ගෑස් පිිපිරීම්වලට සැබෑ හේතුව රටට හෙළිදරව් කළ හැකිනම්.
කොවිඩ් වසංගතයේ ගොදුරක් නොවීම සඳහා සංචරණය සීමා කොට නිවසේ රැඳී සිටින ලෙස වෛද්‍ය විශේෂඥයන් උපදෙස් දෙන නමුත් බොහෝ දෙනා කියන්නේ නිවසේ රැඳීම නිවසින් පිටත යෑමට වඩා අනතුරුදායක වී ඇති බවය. ඒ කොවිඩ් වයිරස අවදානමක් නිසා නොව තම නිවසේ ඇති ගෑස් සිලින්ඩරය කොයි මොහොතේ ගිනි ගැනීමකට ලක්වේදැයි යන බිය නිසාය. මේ මස 4 දා සිට ඊයේ (28) වනවිට රටේ විවිධ ප්‍රදේශවලින් ගෑස් පිපිරීම්, ගිනි ගැනීම් සිදුවීම් අටක් වාර්තා වී තිබේ. ඊයේ දිනයේ පමණක් සිදුවීම් තුනක් වාර්තා වී තිබේ. මේ නිසා තම නිවසේද කොයි මොහොතක හෝ එවැනි පිපිරීමක්, ගිනි ගැනීමක් සිදුවනු ඇතැයි හැමදෙනාම බියෙන් සිටියත් වගකිවයුතු කිසිවකු මෙම තත්ත්වය එතරම් බරපතළ ලෙස සලකා ඇති බවක් පෙනෙන්නට නැත.
ගෑස් සමාගම් කියන්නේ රටේ කොතැනකවත් ගෑස් ටැංකි පුපුරා නොමැති අතර කිසිම විටෙක ගෑස් ටැංකි පිපිරෙන්නට හැකියාවක්ද නොමැති බවය. ගෑස් ටැංකි පුපුරා නොමැති අතර, ඒවා කිසිම දිනෙක පිපිරෙන්නේද නැතැයි කීම සත්‍යයකි. සියලුම අනතුරු සිදුව ඇත්තේ ගෑස් කාන්දුවීමෙනි. රජයේ රස පරීක්ෂකවරයාද කියා ඇත්තේ එවැනි කතාවකි.
අනාරක්ෂිත ලෙස ගෑස් භාවිත කිරීම නිසා ගෑස් කාන්දුවීම අනතුරකට හේතුවක් බව කවුරුත් දන්නා කාරණයකි. එසේම නිතරම පාහේ එවැනි අනතුරු සිදුවීමද සාමාන්‍ය කාරණයකි. එහෙත් පසුගිය දිනවල වාර්තා වූ ගෑස් අනතුරු එම කාරණයට ලඝු කළ නොහැක්කේ ගෑස් සමාගම් හිතුමතයට ගෑස්වල සංයුතිය වෙනස් කිරීම මෙම අනතුරුවලට හේතුව බවට නැගී ඇති චෝදනාව නිසාය.
මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වෙළෙඳ පොළෙන් ලබාගත් ගෑස් සාම්පල පරීක්ෂාවට ලක්කරන බව විෂය භාර අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කර ඇතත්, ඊයේ සවස් වනතෙක්ම එකී පරීක්ෂණවල නිගමනය කුමක්දැයි වාර්තා වී තිබුණේ නැත. රසායනාගාර පරීක්ෂණ සඳහා සැලකිය යුතු කාලයක් අවශ්‍ය විය හැකි නමුත්, ගෑස් පිපිරීම් වැනි භයානක තත්ත්වයකදීත්, සාමාන්‍ය ක්‍රමවේදයන්ම අනුගමනය කිරීමෙන් පෙනී යන්නේ මෙම ප්‍රශ්නය ගැන ජනතාව බියට පත්ව ඇති තරමට වගකිවයුත්තන් ජනතාව ගැන බියට පත්ව නොමැති බව නොවේද?
