You are currently viewing රන්ජන් සහ අප කලා හවුල.

රන්ජන් සහ අප කලා හවුල.

රන්ජන් කතා කරනවිට සැරට කතා කරනවා. ඒ කතා කරන්නේ අයුක්තිය අසාධාරණය වෙනුවෙන්. ඒ වගේම අපි සංතෝෂ කරන්න හැම විටම උත්සහ කරනවා නොයෙකුත් කතා කියලා. හොඳ මනුස්සයෙක් විදිහටයි අපි රන්ජන්ව දකින්නේ හැමෝම. සුන්දර හදවතක් තිබුණ මනුෂ්‍යයෙක්. කටින් පිටවූ පුංචි වචන පේළියක් නිසා අවුරුදු හතරක සිරදඬුවම් ලබනවා. හරිම කනගාටුදායක තත්ත්වයක්. අපිට කරන්න දෙයක් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් නිසා. ජනාධිපතිතුමාගෙන් ජනාධිපති සමාවක් ලබාගැනීමට ඉල්ලීමක් ආයාචනයක් කරනවා. ඒ වෙනුවෙන් පෙනී සිටින බැව් ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්‍ෂ උදයකාන්ත වර්ණසූරිය මහතා පවසයි.

රන්ජන් සහ අප කලා හවුල ක්‍ෂේත‍්‍රයේ සියලූදෙනා, එකමුතුව සිරගතව සිටින රංජන් රාමනායක කලාකරුවාට ජනාධිපති සමාව ලබාගැනීම සඳහා කොළඹ රූබි සිනමා ශාලාවේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා විසින් එම ඉල්ලීම සිදුකරන ලදී.

පසුගිය කාලයේ පිටරටවල සිටින කාන්තා ශ‍්‍රමිකයන් ගැන ද කතා කළා. මට මතකයි රන්ජන් අවසාන කාලයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී වැටුප ලක්‍ෂ 34 ක මුදල් කොවිඞ් වසංගතයෙන් පීඩා විඳි පිරිසට බෙදල දුන්නා. සුන්දර හදවතක් තිබුණු මනුෂ්‍යයෙක්. ජනාධිපතිතුමන්ගෙන් රන්ජන් රාමනායක කලාකරුවාට ජනාධිපති සමාව ලබාගැනීමට කරන ආයාචනයට කලාකාමී හිතවතුන් මෙන්ම කලාවෙන් බැහැරව ඉන්න අයගෙනුත් ඊට හැකි සෑම සහයක්ම ලබාදෙන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.

මෙහිදී රන්ජන් රාමනායක කලාකරුවා සිරමැදිරියේ සිට එවූ ලිපියක්ද ඉදිරිපත් කරන ලදී.

ප‍්‍රවීණ චිත‍්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප‍්‍රනාන්දු මහතා,

මේ කලාකරුවෙක් වෙනුවෙන් නගන හඬක්. සියලූදෙනාම ඉල්ලා සිටින්නේ රන්ජන් නිදහස් කරගැනීමට ජනාධිපතිතුමාගේ අවසරයයි. බල කිරීමක් නෙමෙයි. සාධාරණ ඉල්ලීමක්. අප සියලූ දෙනාටත් රටටත් අවශ්‍ය කලාකරුවෙක්.රන්ජන්ට අම්මා තාත්තා, සහෝදර සහෝදරියන් කවුරුවත් නෑ. ඉන්න හිටින්න ගෙයක් දොරක් නෑ. මම දන්නා තරමින් ඩොක්ටර් භාග්‍යා කියන නෝනා විතරයි හැම දෙයකටම ඉන්නේ. අපිත් ඉන්නවා රංජන්ව රැකගන්න. මොකද ඒ රටට අවශ්‍ය සම්පතක් බවද පැවැසීය.

රංගන ශිල්පී ජීවන් කුමාරතුංග.

වර්තමානය තුළ නීතිය ඉදිරියේ යම් අසරණ තත්ත්වයකට පත් වුණාට ඒ කරන ලද ප‍්‍රකාශවල වලංගුභාවය අසරණ වෙලා නෑ. කලාකරුවෙක් හැටියට මේ ප‍්‍රකාශය කරල අද රන්ජන් රාමනායක සිරගතව සිටිනවා. අපි විශේෂයෙන් මේ කලාකරුවා වෙනුවෙන් ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාගෙන්. එතුමාට තිබෙන බලතල අනුව රන්ජන් රාමනායකට සමාවක් ලබා දෙන්න සහනයක් ලබා දෙන්න කියන කාරුණික ඉල්ලීම ආයාචනය කරන බවද පැවසීය.

රංගන ශිල්පිනි අනුෂා දමයන්ති.

හැබැයි මම හිතනවා ඔහු දේශපාලනයේදී හා කලාවේදී හිතුවක්කාරයෙක්. හිතුවක්කාරකමට කරන බොහෝ දේ තිබෙනවා.වැරදි කරන එක මිනිස් ගතියක්. සමාව දීම දේවගතියක්.

රංගන ශිල්පිනි දිල්හානි අශෝකමාලා.

අපි මෙහිදී අසරණයි. අපිට කලාකාරයෝ ලෙස එකතුව ජනපතිතුමාගේ අවධානය යොමු කළ හැකියි. අපි රන්ජන් වෙනුවෙන් මේ කරන දෙයින් ඔහුට සිරමැදිරිය තුළ ගෙවන ජීවිතයට ලොකු ශක්තියක් ධෛර්යයක් ලැබෙයි.

සුරංග ද අල්විස්, නදීකා ගුණසේකර, අර්ජුන කමලනාත්, ජනිත් වික‍්‍රමගේ, සරත් ද අල්විස් යන සිනමා නළු නිළියන් සංගීතවේදීන් ඇතුළු පිරිස මෙම මාධ්‍ය හමුව ඇමතූහ.

Leave a Reply