You are currently viewing පක්ෂ ප්‍රතික්ෂේප කිරීම නොව නියම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ බවට පත්කිරීම.

පක්ෂ ප්‍රතික්ෂේප කිරීම නොව නියම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ බවට පත්කිරීම.

කළ යුත්තේ පක්ෂ ප්‍රතික්ෂේප කිරීම නොව පවතින පක්ෂ නියම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ බවට පත්කිරීම.

ජනතා විමුක්ති පෙරමුණේ මේ මොහොතේ මිනුම් දඬු අනුව ජාතික ජනබලවේගයේ ජාතික සමුළුවට ආරාධනා ලැබී තිබුණේ දූෂිතයන් නොවන අයටය. මේ ලියුම්කරුට ඊට ආරාධනාවක් ලැබුණේ නැත. ඒ ගැන සිතේ දුකක් හෝ කහටක් නැත. එහෙත් ඒ ආරාධනාව නොවුණේ මා ද දූෂිතයෙක් ලෙස මගේ පරණ තරහකාරයෙක් සම්මේලන සංවිධායකයන්ට බොරු තොරතුරක්වත් දුන් නිසා ද යන සැකයක් නම් මා තුළ පවතී. මන්ද සමුළුවේ සිටි බොහෝ ඡන්ද දායකයන් දුටු මට සිතුනේ ඒ අයට අඩුවෙන් හෝ සමාන ලෙස හෝ මා දූෂිත වී ඇතිවා මිස ඔවුන්ට වඩා වැඩියෙන් නම් එසේ වී නොමැති බව ය. එසේ නම් අප වැනි අයට ආරාධනා නො එව්වේ සමහර විට නම් ලැයිස්තු සැකසූ අය අපට වඩා අදූෂිත අය නිසා විය හැකිය. මා මිත්‍ර ලාල්කාන්ත සහෝදරයාවත් මේ ගැන දුරකතනයෙන් හෝ ඉදිරියේ දී මා දැනුවත් කරාවි යැයි  සිතමි. එසේ නොකළා ට අමනාපයක් ද නැත. ඉතින් සහෝදරවරුනි/වරියනි පළමුව මා ඔබලාට සුබ පතමි. දෙවනුව ඔබලාගේ අධි තක්සේරුව සහ හදිසි ප්‍රකාශ ගැන කනගාටු වෙමි.

ජාතික ජනබලවේගය සිය ජාතික සම්මේලනය පැවැත්වූයේ දේශපාලන පක්ෂවල එකතුවක් ලෙස නොව තනි පුද්ගලයන්ගේ ඒකරාශි වීමක් ලෙස ය. ජනතා විමුක්ති පෙරමුණ හැර එහි වෙනත් දේශපාලන පක්ෂ නියෝජනයක් දකින්නට ලැබුණේ නැත. ඊට ටික දිනකට පසු ශ්‍රීලනිප ලේකම් දයාසිරි ජයසේකරගේ ප්‍රකාශයකට ප්‍රතිචාරයක් ලෙස ජාතික ජනබලවේගයේ විජිත හේරත් ප්‍රකාශ කළේ ජාතික ජනබලවේගය දේශපාලන පක්ෂ ලෙස සන්ධානගත නොවන බවත් හැම පක්ෂයකම සිටින දූෂිතයන් නොවන අයට ඔවුන් සමඟ එක්වන ලෙසට ආරාධනා කරන බවත් ය. 

බැලූ බැල්මට මෙය ඉතා ආකර්ශනීය යෝජනාවකි. එහෙත් මේ මගින් මතුවන දේශපාලන යථාර්ථය නම් එතරම් සුබ නැත. පවතින දේශපාලන පක්ෂ සහ නායකයන් කෙරෙහි පවතින නොගැඹුරු ජනතා අප්‍රසාදය පිළිබඳ ප්‍රවේශයකින් බලනවිට නම් මේ යෝජනාව සිත් ඇද ගන්නාසුළු එකකි. එහෙත් විධිමත් දේශපාලන පක්ෂ ක්‍රමයක් රටක සමාජ ආර්ථික දේශපාලන ස්ථාවරභාවයට අවශ්‍යමය යන ස්ථාවරයේ සිට බලන විට මේ යෝජනාව අදේශපාලනික එකකි. එක අතකට ඒ නොගැඹුරු අප්‍රසාදය ජනතා විමුක්ති පෙරමුණටත් අදාළ එකකි. පශ්චාත්-නූතන ව්‍යාකූලත්වයට මුහුණ දීම සඳහා පශ්චාත්-නූතන දේශපාලනයක් ගැළපෙන්නේ, හරියන්නේ නැති බව ජාතික ජනබලවේගයේ තීන්දුතීරණ ගන්නා සහෝදරයන් සහ සහෝදරියන් තේරුම් ගෙන නැති හැඩක් පෙනේ. පශ්චාත්-නූතන දේශපාලන ව්‍යාකූලත්වය ජයගත හැක්කේ නූතන දේශපාලන සමාජ භාවිතාවකින් බව මඳක් ප්‍රමාද වී හෝ ඔවුන් තේරුම් ගනීවි යන්න මගේ විශ්වාසය ය.

