You are currently viewing ගුරුවරු ඉල්ලන්නේ වැඩි වැටුපද? හිමි වැටුපද?

ගුරුවරු ඉල්ලන්නේ වැඩි වැටුපද? හිමි වැටුපද?

අධ්‍යාපනය මිලිටරීකරණයට එරෙහිව නැඟී සිටි ගුරු සංගම් නායකයන් රජය නිරෝධායන නීති යොදාගනිමින් සිරගත කළ සිදුවීමත් සමඟින් ලංකාවේ වරින් වර පැවති ගුරු-විදුහල්පති ඉල්ලීම් දිනා ගැනීමේ සටන් නව මානයකට යොමුවූවාට සැකයක් නැත. සිය වෘත්තීය සමිති නායකයන් නිදහස් කරන ලෙස ඇරඹි මෙම සටන ඉන්පසු ඔවුන්ගේ වැටුප් විෂමතා ගැටලුව දක්වා වර්ධනය වූ අතර ඒ අනුව ඔන්ලයින් ඉගැන්වීම්වලින් ගුරුවරුන් ඉවත් වූ අතර වසර ගණනක් තිස්සේ තමන්ගේ අහිමි කළ වැටුප ලබා දෙන ලෙස ඉල්ලමින් ඉතා විශාල ගුරු සටන් පෙරමුණක් මේ වන විට නිර්මාණය වී තිබේ.

මෙම වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලමින් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති කලින් කලට විවිධ ක්‍රියාමාර්ග වෙත එළැඹුණ ද තවමත් ඔවුන්ට සෑහීමකට පත්වීමට හැකි විසඳුමක් ලැබී නොමැත. මෙම ගැටලුව විවිධ පාර්ශ්ව විවිධ ආකාරයෙන් නිර්වචනය කරන බැවින් වැටුප් විෂමතා ගැටලුව කුමක් ද යන කරුණ මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

මෙම වැටුම් විෂමතාව ආරම්භ වන්නේ 1997 දී බී.සී.පෙරේරා වැටුප් කොමිසමේ නිර්දේශ මත ගුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීම පසුවට සලකා බලා රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන්වල වැටුප් පමණක් වැඩි කිරීමත් සමඟ ය. මෙයට අදාළ සිදුවීම්වල ඉතිහාසය 1982 දක්වා දිව යයි. ගුරු සේවය යනු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති වැදගත්ම භූමිකාව නිසා ඉහළම සුදුසුකම් ඇති පිරිස් මේ සඳහා බඳවා ගත යුතු බව හා එය උපාධිධාරී සේවයක් ලෙස ඉහළ දැමිය යුතු බව ද ඇතුළත්ව ගුරු සේවා ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට ගුරු සංගම් විසින් ඉල්ලීම් කරන්නේ 1982 වසරේ දී ය. ගුරු සංගම්වල ඉල්ලීමට අනුව 1992 දී ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කරන අතර 1994 දී ”‍ගුරු සේවා ව්‍යවස්ථාව”‍ ගැසට් පත්‍රයක් මඟින් ස්ථාපනය කරන්නේ ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් කිහිපයක ද අදහස් අනුව ය.

එලෙස ගුරු සේවා ව්‍යවස්ථාව ස්ථාපනය කිරීමත් සමඟ ගුරු සේවය උපාධිධාරී සේවාවක් ලෙස උසස් කරන ලද අතර ඔවුන්ගේ වැටුප් පරිපාලන සේවය වැනි දීපව්‍යාප්ත සේවාවන්වල වැටුපට සමානව වැඩිකරන ලදි. පසුව ගුරු සේවයේ ශ්‍රේණි කිහිපයක් ඇති කළ අතර ඒ අනුව 2(1), 2(2) හා 1 යනුවෙන් ගුරුසේවයේ ශ්‍රේණි ඇති විය. 2(2) ශ්‍රේණියේ ගුරුවරුන් විදුහල්පති 3 වන ශ්‍රේණියට හා අධ්‍යාපන පරිපාලන 3වන ශ්‍රේණියට සමාන විය. 1 ශ්‍රේණියේ ගුරුවරයෙකු අධ්‍යාපන පරිපාලන 1 වන ශ්‍රේණියට හා විදුහල්පති 1 වන ශ්‍රේණියට සමාන විය. සාමාන්‍යයෙන් ගුරුවරයෙක් වෘත්තිය ආරම්භ කරන්නේ 2 (2) ශ්‍රේණියෙන් ය. 1 වන ශ්‍රේණිය දක්වා උසස් වීමට ගුරුවරයෙකුට අවම වසර 10-15 දක්වා කාලයක් ගත වෙයි. එහෙයින් එලෙස දීර්ඝ කාලයක් අත්දැකීම් සහිත ගුරුවරයෙක් අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්පතක් සේ සලකා ඔවුන් වෙනත් සේවයකට යාම වැළැක්වීම සඳහා මෙලෙස ගුරු සේවය දීප ව්‍යාප්ත සේවයකට සමානව පවත්වාගෙන යන ලදි.

