You are currently viewing ගෙවුණු වසර දෙස බලන විට රටට, අපට සිදුව ඇත්තේ කුමක්ද

ගෙවුණු වසර දෙස බලන විට රටට, අපට සිදුව ඇත්තේ කුමක්ද

ගෙවුණු වසර දෙස ආපසු හැරී බලන විට අපේ රටට අපට සිදුව ඇත්තේ කුමක්ද 

වර්තමාන පාලකයන් රටට පෙන්වා දුන්නේ තම පාලනයක් තුළ රට සෞභාග්‍යයෙන් පිරි ඉතිරී ගොස් සුඛිතමුදිත රටක් නිර්මාණය වන බවයි.

නමුත් සැබැවින්ම සිදුවූයේ කුමක්ද

ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී අවසානය කරා ළඟා වෙමින් ඇත. 2007 වසරේදී අපේ රට ණය උගුලකට හසු වන වැඩපිළිවෙළක් ආරම්භ කර එහි උච්චතම තත්ත්වයට වසර 2013 දී පත් විය. 

එළඹෙන 2022 නව වසර උදාවත් සමඟ ගෙවීමට ඇති ණය වලින් සියයට 77.4 ක්ම පැවති රාජපක්ෂ පාලනය විසින් ලබාගත් ණයයි.

මේ ඇතිව තිබෙන තත්වයට වසර හැත්තෑ දෙකක් රට පාලනය කළ සියලු දෙනාට චෝදනා එල්ල කර තමන්ගේ අසාර්ථකභාවය සාමාන්‍යකරණය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය ලැජ්ජාසහගතයි. පවතින ආර්ථික අර්බුදය මහා පරිමාණ අර්බුදයක් බවට පත්ව එය දැවැන්ත කුණාටුවක් බවට පරිවර්තනය වෙමින් ඇත.

නව වසර උදාවන්නේ එවන් පසුබිමකයි.

2022 වසර තුළ ගෙවීමට ඇති සමස්ත ණය ඩොලර් මිලියන 7,000 කට අධිකයි. ජනවාරි 18 වනදා ඩොලර් මිලියන 500ක් ගෙවීමෙන් ඇරැඹෙන ණය ගෙවීම ජනවාරි මාසය තුළ පමණක් ඩොලර් මිලියන 940 අධික ප්‍රමාණයක් ගෙවිය යුතුව ඇත.

අපේ රට සතුව පවතින්නේ ඩොලර් මිලියන එක්දහස් එකසිය පනහයි

අත්‍යවශ්‍ය ඖෂධ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඛනිජතෙල් ගෑස් ඇතුළු සියලු දේ ගෙන්වීමට තඹ සතයක් ඉතිරි නොවන පසුබිමක නිදහසින් පසු ඉතිහාසයේ පළමු වතාවට අපේ රට බංකොලොත් වීමට යන බව ඉතාම පැහැදිලිය

තුන්බියෙන් ඇළලුණ විශාලා මහනුවර ගැන ඔබ අසා ඇති.ඒ ඉතිහාසයයි.

අද වන විට වසරක් ගෙවී නව වසරක් උදා වන මොහොතේ මහා සාගතයක පෙර නිමිති පහළ කරමින් සිටියි. බලාපොරොත්තු සුන්ව ගොස් ජීවිතය පවා අනාරක්ෂිත පසුබිමක සමස්ත රටේම මිනිස්සු ජීවිතය සහ මරණය අතර අරගලයක යෙදෙමින් සිටියි.

සියලූ නොහැකියාවන් ලෝක වසංගත තත්ත්වයට බැර කර ඇත.

2022 වසර උදාවන විට රටේ අනාගතය අනතුරේ මිනිසුන්ට ජීවත් වීම උදෙසා අරගල කරන්නට සිදුවන වසරක් බවට නව වසර පත්වනු නොඅනුමානය.

එවිට ජනතාව නැගී සිටිනු ඇත ඒ වැඩි ඈතක නොවේ ආණ්ඩුවට ඉතිරිවන්නේ මර්ධනය කිරීම පමණි.

 එ නිසාම මේ තීරණාත්මක මොහොතේ අපි සියලු දෙනා එකට එක් වෙමු.

