You are currently viewing ශ්‍රී ලංකාවේ සමාගම් නිකුත් කරන විදේශීය මුදලින් නම් කළ කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට ය

ශ්‍රී ලංකාවේ සමාගම් නිකුත් කරන විදේශීය මුදලින් නම් කළ කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට ය

ශ්‍රී ලංකාව තුළ දී දේශීය සමාගම්වලට විදේශීය අරමුදල් රැස් කර ගැනීම ඉහළ නැංවීම සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගම් විසින් නිකුත් කරනු ලබන විදේශීය මුදලින් නම් කළ කොටස්, කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කිරීමට යෝජනාවක් කොළඹ කොටස් හුවමාරුව විසින් ඉදිරිපත් කර ඇත.

2021 අංක 02 දරන විදේශ විනිමය නියෝග අනුව, විදේශීය මුදලින් නිකුත් කරනු ලබන ණයකර හෝ මූලික කොටස් නිකුතුව හෝ ලාභාංශ ගෙවීම හෝ විදේශ මුදල් බෙදා හැරීමෙන් ලැබෙන මුදල්, ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට (Business Foreign Currency Account) බැර කිරීමට හෝ අවසර නොමැත.

ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් කෙරෙහි විදේශ ආයෝජකයින්ගේ උනන්දුව ඉහළ නැංවීම, රට තුළට විදේශ මුදල් ආකර්ශනය කර ගැනීම සහ ඒ සඳහා සභභාගි වන්නන් වැඩි කර ගැනීම, ශ්‍රී ලංකා රුපියල මත පීඩනය අඩු කිරීම සහ විදේශ අරමුදල් රැස් කිරීම සඳහා ශ්‍රී ලාංකික සමාගම් විසින් විදේශ කොටස් වෙළෙ‍ඳපොළවලට යාම වෙනුවට විකල්පයක් ඇති කිරීම වැනි කරුණු සැලකිල්ලට ගෙන, කොළඹ කොටස් හුවමාරුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිර්දේශ කර ඇත.

ඒ අනුව, එකී යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සැලසීම පිණිස දැනට නිකුත් කර ඇති 2021 අංක 02 දරන නියෝගය සංශෝධනය කරමින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7(1) වගන්තිය යටතේ නියෝගයක් නිකුත් කිරීමටත්, එම නියෝගය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

-අද දෙරණ-

Leave a Reply