You are currently viewing ජාතික ලැයිස්තුව.

ජාතික ලැයිස්තුව.

මැතිවරණයෙන් පරාජය වුවත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකරන බව කී එජාපය දැන් මැතිවරණයෙන් පරාජය වූ තම නායකයාම ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම හාස්‍යයට ලක් කරමින් හා ලජ්ජා සහගත යැයි කියමින් මේ දිනවල සමාජ ජනමාධ්‍යවල විවිධ පුද්ගලයෝ අදහස් දක්වති. එසේ පරාජිතයන් පත් කිරීම නුසුදුසු ක්‍රියාවක් බව එජාපය පමණක් නොව වෙනත් ඇතැම් පක්ෂ ද පවසා ඇත. ඇතැම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ද එම මතයේ සිටින බව පෙනේ.

මෙම කාරණය නම් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය මුල් කොට ගෙන හෝ සාකච්ඡා කළ යුතු කරුණකි. මන්දයත් මේ වනවිට මැතිවරණ නීති සංශෝධනය පිළිබඳ  පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කටයුතු කරමින් සිටී.

පාර්ලිමේන්තුවේ සභානායක හා විදේශ ඇමැති වන දිනේශ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම තේරීම් කාරක සභාව මේ දිනවල දේශපාලන පක්ෂවලින් මැතිවරණ නීති සංශෝධනය පිළිබඳ අදහස් ලබා ගනිමින් සිටී. අනෙක් අතට මේ කාරණය පිළිබඳ පොදුවේ සමාජය පිළිගෙන ඇති මතය ද නිවැරදි බවක් පෙනෙන්නේ නැත.

මැතිවරණයෙන් පරාජය වුවත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර යැවීම නුසුදුසු යැයි ඉදිරිපත් කෙරෙන තර්කයේ පදනම පරාජය වුවත් ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වී ඇතැයි යන්න හා ඔවුන් නුසුදුස්සන්ය යන්නයි. එහි විලෝමය නම් ජනතාව ඉතා බුද්ධිමත්ව කරුණු කාරණා සොයා බලා සුදුස්සන් පමණක්  පාර්ලිමේන්තුවටත්, පළාත් සභාව වැනි ආයතනවලටත් පත් කර යවතියි යන්නයි.

එහෙත් සත්‍යය නම් ජනතාව මැතිවරණවල දී ජන කණ්ඩායම් වශයෙන් හා පුද්ගලයන් වශයෙන් අතිශය වැරැදි සම්බන්ධයෙන් මෙරට කිසිවකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකි  උදාහරණය නම් 1982 දී පැවැති ජනමත විචාරණයයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශයින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී හා අතිශයින්ම දූෂිත වූ එම ඡන්ද විමසීමේ ප්‍රතිඵලය අද පවා නීතිය හමුවේ සැලකෙන්නේ ජනතා තීන්දුවක් ලෙසය.

එසේම එක්සත් ජාතික පාක්ෂික ඡන්ද නියෝජිතයන් ඡන්ද මධ්‍යස්ථාන අති විශාල සංඛ්‍යාවකින් පලවා හැර 1999 දී පවත්වන ලද වයඹ පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵලය ද සැලකෙන්නේ ජනතා තීන්දුවක් ලෙසය.2015 දී මාතර ජනතාව ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා, ‘‘නුසුදුස්සෙකු යැයි ප්‍රතික්ෂේප කොට’’ තිබිණි. ජවිපෙ ඔහු ජාතික ලැයිස්තුවෙන් පත් කළේය. ඔහු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක  සභාවේ සභාපති වශයෙන් ජනතාවට දැඩි අතුල් පහරක් එල්ල කළේය.

ජාතික ලැයිස්තුවට නම් ඇතුළත් කිරීමට කිසිදු ප්‍රමිතියක් හෝ නිර්ණායකයක් නැත. කුමන අර්ථයකින් බැලුව ද ඔවුන්  දිස්ත්‍රික්ක මට්ටමේ අපේක්ෂයන්ට වඩා ‘‘සුදුස්සන්’’  යැයි කිව නොහැකිය. ඔවුන් මැතිවරණයකට තරග කළහොත් ජයගන්නා බවට ද කිසිදු සහතිකයක් නැත.

අනෙක් අතට  පක්ෂයක ජාතික ලැයිස්තුවෙන් පුරප්පාඩු පිරවීම සඳහා පුද්ගලයන් තෝරා ගැනීමට ද නිශ්චිත ක්‍රමවේදයක් නැත. ඔවුන් තෝරා ගනු ලබන්නේ පක්ෂ නායකයාගේ රුචි අරුචිකම් අනුවය. ඒ සෑම අයකුම පරාජිතයන්ට වඩා සුදුස්සන් ලෙස සැලකේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සතුව තිබිය යුතු සුදුසුකම් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හිටපු සභාපති හා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පසුගිය මහමැතිවරණයට සති කිහිපයකට පෙර  ප්‍රකාශයක් කළේය. ව්‍යවස්ථා සම්පාදනය, ප්‍රතිපත්ති සම්පාදනය, රාජ්‍ය මූල්‍ය කටයුතු අධීක්ෂණය කිරීම හා ජනතාව නියෝජනය කිරීම යන කටයුතුවලට දායක වීමේ හැකියාව ඉදිරිපත් කළ සුදුසුකම් විය.

 වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ගත් කල ඔහු පරාජය වූයේ මෙවැනි ප්‍රශ්නයක් නිසා නොව පක්ෂය නාය යාම නිසාය. ඔහුගේ ප්‍රතිපත්ති, ක්‍රියාකිරීමේ ශෛලිය ඔහු අනෙක් පුද්ගලයන් සමග සබඳතා පවත්වාගෙන යන  ආකාරය ආදිය කෙනකු පිළිගත්තත් නැතත් වත්මන් පාර්ලිමේන්තුවේ බොහෝ දෙනකුට වඩා ගුණසේකර මහතා ගෙනහැර දක්වන සුදුසුකම් ඔහු වෙත ඇති බව නම් නිසැකය.

Leave a Reply