මේ ජනතාව පීඩනයට ලක් කරන ප්‍රජාතන්ත්‍රවිරෝධී ආණ්ඩුවට එරෙහිව මහා ජනතා බලවේගයක් නිර්මාණය කිරීම සඳහා උපරිමයෙන් කැපවෙමු.

ගෙවීගිය 2021 වසරේ සිදු වූ සියලු අමිහිරි මතකයන් සියල්ල සිත්හි දරා ගනිමින් 2022 උදාවන වසරේ බලාපොරොත්තු සහගතව ඉදිරියට යාමට අදිටන් කරගමු.

මේ අඳුරු අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් ගොඩ ඒමට කටයුතු කරමු.

[18:29, 30/12/2021] B thushara: නව වසර සංකීර්ණ කාල පරිච්ඡේදයක ආරම්භයද?

නව වසරක් උදා වෙමින් තිබේ. එළඹෙන කාලවකවානුව ද, ඉතාම සංකීර්ණ තවත් කාල පරිච්ඡේදයක ආරම්භය විය හැකිය. ගෝලීය පැවැත්මට තර්ජනයක් එල්ලකරන ලද කොවිඩ් වසංගත තත්ත්වය තුන්වැනි අවුරුද්ද කරා ගමන් කරමින් සිටී. ගෙවුණු කාලය තුළ ඇති කරන ලද ව්‍යසනය ඉමහත්ය.යුනිසෙෆ් සංවිධානය දක්වන පරිදි වසර හැත්තෑ පහක ඉතිහාසය තුළ අනාගත පරපුර මුහුණ දුන් දරුණුම ඛේදවාචකයයි. දැනට පවතින ස්වභාවයෙන් මිදී කලින් තිබුණ තැනට එන්නට පවා වසර අටක පමණ කාලයක් ගත වනු ඇතැයි ප්‍රකාශ වෙයි.

බලයට පත් කර අවුරුද්දක් දෙකක් යන විට පත් කරන ලද ජනතාවටම ආණ්ඩුව එපා වෙන රටකි. තවත් අවුරුදු ගණනක් පවතින දුෂ්කර කාල පරිච්ඡේදය පවතින බවට කෙරෙන ප්‍රකාශ මහත් වියැවුලක් ඇති කරනු නිසැකය. අධිෂ්ඨාන සහගත යුගයක් ආරම්භ කළ යුතුව තිබේ. නැවත ගොඩනගන පියවරක් අනුගමනය කරන්නට සිදුවනු ඇත. කැපවීම අවශ්‍යය. පරිත්‍යාගය වුවමනා කෙරේ. අලුත් දර්ශනයක් ඉදිරිපත් කළ යුතුය. ජන සමාජය එකඟ කරගෙන ඉදිරියට ගමන් කිරීම ඉතාමත් අවශ්‍ය කාල පරිච්ඡේදයකට අප ඇතුළු වෙමින් සිටින බව සඳහන් කළ හැකිය.

කරුණු අධ්‍යයනය නොකර හැසිරෙන මෙරට කැබිනට් මණ්ඩලය දෙස බලන්න. ඡන්ද දායකයන් ගේ අපේක්ෂා සාක්ෂාත් කරන්නට සමත්ව තිබේද? කැබිනට් මණ්ඩලය රටක වැදගත්ම කණ්ඩායමකි. ව්‍යවස්ථාදායකයේ ඉහළම කොටසයි.  මෑත  කාලය තුළ කැබිනට් මණ්ඩල සාමාජිකයෝ සිය වගකීමකින් තොර හැසිරීම පොදුවේ පෙන්නුම් කළහ. අද එය තවත් උත්සන්න වී ඇත. අභ්‍යන්තරව තිබිය යුතු සංවාදය, බාහිර සමාජයට කාන්දු කර තිබේ. එයින් සිදුවන කලබැගෑනිය ගැන නොතැකීම අභාග්‍යයකි. ඉදිරියේ පැවැත්වෙන ඡන්දයේ මනාප එකතු කිරීම වෙනුවට සමාජ ගරුත්වය සඳහා පෙනීසිටිය යුතුය.

