යුගදනවි බලාගාරය,නිව් ෆෝට්‍රස් සහ කැබිනට් සාමූහිකත්වය.
නිව් ෆෝට‍්‍රස් එනර්ජි නමැති ඇමරිකානු සමාගමට කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජය සතු සියයට හතළිහක කොටස් ලබාදීම හා එම බලාගාරයට අවශ්‍ය ස්වභාවික ද්‍රව වායු සැපයීමේ කොන්ත‍්‍රාත්තුව ලබාදීම මගින් ජාතික ආරක්‍ෂාවට බලවත් තර්ජනයක් එල්ල වීමේ ඉඩකඩ බහුල වන්නේ යැයි ජනාධිපති නීතිඥ මනේහාර ද සිල්වා මහතා අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නේය.
කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති එම ගිවිසුම මගින් රට තුළ ගෑස් පර්යන්තයක් ඉදිකර පවත්වාගෙන යෑමේ අවසරය ඇමරිකානු සමාගමට හිමිවන බවත් ඇමරිකානු යුද නෞකාවලට පවා සේවාවන් සැපයීමේ ඉඩකඩ එකී ඇමරිකානු සමාගමට විවරකරදීම ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් නොවන බවට සහතික කළ හැක්කේ කාහට දැයි පෙත්සම්කාර විදුලි සේවක සංගම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා විනිසුරු මඩුල්ල හමුවේ කියා සිටියේය.
එම ගිවිසුම මගින් අප රටේ කටයුතුවලට ඇමරිකානු රජයේ අතපෙවීම තව තවත් උග‍්‍ර විය හැකි බවත් පැවසූ ජනාධිපති නීතිඥවරයා ගිවිසුම සම්බන්ධයෙන් ඇමරිකානු තානාපතිවරයා ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබීම රාජ්‍යතාන්ත‍්‍රිකභාවය ඉක්මවා ගිය නීති විරෝධී මැදිහත්වීමක් වන්නේ යැයිද පෙන්වා දුන්නේය.
යුගදනවි ගිවිසුම අභියෝගයට ලක්කරමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා,ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ, සමගි ජනබලවේගය පක්‍ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි වසන්ත සමරසිංහ සහ ලංකා විදුලි සේවක සංගමය ඇතුළු පාර්ශ්ව විසින් ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම් පහ සලකා බැලීම ආරම්භ කෙරිණි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, ප‍්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ විනිසුරු එල්. ටී. බී. දෙහිදෙනිය යන මහත්වරුන් හමුවේ එම පෙත්සම් සලකා බැලිණි.
පෙත්සම් සලකා බැලීම ආරම්භ කළ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල ඇමැතූ නීතිපති සංජය රාජරත්නම් මහතා එකී පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට අපේක්‍ෂා කරන බැවින් ඒ සඳහා අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එකී ගිවිසුම සම්බන්ධයෙන් ඉතා වැදගත් තීරණාත්මක ලේඛන හතරක් පදනම්ව තමන් සිය විරෝධතා ඉදිරිපත් කරන බවත් එහිදී විනිසුරු මඩුල්ල හමුවේ පැවසූ නීතිපතිවරයා එකී ලේඛන වන අමාත්‍ය මණ්ඩල සංදේශය, ගිවිසුමේ දළ රාමුව, කොටස් පිළිබඳ ගිවිසුම හා අමාත්‍ය මණ්ඩල අවසන් සන්දේශය ඉදිරිපත්කොට ඇත්තේ පසුගිය ජූලි හා සැප්තැම්බර් මාසය අතර කාලයේදී වන බැවින් පෙරකී ගිවිසුම්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමේ කාලය (කාලවිරෝධය) අවසන් වී ඇතැයි ද පෙන්වා දුන්නේය.
රට තුළ ක‍්‍රියාත්මක බලශක්ති ප‍්‍රතිපත්තිය හා විධිවිධාන අනුව බලශක්තියට අදාළ තීරණ ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම හෝ ටෙන්ඩර් කැඳවීමක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව පැවසූ නීතිපති සංජය රාජරත්නම් මහතා එකී පෙත්සම්වල කිසිදු නීතිමය පදනමක් නොමැති බැවින් විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ප‍්‍රතික්‍ෂේප කරන ලෙස ඉල්ලා සිටියේය.
මෙකී ගිවිසුම මුළු රටටම බලපාන්නක් වන බැවින් කාලය ඉක්ම යෑමේ ගැටලූව මතු නොවන්නේ යැයි නීතිපතිවරයා කළ එම කරුණු දැක්වීමට පිළිතුරු ලබාදෙමින් පැවැසූ ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා ඇමරිකානු සමාගම සමග ගිවිසුම අත්සන් කර ඇත්තේ කොටස් සම්බන්ධයෙන් රජයේ තක්සේරුකරුගේ තක්සේරු වාර්තාව ලැබීමටත් පෙර වන බැවින් එය නීති විරෝධී ගිවිසුමක් වන්නේ යැයිද අධිකරණයට පෙන්වා දුන්නේය.
බලශක්ති ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් නීතිපතිවරයා දැක්වු කරුණු වැරදි සහගත බවට කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කුමන ආකාරයෙන් හෝ බලශක්ති මිලදී ගැනීමකදී හෝ ඊට ආශ‍්‍රිත කරුණකදී ලංසු ඉදිරිපත් කොට ටෙන්ඩර් කැඳවා විනිවිදභාවයකින් සිදු කළ යුතු බව ලංකා විදුලිබල පනතේ 17 වන වගන්තිය අනුව පෙන්වා දී ඇතැයි ද අධිකරණයට පෙන්වා දුන්නේය.
එකී ගිවිසුමට එරෙහිව කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ හා වාසුදේව නානායක්කාර යන මහත්වරුන් දිවුරුම් ප‍්‍රකාශ ලබාදී තිබීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද පෙත්සම්කාර මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හා ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එකී ගිවිසුම සම්බන්ධයෙන් යම් තීරණයක් ගන්නේ නම් එකී වගකීම එකී අමාත්‍යවරුන් තිදෙනා ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයටම පැවරෙන බවද ජනාධිපති නීතිඥවරයා එහිදී කියා සිටියේය. එකී ඇමැතිවරුන් තිදෙනා නියෝජනය කරනුයේ ගමේ පිහිටි මරණාධාර සමිතියක් නොව කැබිනට් මණ්ඩලයක් වන බැවින් සාමූහික වගකීම් උල්ලංඝනය කර ඇති බවත් ඔවුනට එරෙහිව නිසි පියවර ගැනීමේ වගකීම කැබිනට් මණ්ඩලයේ නායකයා වන අගමැතිවරයා සතු බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විනිසුරු මඩුල්ලට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
