඩු ඉඩම් ගොවිතැනින් තොරව කැලෑවට ගොස් ඇති දසුන් සුලභය. වෙළෙඳපොළේ ආහාර මිල ඉහළ යන විට වගා කළ හැකි ආහාර වගා කර පරිභෝජනයට ගත යුතුය යන චින්තනයට මිනිස්සු පිවිසෙති. භූමියෙන් ඈත් වූ ගොවි ප්‍රජාව නැවත ඊට ගෙන ඒම පිණිස ඉදිරිපත් කළ වැදගත් යෝජනාවක් හැටියට මම මෙය අගය කරමි.

අපට මෙතෙක් ශ්‍රී ලාංකික අනන්‍යතාව ගොඩනගා ගැනීමට නොහැකි වී ඇත. ඒ වෙනුවට ආගමික වාර්ගික සහ ජාතිකමය වශයෙන් ඛණ්ඩනය වී තිබේ. වැදගත් වෙන්නේ සියලු භේද පසෙකලා සැවොම එකතු වී රට ගොඩ ගැනීමය. බොර දියේ මාළු බෑමේ තියරිය අමතක කර රට ගැන සිතිය යුතුය. විවේචනය කිරීමට හා අයිතීන් ඉල්ලා උද්ඝෝෂණය කිරීම පහසුය. ගුරු වර්ජනය වැරැදි බව මා නොකියන නමුත් ඉල්ලීම් දිනා ගැනීම පිණිස දැරූ උත්සාහය ළමයින්ට ඉගැන්වීම සඳහා නොයෙදවන්නේ මන්ද යන්න ප්‍රශ්න සහගතය.

ගුරුවරුන් සිය වෘත්තිය නිසි පරිදි කරන්නේ නම් පාසල් දරුවන් අමතර පන්ති යෑමට අවශ්‍ය නැත. ගුරු වෘත්තිය මතු නොව රාජ්‍ය සේවයේ බොහෝ අංශ තමන්ගේ වගකීම නිසි පරිදි ඉටු කරන බවක් දිස් වෙන්නේ නැත. මේ තත්ත්වයේ වෙනසක් ඇති කරන්නට නම් චින්තන විප්ලවයක් රටට අවශ්‍යය. සිදු විය යුතු සැබෑ ප්‍රතිව්‍යුහගත කරණය නම් එයයි. මේ ආකාරයේ සහන පැකේජ ලබා දීමෙන් පමණක් අපේ රට ගොඩගත නොහැකිය. ඒ සඳහා ශක්තිමත් ජාතික මානසිකත්වයක් ඇති කළ යුතුය. එය කිරීමට නම් කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණයකට යා යුතුය.