අප ඉගෙන ගත යුතු වැදගත් පාඩමකි. අධ්‍යාපනය, ප්‍රවාහනය, සෞඛ්‍ය හෝ බලය බෙදාහැරීම වැනි පැති ගැන කල්පනා කරන්න. විශාල සංකීර්ණ අදහස් ප්‍රමාණයක් මතු කරන නමුත් එකක් හෝ කෙරෙන්නේ නැත. ව්‍යවස්ථා හදන්නට කැපවූ ආණ්ඩු ගණනාවකි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කොපමණ සාකච්ඡා කර තිබේද? ප්‍රවාහනය ගැන අවධානය යොමු කරන්න. පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම තබා බස් රථයක ගොඩවෙන මගියකුට ප්‍රවේශ පත්‍රයක් හෝ නිකුත් කරන පිළිවෙළක් හදන්නට හෝ අසමත්ය. මේවායෙන් ඉගෙන ගත යුතු පාඩම වැදගත්ය. ඇමැතිවරුන්ට නිසි වගකීම් පැවැරීම අවශ්‍යය. අමාත්‍යංශ වලට ද ඉලක්කයක් පවරා එක රාජකාරියක් පමණක් නියමිත කාලය තුළ ඉටුකරන සේ විශේෂ කොට දැක්වීම ප්‍රමාණවත්ය.

දැවැන්ත සමාජ ප්‍රතිසංස්කරණයක් රටට අවශ්‍යය. දේශපාලන ව්‍යුහයට වඩා නිලධාරීන් අකාර්යක්ෂමය. ලෝකයේ අනෙක් රටක ස්වභාවය සලකනවිට එය පැහැදිලිව පෙනේ. රාජ්‍ය අංශයේ දක්ෂ පිරිසක් සිටින නමුත් බහුතරයක් දෙනා උදාසීනය. දේශපාලන රාමුවලට කොටුවී සිටිති. හොඳ අධ්‍යාපනයක් ලබා උසස් තනතුරකට පත් කරන්නේ පටු ආකාරයකට ක්‍රියා කරන්නට නොවේ. රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව විශාල අවාසියකි. පෞද්ගලික අංශයට වඩා ඉදිරියෙන් තිබිය යුතු රාජ්‍ය සේවයේ දුබලතා රටට ඇති කර ඇති අනතුර ඉතාම බරපතළය.

රජයේ පාලනයට යටත්ව ඇති ව්‍යවසාය පද්ධතිය ආර්ථිකයට දෙන දායකත්වයෙන් එය මැන ගත හැකිය. ඉන්දියාවේ සිංගප්පූරුවේ හෝ මැලේසියාවේ රජයට අයත් කර්මාන්ත හා ව්‍යාපාර දෙස අවධානය යොමු කරන්න. ඒවා ලෝක ප්‍රකටය. පෞද්ගලික අංශය පරාජය කර තිබේ.

නවීන තාක්ෂණය උපයෝගී කරගන්නා අතර අලුත් කළමනාකාර ක්‍රමවේද අනුමනය කරයි. ශ්‍රී ලංකාවේ ආයතනයකට අලුත් ප්‍රතිපත්ති හඳුන්වා දෙන්නට උත්සාහ කළහොත් විශාල විරෝධතා පැන නැගේ. වර්ජනය කරයි. පාලකයන්ට පමණක් දොස් තැබීම සාධාරණ නැත.

මෙම පැරණි ව්‍යුහ වෙනස් කරන තෙක් සංවර්ධන අභිලාශ සාක්ෂාත් කරගැනීම අසීරුය.

නිලධාරීන් හා වෘත්තීය සමිති ව්‍යාපාර එක පැත්තකටත්, සමාජය අනෙක් පැත්තටත් ගමන් කරන රටක දේශපාලන නායකත්වයකට පමණක් ගමනක් නැත. තද පාලනයක්, අලුත් ජවයක් ගැන විශාල බලාපොරොත්තු ඇති කරන නමුත් ක්‍රමය තුළ සුපුරුදු රිද්මයට අනුගතවීම හැර අනෙක් යමක් සිදුවෙන්නේ නැත. එය අභාග්‍යයකි.