ගෑස් පිපිරීම්වලට හේතුව කුමක් වුවත්, මෙම සිදුවීම් නිසා තහවුරු වූ තවත් වැදගත් කාරණයක් තිබේ. ඒ අප කිසිම කටයුත්තකදී ප්‍රමිතියට අනුව කටයුතු නොකරන බවය. හදිසියේ රටේ තැන තැන ගෑස් පිපිරීම් සිදුවූයේ උපකරණ දෝෂ හෝ ජනතාවගේ නොසැලකිල්ලෙන් යැයි සිතමු. පිපිරීම් සිදුවූ හැම තැනකම පාහේ විදුලිය භාවිතය අක්‍රමවත්ව තිබූ බව රජයේ රස පරීක්ෂවරයකු ප්‍රකාශ කරනු අපි දුටුවෙමු. මෙය සම්පූර්ණයෙන්ම සත්‍යය. එහෙත් ප්‍රශ්නය ඇත්තේ අප හැමවිටම ප්‍රමිතිය ගැන කතා කරන්නේ කිසියම් විනාශයක් සිදුවූ පසුව වීමය. ගෑස් සම්බන්ධයෙන්ද අපට ප්‍රමිතියක් නැති බව අනාවරණය වන්නේ එවැනි ප්‍රමිතියක් හඳුන්වා දෙන බව රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න ප්‍රකාශ කර තිබෙන නිසාය.
අනාරක්ෂිත, අවදානම් විදුලිය සබඳතා අප රටේ සාමාන්‍ය තත්ත්වයයි. විදුලිබල මණ්ඩලය සෑම මසකම නියමිත වේලාවට විදුලි බිලක් නිකුත් කරනවා මිස ඒවා ගැන සොයා බලන්නේ නැත. අඩුම වශයෙන් ප්‍රවේශම් සහගතව විදුලිය භාවිත කරන්නේ කෙසේදැයි නිරන්තරයෙන් විදුලි පාරිභෝගිකයා දැනුවත් කරන්නට හෝ විදුලිබල මණ්ඩලය පියවර ගන්නා බවක් අප දැක නැත. විදුලිබල මණ්ඩලය සෙව්වොත් සොයන්නේ නීති විරෝධී විදුලි සබඳතා ගැන පමණය. රටපුරා පදික වේදිකාවල පවා අලෙවි කෙරෙන විදුලි උපකරණවල ප්‍රමිතිය සහතික කරන්නේ කවුද?
විදුලිය සම්බන්ධ ප්‍රමිතිය සහතික කිරීම විදුලිබල මණ්ඩලයට පමණක් අයිති වගකීමක් යැයි කිව නොහැකිය. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය වැනි අමාත්‍යාංශ පමණක් නොව පළාත්පාලන ආයතන පවා ඒ සම්බන්ධයෙන් වගකිව යුතුය. පළාත්පාලන ආයතනවලට දැනට එවැනි වගකීමක් පැවැරී නොමැති නම්, ඒ වගකීම අනිවාර්යයෙන්ම ඔවුන් සතුවිය යුතු බව අපගේ අදහසය.
ගෑස් සම්බන්ධ ප්‍රමිතීන් විදුලිය පිළිබඳ ප්‍රමිතියට දෙවැනි නැත. ගැස් සම්බන්ධ ප්‍රමිතිය බිඳ වැටී ඇත්තේ ගෑස් අලෙවි කරන ස්ථානවල සිටමය. අද හන්දි හන්දි ගානේ තරගයට ගෑස් අලෙවි මධ්‍යස්ථාන පිහිටුවා ඇතත්, ඒවා නියමිත ආරක්ෂණ නියමයන්ට යටත්ව පවත්වාගෙන යන්නේදැයි සොයා බලන්නේ කවුද? මේ ආකාරයට ගෑස් අලෙවිය ප්‍රමිතියකට සිදුනොවන රටක සාමාන්‍ය පාරිභෝගිකයා නියමාකාරයෙන් ගෑස් භාවිත කරන්නේ යැයි අපේක්ෂා කළ හැකිද?
