You are currently viewing අයි.එම්.එෆ් – සහන මල්ල සහ ආර්ථික පීඩනය.

අයි.එම්.එෆ් – සහන මල්ල සහ ආර්ථික පීඩනය.

ඇමරිකාවේ සංචාරය කර නැවත ලංකාවට පැමිණි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහන මල්ලක් ලබාදෙන බව නිවේදනය කළේය.ඒ අනුව ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් බිලියන 229 ක සහන පැකේජයක් ලබා  දෙන බවයි

ඒ අනුව ජනවාරි මාසයේ සිට සියලුම රාජ්‍ය සේවකයින්ට රුපියල් පන්දහසක දීමනාවක් හිමිවේ. මෙම දීමනාව විශ‍්‍රාමිකයින්ට සහ ආබාධිත රණවිරුවන්ට ලබාදෙන බවද බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා සදහන් කළේය. ගුරු හා විදුහල්පතිවරුන්ටද මෙම දීමනාව හිමිවේ.

පුද්ගලික අංශයේ හාම්පුතුන් කැදවා පුද්ගලික අංශයටද අතිරේක මුදලක් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවද මුදල් ඇමැතිවරයා පැවසුවේය.

මීට අමතරව සමෘද්ධිලාභීන්ට රුපියල් දහසක දීමනාවක් හිමිවේ. මීට සමගාමීව අනෙකුත් දීමනා ලබන අය සදහාද රුපියල් දහසක දීමනාව හිමිවේ.

පොහොර ගැටලුව නිසා අස්වැන්න සියයට විස්සත් තිහත් අතර ප‍්‍රමාණයකින් අඩු විය හැකි බවද මේ නිසා වී ගොවියාට වී කිලෝවක් සදහා අමතර රුපියල් විසි පහක දීමනාවක් ලබාදෙන බවද ඔහු කීවේය. ඒ අනුව වී කිලෝවක මිල රුපියල් හැත්තෑ පහ දක්වා ඉහළ යයි. මෙම රුපියල් විසි පහක දීමනාව රජය විසින් ලබාදෙන සහනාධාරයක් ලෙස ලබාදෙන බවද, ඒ නිසා සහල් මිලට බලපෑමක් එල්ල නොවන බවද මුදල් ඇමැතිවරයා පැවසුවේය.

පර්චස් විස්සට අඩු ගෙවතු සදහා රුපියල් පන්දහක වගා දීමනාවක්ද, අක්කරයට අඩු පර්චස් විස්සට වැඩි ගෙවතු සදහා රුපියල් දස දහසක දීමනාවක් ලබාදෙන බවද මුදල් ඇමැතිවරයා සදහන් කළේය..

වතු කම්කරු පවුලකට මසකට කිලෝ පහලොවක් සදහා රුපියල් හතලිහක සහනාධාරයක් ලබාදෙන බවද ඔහු කීය.

සියලුම අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය හා බෙහෙත් ආනයනය සදහා බදු සියල්ල ඉවත් කරන බවද, දේශීය ගොවියා ආරක්ෂා කිරීම සදහා පමණක් විශේෂ බදු පනවන බවද මුදල් ඇමැතිවරයා සදහන් කළේය. ඒ නිසා අලුතින් කිසිදු බද්දක් පැනවීමට බලාපොරොත්තු නොවන බවද ඔහු සදහන් කළේය.

මෙම සහන අය වැය ලේඛණයට ඇතුළත් නොකළත් ජනවාරි මාසයේ සිට මෙවැනි සහනයක් ලබාදීමට සැලසුමක් තිබූ බවද, නිවැරදි කාලය බලා මෙය ලබාදුන් බවද වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ සදහන් කළේය.

රට තුළ පවතින අසීමිත ආර්ථික පීඩනය අවම කර, ජනතාවට ආර්ථිකමය නිදහසක් සාක්ෂාත් කර ගැනීම අරමුණු කර ගනිමිනුයි රජය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.මේ දිනවල රටේ සියලුම ක්ෂේත්‍රවල අත්‍යවශ්‍ය ආහාර මෙන්ම භාණ්ඩවල ද මිල ඉහළ යාමක් වාර්තා වූ අතර, ඇතැම් විචාරකයින් සඳහන් කළේ, එය මෙරට තුළ සිදු වූ ප්‍රථම සහ විශාලතම භාණ්ඩ මිල ඉහළ යාමක් බවයි.

මේ පිළිබඳව විවිධ අවස්ථාවලදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පක්ෂ විපක්ෂ වේදිකාවෙන් ද ජනතාව මිරිකෙන ආර්ථික ක්‍රමය පිළිබඳව අදහස් පළ වුණා.

කෙසේවෙතත් ජනතාවට සහනයක් උදාකර දීම අරමුණිනුයි, මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් තමන්ට රහසිගත වාර්තාවක් ලබාදී ඇති බවත්, එහි ඇති කරුණු හෙලිදරව් කිරීමට තමන්ට නොහැකි බවත් මුදල් ඇමැතිවරයා සදහන් කළේය.මේ අතර ලෝක බැංකුවේ කලාපීය ප‍්‍රධානියා ජනාධිපතිවරයා සහ තමන් හමුවූ බවද මුදල් ඇමැතිවරයා අනාවරණය කළේය.

මීට අමතරව ලංකාවට ආධාර ලබාදෙන ඉන්දියාව, චීනය, ඇමරිකාව සහ ජපානය වැනි රටවල් සමඟත් ලෝක බැංකුව, යුරෝපා සංගමය වැනි ආයතන සමඟත් සාකච්ඡා කිරීමට නියමිත බවද ඔහු කීය.

ඒ, ඒ රටවල් සමඟ සහ මුල්‍ය ආයතන සමඟ සාකච්ඡා කිරීමේ වගකීම කැබිනට් ඇමතිවරුන් පිරිසකට පැවරූ බවද ඔහු කීය.

එක් රටක් හෝ එක් ආයතනයක් සමඟ සාකච්ඡා කර සහන ලබාගැනීමේ වගකීම එක් ඇමතිරයකුට පැවරීමටත් සියළු වගකීම ඇමතිරුන් පිරිසකට ලබාදීමටත් කැබිනට් මණ්ඩල රැස්වීමේදී තින්දු කළ බවද බැසිල් රාජපක්‍ෂ මහතා කීය.

උකස් බැඳුම්කර මත ලබා දෙන නිවාස ණය සඳහා අයකළ හැකි උපරිම පොලී අනුපාත සම්බන්ධයෙන්, මුදල් නීති පනතේ නියෝග යටතේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නියෝගයක් නිකුත්කර තිබේ.

ඒ අනුව ණය ලබා දුන් දිනයේ සිට පළමු වසර 5 සඳහා ස්ථාවර පොලී අනුපාතිකයක් ද, ඉන් අනතුරුව පොලී අනුපාතය, මාසිකව සාමාන්‍ය බරිත ප්‍රමුඛ ණය අනුපාතයට (AWPR)පදනම් අංක 200 (Basis Points)ක අගයක් එකතු කළ පාවෙන අනුපාතිකයක් විය යුතු බවත් එම නියෝගයේ දැක්වෙයි.

එසේම එම පොලීය සෑම මාස 06කට වරක් නැවත සමාලෝචනය කෙරෙන බවත් සඳහන් වේ.

මෙම නියමයන් 2022 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙනු ඇත.