You are currently viewing ජනාධිපති සමාව ලබාදුන් ක්‍රමවේදය නිවැරදිද?

ජනාධිපති සමාව ලබාදුන් ක්‍රමවේදය නිවැරදිද?

මරණ දඩුවම ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය සිය අප‍්‍රසාදය පළ කර තිබේ.

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් ට්වීටර් පණිවිඩයක් නිකුත් කර තිබෙන එම සංවිධානය පවසන්නේ, දේශපාලඥයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ජනාධිපති සමාව ලබාදී අත්තනෝමතික ලෙස නිදහස් කිරීම නීතියේ අධිපත්‍යය දුර්වල කරන සහ වගවීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමට තවත් උදාහරණයක් බවයි.

පසුගිය රජය සමයේ දුමින්ද සිල්වාට විශාල අසාධාරණයක් සිදුවූවා. එයට ඇති හොඳම සාක්ෂිය රන්ජන් රාමනායකගේ හඬ පට තුළින් එය පැහැදිලිව තහවුරු වනවා. දුමින්ද සිල්වා ඇතුළු බොහෝ වැරදිකරුවන්ට ජනාධිපතිවරයා අද සමාව ලබා දුන්නා. එය ඉතා සාධනීය තත්ත්වයක් ලෙසයි මම දකින්නේ” යැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.රන්ජන්ගේ හඩපට හේතුවෙන් දුමින්ද සිල්වාට ලබාදුන් දුන් තීන්දුව සම්බන්ධයෙන් රට තුළ දැඩි විවේචන පවතින බව ද නාමල් රාජපක්ෂ පවසා සිටියේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබාදීම රටේ පවතින නීතිය හෑල්ලුවට ලක්කිරීමක් බව භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.

තමා අදහන බුදුදහම අනුව දුමින්ද සිල්වා මහතාට සමාව දී අවසන් බවත්, එසේ වුවත් රටේ පවත්නා නීතිය නොකඩා ආරක්ෂා කිරීම පාලකයන්ගේ වගකීමක් බවත් ඇය සිය ලිපියේ සඳහන් කර ඇත.

‘ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ මහාධිකරණයේ විනිසුරුවරුන් හත් දෙනකු ලබාදුන් තීන්දුව කුණුකූඩයට විසි කර දමමින් අවසන් තීරණය ගන්නේ ඔබතුමා නම් මේ රටේ නීතියක් කුමකටද?’ යනුවෙන් ඇය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන්ය. එක් රටක් — එක් නීතියක් තේමාව යටතේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ජනාධිපතිවරයා හිතුමතේ වැරදිකරුවන් නිදහස් කරන්නේ නම් රටට සිරගෙවල්, නීතියක් හා විනිසුරන් කුමකටදැයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය ලිපියේ සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා කිහිප දෙනෙකුගේ අතකොලුවක් බවට පත්ව ඇති බවත්, එසේ නොවී ඔහු මහතීර් මොහොමඩ්, ලී ක්වාන් යූ, පූටින් වැනි නායකයන්ගේ සංකලනයක් යයි සිතා 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දුන් ජනතාවගේ යහපත වෙනුවෙන් කෙලින් තීරණ ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවත් ප්‍රේමචන්ද්‍ර මහත්මිය යොමු කළ ලිපියේ දැක්වේ.

දුමින්ද සිල්වා මහතා ඉදිරියේදී මහඇමති අපේක්‍ෂකයකු ලෙස හෝ දේශපාලනයට ගෙනැවිත් ජයග්‍රහණය කළ ද තමා පුදුම නොවන බවත්, ජනතාව අයුක්තිය නැමති යදම් බිඳදා නැගී සිටින දිනය වැඩි ඈතක නොවනු ඇති බවත් ඇය කියා සිටී.

ඉහළ අධිකරණය මගින් දුමින්ද සිල්වා මහතාට ලබා දී තිබූ මරණ දඩුවම ස්ථිර කොට තිබියදීත් ඒ මහතාට ජනාධිපති සමාව ලබා දීමට තුඩු දුන් ක්‍රමවේදය පැහැදිලි කරන ලෙස ශ්‍රීලංකා නීතීඥ සංගමය අවධාරණය කරයි.නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකා නීතීඥ සංගමය මේ බව දැනුම් දී තිබේ.

නීතීඥ සංගමයේ ලේකම් රජීව් අමරසූරිය මහතා විසින් එම නිවේදනය නිකුත් කොට ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති නිදහස ලබාදීම නීතියේ පාලනය බිදවැටීමක් බව අමෙරිකානු තානාපතිනි අලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය සදහන් කොට ඇත.

ට්විටර් පණිවුඩයක් තබමින් ඇය ‌පෙන්වා දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පවා 2018 වසරේදී එම දඩුවම තහවුරු කොට තීබියදී නිදහස ලබා දීම පිළිගත නොහැකි බවකි.

කෙසේවෙතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සිය ප්‍රසාදය පළ කොට ඇත.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවීම නිසා මරණ දඬුවම නියමවී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ගේ  බිරිඳ විසින් සිය ෆේස්බුක්හි සටහනක් තබා ඇත.

මේ එම සටහනයි…

ඝාතකයා නිදැල්ලේය. යුක්තිය නැති රටකට හිරු පායන්නේ නැත!

‘නිදොස් කොට නිදහස් කිරීම‘ ආගමක් ද, ව්‍යවහාරය ද බවට පත් කොට ගත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර සොදුරු මිනිසාගේ ඝාතකයා විශේෂ ජනාධිපති සමාවකින් නිදහස් කර ඇත.

අභියාචනාධිකරණයේ විනිසුරන් තිදෙනෙකු, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන් පස් දෙනෙකු ලබා දුන් තීන්දුව ක්‍රියාත්මක නොවන රටක් බිහිවී තිබේ.

සතා සිව්පාවාගේ සිට ලක්දන සැමට සෙත සැදූ උතුම් පොහෝ දිනයක දී, හෘද සාක්ෂියක් ඇති සෑම මිනිසෙකුම වැරදිකරු යැයි හොදින්ම දන්නා ඝාතකයා නිදහස් කර ඇත. ‘එක රටක නීති රැසක් ඇති බව‘ ක්‍රියාවෙන්ම ඔප්පු කරමින් ඝාතකයා නිදහස් කර ඇත.

රටක් ආදරය කළ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නම් සොදුරු මිනිසා ද, තවත් සිංහල දමිත, දෙමළ කුමර්, මුස්ලිම් හශිම් තිදෙනගේ ද සිරැරු පසාරු කර වෙඩි තැබූ ඝාතකයා නිදහස ලබා ඇත.

ඝාතකයා නිදහස් කර, යුක්තිය සිරගත කොට ඇත. යුක්තිය නැති රටකට හිරු පායන්නේ නැත.

නීතියක් තිබූ රටක අපරාධයකට දඩුවම් ලැබිණි.නීතියක් නැති රටක, දඩුවමට යුක්තිය ඉටුනොවී අපරාධකරුවන් නිදහස්ව ඇත!

සුමනා ප්‍රේමචන්ද්‍ර.

Leave a Reply