රට පුරා මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති පනත් කෙටුම්පත් දෙකක් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.ඒ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සහ මුදල් සංශෝධන පනත් කෙටුම්පතයි.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව මේ වනවිට රට පුරා විරෝධී රැල්ලක් මතුවී තිබේ. වෘත්තීය සමිති, ශිෂ්‍ය සංවිධාන සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ ද කොතලාවල පනතට දැඩි විරෝධය දක්වමින් සිටී. ගුරු සංගම් ද ඉකුත් දා එම පනතට විරුද්ධව වීදි සටන් මෙහෙයවීය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත විවාදයට ගත් අතර, එය ඉදිරි දිනෙක සම්මත කිරීමට නියමිතය. මුදල් සංශෝධන පනත මගින් අපේක්ෂා කරන්නේ බදු නොගෙවූ පිරිසකට යම් සහනයක් ලබාදීමය. කිසියම් පිරිසක් බදු ගෙවා නැත්නම් එම බදු මුදලේ වටිනාකම ආයෝජනය කිරීමට එම ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලැබේ. එවැනි ආයෝජනයකදී ව්‍යාපාරිකයන් දඬුවමකට යටත් නොවන අතර, මුදල් සපයා ගැනීම පිළිබඳව ප්‍රශ්න කිරීමක්ද නැත.
ව්‍යාපාරිකයන් සතු එම මුදල් ආයෝජනය කිරීමට ඔවුන්ට අවස්ථාව හිමිවීම දෙයාකාරයකින් වාසිසහගත බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. සැඟවී තිබෙන මුදල් රට තුළ සංසරණය වීම, ආයෝජන අවස්ථා ඉහළ යාම නිසා ආර්ථිකයට ඉන් රුකුලක් සිදුවන බව ඔවුන්ගේ තර්කයකි. එහෙත් තවත් පිරිසක් චෝදනා කරන්නේ ආණ්ඩුවේ හිතවත් ව්‍යාපාරිකයන්ට සහනයක් සලසාදීමේ වෑයමක් බව කියමිනි. තවද මෙම නව නීති හරහා කළු සල්ලි සුදු කරන බවට ද තවත් පිරිසක් චෝදනා කරති. මෙම පනත් කෙටුම්පත් දෙකටම රටේ ජනතාවගෙන් යම් විරෝධතාවයක් මතුව තිබේ. ඒ සඳහා නීති පියවර ගැනීමට ද ඇතැම් පිරිස් කටයුතු කර තිබේ.