රටපුරා ගෑස් පිපිරීම් වාර්තාවීමට ගෑස් සමාගම් වගකිව යුතු බවට චෝදනාවක් එල්ල වී ඇත්තේද එම සමාගම් ප්‍රමිතිය නොතකා කටයුතු කිරීම නිසාය. සාමාන්‍ය ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අඩංගු ගෑස් ප්‍රමාණය කිලෝග්‍රෑම් 12 යි දශම 5 කි. පසුගිය දිනවල මෙම ප්‍රමාණය ලීටර් 18 ක් ලෙස වෙනස් කෙරිණ. ගෑස් සමාගම් හිතුමතයේ මෙවන් පියවරක් ගත්තේ සිය ලාභය උපරිම කරගැනීම සඳහාය. අඩංගු ගෑස් ප්‍රමාණය වෙනස් කළත්, සිලින්ඩරය වෙනස් වූයේ නැත. එහෙත් කිලෝග්‍රෑම් 12 යි දශම පහක් වෙනුවට ලීටර් 18 ක් පිරවීම සඳහා ගෑස්වල සංයුතිය වෙනස් කෙරිණ. දැන් ඒ බව ඇමැතිවරයාද පිළිගෙන තිබේ.
මෙලෙස ගෑස්වල සංයුතිය වෙනස් කිරීම හදිසි පිපිරීම්වලට හේතුවී ඇති බව කියන්නේ සාමාන්‍ය ජනතාව නොව මෙම විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇති විශේෂඥයන්ය. එය එසේ නොවීමටද ඉඩ තිබේ. එසේ වුවත් ගෑස් සමාගම් ගෑස්වල සංයුතිය වෙනස් කරනු ලැබුවේ කාගේ, කුමන විද්‍යාත්මක නිර්දේශයක් මතද? කාගේ අනුමැතියකින්ද? සංයුතිය වෙනස් කිරීම ගෑස් කාන්දුවීම්වලට හේතුවක් නොවිය හැකි වුවත්, එය මිනිසුන්ට කුමන හෝ ආකාරයකින් හානිදායක නොවන්නේ යැයි සහතික විය හැක්කේ කාටද?
ගෑස්වල සංයුතිය වෙනස් කිරීම කුමන හෝ ආකාරයකින් පාරිභෝගිකයාට අනතුරක්, අවදානමක් නැති වුවත් ගෑස් සංයුතිය වෙනස් කිරීමෙන් ගෑස් සමාගම් කර ඇත්තේ වංචාවක් බව පැහැදිලිය. එහෙත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශය හෝ වගකියුතු ආයතනයක් කිසිදු පියවරක් ගෙන නැත. ලීටර් 18 ගෑස් සිලින්ඩර් අලෙවියෙන් ඉවත් කිරීම පමණක් ප්‍රමාණවත් යැයි කිව හැකිද? පිපිරීම් වාර්තා නොවන්නට ගෑස්වල සංයුතිය වෙනස් කළ බවක් හෝ අප දන්නේ නැත.
ගෑස් සමාගම් හිතුමතයේ වැඩ කිරීමත්, වෙළෙඳ අමාත්‍යාංශය ඇතුළු වගකිවයුතු ආයතන බකංනිලා සිටීමත් නිසා අද වනවිට මිනිසුන්ට ගෑස් භාවිතය ජීවිතය හා මරණය අතර කාරණයක් බවට පත්ව තිබේ. මේ මර බිය නැතිකළ හැක්කේ ගෑස් පිපිරීම්වලට සැබෑ හේතුව රටට කීමෙන් පමණය.
පිපිරීම්වලට හේතුව කී පමණින් වෙළෙඳ අමාත්‍යාංශයේ වගකීම අවසන් වන්නේ නැත. යම් හෙයකින් ගෑස් සංයුතිය වෙනස් කිරීම පිපිරීම්වලට හේතුවී ඇති බව තහවුරු වුවහොත් ඒ සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමද අමාත්‍යාංශයේ වගකීමකි. එහෙත් අමාත්‍යාංශයේ අතීත හැසිරීම්වලට අනුව ඒ වගකීම ඉටු කරනු ඇතැයි අපට ලොකු විශ්වාසයක් නම් නැත. එහෙත් ගෑස් පිිපිරීම්වලට සැබෑ හේතුව හෝ රටට හෙළිදරව් කළ හැකිනම් කළ යුත්ත කුමක්දැයි ජනතාව තීරණය කරනු ඇත.