අප තේරුම් ගත යුතු අත්‍යාවශ්‍ය කරුණක් වන්නේ මෙරට සමාජ දේශපාලන ආර්ථික අර්බුදයට හේතු සාධක වී ඇත්තේ දේශපාලන පක්ෂ තිබීම නොව තිබෙන ඒවා දේශපාලන පක්ෂ නොවී ම බව ය.

විශේෂයෙන් ම නිදහසින් පසු ප්‍රමුඛ දක්ෂිණාංශික පක්ෂ පවුල් අණසකට යටත් විය. වෙළඳපොළ ආර්ථිකය සහ අශීලාචාර වෙළඳාම බලවත් වූ විට ඒවා සහචර හවුල් සහ කල්ලිවල අණසකට යටත් වී ඒවායේ දඩබිම් බවට පත් විය. එසේම කලක් යනවිට පවුල් සමඟ සන්ධානගත වූ කල්ලි තමන්ගේ පාරම්පරික උරුමක්කාරකම් ලෙස දේශපාලන පක්ෂ මුළුමනින්ම  හසුරුවන්නට විය. ඒවා ඇත්තටම පක්ෂ නොව පක්ෂ නමින් ලියාපදිංචි වී ඇති නින්දගම්, වැයික්කි හෝ තිප්පොළවල් ය. සාපේක්ෂ වශයෙන් මේ ඉරණම සම්භාව්‍ය වමේ පක්ෂවලට අත් වූයේ අඩුවෙනි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඊට එක උදාහරණයකි. එහෙත් සම්භාව්‍ය වමේ පක්ෂ සිදුකරගත් බරපතළ අත්වැරැද්දක් වූයේ පක්ෂ නොවන පවුල්/කල්ලි වැයික්කි සහ තිප්පොළවල් සමඟ පක්ෂ යයි සිතාගෙන සන්ධානගත වීම ය.

රැඩිකල් වමක් වූ ජනතා විමුක්ති පෙරමුණ ද මේ අත්වැරැද්ද වරක් නොව කීප වරක් ම සිදු කරගත්තේ ය. පක්ෂ නැති තනි පුද්ගල සංධානයකට යෑමට ජවිපෙට සිතෙන්නට ඇත්තේ ඒ පැරණි අමිහිරි, කටුක සහ අපුල දනවන අත්දැකීම් නිසා විය හැකිය. එය සාධාරණ ය. එහෙත් එය නිවැරදි නැත.

දේශපාලන පක්ෂ ක්‍රමයක් යනු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහිත සමාජයක අත්‍යවශ්‍ය අංගයකි.

කොමියුනිස්ට් පාලන තන්ත්‍ර පවතින සමාජවල පවා දේශපාලන පක්ෂය තීරණාත්මක සාධකයකි. මේ සමාජ දෙකෙහි ම ආර්ථික, දේශපාලන සහ සමාජ ස්ථාවර භාවය රඳා පවතින්නේ විධිමත් සහ ශක්තිමත් දේශපාලන පක්ෂ ක්‍රමයක හෝ පක්ෂයක පැවැත්ම මත ය. ආවේගශීලී සහ පටු නොවන පරිණත තීන්දු තීරණ ගැනීමේ දී දේශපාලන පක්ෂ ව්‍යුහයක ඇති මතවාද, ප්‍රතිපත්ති, තීන්දු තීරණ ගැනීම, වගවීම සහ විනය අතිශයින් ම වැදගත් ය. එවැනි පක්ෂ සම්ප්‍රදායක් ඇති රටක පක්ෂයේ සියලු‍ ප්‍රධානින් වොයිස්කට් ප්‍රකාශකයන් බවට පත්වන්නේ නැත. පක්ෂයට ඇත්තේ එක මාධ්‍ය ප්‍රකාශකයකු පමණි. ඒ ප්‍රකාශකයා පවා දුටු තැන මයික්‍රෆෝන් අල්ලන අයට වොයිස්කට්ස් දෙන්නේ නැත. මන්ද පක්ෂයක් යනු විනයානුකූල, වගකීම් සහගත ව්‍යුහයකි.