ශ්‍රී ලංකාව මෑත භාගය තුළ දැවැන්ත අභියෝග වලට මුහුණ දුන් රටකි. කැරළි දෙකක් දකුණේ හට ගැනිණ. භයානක ත්‍රස්තවාදය දක්වා ව්‍යාප්ත වූ අරගලයක් උතුරේ  තිබුණි. සුනාමි ඛේදවාචකය වෙරළබඩ කලාපයට කරන ලද විනාශය සුළු පටු නොවේ. මේවායේ දී අහිමි වූ ජීවිත, මෙරට දක්ෂතම කණ්ඩායම නියෝජනය කරන ලද බව පිළිගත යුතුය. ආත්ම ශක්තියක් ඇතිව, සමාජ ක්‍රමය වෙනස් කරන්නට වෑයම් කළ පිරිසක් දකුණේ සහ උතුරේ ගැටුම්වලින් රටට අහිමි විය. නැගී සිටි බලවේග සමග ගැටී රටට අහිමි වූ රජයේ හමුදා නියෝජනය කළේ ද මෙරට හොඳම තරුණ සම්පත බව සඳහන් කළ යුතුය. මෙම විනාශයෙන්, ජීවිත පරිත්‍යාගයෙන් වර්තමානය නිර්මාණය වී තිබේ. ව්‍යසන වලින් ගැලවී, නැගී සිටින්නට හැකි වී ඇති නමුත් ශක්තිමත්ම කණ්ඩායම අද අපට නැත. ගැටුම්වලින් ද, ත්‍රස්තවාදයෙන් ද භීතියට පත් වූ බෙදුණ සමාජයක කොටස්කරුවෝය. දේශපාලනයෙන්, ආගම් වශයෙන්, ජාති භේදයෙන් උත්සන්න වී ඇති සමාජයකි. අමිහිරි අත්දැකීම් පාදක කරගෙන අනාගතය ගොඩනගාගත යුතුව තිබේ.

නූතන සමාජ මාධ්‍ය භාවිතාව මෙකී ගොඩනැගෙන ජනසමාජය අවුලුවමින් සිටී. දැනටමත් මෙහි ප්‍රතිවිපාක ගැන ලෝකයේ නොයෙක් රටවල විවේචන ඇත. මෙකී මාධ්‍ය භාවිතාවේ දී මධ්‍යස්ථ අදහස්වලට ඉඩක් නැත. පටු ආවේග පතුරුවයි. ඒවායෙන් ඇති කරන රැළි සුළු සිද්ධි රටක් අවුලුවන තැනට හැරේ. අන්තවාදී අදහස් වලින් සමාජ එකමුතුවට බාධා කරයි. අද පවතින ආකාරයේ ගැටලු මැද අතෘප්තියෙන් ජීවත්වන පරිසරයක දී ඒවායෙන් අන්තවාදී ව්‍යාපාරවලට ඉඩක් ඇති කරයි. ලෝකයේ මෙවැනි සිද්ධි බහුලය.

අප රට තුළ මෙකී වලාකුළු නැගෙමින් තිබේ. අවස්ථා අහිමි සමාජය වෛරයෙන් පසුවෙයි. පාක්ෂිකයන්ට සලකන දේශපාලන ක්‍රමය එය තවත් භයානක තැනකට තල්ලු කරනු ඇත. අතීතයේ මේවායේ ප්‍රතිවිපාක අපට අත්විඳින්නට සිදුවී ඇත. ප්‍රශ්න වලට විසඳුම් සොයන්නට යුහුසුළු නොවන අපි සියලු දෙනා අද හුදෙකලා තත්ත්වයකට පත් වී සිටිමු. වෙනත් රටකට මොනයම් ක්‍රමයකින් හෝ පැනගැනීමෙන් ප්‍රශ්න විසඳාගත හැකි බව සිතන තැනට යොමු වී ඇත.

රටට අවශ්‍ය විශ්වාසය ඇති කරන වැඩ පිළිවෙළකි. සමාජයේ සියලු කොටස් අතර ඇති පරතරය තුනී කරගත යුතුය. නායකයකු කෙරෙහි විශ්වාසය තබන, ප්‍රතිපත්ති කෙරෙහි අවනත තත්ත්වයක් අප ඇති කරගත යුතුය. එකී සමාජයේ විනය රහිතව ඉදිරි ගමනක් නැත. පැවැත්මක් අපේක්ෂා කළ නොහැකිය.