සේවාවේ ගුණාත්මකභාවය හා වැටුම් ඇතුළු මේ ආදි සියලුම කරුණු ගුරු සේවා ව්‍යවස්ථාව හරහා ස්ථාපනය කර තිබිය දී ඊට අදාළ ගැටලුව ආරම්භ වන්නේ 1997 දී එවකට සිටි ආණ්ඩුව විසින් පත් කළ බී.සී. පෙරේරා වැටුම් කොමිසමේ නිර්දේශ අනුව ගුරු-විදුහල්පති සේවයේ හැර රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන්වල වැටුප් වැඩි කිරීමත් සමඟ ය. එම කමිටුව ඊට හේතු වශයෙන් සඳහන් කර තිබෙන්නේ 1994 දී ගුරු සේවයේ වැටු වැඩි කළ නිසා ඒ සම්බන්ධයෙන් පසුව සලකා බැලිය හැකි බවයි. මෙලෙස ගුරු සේවයේ හැර අන් සේවයන්වල වැටුප් ඉහළ දැමීමත් සමග ගුරු වැටුප් විෂමතාව ආරම්භ විය. මේ සම්බන්ධයෙන් ඉන් පසුව පැමිණි කිසිදු ආණ්ඩුවක් හෝ එම අණ්ඩු විසින් පත් කළ වැටුප් කොමිසමක් හෝ කටයුතු කර නොමැත.

සිය වැටුප් විෂමතාව ඉවත් කර තමන්ට හිමිවිය යුතු වැටුප ලබා දෙන ලෙස ඉල්ලමින් ගුරුවරුන් විවිධ ක්‍රියාමාර්ගවලට එළඹුණ ද 2006 දී එවකට සිටි ආණ්ඩුව විසින් ගුරු සේවය ද්විතීයික සේවාවක් ලෙස පහළට දමන ලදි. ඒ අනුව වැටුප් තවත් අඩු වූ අතර මීට පෙර තිබූ වැටුප් විෂමතාව තවත් වැඩි විය.

ඊට විරෝධය පළකරමින් 2007 දී ගුරු සංගම් උත්තර පත්‍ර පරීක්ෂා කිරීම වර්ජනය කළ අතර එහිදී සිසුන් කිහිපදෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අනුව යමින් ගුරු සංගම් නායකයන් සිරගත කිරීමට ආණ්ඩුව කටයුතු කළ අතර එම වර්ජනය නවත්වා නැවත උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ යෙදෙන ලෙස අධිකරණයෙන් ගුරුවරුන්ට නියෝග කරන ලදි. මෙම ගැටලුව සම්බන්ධයෙන් සලකා බැලූ අධිකරණය එම නඩු තීන්දුවේ දී ම ගුරු සේවය විශේෂ සේවයක් ලෙස සලකා සංවෘත සේවයක් වශයෙන් පිහිටුවා වැටුප් වැඩි කරන ලෙස ද තීන්දුවක් ලබා දුන්න ද තවමත් එය ක්‍රියාත්මක වී නොමැත.

දැනට වැටුප් කොමිෂන් සභා පහකට පමණ මෙම වැටුප් විෂමතා ගැටලු‍ව ඉදිරිපත් වුවද තවමත් විසඳුමක් ලැබී නොඇත. ”‍සුබෝධිනී වැටුප් කොමිසම”‍ ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කිරීමට අදාල යෝජනාව ගෙන ආවද එයට කැබිනට් අනුමැතිය හිමිවූයේ නැත. ඒ සඳහා වැටුප් හා සේවක කොමිෂන් සභාවේ අනුමැතිය ද ලැබී නොමැත.