ජනතා විමුක්ති පෙරමුණ “දූෂිත නොවූ පුද්ගලයන්” සෙවීම වනාහි කිසාගෝතමී නො මළ ගෙයකින් අබ මිටක් සෙව්වා වැනි වැඩකි. එහෙත් ඔවුන් සොයනවා ඇත්තේ රටේ ජාතික බලය, ජාතික අභිලාස, ජාතික සම්පත්, ජාතික අවකාශ තම පුද්ගලික සුඛ විහරණය සඳහා අව-භාවිතා නොකළ, විනාශ නොකළ, නාස්ති නො කළ පුද්ගලයන් විය හැකි ය. ඒ ගැන විවාදයකට නො පැටලී සිටිමි. එහෙත් සොයාගන්නා තනි පුද්ගලයන් වග කියන, ඔවුන් ප්‍රතිපත්තිමය වශයෙන් පෙනී සිටින සහ ඔවුන් මෙහෙයවන දේශපාලන සංවිධාන ව්‍යුහයක් අත්‍යාවශ්‍යය යන්න යෝජනා කරමි. මන්ද ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් නොවන නිසා ඊට බැඳීමක් හෝ වගකීමක් නැත. ඔවුන් වෙනත් පක්ෂවල සාමාජිකත්වයෙන් ඉවත් හෝ ඈත් වී එන නිසා එකී පක්ෂවල නියාමනයකුත් නැත. ඒවාට වග කියන්නේ ද නැත. ඇතැම්හු කිසිදු විධිමත් දේශපාලන ව්‍යුහයක සාමාජිකයන් නොවන හුදු ප්‍රතිචාරාත්මක දෛනික දේශපාලන කතාබස්වල යෙදෙමින් වෙන වෙන වැඩ ප්‍රධාන කොට සිටින සාමාන්‍ය ඡන්ද දායකයෝය. සමහරුන් හුදු වේදිකාවල පමණක් කථිකයෝ ය. සමහරුන් හුදු හැඟීම් සහ ආවේග අවුස්සන්නන් පමණක් ය. මෙවැන්නන් වඩාත් ගැළපෙන්නේ අරාබි වසන්තයකට හෝ දේදුනු විප්ලවවලට’ මිස වැටුණු සමාජයක් ගොඩනැගීමට හෝ ස්ථාවර සමාජ ආර්ථික ක්‍රමයක් ස්ථාපිත කිරීමකට නොවේය යන්න මගේ නොගැඹුරු අදහස ය.

ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයක, විශේෂයෙන් ම ප්‍රගතිශීලී දේශපාලන සන්ධානයක තිබිය යුතු අත්‍යවශ්‍ය මූලධර්මයක් වන්නේ දේශපාලන සහ ප්‍රතිපත්තිමය සංගතභාවය ය. එකී සංගතභාවය රැකෙනුයේ රැළිවලට සහභාගිවන සෙනඟින් නොව විධිමත් ලෙස සන්ධානගතවන දේශපාලන සංවිධාන සහ දේශපාලන නියෝජිතයන්ගේ දේශපාලන සහ ප්‍රතිපත්තිමය එකඟතා මගිනි. මට සිතෙන හැටියට ජනතා විමුක්ති පෙරමුණ මේ මඟහරින්නේ හෝ ජනතා විමුක්ති පෙරමුණට මඟහරවන්නේ මෙම අත්‍යාවශ්‍ය සාධකය ය. උපාය දන්නා අප අපායේ නො වැටිය යුතුමය. අප කටයුතු කළ යුත්තේ මුහුණ සමඟ තරහ වී නාසය කපා දමන අය ලෙස නොවේ ය. ජනතා විමුක්ති පෙරමුණට වඩා පස් ගුණයකටත් වඩා වැඩි සහ දිනෙන් දින වැඩිවන ඡන්ද පදනමක් සහිත අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය වැඩිදියුණු වන පක්ෂයක ලේකම් ලෙස දයාසිරි ජයසේකර කළ ප්‍රකාශයට ජවිපෙ ප්‍රධාන සහෝදරයන් සමහරෙකු දැක් වූ ප්‍රතිචාරය හදිසි වැඩි යැයි මට සිතෙන්නේ ඒ නිසා ය.

