You are currently viewing පාර්ලිමේන්තුව කල්තැබීමේ සැබැ අරමුණ කුමක්ද?

පාර්ලිමේන්තුව කල්තැබීමේ සැබැ අරමුණ කුමක්ද?

2022 ජනවාරි 18 වැනි දින පෙරවරු 10 දක්වා බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පාර්ලිමේන්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කල් තබන ලදී.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පැවරී ඇති බලතලවලට අනුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

ඒ අනුව, පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ලබන ජනවාරි මස 18 වන දින පෙරවරු 10ට යළි ආරම්භ කළ යුතු බව අදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශ කර ඇත.

වාර අවසාන කිරීම යනු පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා තාවකාලික විරාමයක් ලබාගැනීම වන අතර මෙහිදි කථානායකවරයා එම ධුරයේ අඛණ්ඩව කටයුතු කරගෙන යා යුතුය.

නව සැසිවාරයක් ආරම්භ කිරීමේ දී තේරීම් කාරක සභා නැවත පත්කළ යුතු අතර උසස් නිළතල පිළිබඳ කාරක සභාව වාර අවසාන කර ඇති අවස්ථාවක වුවද අඛණ්ඩව ක්‍රියාත්මකය.

වාර අවසාන කිරීම අවසන් වී නැවත නව සැසිවාරය ආරම්භ වන විට එය ජනාධිපතිවරයා විසින් උත්සවාකාරයෙන් විවෘත කිරීමට ද නියමිතව තිබේ.

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමත් සමඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ව්‍යවස්ථාදායක කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභාවල කටයුතු අක්‍රීය වන අතර නව සැසිවාරය ආරම්භ කිරීමත් සමඟ එම කාරක සභා නැවත පත්කළ යුතු වෙයි.

ජනවාරි මස 11වන දින  දක්වා කල් තබන ලද  පාර්ලිමේන්තු රැස්වීම එදිනට රැස් නොවී නව සැසිවාරයක් ලෙස ආරම්භ කිරිමට ජනාධිපතිවරයා  තිරණය කර ඇත්තේ ජනවාරි 18 වන දිනටයි.

එදින ශ්‍රී ලංකාව නව වසරේ පළමූ ණය වාරිකය ගෙවිය යුතු දිනයයි.එලෙස නියමිත දිනට ණය වාරිකය ගෙවිමට අසමත් වුනොත් ජාත්‍යන්තරය ශ්‍රීලංකාව බංකොලොත් රාජ්‍යක් ලෙස නම් කරනු ඇත.මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුව මගහැර ණය වාරික ගෙවිම සදහා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තු සැසිවාර අවසන් කලේ කුමක් හෝ යටිබිම්ගත අරමුණක් උදෙසා විය හැකි බවට ඇතැම් පාර්ශ්වයන් අදහස් පළකරයි.

තවද,පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE -The Committee On Public Enterprises) සභාපති මහාචාර්ය චරිත හේරත්, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සභාපති, හිටපු අමාත්‍ය  මහාචාර්ය තිස්ස විතාරණ අදාල කමිටුවල සභාපති ධුරවලින් ඉවත් කිරීමේ සුදානමක් ඇතැයි පැවසේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යන කමිටුවල සභාපතිවරුන් ලෙස ආණ්ඩුවේ නියෝජිතයින් කටයුතු කලද පසුගිය කාලයේ ඒවායේ සභාපතිවරුන්ගේ හැසිරීම ආණ්ඩුවේ පැවැත්මට හානිදායක බවට ආණ්ඩුවේ බලධාරීන්ගේ නිගමනය වී තිබු බව වාර්තාවේ.

ආයෝජන මණ්ඩලයේ (BOI ) සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පසුගියදා කෝප් කමිටුවට ගෙන්වා ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පැනනැගී තිබු ගැටළු ප්‍රශ්න කිරීම නිසා එම අධ්‍යක්ෂ මණ්ඩලය ජනාධිපතිවරයා වෙත ඉල්ලා අස්වීමේ ලිපි යොමුකර තිබු අතර තවදුරටත් තනතුරු වල රැඳී සිටීමට නම් කෝප් කමිටුව තමන්ගෙන් සමාව ගත යුතු බවටද යෝජනාවක් ඉදිරිපත් කර තිබු බව පැවසේ.

එසේම, ස්ලිට් ආයතනය යලි රජයට පවරා ගැනීමට අමාත්‍ය බන්ධුල ගුණවර්ධන දරන උත්සාහයට ‘කෝප්’  කමිටුවේ සභාපති සහය දක්වන බවටද ආණ්ඩුවේ අභ්‍යන්තරයෙන්ම චෝදනා එල්ලවී තිබිණ.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති, මහාචාර්ය තිස්ස විතාරණ පසුගියදා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගෙන්වා ප්‍රශ්න කිරීම අරක්කු ව්‍යාපාරයේ නිරතව සිටින ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ විවේචනයට ලක්ව තිබු බවද වාර්තාවේ.

එසේම,රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, අනුර ප්‍රියදර්ශන යාපා මුදල් අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් වරින්වර කැඳවා ප්‍රශ්න කිරීමත්, විශේෂයෙන් සීනි ගෙන්වීමේදී සිදුව ඇතැයි කියන ගනුදෙනු සම්බන්ධයෙන් විමසා සිටීමත් ආණ්ඩුවේ බලධාරීන්ගේ නොසතුටට හේතුවී තිබු බව පැවසේ.

Leave a Reply