දැනට ගුරු සේවයේ අවම මූලික වැටුප පවතින්නේ 2(2) ශ්‍රේණියේ ගුරුවරුන්ට රුපියල් 33300ක් හා 3(1) ශ්‍රේණියේ ගුරුවරුන්ට රුපියල් 32200ක් වශයෙනි. ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රකාශකයෙකු  කියා සිටියේ දැනට 1 ශ්‍රේණියේ ගුරුවරයෙකුට ලැබිය යුතු වැටුපෙන් ආසන්න වශයෙන් රුපියල් 32000ක මුදලක් වැටුප් විෂමතා ගැටලුව හේතුවෙන් කප්පාදු කර ඇති බවයි. ඒ නිසා මේ වන විට අනෙකුත් රාජ්‍ය සේවාවල උපාධිධාරී නොවන සේවකයන්ගේ පවා වැටුප් ගුරුවරුන්ට වඩා ඉහළ මට්ටමක තිබෙන බවද ඔහු පැවසුවේය. මේ නිසා දක්ෂ හා කැමැත්ත සහිත වෘත්තිකයන් ගුරු සේවයට එකතුවනවා වෙනුවට වෙනත් රැකියාවක් ලැබෙන තුරු තාවකාලිකව එක්වීම හෝ වෙනත් රජයේ ඉහළ වැටුප් සහිත රැකියාවකට යාමට නොහැකි නිසා ගුරු සේවයට එකතු වන ප්‍රවණතාවක් ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය. ඒ නිසාම ගුරු සේවයේ ඇති ගුණාත්මකභාවය හා සමාජ තත්වය සම්බන්ධ ගැටලුවක් ඇති වී ඇති බවත් ඒ හේතුව දැනට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන ගැටළුලුවලට ද එක් හේතුවක් වී ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

සාමාන්‍යයෙන් ඕනෑම රටක අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිකයන් බඳවා ගනු ලබන්නේ ඉහළම අධ්‍යාපන සුදුසුකම් මත ය. ඔවුන්ට ඉහළ වැටුපක් ලබා දීමට ද කටයුතු කරන බැවින් එම ගුරුවරුන්ට සැහැල්ලු‍ මනසකින් යුතුව සිය වෘත්තියේ නියැලීමට හැකිවන නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ යාමට එය හේතුවක් වෙයි. මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින්නේ ඊට වඩා වෙනස් වටපිටාවකි. ගුරුවරුන්ට සිය වෘත්තියේ නියැලෙන අතරම ආර්ථික අර්බුදයට ද මුහුණ දීමට සිදුව ඇති අතර ඔන්ලයින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය දීමනාවක්වත් රජය විසින් ලබා නොදුන් නිසා ඒවාට වැය වන දුරකතන ගාස්තු හා උපකරණ වියදම පෞද්ගලිකව දැරීමට ගුරුවරුන්ට සිදුව ඇත. මේ තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ ගුරුවරුන්ගේ වැටුපෙන් ඔවුන් ඒවා සපයා ගත යුතු බවයි. මේ සම්බන්ධයෙන් ගුරු සංගම් සිය දැඩි අප්‍රසාදය පළ කර ඇත.

මෙහිදී පැහැදිලි වන කරුණ නම් ගුරුවරුන්ගේ ඉල්ලීම වන්නේ අවුරුදු 24ක් තිස්සේ අහිමි කළ සිය වැටුප ලබා දෙන ලෙස බවයි. ආණ්ඩුවේ ”‍සෞභාග්‍ය දැක්ම”‍ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා මෙම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වී තිබෙන අතර 2021.01.01 ගගුරු සේවය සංවෘත සේවයක් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ද හිමිවී තිබුණ ද තවමත් ඒ කිසිවක් ක්‍රියාත්මක නොවීම හා පසුගිය දිනවල ආණ්ඩුව සමග පැවති සකච්ඡා අසාර්ථක වීම නිසා සිය වැටුප් අරගලය තවදුරටත් ගෙන යන බව ගුරුවෘත්තීය සමිති ප්‍රකාශ කරයි

Leave a Reply