දේශපාලන පක්ෂක්‍රමය සහ තනි පක්ෂ පරිහානියට යාමට බලපාන ප්‍රබල සාධකයක් වන්නේ ඒවා පිළිබඳ සාමාන්‍ය ජන සමාජයේ ගෞරවය සහ විශ්වාසය බිඳවැටීමය. එසේ වන්නේ එක්කෝ පක්ෂ මතවාද, ප්‍රතිපත්ති, සහ වැඩසටහන් සමාජයේ දැවෙන අර්බුදවලට විසඳුම් දී ගත නොහී දාර්ශනික නැතහොත් අදහස් සහ වැඩසටහන් අතින් දුප්පත් වූ විට ය. හදිසි ජනප්‍රියතාවෙන් අඩු වූ විට ය. එක්කෝ කුඩා එහෙත් බල ලෝභී බලවත් කල්ලිවල ග්‍රහණයට පක්ෂ යටත් වීම නිසා ය. එක්කෝ රටක දේශපාලන සමාජ ආර්ථික අස්ථාවර භාවය ඇති කොට එකී රටවල් තම පාලනය සහ නියාමනය යටතේ පාවිච්චි කිරීමට මාන බලන බාහිර බලවේගවල උපායික ව්‍යාපෘති නිසා ය. මේ පිරිහීම තීව්‍ර වීම නිසා සිදුවන්නේ පක්ෂ ක්‍රමයෙන් භාහිර තනි පුද්ගල චරිත හෝ චරිතයක් පක්ෂවලට වඩා බලවත් වීම හෝ බලවත් කිරීම ය. ඒ නිසා සමහර පක්ෂ හුදු තනි පුද්ගල අභිලාෂ ඇති අයගේ අතකොළු හෝ සන්නාම බවට පත් වේ. එක්කෝ නොසලකා හැරීමට ලක් වේ. මේ තත්ත්වය රටක දේශපාලන සමාජයක (පොලිටියක) පැවැත්ම හාරා විනාශ කරන එකකි.

ඒ අනුව ඉතා හොඳ තනි පුද්ගල නායකයන්ට වඩා තනි පුද්ගල සන්ධානවලට වඩා ඉතා නරක දේශපාලන පක්ෂ ක්‍රමයක්, දේශපාලන පක්ෂයක්, දේශපාලන පක්ෂ සන්ධානයක් හොඳ බව මගේ වැටහීම ය. ලංකාවේ නායක කේන්ද්‍රීය හෝ නායක අධිපති පක්ෂ මිස පක්ෂ කේන්ද්‍රීය නායකත්ව බිහි නොවීම අප මුහුණ දෙන අර්බුදයට එක ප්‍රබල හේතුවක් ය. ලංකාවේ ආණ්ඩු ද නායක කේන්ද්‍රීය ඒවා ය. ආණ්ඩු හෝ පක්ෂ කේන්ද්‍රීය නායකත්ව ගොඩනැගුණේ නැත.

එබැවින් කළ යුත්තේ පක්ෂ ප්‍රතික්ෂේප කිරීම නොව ‘පවතින පක්ෂ’ නව ප්‍රතිසංස්කරණවලට ලක්කොට ඒවා නියම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ බවට පත්කිරීමේ මූලෝපා සකස් කිරීම ය. ජාතික ජන බලවේගය ආදර්ශ දෙමින් සමාජ ගත කළ යුත්තේ මේ පණිවිඩයයි යන, අදහස ය. මන්ද ඔබලා ට වඩා වැඩි ජන සංගතයක් ඔබලා සමඟ නොසිටිමින් දේශපාලන විකල්ප සොයමින් වෙහෙසෙන මොහොතකි මෙය. බොහෝ විට ඔවුන්ගෙන් ඔබලාට ද ඇරැයුම් ලැබෙනු ඇත. ඉවසීමෙන් වැඩකළ යුතු මොහොතක කලබල නොවිය යුතුම ය. ඒ සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ Poverty Alleviation; Experience and Insights of the Communist Party of China (2020)  (2020) නම් වූ පොත හෙමින් කියවමු. එවිට පක්ෂයක අරමුණු, ඉලක්ක, වැදගත්කම, ප්‍රතිපත්තිමය ස්ථාවර, විධිමත් බව සහ වගකීම් සහගත භාවය අපට පසක් වනු ඇත. රටවැසි ජනතාවට සුබ අලු‍ත් අවුරුද්දක් වේවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ

දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ,

ධම්ම දිසානායක.