ලෝක නායකයන්ගේ හැසිරීම අධ්‍යයනය කරන්න. අදහස් අතර පරස්පරතා තිබිය හැකිය. එහෙත් සංයමයෙන් හැසිරෙයි. ජනතාවට වඩා ඉහළින් සිටිය යුතුය. නායකත්ව ලක්ෂණ පෙන්නුම් කිරීම අවශ්‍යය. දේශපාලනය එකකි. රාජ්‍ය පාලනය එයට වඩා වගකීමක් ඇති තනතුරකි. පොදු එකඟතාවකට පැමිණීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කාරණයකි. සාකච්ඡා කර තීරණයක් ගැනීමෙන් පසු මාධ්‍ය ඉදිරියේ වීරයන් සේ වෙනත් අදහස් ප්‍රකාශ කරමින් හැසිරීම සාධාරණ නැත. ආණ්ඩුව තුළ විරුද්ධ පක්ෂයක් සේ ක්‍රියා කරමින් ආණ්ඩුව ආරක්ෂා කරගැනීමට පෙනීසිටීමට අවශ්‍යතාවක් නැත. හෘද සාක්ෂියට නොගැළපෙන අවස්ථාවක වහාම ඉවත්විය යුතුය. නිර්භීත තීරණ ගත් කැබිනට් සාමාජිකයන් ගැන මෙරට ඉතිහාසයේ සටහන්ව ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද වගකීමකින් ක්‍රියා කළ යුතුව තිබේ. මහජනතාව අසරණව සිටින අවස්ථාවක සැහැල්ලුවෙන් ක්‍රියාකිරීම සුදුසු නැත. වසංගතය විශාල විපතකි. එයින් ආර්ථිකය අඩපණ වී තිබේ. දුෂ්කරතාවට පත්ව සිටින්නේ පොදු ජනතාවය. පක්ෂ බේදයක් එහි නැත. ජීවිත ගලවා ගැනීමේ සටන ආරම්භ කිරීම සඳහා තමන්ගේ ආණ්ඩුවක් එන තෙක් කල් දැමීම බලවත් අපරාධයකි.

 ව්‍යවස්ථාව අනුව ඡන්දයෙන් පත්කෙරෙන නායකයකුට නිශ්චිත කාලයක් නියම කරන්නේ ඇයි? එපමණක් නොවේ. පළමු වාරය අවසන් වූ පසු මහජනතාව හමුවට ගොස් තවත් අවස්ථාවක් ලබා ගත හැකිය. මෙම කාලය තුළ ගමනක් තිබේ. ගමන ආරම්භ කරන අවස්ථාවේ දී අවසානය සනිටුහන් කරන්නේ නැත. හදිස්සිය ඉතිහාසයේ සිට අපට ඇති බරපතළ සාක්ෂියකි. අප ජීවත් වෙන්නේ කඩිමුඩිය හමුවේ ජන නායකයෝ නාස්ති කරන ලද සමාජයකය.

යටගියාව එයට උදාහරණ සපයයි. නිදහසට පසු පත් කරගත් නායකයන් ගේ ගමන අවසන් කරන්නට අප ඉඩ දී නැත. දර්ශනය තේරුම් ගත්තේ නැත. හොඳම නායකත්ව – නරකම සමාජයකටත්, නරකම නායකයන් – හොඳම සමාජයකටත් ගැළපෙන්නේ නැත. අනාගතය ගැන කල්පනා කර විශාල සංවර්ධන සැලසුම් සකස් කළ සියලුම අවස්ථාවල පොදු එකඟතාවක් අපට තිබුණේ නැත. අධිෂ්ඨානයක් සහිතව කරන ලද වෙනස්කම් වලින් නිසි ප්‍රයෝජන ලබාගත නොහැකි විය. එය විශාල අභාග්‍යයකි. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය ගැනත්, එය භාවිතා වූ ආකාරය පිළිබඳවත් සාධාරණ තක්සේරුවකට යා යුතුව තිබේ.

තිස් වසරක් තිස්සේ පැවැති යුද්ධය ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ වෙනස්කම් සිදුවීම අතපසු කරන ලද අතර එහි ප්‍රතිවිපාක අද අපට අත්විඳින්නට සිදුවී තිබේ. මෙකී පැති සාධාරණව සලකා බලා අලුත් ව්‍යුහයකට ඇතුළු නොවුණහොත් අපගේ දරුවන්ගේ අනාගතය තවත් අඳුරුවන බව පමණක් සඳහන් කළ යුතුය.