රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිගයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා නිවේදනය කර සිටී.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර සිටියේ ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කළ ද එම ධාරිතාවය ද ආවරණය කිරීමට තම සමාගමට හැකියාව පවතින බවයි.ඒ අනුව ඕනෑම වර්ණයක සිලින්ඩරයක් සදහා ගෑස් සැපයීමට ලිට්‍රෝ සමාගම සූදානම් බවත් ඔහු සිය නිවේදනය මගින් දැනුම් දී ඇත.
ණයවර ලිපි (එල්සී) විවෘත කිරීමේදී ඇති වූ දුෂ්කරතා සහ දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් සියලු ගෑස් ආනයනයන් නැවැත්වීමට ලාෆ්ස් ගෑස් තීරණය කර ඇත.ලාෆ්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි නිර්මාතෘ සහ විධායක සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා ප්‍රකාශ කළේ සමාගම මෙම තීරණය ගැනීම දක්වා සෙමින් තල්ලු වූ බවය.
“මෙය අපි ගැනීමට බලාපොරොත්තු වූ තීරණයක් නොවේ. රටේ ජනාධිපති ඇතුළු වගකිවයුතු සෑම අයෙකු සමඟම අපි අදහස් හුවමාරු කර ගත්තත් එයින් කිසිදු ප්‍රයෝජනයක් වුණේ නෑ. එය ස්වාභාවික තීරණයක් ” යනුවෙන් හෙතෙම පැවසීය.
ණයවර ලිපි විවෘත කිරීම සඳහා බැංකුවලට ප්‍රමාණවත් ඩොලර් ප්‍රමාණයක් නොමැති බැවින් ඉහළ යන ඩොලර් අනුපාතය සමඟ සමාගම විශාල දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව වෑගපිටිය මහතා ප්‍රකාශ කළේය.
තවද, එක් එක් ගෑස් සිලින්ඩරයක් විකිණීමෙන් ලාෆ්ස් ගෑස් සඳහා රුපියල් 800 සිට රු .900 දක්වා අලාභයක් සිදුවී ඇති බවද ඔහු සඳහන් කළේය.
‘අපට තවත් කුමක් කළ හැකිද?’ යනුවෙන් ඒ මහතා ප්‍රශ්න කර සිටියේය.
